ලංකා හොස්පිටල්ස් (Lanka Hospital) විසින් නව ප්‍රජා කේන්ද්‍රීය සත්කාර සේවාවන් ද්විත්වයක් වන කම්පන ප්‍රතිකාර සේවාව වන ලංකා ලයිෆ්ල යින් (Lanka Life Line) සහ එහි පුළුල් පරාසයක විහිදුණු ගෘහස්ත සත්කාර සේවාව වන ලංකා කෙයාර් (Lanka Care) හඳුන්වා දීම ඊයේ (02) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වය යටතේ සිදුකෙරිණි.
නවතම කම්පන සත්කාර සේවාව වන ලංකා ලයිෆ් ලයින් සේවාව යනු කම්පනයට ගොදුරු වූ රෝගීන් (කම්පන තත්ත්වයක් යනු අනතුරක්, අපරාධයක් හෝ ස්වාභාවික විපතක් වැනි භයානක සිදුවීමක් කෙරෙහි වූ චිත්ත වේගීය ප්‍රතිචාරයකි.) සඳහා පැය 24 පුරා සහ අඛණ්ඩ ප්‍රතිචාර දැක්වීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම වන අතර, අනෙක් හඳුන්වාදීම වන ලංකා කෙයාර් සේවාවේ දී නිවසේ දී පමණක් නොව, බොහෝ දුර බැහැර සිටින තම ආදරණීයන් වෙත පවා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය හැකි ආකාරය වඩාත් පහසු කරමින් යළි ප්‍රතිනිර්මාණය කිරීමක් වේ. මෙහි දී පුහුණුවලත් රැකබලා ගන්නන් විසින් විශේෂඥ හෙද සේවය, භෞත චිකිත්සාව, ඖෂධ කළමනාකරණය සහ දුරකථන හරහා සිදුවන දුරස්ථ උපදේශන ලබාදෙන අතරම, විනිවිදභාවයෙන්, රෝගියාගේ ආරක්ෂාව යළි සහතික කරමින් සහ මානසික සහනය සලසමින් පවුලේ සාමාජිකයන් සමග සමීපව කටයුතු කරනු ලැබේ.
මෙහිදි මෙම නව ප්‍රජා කේන්ද්‍රීය සත්කාර සේවාවන් දියත් කිරීමේ කැපී පෙනෙන සිදුවීමක් ලෙස ප්‍රජාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ පවුලට ප්‍රමුඛත්වය දෙන සෞඛ්‍ය සේවාවක් සඳහා වූ මහජන විශ්වාසය කෙරෙහි වේගයෙන් වර්ධනය වන ඉල්ලුම සංකේතවත් කරමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට 1,000 වන ලංකා කෙයාර් සාමාජික කාඩ්පත බාරදීම ද මෙහි දී සිදු විය.
ලංකා හොස්පිටල් රෝහලක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් නොවන බව පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රජයක් ලෙස සෞඛ්‍ය සේවාව පවත්වාගෙන පවත්වාගෙන යාමේ ප්‍රධාන අරමුණ වන්නේ සියලුම ශ්‍රී ලාංකිකයින්ට සෞඛ්‍ය සේවාවට ප්‍රවේශවීම සදහා සාධාරණ අවස්ථාවක් ලබාදීම බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව යනු සාධාරණ ප්‍රවේශය සහතික කිරීම බව ද පැවසී ය.
රජයේ රෝහල් 1200 ක් මගින් නොමිලේ සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යන බවත්, තමන්ගේ කැමැත්ත සහ හැකියාව මත මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි රෝහල් පද්ධතියක් ද පැවතිය යුතු බව ද ඇමතිවරයා මෙහි දී පැවසී ය. පෞද්ගලික අංශය ඒ ආකාරයට රෝහල් පද්ධතිය පවත්වාගෙන ගිය ද සියලු පුරවැසියන් රාජ්‍යයයට අයත් නිසා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව ද ඇමතිවරයා පැවසී ය.
මෙරට රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර එතරම් සාර්ථක වී නොමැති බවත්, චීනය, ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල් බැලූ විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල ද අපේ රටේ දී සම්පූර්ණයෙන් ම පෞද්ගලිකයි ලෙස පෙනුමට තිබෙන ආයතන පවා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් සාර්ථක වී ඇති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරටට සාර්ථක රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්වයක් අවශ්‍ය බව ද එය අප ඉදිරියේ පවතින අභියෝගයක් බවද පැවසී ය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දී රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්වය මෙවැනි ආයතනයක අරමුණ විය යුත්තේ පෞද්ගලික අංශය සමග තරඟ කිරීම සඳහාම පමණක් නොවන බවත්, රාජ්‍ය අංශය සමග සම්බන්ධ ආයතනයක් ලෙස ඉහළ ප්‍රමිතිතිය, ඉහළ තත්ත්වය සහතික කිරීම බව ද එලෙස කටයුතු කරනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෞද්ගලික අංශය සාර්ථකව නියාමණය කළ හැකි බව ද පැවසූ අමාත්‍යවරයා එය මෙම රෝහලෙන් බලාපොරොත්තු වන ඉහළම ඉළක්කය බව ද පැවසී ය.
රජයේ රෝහල්වලට දරා ගත නොහැකි, පෞද්ගලික අංශයට ද කළමණාකරණය කර ගැනීමට අපහසු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ වයස්ගත ජනගහනය හා බෝනොවන රෝග හේතුවෙන් නිසා බවත්, මේ සදහා ස්ථිරසාර විසඳුමක අවශ්‍යතාවයක් අවශ්‍ය බවත්, ඒ සදහා රජය ගෙනයන වැඩපිළිවෙල හා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්වයත් සම්බන්ධ වන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටින ලදි. රෝහල් ගතවීමේ දී වැඩිම රෝගින් ප්‍රමාණයක් වාර්තා වන්නේ අනතුරු හේතුවෙන් බවත්, ප්‍රාථමික සෞඛ්‍ය සේවාව මෙන්ම හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක ශක්තිමත් කළ යුතු බව ද එමගින් මෙම රෝහල්ගතවිම් සැළකිය යුතු ප්‍රමාණය අඩු කර ගත හැකි බව ද පැවසී ය.
රජයට පවතින ප්‍රධාන ඉළක්කයක් ලෙස සංචාරක ව්‍යාපාරය පෙන්වා දිය හැකි බවත්, ලංකාවට පැමිණෙන සංචාරකයින් පමණක් නොව ලංකාවෙන් විදෙස්ගතවන අයගේ පවුල් රැකබලා ගැනීමත් මෙම වැඩපිළිවලට ද අයත් බවද පැවැසී ය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ලංකා හොස්පිට්ල්ස් විසින් හඳන්වා දෙන මෙම නව ප්‍රජා කේන්ද්‍රීය සත්කාර සේවාවන් ද්විත්වයෙහි ජාතික වැදගත්කම සහ පොදුවේ සියලු අංශ කෙරෙහි ඉන් ඇති කළ හැකි බලපෑම පිළිබඳව අදහස් දක්වන ලද අතර, සංචාරක ක්ෂේත්‍රයේ ඉළක්ක සපුරා ගැනීම සදහා මෙවැනි සේවාවන් ඉතා කාලෝචිත ක්‍රියාදාමයන් බව ද පැවසී ය.
මෙම උත්සව අවස්ථාවට තරුණ්‍යයේ ආකර්ෂණය එකතු කරමින් මිස් ශ්‍රී ලංකා 2025 කිරුළ හිමිකර ගත් අනුදි ගුණසේකර මෙනෙවිය සහ මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගත් මේඝ සූරිය ආරච්චි මහතා සහභාගී වූහ. ඔවුන් දෙදෙනාම රෝහල විසින් දියත් කළ සත්කාර සේවාවන්හි නවෝත්පාදනය සඳහා වූ ජනතා කේන්ද්‍රීය ප්‍රවේශය අගය කළහ.
මෙම උත්සවයට ලංකා හොස් පිල්ස් සමූහයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ චාමින්ද කුමාරසිරි මහතා, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්, ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද වෘත්තිකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඇතුළු සම්භාවනීය හා ගෞරවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.


