ගැරඬිඇල්ල බස් අනතුරින් විපතට පත් මගී ජනතාව මුදා ගැනීමට දායක වූ පිරිස් ඇගයේ

ගැරඬිඇල්ල බස් අනතුරින් විපතට පත් මගී ජනතාව මුදා ගැනීමට දායක වූ පිරිස් ඇගයේ
  • SocialShare:

 කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී මගීන් 84 දෙනෙකු සමගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් විපතට පත් මගීන් මුදා ගැනීමට කැප වූ ප්‍රදේශවාසී ජනතාව ඇගයීම සඳහා විශේෂ උත්සවයක් පසුගියදා(11) කොත්මලේ, රම්බොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සම්පත් දායකත්වයෙන්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මෙම ඇගයීම් උළෙල සංවිධානය කර තිබිණ.

එදින විපතට පත් ජනතාව මුදා ගැනීමට ක්‍ෂණික තීරණ ගනිමින් සංවිධානගතව ක්‍රියාකළ ප්‍රදේශවාසීන් ඉටුකළ කාර්යභාරය පිළිබඳව ගැරඬිඇල්ල ප්‍රජාවට හරසර දැක්වීමත්, ඇගයීමට ලක් කිරීමත් මෙහි මූලික අභිප්‍රාය විය. එමෙන් ම අනතුර දැක බලා ගැනීමට දහස් ගණන් ජනතාව ඒකාරාශී වුව ද ජීවිතය යදින මගීන් මුදා ගැනීමට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ ප්‍රදේශවාසීන් රටට ම ආදර්ශයක් ලෙස සළකා ඔවුන්ට කෘතගුණ දැක්වීම සඳහා මෙම උළෙල සංවිධානය කර තිබිණ.

එහි දී මුදාගැනීමේ ප්‍රජා මෙහෙයුමට නායකත්වය දුන් ප්‍රසන්න, කපිල, එරංග, ගාමිණී යන තරුණයින් ප්‍රමුඛ ප්‍රදේශවාසීන් ක්‍රියාත්මක කළ සහන සේවාව විශේෂ ඇගයීමකට ලක්විය.

අනතුර වීඩියෝ සහ ඡායාරූප ගතකරමින් මෙන් ම දේශපාලනීකරණය කරමින් අවස්ථාවාදී ලෙස කටයුතු කළ පිරිසක් නොවී පුරවැසි යුතුකම ඉටුකළ මොවුන්, ජනතාව අතරින් මතු වූ සුවිශේෂී මිනිසුන් ලෙස ඇගයීමට ලක් විය.

අනතුරින් හානි වූ බස් රථයට සිරවී සිටි මගීන් මුදා ගැනීමට විදුලි උපකරණ ක්‍රියාත්ම කිරීම සඳහා හදිසි විදුලි සම්පාදනයක් ලබාදීමට ඉදිරිපත් වූ නිවෙස් හිමියා ද ප්‍රණාම ප්‍රසාදයට ලක්විය.

එමෙන් ම රම්බොඩ ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමක් ද මෙම අවස්ථාවේ දී සිදුවිය.

මෙම අනතුර සිදුවූ අවස්ථාවේ දී කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ කාර්ය මණ්ඩලය දැක්වූ කඩිනම් සහයෝගය ඇගයීම සඳහා රෝහල් පරිශ්‍රයට ගොස් ඔවුන්ට කෘතඥතාව පුද කිරීමෙන් අනතුරුව රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ පිරිනැමීමක් ද සිදු කෙරිණ.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී අනුෂ්කා දර්ශනී තිලකරත්න මිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනි වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ මිය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීහු සහ සම්පත් දායකත්වය දැක්වූ ආයතනවල නියෝජිතයෝ ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටිය හ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.