උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවයක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවයක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
  • SocialShare:

උතුරු නැගෙනහිර ප්‍රදේශවල  බිම් බෝම්බ  ඉවත් කිරීම  භෞතික අනතුරු ඉවත් කිරීම පමණක් නොවන බවත් , ජනතාවගේ ගෞරවය, ජීවනෝපාය සහ සාමකාමී ජිවන තත්ත්වය යළි ස්ථාපිත කිරීම සඳහා ජාතික අවශ්‍යතාවක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ අද (02)  පැවති  බිම් බෝම්බ ඉවත් කිරීම සදහා වූ  ක්‍රියාකාරී වැඩසටහනේ  පරිත්‍යාගශීලීන් සම්බන්ධීකරණය  හා ඇගයීමේ  උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මෙසේ සඳහන් කළාය.

  බිම්බෝම්බ ඉවත්කිරීමෙි මානුෂිය  ක්‍රියාවලියේ  හවුල්කරුවන් වන  සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා.

 යුද ගැටුම්වලින් පසු ඇති වූ අවශ්‍යතාවයක් වුවත්  බිම්බෝම්බ ඉවත්කිරීම ජාතික වශයෙන් ඉතාම වැදගත් කාරණාවක්. මේ ක්‍රියාවලිය  භෞතිකව  අනතුරු ඉවත් කිරීම පමණක් නෙමෙයි  ජනතාවගේ ගෞරවය, ජීවනෝපාය සහ සාමකාමී අනාගතයක් පිළිබඳ පොරොන්දුව යළි ස්ථාපිත කිරීමක්. 

පාසල් යළි විවෘත කරලා, ළමයින්ට ආරක්ෂිතව සෙල්ලම් කරන්න, ගොවියන්ට  බියෙන් සැකෙන්  තොරව තම ඉඩම්වලට නැවත පැමිණෙන්න සහ ජනතාවට  නැවත ගොඩනැගෙන්න, බිම්බෝම්බ ඉවත් කිරීම ඉතා වැදගත්.

රජයේ සංවර්ධන දැක්ම අනුව සියලු දෙනාට සමාන අවස්ථා ලබා දෙන්න කටයුතු කරනවා. එහිදී  අධ්‍යාපනය, සෞඛ්‍ය, තොරතුරු කළමනාකරණය, සමාජ සුබ සාධනය සහ පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් මේ ක්‍රියාවලිය කඩිනම් කිරීම ඉතා වැදගත්.  මීට පෙර සංවර්ධන ක්‍රියාවලියෙන් සහ මානව ක්‍රියාවලින් ඉවත් කර තිබූ මෙම   ප්‍රදේශ  සමෘද්ධිමත් වීමටත්, අනාගත පරපුරට ආරක්ෂා කිරීමටත්, කෘෂිකර්මාන්තය සහ දේශීය ආර්ථිකය ඉහළ නැංවීමට සහ පාරිසරික තිරසාරභාවය ඇතිකිරීමට බිම්බෝම්බ ඉවත් කිරීම තුළින් අවස්ථාව ලැබෙනවා.

උතුරු නැගෙනහිර  වර්ග කිලෝමීටර් 23 ක පමණ භූමි ප්‍රමාණයක් තිබෙන බිම්බෝම්බ නිසා ජනතාවට භාවිත කරන්න බැහැ. ඒ නිසා බිම් බෝම්බ ඇති ප්‍රදේශ කඩිනමින් ජනතාවට භාවිත කළ හැකි තත්ත්වයට පත්කර ගත යුතුයි. ඒ වගේම  2028 ජූනි 01 වන දිනට පෙර පුද්ගල නාශක බිම් බෝම්බ ඉවත් කිරීමට අදාළ සම්මුතියේ 5 වන වගන්තියේ  ඇති බැඳීම් සපුරාලීමට රජය කැපවී සිටිනවා.

  සෑම බිම් බෝම්බයක්ම ඉවත් කිරීම ජනතාවගේ යහපතට සහ  රටේ අනාගතයට ඉතා වැදගත් බවත්, එබැවින්  ජාත්‍යන්තර ප්‍රජාවෙන් අඛණ්ඩ සහයෝගය  ඉදිරියටත් බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙහිදී  ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ  ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ  (NMAC) නිල වෙබ් අඩවිය  විවෘත කිරීම සහ උතුරු පළාත් පාසල් සිසුන් වෙනුවෙන් පවත්වන ලද  චිත්‍ර ප්‍රදර්ශනයේ  ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය සිදුකළ අතර පරිත්‍යාගශීලී රටවල නියෝජිතයින්ට ඔවුන්ගේ සහයෝගය වෙනුවෙන් සමරු ඵලක පිරිනැමීම ද සිදු කෙරිණ.

මෙම අවස්ථාවට විදේශීය නියෝජිතයින්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු අමාත්‍යාංශ නියෝජිත පිරිසක් සහභාගී විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.