ජනතාවට ගුණාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලබා දෙනවා - සෞඛ්‍ය ඇමැති

ජනතාවට ගුණාත්මක ප්‍රාථමික  සෞඛ්‍ය සේවාවක් ලබා දෙනවා  - සෞඛ්‍ය ඇමැති
  • SocialShare:

මෙරට ජනතාවට වර්තමානයේ දී ලබා දෙන ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලෙස  ඉදිරි කාලයේ දී ලබා දීම ප්‍රමුඛ අරමුණු කරගනිමින් මෙම වර්ෂය තුළ දී ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් ආරම්භ කරන බවත්, ඉදිරි වසර දෙකහමාර ඇතුළත දී  දිවයින පුරා නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයන් හි සියලු  ඉදිකිරීම් නිම කර මෙරට ජනතාවට විධිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බවත්,  සෞඛ්‍ය සේවාවේ ප්‍රධානතම ව්‍යාපෘතිය බවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය පත් කරන බවත්,  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබද උපදේශන රුස්වීමට සහ එක්දින වැඩමුළුවට එක්වෙමිණි.  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධානත්වයෙන්  ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ “සංකථනි” ශාලාවේදී මෙම උපදේශන රුස්වීම සහ එක්දින වැඩමුළුව පැවැත්විණි.

මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය සේවාවේ නිරත සියලු දෙනා එක්ව කටයුතු කළ හොත් එමගින් සෞඛ්‍ය සේවාව සදහා වාර්ෂිකව අයවැයෙන් වෙන් කරන මුදල් සියලු අංශයන් සදහා  ප්‍රමාණවත් වන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා  මෙය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 200 කට වඩා අඩු මුදලකින් ඖෂධ සහ ශල්‍ය අංශයන්හි  පවතින ගැටළු විසදීමට ද හැකියාව ලැබෙනු ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවද පැවසී ය.

ජනගහණය පන්දහසත් හත් දහසත් අතර පිරිසක් කේන්ද්‍ර වන පරිදි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය බැගින් දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීම තුළින් එම ජනතාවගේ සෞඛ්‍ය රැක බලා ගන්නා මධ්‍යස්ථානය පත් බවට මෙම  මධ්‍යස්ථාන පත් කිරීමට හැකිවන බවත්, ග්‍රාම නිලධාරී කොට්ඨාශ පහක් ආවරණය වන පරිදි සහ කිලෝමීටර් තුනක් ඇතුළත විනාඩි විස්සකින් ප්‍රදේශයේ ජනතාවට ළගාවිය හැකි පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව ද පැවසී ය.

ජනගහණය සෑම 5000 කට සියලු පරිපාලන කටයුතු දියත් කරන ඒකක ස්ථාපිත කිරීමට රජයේ බලාපොරොත්තුවක් තිබෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා එයට සෞඛ්‍ය, අධ්‍යාපනය, පොලීසිය, කෘෂි කර්මාන්ත පරිපාලන ඒකක ආදිය ඇතුළත් ජනතා අවශ්‍යතාවයන් ඉටුකරන සෑම අංශයකින්ම සමන්විත වන ඒකකයක් ලෙස ස්ථාපිත කිරීම  නව රජයේ බලාපොරොත්තුව බව ද එයට ආරම්භය ගැනීමට සෞඛ්‍ය සේවාව හොදම සේවාවක් බවද පවසා සිටියේ ය.

මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමේ දී අවශ්‍ය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉදිරියේදී සිදුකරන නව බඳවා ගැනීම් වලින් සහ දැනට පුහුණුව ලබන කාර්ය මණ්ඩල වලින් ලබා දීමට කටයුතු කරන බවද, ඊට අවශ්‍ය වන භෞතික සම්පත් ද නොඅඩුව ලබා දීමට ද සැලසුම් කරන බව ද  අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.