රාජ්‍ය අනුග්‍රහයට අමතරව රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන සහායෙන් මෙරට සෞඛ්‍ය සේවාව විශිෂ්ට අයුරින් පවත්වා ගෙන යාමට හැකියාව ලැබී ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මෙරට සංචාරයක නිරතව සිටින ලිංගික හා ප්‍රජනන අයිතිවාසිකම් සඳහා වූ යුරෝපීය පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් වෙනුවෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සංවිධානය කළ විශේෂ උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්ය. උත්සවය පසුගියදා කොළඹ කිංග්බරි හෝටලයේ දී පැවැත්විණි.
ආසියාවේ HIV රෝගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි බවත්, විශේෂයෙන්ම රටේ ජනගහනයට සාපේක්ෂව HIV සමග ජීවත්වන්නන්ගේ ප්‍රමාණය සැළකීමේ දී එය ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රශංසනීය කරුණක් බවත්, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛත්වය ගනිමින් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන් වලට අමතරව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් සිදුකරනු ලබන මෙවැනි අර්ථවත් ක්‍රියාකාරකම් ද බෙහෙවින් හේතු සාධක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සදහා වත්මන් රජය ගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යංශය සක්‍රීයව දායකත්වය දක්වන බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා මෙරට ජීවත්වන සමස්ත ජනතාවට පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්, සෞඛ්‍ය සම්පන්න ජාතියක් උදාකර දීම සදහා වත්මන් රජය නිරතුරුව කැපවී ක්‍රියා කරන බව ද පැවසී ය.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ආරාධනාවක් අනුව මෙරට ට පැමිණි යුරෝපීය පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් පිරිස දින පහක් මෙරට අධ්‍යයන සංචාරයක නිරත වු අතර එම කණ්ඩායම මඩකලපුව, නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල නිරීක්ෂණයේ ද නිරත විය.
එහි දී එම නියොජිතයින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබද පවතින ගැටළු හා ප්‍රවනතාවන් පිළිබදව එම ප්‍රදේශවල ජනතාව සමග මෙන්ම සෞඛ්‍ය අංශයේ නිලධාරීන් සමග ද අදහස් හුවමාරු කර ගැනීමට ද පියවර ගනු ලැබී ය.
ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය, ෆින්ලන්තය, ස්වීඩනය, ඕස්ට්‍රියාව, බෙල්ජියම ඇතුළු තවත් රටවල් කිහිපයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු නියෝජිතයින් මෙම කණ්ඩායමට ඇතුළත් වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ සභාපතිනි අරුණි මාර්සලින්, විධායක අධ්‍යක්ෂ ආචාර්ය රුචිත පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළුව එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.