රාජ්‍ය මාධ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයේ පවතින බවත් මේවා නවීකරණය විය යුතු බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
නව තරගකාරී වෙළඳපොළට ගැලපෙන ලෙස සහ මහජන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් වෙනස් කළ යුතුයි යන ස්ථාවරයේ රජය පසුවන බව පැවසූ අමාත්‍යවරයා පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් පසුගිය රජයන් විවිධ තීන්දු ගෙන තිබූ බවද අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යන ආයතන දෙකම පාඩු ලබන බැවින් එම ආයතන දෙකම එකතු කර තනි ව්‍යූහයක් යටතට ගෙනආ හැකිදැයි යන කාරණය සම්බන්ධයෙන් ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් අතර මත කිහිපයක් පවතින බවද සඳහන් කළේය.
නව රජය බලයට පත්වූ පසුව යම් සැලැස්මක් ඇතිව මෙම ආයතන මෙම පාඩුවෙන් ගොඩගෙන ලාභ ලබන තැනකට ගෙනඒමට කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් පැවසුවේය. එහි යම් ප්‍රගතියක් මෙම ආයතන තුළ ඇතැයිද පැවසූ අමාත්‍යවරයා එවැනි අවස්ථාවක මෙම ආයතන දෙක ඒකාබද්ධ කිරීමට දැනට පවතින කැබිනට් තීන්දුව හේතුවෙන් සංවර්ධන සැලැස්මට සහ බඳවා ගැනීම් සිදුකිරීමට අපහසු යැයිද පෙන්වා දුන්නේය.
එමනිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ කලින් ලබාදුන් කැබිනට් තීන්දුව අවලංගු කර මෙම ආයතන දෙක වෙන් වෙන්ව පවත්වාගෙන යාමටත්, වෙන් වෙන්ව සංවර්ධනය කිරීමටත් උපායමාර්ග ව්‍යාපාරික සැලැස්මක් ඔස්සේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ ආදායම් තත්ත්වය ඉහල නැංවීමට කටයුතු කරන බවද පැවසුවේය.
එයින් මෙම ආයතන පුද්ගලීකරණය කිරීමක් සිදුවන බවක් අදහස් නොවන බවද පැවසූ අමාත්‍යවරයා පෞද්ගලික අංශයේ අත්දැකීම්ද උපයෝගී කරගෙන මෙම ආයතන වඩා ලාභදායී සහ කාර්යක්ෂම ආයතන බවට පත්කිරීමට උත්සාහ කරමින් සිටින බවද සඳහන් කළේය.
පෞද්ගලික ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා සමග තරගයක් දීමට හැකිවන පරිදි මෙම ආයතන දෙක සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.