ජීවන බරෙහි සැලකිය යුතු අඩුවීමක් ජනතාවට දැනෙනවා - කැබිනට් ප්‍රකාශක

ජීවන බරෙහි සැලකිය යුතු අඩුවීමක් ජනතාවට දැනෙනවා - කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

සමස්ථයක් ලෙස ජීවන බරෙහි සැලකිය යුතු අඩුවීමක් ජනතාවට දැනෙන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

පොදුවේ තමන් මත එල්ලිලා තිබුණු බඩු මිල සම්බන්ධ අධික පීඩනය අඩුවී  ඇතැයි කාහටත් දැනෙන බව පැවසූ අමාත්‍යවරයා 2024 අගෝස්තු 31ත් 2025 අගෝස්තු 31ත් අතරදී ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 33කින් අඩුවී ඇතැයිද, 95 ලංකා පෙට්‍රල් රුපියල් 36කින් මිල අඩුවී ඇතැයිද, ලංකා සුදු ඩීසල් රුපියල් 24කින් මිල අඩුවී ඇතැයිද, ලංකා සුපිරි ඩීසල් රුපියල් 39කින්  අඩුවී ඇතැයිද, ලංකා භූමිතෙල් රුපියල් 17කින් අඩුවී ඇතැයිද පෙන්වා දුන්නේය.

සමස්ථයක් ලෙස ගතවූ වසරවල සියලුම ඉන්ධනවල මිල රුපියල් 17 සිට 39 දක්වා මිල අඩුකර ඇතැයි පැවසුවේය. තව දිය හැකි සහන උපරිමයෙන් ලබාදෙමින් යන බවද පැවසූ අමාත්‍යවරයා ලෝක වෙළදපොලේ තෙල් මිල උච්ඡාවචනය වීම, ඛනිජ තෙල් සංස්ථාවට ඇති ණය බර ආදී සියල්ල කළමනාකරණය කරගනිමින් මෙම කටයුතු සිදුකරන බවද වැඩිදුරටත් පැවසුවේය.