පරිපූරක වෛද්‍ය සේවාවේ පවතින වෘත්තීය ගැටළු වලට විසදුම් සෙවීමට සාකච්ඡා

පරිපූරක වෛද්‍ය සේවාවේ පවතින වෘත්තීය ගැටළු වලට විසදුම් සෙවීමට සාකච්ඡා
  • SocialShare:

පරිපූරක වෛද්‍ය සේවාවේ පවතින වෘත්තීය ගැටලු වලට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තීය සංගම් කිහිපයක නියෝජිතයින් අතර හමුවක් ඊයේ (21) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා පරිපුරක වෛද්‍ය සේවාවේ ඖෂධවේදීන්, විකිරණ තාක්ෂණවේදීන්,  වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්, භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්සක ආදී සියලු ක්ෂේත්‍රයන් නියෝජනය වන වෘත්තීය සමිති ක්‍රියාකාරකයින් සහ මෙම ගැටළුවලට අදාළ වින්දිතයින් පිරිසක් එක්ව සිටියහ.

පරිපූරක වෛද්‍ය සේවාවන්වල සමහර නිලධාරීන්ට ශ්‍රේණී උසස්වීම් වලදී සිදුව ඇති  අසාධාරණයන්, පළමු ශ්‍රේණියේ සිට අධි ශ්‍රේණියට උසස්වීම් ලබා ගැනීම සදහා සම්පූර්ණ කළයුතු කාර්යක්ෂමතා කඩයිම් විභාගය, කාලසීමාව සහ  යෝජිත කළමණාකරණ පුහුණුව,  පරිපූරක වෛද්‍ය සේවාවේ විශේෂ ශ්‍රේණි  ලබා දීම කඩිනම් කිරීම, පරිපූරක වෛද්‍ය සේවාවේ සිටින සම සෞඛ්‍ය උපාධිධාරීන් සදහා සුදුසු වැටුප් තලයක් ලබා ගැනීම ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මෙහි දී වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් අවුරුදු 12 කින් සහ අවුරුදු 15 කින් උසස්වීම් ලබාගත් කණ්ඩායම් අතර තිබෙන වසර තුනක විෂමතාවය නිවැරදි කිරිමට කඩිනම් විසදුමක් ලෙස රාජ්‍ය සේවා‌ කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරිමටත්, ඊට අදාළ ලිපි හුවමාරු සහ දැනුවත් කිරිම් සිදු කරමින් කඩිනම් විසදුම් ලබාදීමට පිළිබඳව සාධනීය අදහස් දක්වන ලදි. 

වෘත්තිකයින්ට බලපාන වෘත්තිය ගැටලු වලට කඩිනම් විසදුම් ලබාදීමෙන් ඔවුන්ගෙන් කාර්යක්ෂම, ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහි දි අවධාරණය කර සිටියේ ය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන 1) කේ.එම් වත්සලා ප්‍රියදර්ශනී, අතිරේක ලේකම් (පාලන ii) චාමික ගමගේ, අධ්‍යක්ෂ (සැළසුම්) ජානකී විදාණපතිරණ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.