පූජ්‍ය තිස්සව සුමනානන්ද නායක හිමියන්ට කුරුණැගල දිසාවේ අධිකරණ සංඝනායක පදවිය අගමැතිනිය අතින් පිරිනමයි

පූජ්‍ය තිස්සව සුමනානන්ද නායක හිමියන්ට කුරුණැගල දිසාවේ අධිකරණ සංඝනායක පදවිය අගමැතිනිය අතින් පිරිනමයි
  • SocialShare:

ශ්‍රි ලංකා අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ කුරුණැගල දිසාවේ අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය පූජ්‍යපාද තිස්සව සුමනානන්ද නායක හිමියන් වෙත පිරිණැමීම ඊයේ (26) දින කරතන ගල්ලෙන් විහාරයේදී සිදු විය.

ශ්‍රි ලංකා අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ මහා ලේඛකාධිකාරි බැරගම විමලතිස්ස නායක හිමියන් විසින් සන්නස් පත්‍රය කියැවීම සිදු කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය විසින් පුජ්‍යපාද තිස්සව සුමනානන්ද හිමියන් වෙත කුරුණැගල දිසාවේ සංඝනායක පදවිය පිලිබඳ සන්නස්පත්‍රය පිරිනැමිණි. විජිනිපත පිරිනැමීම කෘෂිකර්ම, පශුසම්පත් සහ වාරිමාරිග අමාත්‍ය නාමල් කරුණාරත්න විසින් සිදු කළේය.

මෙහිදී පැවිදි අනුශාසනාව සිදුකළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි මහාචාර්ය තුමුල්ලේ සිලක්ඛන්ධ ස්වාමීන්වහන්සේ,

ප්‍රදේශීය සහ ජාතික මට්ටමින් ආගමික ශාසනික කටයුතුවලදී ඉදිරිපත් වී ක්‍රියා කරන කැපී පේන චරිත ලක්ෂණ ඇති තරුණ ස්වාමීන් වහන්සේ නමක් හැටියට තිස්සව හිමියන් අපි හඳුනාගෙන තියෙනවා. මේ ඓතිහාසික කරතන ගල්ලෙන් විහාරස්ථානයේ වැඩ සිටි අපේ ගරු කටයුතු ලොකු හාමුරුවන් වහන්සේගෙන් පසුව සුමනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි ආධිපත්‍යයට පත්වෙලා දැන් වසර විස්සකට වැඩි කාලයක්. මේ කාලය තුළ උන්වහන්සේ විසින් මේ විහාරාංග සම්පූර්ණ කරන්නට ඒ වගේම දහම් පාසල ඉතාම ඉහළ මට්ටමකට ගෙනෙන්නට ඒ වගේම තමන් වහන්සේගේ පැවිදි ජීවිතයට අදාල ඒ ශාසනික යුතුකම් ඉෂ්ට කරන්නට දක්වා තිබෙන කැපවීම හැමදෙනාගේ ගෞරවයට හේතුවන කාරණයක් යැයි පැවසුහ.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පූජ්‍ය තිස්සව සුමනානන්ද හිමියන් මුළු ජාතියටත්, රටටත් ආඩම්බරයක් වෙන විදියට විශාල සේවාවක් කළ ස්වාමීන් වහන්සේ නමක්. කුඩා කාලයේම සසුනට ඇතුළත් වෙලා වියත් භික්ෂූන් වහන්සේලා යටතේ මූලික අධ්‍යාපනය ලබලා, අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයට ඇතුළත් වී උපාධිය ලබා ගත්තා. ඉතාමත්ම නොදියුණු තත්ත්වයක පැවැති කරතන ගල්ලෙන් විහාරයට වැඩම කරලා, ප්‍රදේශයේ දායක දායිකාවන්ගේ උදව් ද ඇතිව මේ විහාරස්ථානය දියුණු කරන්න කටයුතු කළා. ප්‍රදේශයේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමට මුලිකත්වය ගෙන කටයුතු කළා පමණක් නෙමෙයි, ඉංග්‍රීසි හා පරිගණක අධ්‍යාපනය ද නොමිලේ ලබා දීමට කටයුතු කළා.

2004 වර්ෂයේ ඇති වු සුනාමි ව්‍යසන අවස්ථාවේ සිට කොරෝනා වසංගත අවස්ථාව දක්වා ඇති වු සියළුම ව්‍යසනකාරී අවස්ථාවන්හිදී පීඩාවට පත් වූ මහජනතාව වෙනුවෙන් දැක්වූ දායකත්වය කෘතඥතා පුර්වකව සිහිපත් කරනවා.

ජාතික සහ ආගමික පොදු කටයුතුවලදී මූලිකත්වය අරගෙන ජාතික දේශපාලනයේදිත් නායකත්වය ලබාදීලා කරන්නා වු සේවාව කාගේත් ගෞරවයට පාත්‍රවිය යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රි ලංකා අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ අනුනායක කැන්දලියද්ද පාලුවේ සිරිනන්දාභිධාන නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය දිසානායක, සුජීව දිසානායක යන මහත්වරුන්, මහජන නියෝජිතයින් සහ ගම්වාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.