නව තැපැල් කාර්යාල ඉදිකිරීම සදහා රුපියල් කෝටි 60 ක්
තැපැල් කාර්යාල 209 ක් නවීකරණය කිරීම සදහා තවත් රුපියල් කෝටි 60 ක්
මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල නව තැපැල් කාර්යාලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාලය සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ සිදුවිය.
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරීමට යෝජිත මහවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 14.41 ක් වන අතර දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාලය ඉදිකිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 14.71 කි. නවීන පහසුකම් වලින් සපිරි ආකාරයට මෙම ගොඩනැගිලි සැලසුම් කර ඇත.
මාතලේ, මහවෙල නව තැපැල් කාර්යාලයට වසර සියයකට අධික ඉතිහාසයක් පවතින අතර එය කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක මේ දක්වා කාලයක් පවත්වාගෙන යනු ලබයි. නව තැපැල් කාර්යාලයක් ඉදිකිරීම සදහා පර්චස් 20 භූමි ප්‍රමාණයක් මහනුවර, තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි ඇග්නස් ගුණසිංහ මහත්මිය විසින් 2010 වර්ෂයේදී පරිත්‍යාග කර ඇත. මෙම තැපැල් කාර්යාලයෙන් ප්‍රදේශයේ පවුල් 3000 කට අධික ප්‍රමාණයකට ඍජුවම සේවය සැලසෙනු ඇත.
කුරුණෑගල, දොඩම්ගස්ලන්ද තැපැල් කාර්යාලයට දිගු ඉතිහාසයක් පවතින අතර එය ද ආරම්භයේ සිට මේ දක්වා කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබයි. දොඩම්ගස්ලන්ද ප්‍රදේශයට තැපැල් කාර්යාලයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය වන භූමිය 1996 වර්ෂයේ දී වෙන් කර ඇතත් මේ දක්වා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගෙන නොතිබිණි. දොඩම්ගස්ලන්ද තැපැල් කාර්යාලයෙන් ප්‍රදේශයේ පවුල් 5200 කට අධික ප්‍රමාණයකට සේවය සැලසෙනු ඇත.
විසිදහසකට අධික තැපැල් සේවකයන්ගේ ක්‍රියාකලාපයන් මෙරට ජීවත්වන ජනතාවට විවිධ ආකාරයෙන් බලපාන බවත්, ඒ සියලු දෙනා එක්ව එකම දාමයක් ලෙස එකට බැදී කටයුතු කලහොත් මෙරට ආර්ථිකය ශක්තිමත් වනවිට තැපැල් වෘත්තිකයන් ඊට දැක්වූ දායකත්වයට ඉහළම අගයක වටිනාකමක් ලැබෙන බව මුල්ගල තැබීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් පැවසී ය.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට සියලු වෘත්තිකයන්ගේ මෙන්ම සැම දෙනාගේම දායකත්වය අතිශයින්ම වැදගත් වන බවත්, තැපැල් සේවාවේ සංවර්ධනයට වත්මන් රජය සිදුකරන විශාල කාර්යභාරය මනාව තේරුම්ගෙන සියලුම තැපැල් සේවකයන් නිවැරදිව කටයුතු කරනු ඇතැයි ද තමා බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසී ය.
පසුගිය රජයන් තැපෑලේ සංවර්ධනයට සරිලන පරිදි මුදල් වෙන්කර නොතිබුණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා තත්ත්වය එසේ තිබියදී අඩුපාඩුකම් මධ්‍යයේ තැපැල් වෘත්තිකයන් ජනතාවට අවශ්‍යවන සේවාව කාර්යක්ෂමව ලබා දුන් බව ද අවධාරණය කර සිටියේ ය.
පසුගිය කාලයේ දී ජනතා බදු මුදල් ජනතා ජීවිත වලට බලපාන සේවාවන් සදහා වෙන් කිරීම වෙනුවට වෙනත් ව්‍යාපෘතීන් සදහා එම මුදල් වෙන් කළ බවද සිහිපත් කළ අමාත්‍යවරයා, ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය බලයට පත්වී වසරක් සපිරෙන මෙම අවස්ථාව වන විටත් රජය තැපෑලේ සංවර්ධනයට විවිධ අන්දමින් කටයුතු කර ඇති බවද පැවසීය. මෙරට ජනතාවට සුරක්ෂිත, විශ්වාසවන්ත, වේගවත්, අඩු මිලකට සේවාවන් සැපයීම සදහා තැපැල් සේවාවේ කලයුතු වැඩ කටයුතු රාශියක් හදුනාගත් බවත්, මේවන විට ඊට විසදුම් ලබා දෙමින් තිබෙන බව ද සඳහන් කළේ ය.
තැපැල් සේවාවේ කාර්ය මණ්ඩල හිගය පියවීම සදහා උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථීර කිරීමටත්, රියදුරන් බදවා ගැනීමටත්, ආදේශක කාර්යමණ්ඩලයට 1000ක් ලියාපදිංචි කිරීමටත්, ආදේශකයන් ලෙස සේවය කළ 1000ක් ස්ථීර කිරීමටත්, තැපැල් දෙපාර්තුමේන්තුවේ විවිධ තනතුරු සදහා අනුමැතිය සහිතව බඳවා ගැනීමටත් මේ වන විට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේ ය.
තැපැල් දෙපාර්තුමේන්තුවට ප්‍රමාණවත් වාහන සංචිතයක් නොතිබීමෙන් කාර්යක්ෂම සේවාවකට එය බාධාවක් බව තේරුම් ගත්බවත්, මෙවර අයවැයෙන් රුපියල් කෝටි 25ක මුදලක් නව වාහන මිල දී ගැනීම සදහා වෙන් කළ බවත් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේවන විට ආරම්භ වී තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
මෙවර අයවැයේ රුපියල් කෝටි 60 ක මුදලක් නව තැපැල් කාර්යාල ඉදිකිරීම සදහා වෙන් කර ඇති බව සිහිපත් කල අමාත්‍යවරයා නව තැපැල් කාර්යාල විස්සක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද පැවසී ය. මීට දින කිහිපයකට පෙර ගලේවෙල තැපැල් කාර්යාලයේ ඉදිකිරීම් ආරම්භ කළ බවත්, ඉදිරියේ දී යාපනය, මඩකලපුව, හම්බන්තොට, ගාල්ල, මහනුවර ඇතුළු ප්‍රදේශ ගනණාවක ඉදිකිරීම් සඳහාත් දඹුල්ල තැපැල් මෙහෙයුම් මධ්‍යස්ථාන ඉදිකිරීමටත් අවශ්‍ය මුදල් වෙන්කර ඇති බව ද පැවසී ය.
තවත් රුපියල් කෝටි 60 මුදලක් තැපැල් කාර්යාල නවීකරණය කිරීමට වෙන් කර ඇති බවත්, මෙරට ඓතිහාසික තැපැල් කාර්යාල වන නුවර, නුවරඑළිය වැනි තැපැල් කාර්යාල ඇතුළුව තැපැල් කාර්යාල 209 ක් නවීකරණය කිරීමට කටයුතු කරන බව ද පැවසී ය. එමෙන්ම විධිමත් සේවාවක් සැපයීම සදහා අවශ්‍යවන නව තාක්ෂණයද ඊට බද්ධ කරන බවද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
මෙම අවස්ථාවන් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ළමා හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශණ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් පියන්වෙල, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අස්ලාම්, තැපැල් මූලස්ථානයේ නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව, වයඹ ජේෂ්ඨ පාලක ලේකම් දීපිකා මනම්පෙරුම, කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි ජගත් හෙට්ටිආරච්චි, නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම) එම්.එච්.එම් අස්ලම් හසන්, යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිනී ෆෝන්සේකා,රිදීගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ඩී. සුමනදාස යන මහත්ම මහත්මීන් ඇතුළුව රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.


