ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනයට විශේෂ වැඩසටහනක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනයට විශේෂ වැඩසටහනක්
  • SocialShare:

ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවීමකට අනූව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

වසංගත රෝග විද්‍යා අංශයේ සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සියලුම අංශ නියෝජනය කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනය සහ පාලනය සදහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග පිළිබඳව ඉතා පුළුල් වශයෙන් සාකච්ඡා කරනු ලැබී ය.
විශේෂයෙන් ම මෙම සාකච්ඡාවේ දී රත්නපුර රෝහල ආශ්‍රිතව පසුගිය දිනවල වාර්තා වූ තත්ත්වය පිළිබඳවත් එමෙන් ම දිවයිනේ අවදානම් දිස්ත්‍රික්කවල වත්මන් තත්ත්වය පිළිබඳවත් මෙහි දී ඉතා ගැඹුරින් කරුණු සොයා බලන ලදී.
මෙහි දී ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය සහ මර්දනය සදහා අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන සැලැස්මක් සකස් කිරීමට අවශ්‍ය මූලික ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු වූ අතර විශේෂයෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ තීන්දු තීරණ රාශියක් ද මෙහි දී ගනු ලැබීය.
එම සැලසුම් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ යුතු බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා එම අවස්ථාවේ දී ම අදාළ නිලධාරීන්ට දැනුම් දෙන ලදී.
මෙම සාකච්ඡාව සදහා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා යන මහත්වරුන් ඇතුළු ව එම අංශවල සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව විශේෂ නිවේදනයක් නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය මෙම වර්ෂයේ ජනවාරි මස 01 වන දා සිට ගත වූ සති 17 ක කාලය ඇතුළත මෙරටින් ඩෙංගු රෝගීන් 18749 ක් වාර්තා වී තිබෙන බවත්, කඩින්කඩ පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවල දී ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවධානමක් පවතින බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.
විශේෂයෙන් ම කොළඹ (මහනගර සභා කොට්ඨාශය ඇතුළත) ගම්පහ, කළුතර, මාතර, ගාල්ල, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය, මහනුවර යන දිස්ත්‍රික්ක අවධානම් දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇති හෙයින් මෙම මාසය (මැයි) විශේෂ මදුරු මර්දන මාසය ලෙස නම්කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත.
පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ස්ථානවලින් චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇති බවත්, චිකුන්ගුන්යා රෝගය ද ව්‍යාප්ත කරනු ලබනුයේ ඩෙංගු රෝග වාහකයා වන ඊඩ්ස් ඊජිප්ටයි සහ ඊඩ්ස් ඇල්බොජික්ටස් යන මදුරු විශේෂය විසින් ම බවත් එබැවින් නිවාස, පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා යන රෝග දෙකම පාලනය කරගත හැකි බව එම නිවේදනය මගින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
ඕනෑම පරිසරයක මෙම මදුරුවන් බෝවීමේ අවදානමක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් නිවාස ඇතුළු සියලු පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන ලෙසත්, උදේ සහ සවස් කාලයේ දී මදුරු දෂ්ටනයෙන් වැලකී සිටීම සදහා ශරීරය ආවරණයවන ඇඳුම් ඇඳීම සහ අනුමත මදුරු විකර්ශක භාවිතා කරන ලෙසට ද එම නිවේදනයේ දී වැඩිදුරටත් සදහන් කර ඇත.
තද උණ සමග හිසරදය,මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතුපැහැ ලප හට ගැනීම හා රුධිර වහන තත්ත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමුවන ලෙස ද, උණ පාලනය කරගැනීම සදහා පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්නා ලෙසත් එම නිවේදනය මඟින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.