නිල්වලා ලවණ බාධකයේ ගොවි වන්දි තිහගොඩ ගොවීන් 781කට ප්‍රදානය කෙරේ

නිල්වලා ලවණ බාධකයේ ගොවි වන්දි තිහගොඩ ගොවීන් 781කට ප්‍රදානය කෙරේ
  • SocialShare:

නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත සෘතු සප්තකයක් (කන්න 7ක්) පුරා සිය වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් 2026 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 1200 ක (කෝටි 120ක) වෙන් කෙරිනි ඒ අනුව, තිහගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් පීඩාවට පත් ප්‍රතිලාභී ගොවීන් 781 දෙනෙකු සඳහා ඊයේ (22)  චෙක්පත් බෙදා දීම මිදෙල්ලවල පුරාණ මහ විහාරයේ දි සිදු කෙරුණි.

මෙතෙක් කලක් වන්දි ලබා දීම පොරොන්දුවලට පමණක් සීමාවී තිබූ යුගය නිමා කර, එය යථාර්ථයක් බවට පත් කරමින් ගොවිතැන් කටයුතු වෙනුවෙන් තමන්ට ධෛර්යයක් ලබා දුන් මාලිමා රජයේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට පැමිණ සිටි ගොවි ජනතාව සිය හෘදයාංගම ස්තුතිය පළ කළහ.

නිලධාරීන් වෙනුවෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රුමිළ ලොකුහෙට්ටි මහතා ඇතුළු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් සහ ප්‍රතිලාභී ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේ, ලවණ බාධකයේ දෝෂ නිවැරදි කිරීම සඳහා රුපියල් මිලියන 1000ක (කෝටි 100ක) ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. "මේක ආවට ගියාට කරන්න බැහැ. ඉදිරි අවුරුදු 50කට නැවත මේ ප්‍රශ්නය ඇති නොවෙන්න, අපේ අනාගත පරම්පරාව නිල්වලා ගඟේ ජලයෙන් යට නොවෙන්න විද්‍යාත්මක අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒ නිසා අපි මේකේ හයිඩ්‍රෝලික් (Hydraulic) විශේෂඥ ඇතුළු දේශීය හා ඇමරිකානු ඉංජිනේරුවන්ගෙන් සමන්විත ලංකාවේ ප්‍රධානම ආයතනයක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයට අධ්‍යයන කටයුතු භාර දී තිබෙනවා. ඉදිරි වර්ෂාපතන තත්ත්වයන් සහ ගඟේ ජල ගැලීම් (Flow) ගණනය කරමින් ඔවුන්ගේ අවසන් නිර්දේශ ඉදිරි කාලයේදී ලැබුණු සැනින් ස්ථිර පිළියම් යොදනවා," යැයි මන්ත්‍රීවරයා පැවසීය.

මීට අමතරව, වේලි, ඇලවල්, අමුණු සහ කැඩුණු පොම්පාගාර අලුත්වැඩියාවට තවත් මිලියන 10ක් ද, කුඹුරු අස්වැද්දීම වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රතිපාදන ලෙස තවත් මිලියන 300ක් ද වෙන් කර ඇති බව ඔහු අනාවරණය කළේය.

මාතර දිස්ත්‍රික්කය තුළ මේ වන විට උද්ගතව ඇති දැඩි ඩෙංගු වසංගත තත්ත්වය පිළිබඳව ද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී අතිශය වැදගත් සහ දැඩි ප්‍රකාශයක් සිදු කළේය.

"ජූනි 14 සිට 20 දක්වා දින 6ක් ඇතුළත මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 25,656ක් පරීක්ෂා කර තිබෙනවා. ඉන් ස්ථාන 775ක (6.2%ක)  මදුරු කීටයන් හමු වුණා. රතු නිවේදන 598ක් නිකුත් කරලා, නඩු 330ක් දාලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයෙන් දැනට මරණ 3ක් වාර්තා වෙනවා. දිනකට නඩු 50කට වඩා දානවා. නමුත් කනගාටුව කියන්නේ ජනතාවගේ සහයෝගය උනන්දුව හරිම අඩුයි. සමහරු රතු නිවේදනවලට, නඩුවලට, පී.එච්.අයි. මහත්වරුන්ට විතරක් නෙවෙයි මැරෙන්නවත් බය නැහැ වගේ ඉන්නේ," යැයි අමාත්‍යවරයා කනගාටුවෙන් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා, තිහගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් ජයසේකර මහතා සහභාගී වූහ.