ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වත්මන් රජය රටේ දිළිඳු බව තුරන් කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙල සහ ඊට දක්වන ප්‍රමුඛතාවය මෙන්ම උනන්දුව තම සංවිධානයේ සතුටට හේතුවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ ෆ්‍රැන්ව මහතා සඳහන් කළේය. තමා වත්මන් රජයේ කැබිනට් ඇමතිවරු ගණනාවක් මුණ ගැසුනු බවත් ඒ සියළු දෙනාගේ උවමනාව උනන්දුව දුප්පත්කම තුරන් කිරීම බවත් එය ඉතා හොඳ ප්‍රවණතාවයක් ලෙස දකින බවත් ඒ මහතා කියා සිටියේය.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් සමග ඊයේ (27) වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
ලෝකයේ ආහාර පිළිබඳව වැඩ සටහනේ වාර්තාවට අනුව මෙරට වතු ආශ්‍රිතව ආහාර ප්‍රශ්නය ඉතා ඉහල බවත් ඒ සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ උදව් කිරීමට සූදානම් බවත් පැවසූ මාර්ක් ඇන්ඩෲ ෆ්‍රැන්ච් මහතා ඉදිරියේදී දිළිඳු බවින් ජනතාව මුදවා ගැනීම සඳහා රජයේ කැපවීමට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් සඳහන් කළේය.
එහිදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ මෙරට වැඩිම දුප්පත්කම ආහාර ප්‍රශ්න මන්දපෝෂණය වැනි ප්‍රශ්න ඇත්තේ වතු ආශ්‍රිතව බවත් එම වතු ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගත වුවද එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා ලබාදී නොමැති බවත්ය. ඉදිරියේදී එම ජනතාවට ස්ථිර ලිපිනයක් සහිත පර්චස් 10 යේ ඉඩම් කැබැල්ලක නිවසක් ඉදිකර ලබා දීමටත් එම ජන්තාවගේ ආහාර ප්‍රශ්නයේ සිට මූලික ප්‍රශ්න රජයක් විදිහට සම්පූර්ණ කර දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.එමෙන්ම එම ජනතාවට ඇති ආහාර ප්‍රශ්න මෙන්ම සෞඛ්‍ය ගැටළු විසඳීමට රජය පුර්ණ මැදිහත් වීමක් සිදු කරන බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටියේය.
බ්‍රිතාන්‍ය පාලන සමයේ වතු ආශ්‍රිතව ඉදිකල රෝහල් 53 ක් වැසී ගොස් ඇති බවත් එම රෝහල් යලිත් අළුත්වැඩියා කර විවෘත කිරීමට සැළසුම් කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා වතු ආශ්‍රිතව පෙර පාසල් අධ්‍යාපනයේ සිට අධ්‍යාපනයද දියුණු කල යුතුව ඇති බවත් වතුකරයේ අබලන්ව ඇති මාර්ග සේම වැසිකිලි පහසුකම් ආදිය සියල්ල එම ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.
නායයෑම් නිසා විපතට පත්ව වසර දෙකකට අධික කාලයක් අවතැන් කඳවුරුවල සිටි පවුල් 50ක් සඳහා හපුතලේ පුනාගල ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරෙන නිවාස දැක බලා ගැනීමට පැමිණෙන ලෙසට මෙහිදී අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට ආරාධනා කල අතර එම පිරිස එම ආරාධනය පිළිගනු ලැබුවේ ඉදිරි දිනයකදීම එම නිවාස ඉදිකිරීම නිරීක්ෂණය කිරීමට පැමිණෙන බවත් පවසමිනි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතාද එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ ෆ්‍රැන්ච් මහතාද (Marc Andre Franche), එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ නියෝජිත ආචාර්ය ජයිරෝ ඩයස් මහතා( Dr.Jairo Diaz) , ජාත්‍යන්තර කම්කරු සංවිධානය නියෝජිත අනූප් සිං මහතා (Anoop Singh), ඇතුලු නියෝජිතයන් පිරිසක් මේ සඳහා සම්බන්ධ විය.