ටීනියා යනු චර්ම රෝග ආසාදනයක් බවත්, එය ස්පර්ශයෙන්, ඇඳුම් වලින්, යම් යම් උපාංග භාවිතයෙන් බෝ වන අතර මෙය බොහෝ කලක සිට පැවති රෝගයක් බවද ශ්‍රී ලංකා ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා සඳහන් කරයි.
චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා මේ බව පැවසුවේ අද (16) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ටීනියා රෝගයෙහි රෝග ලක්ෂණ වනුයේ මුලින්ම කසන ස්වභාවයක් ඇතිවී සමේ නැවෙන ස්ථාන වල රවුමට පැල්ලම් මතුවීම බවද එය කැසීමත් සමග දිගින් දිගටම පැතිර යා හැකි අතරම වර්තමානය වන විට මෙය ඇඟ පුරාම පැතිරෙන අවස්ථාද පවතින බව පැවසුවේය.
ඇතැම් අවස්ථා වල මෙය ළමුන්ගේ මුහුණ ආශ්‍රිතවද දැකිය හැකි බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා විශේෂයෙන්ම ශරීරයේ තෙත ගතිය රැදෙන තැන් වල මෙය දරුවන්ගේ හටගත හැකි බවද අවධාරණය කළේය.
ශරීරයේ ඕනෑම තැනක මෙය හටගත හැකි බව පෙන්වාදුන් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙහි ප්‍රධාන ලක්ෂණ වශයෙන් කැසීම හා රවුම් ස්වභාවයට පැතිරී යාම ආදිය පෙන්වා දුන්නේය.
පසුගිය වසර 10 හි ප්‍රවනතාවය බැලීමේදී ටීනියා සීඝ්‍රයෙන් පැතිර යන බවද චර්ම රෝග සායනවල රෝගීන්ගෙන් 20%ක් පමණ එනම් සෑම පස්දෙනෙක්ගෙන් එක්කෙනෙක්ම ටීනියා රෝගය නිසා එන තත්ත්වයට පත්වී ඇතැයි අවධාරණය කළාය.
දැනට වසර 10කට 15කට පෙර ටීනියා රෝගයේ අඩු ප්‍රවනතාවයක් පැවති බවද එකල ශරීරයේ පැල්ලමක් දෙකක් පමණක් දක්නට ලැබුණු බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය. නමුත් වර්තමානයේ ටීනියා ඉතා සීඝ්‍රයෙන් පැතිරීම මෙන්ම ශරීරය පුරා ව්‍යාප්ත වීම දක්නට ඇතැයි ද අවධාරණය කළේය.
වර්තමානයේ ටීනියා රෝගය බෙහෙත් වලට ඔරොත්තු නොදෙන ස්වභාවයක්ද පෙන්නුම් කරන බව පැවසුවේය. මේ වන විට රෝගීන් සංඛ්‍යාව වැඩි අතරම රෝගීන්ගේ උග්‍රතාවයද, ප්‍රතිකාර වලින් හොද කරගත හැකි ප්‍රවනතාවය අඩු බවද චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා එමනිසා මෙම රෝගය සඳහා ප්‍රතිකාර බොහෝමයක් ලබාදීමට අවශ්‍ය වන බවද සඳහන් කළාය.
මෙය සම මතුපිට ඇතිවන දිලීර රෝග තත්ත්වයක් බැවින් ස්පර්ශයෙන් , එකම ඇඳුම් භාවිතයෙන් බෝවිය හැකි බවද පෙන්වා දුන්නේය. එකම ආයතනයක සේවකයන්ට බෝවිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


