නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව පුහුණු කිරීමට සුදානම් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ඉංග්‍රීසි භාෂාව ඉගැනීම අවස්ථාවන් පුළුල් කිරීමට මිස සමාජ පරතරය නිර්මාණය කිරීමට මෙවලමක් නොවිය යුතු බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව පුහුණු කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජූනි 03 දින බ්‍රිතාන්‍ය කවුන්සිලය කොළඹදී සංවිධානය කළ "ශ්‍රී ලංකා අධ්‍යාපන සම්මන්ත්‍රණය 2025" හි ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
අනාගත අවශ්‍යතා සමඟ සමපාත වන, සාධාරණ හා සියලු දෙනාටම ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා පුළුල් සහයෝගීතාවයක් අවශ්‍යයි. මේ සඳහා ජාතික හා පළාත් රාජ්‍ය නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශ නියෝජිතයින්, සංවර්ධන හවුල්කරුවන්, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්, ගුරුවරුන් සහ පාසල් නායකයින් ඇතුළු සියලු දෙනාගේ සහය රජයට අවශ්‍ය වෙනවා.
සියලුම සිසුන් සඳහා අවස්ථා නිර්මාණය, ඇතුළත් කිරීම සහ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම මගින් සාධාරණ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ගුරුවරුන් හා ආයතන සවිබල ගැන්වීම මගින් ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම ශක්තිමත් කිරීම සහ නවෝත්පාදනය හා ඉගෙනීම සඳහා ඩිජිටල් මෙවලම් දියුණු කිරීම යන කරුණු ද මේයට අයත් වෙනවා.
ශ්‍රී ලංකාවේ සෑම ශිෂ්‍යයෙකුම නිරන්තරයෙන් වෙනස් වන අනාගතයක් සඳහා සූදානම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් පවතින "භාෂාවට වහල්වීමේ ආකල්පයෙන්" මිදී, ඉංග්‍රීසි භාෂාව සමාජයේ ප්‍රයෝජනවත් මෙවලමක් ලෙස ප්‍රවර්ධනය කළ යුතුය යන්න මා දැඩිව විශ්වාස කරනවා.
ඉංග්‍රීසි භාෂාව, අවස්ථාවන් පුළුල් කරන මෙවලමක් විනා, සමාජ අසමානතාවය පුළුල් කිරීමට හේතු නොවිය යුතුය යන පණිවිඩය සමාජයට ගෙන යා යුතුයි. සමාජ පන්තිය, භූගෝලීය පිහිටීම හෝ පවුල් පසුබිම නොසලකා ඉංග්‍රීසි ඉගෙනීම සඳහා වන ප්‍රවේශය සෑම කෙනෙකුටම ලබා ගත හැකි වියයුතු බව අවධාරණය කළ යුතුයි.
2026 වසරේ දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජය සූදානම් වනවා, එහි දී ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම විභාගයක් සමත් විය යුතු විෂයයක් ලෙස පමණක් නොගෙන, කථනය සහ ලිවීම තුළින් ඉංග්‍රීසි භාෂාව සැබවින්ම භාවිතා කිරීමට සිසුන් දිරිමත් කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.
මෙහිදී දරුවන්ගේ භාෂා භාවිතය පිළිබඳ ඇති බිය අවම කිරීමට ගුරුවරුන් ක්‍රියාකාරීව මැදිහත් වීම ඉතා වැදගත්, ඉංග්‍රීසි කතා කිරීම විදේශිකයන්ට තේරුම් ගත හැකි නම් එය ප්‍රමාණවත් බව දරුවන්‍ට ඒත්තුගැන්විය යුතුයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඇගයීම් ක්‍රමය වෙනස් විය යුතුයි. මේවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අංගයන් ලෙස අප සලකා තිබෙනවා.
නව විෂය මාලාව සාර්ථක කර ගැනීම සඳහා ගුරු අධ්‍යාපන පද්ධති ශක්තිමත් කිරීම, පූර්ව සේවා සහ සේවාස්ථ පුහුණු වැඩසටහන් ශක්තිමත් කිරීම, විෂයමාලා නවීකරණය, නව විෂය මාලාවන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් සූදානම් කිරීම සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්ද සැලසුම් සකස් කර තිබෙනවා.
ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම සලකා, වර්තමානයේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සපයන පාසල් 825 සිට අවම වශයෙන් එය1000 දක්වා වැඩි කිරීමට රජය කටයුතු කරමින් යනවා. ඊට අමතරව, ද්විභාෂා ගුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීමටත්, දැනට සේවයේ නියුතු ගුරුවරුන් සඳහා පුහුණුව ලබා දීමටත් කටයුතු කරමින් යනවා.
ඩිජිටල් තාක්ෂණය, ඉගැන්වීම හා ඉගෙනුම් ක්ෂේත්‍රය සීඝ්‍රයෙන් වෙනස් කරනවා. නමුත් මෙවලම් සඳහා අසීමිත ප්‍රවේශයක් ඇති සිසුන් සහ කිසිදු උපකරණයක් මිලදී ගැනීමට නොහැකි සිසුන් අතර පරතරය තවමත් අපේ පාසල් පද්ධතියේ දකින්න තිබෙනවා. මෙම පරතරය පියවීම රජයේ වගකීමක්, එය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස අවධානයට ලක්ව තිබෙනවා. නවතම තාක්ෂණික මෙවලම් සඳහා සිසුන්ට ප්‍රවේශ විය හැකි වන පරිදි, ගුරුවරුන්ට මෙම තාක්ෂණයන් භාවිතා කිරීම පිළිබඳව පුහුණුව ලබා දීමට අප සූදානම් යැයි කී අග්‍රාමාත්‍යවරිය,
එහිදී ඩිජිටල් ලෝකයේ ඇති අන්තරායන් පිළිබඳවද සැලකිලිමත් විය යුතු බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ගුණාත්මක අධ්‍යාපනයක් පාසැල් දරුවන්ට ලබා දීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදි පැවසුවාය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ නිලධාරීන්, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විද්වතුන්,ගුරුවරුන්,ඇතුළු පාසල් දරුවන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.