අමෙරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කළ දින සිට මේ දක්වා සිදුකළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, කළාපයේ අනෙක් රටවල් සමඟ සසඳන විට අපේ රට වාසි සහගත තත්වයක සිටන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා මෙසේ පැවසීය.
අප්‍රේල් 02 වැනිදා අමෙරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නිවේදනය නිකුත් කළ දවසේ සිට අපි මේ සම්බන්ධයෙන් ඉතා ක්‍රියාකාරී ලෙස සහභාගී වුණා. සාකච්ඡා පැවැත් වූවා. මුලින්ම අපි ඉතා අවාසිදායක තත්ත්වයක හිටියේ. කළාපයේ අනෙක් රටවල් සමඟ සසදන විට අපිට 44% බද්දක් තිබුණා. නමුත් ඊයේ නිකුත්කළ නිවේදනය අනුව අපි දැනට 30% මට්ටමක ඉන්නවා. අපනයන ක්ෂේත්‍රයේදී අපි සමඟ ඇමරිකානු වෙළෙඳපොළ සමග තරඟ කරන ලාඕසය, බංගලාදේශය, ඉන්දුනිසියාව වැනි රටවලට අපිට වැඩිය තීරු බදු ප්‍රමාණයක් අයකර තිබෙනවා. මෙම බදු ප්‍රතිපත්තිය වඩාත් සරල කර ගැනීමට කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳ අපි සාකච්ඡා සිදුකළා.
එළඹෙන අගෝස්තු 01 දා දක්වා තවදුරටත් සකාච්ඡා පවත්වන බවත් ඒ අනුව රටට වඩාත් හොඳ ගිවිසුමකට එළඹෙමින් මෙම කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.


