ලෝක මැලේරියා දිනය අද (25) දිනට යෙදී තිබේ.
ඒ වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” යන්න තේමා කර ගනිමින් මැලේරියා මර්දන සැමරුම් පාගමනක් අද (25) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මෙම පා ගමන සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයෙන් ආරම්භ ව කොළඹ විහාරමහාදේවි උද්‍යානය දක්වා ගමන් ගන්නා ලදි.
2025 ලෝක මැලේරියා දිනය සමරන විට ශ්‍රී ලංකාවේ මැලේරියා තුරන් කිරීමේ තිරසාර 12 වසර සැමරීම සදහා සහ මැලේරියා වැළැක්වීම පිළිබඳ ව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම පාගමන පැවැත්විනි.
ශ්‍රී ලංකාව මැලේරියාව සාර්ථකව තුරන් කර ඇතත්, මැලේරියා ආවේණික රටවලට යන ජනතාවට අවදානම පවතින අතර, එම සංචාරකයින් සදහා වැළැක්වීමේ ප්‍රතිකාර පිළිබඳ දැනුවත් කිරීම සහ විදෙස්ගත පුද්ගලයින් ආපසු පැමිණිමෙන් පසු පරීක්ෂා කිරීමේ වැදගත්කම ප්‍රවර්ධනය කිරීම ද ප්‍රධාන අරමුණු කරගෙන මෙම පාගමන පවත්වනු ලැබීය.
මෙම පාගමනෙන් අනතුරුව විහාරමහාදේවී උද්‍යානයෙ හි ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවැති රැස්වීමේ දී අතීතයේ සිට මේ දක්වා මැලේරියා රෝගය ව්‍යාප්තිය, පාලනය සහ මර්දනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ ආකාරය පැහැදිලි කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වාහක මර්දනයෙන් පමණක් මැලේරියා රෝගය තුරන් කළ නොහැකි බවත්, පරපෝෂිතයින් විනාශ කිරීම ද ඉතා වැදගත් බව ද පෙන්වා දෙන ලදි. රෝගීන් කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම මගින් මිනිස් සිරුරේ පරපෝෂිතයින් විනාශ කළ හැකි බවත් මේ අනුව මෙම ක්‍රමවේදයන් දෙකම මැලේරියා රෝගය මර්දනයේ දී ඉතා වැදගත් පියවර වන බව ද පෙන්වා දෙන ලදි.
අද වන විට ආනයනික රෝගීන් හදුනා ගැනීම ත්‍රස්තවාදියෙක් හදුනා ගැනීම මෙන් අපහසු බවත්, පෙරටත් වඩා වෙනස්වීම් පිළිබදව ද අවධානය යොමු කරමින විද්‍යා ඥානය සමග ක්‍රියාකාරී වීම වැදගත් වන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී පැවසීය. හදුනා නොගන්නා රෝගීන්‌ගෙන් මැලේරියාව සම්ප්‍රේෂණය විය හැකි බැවින් ආනයනික රෝගීන් කලින් හදුනාගෙන ප්‍රතිකාර කිරීම සහ ජනතාව දැනුවත් කිරිම සදහා විශාල වැඩකොටසක් සිදු කිරීමට සිදුව ඇති බව ද ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.
මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා කියා සිටියේ ලෝක මැලේරියා දිනයට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මැලේරියා මර්දන ව්‍යාපාරය කටයුතු යොදා ඇති බවයි.
අතීතයේ මාරාන්තික වසංගතයක් බවට පත්ව තිබු මැලේරියා රෝගය මුළුමනින්ම තුරන් කළ රටක් ලෙස 2016 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබුණත් මෑතකදී විටින් විට විවිධ ප්‍රදේශවලින් මැලේරියා රෝගීන් හමුවී තිබුණි. මැලේරියාව මේ වනවිට ලෝකයේ බොහෝ රටවල පැතිරී තිබෙන අතර, එය පරිපෝෂිතයෙකුගෙන් බෝවන රෝගයකි. මෙරටින් 2023 වසරේ මැලේරියා රෝගීන් 62 ක් හදුනාගෙන ඇති අතර, 2024 රෝගීන් 38 ක් ද හදුනාගෙන ඇත. මෙම සියලු රෝගීන් විදේශීය රටවල සිට මෙරටට පැමිණි අය වේ. 2025 වසරේ මේ වනවිට මැලේරියා රෝගීන් 14 දෙනෙකු හදුනාගෙන ඇති අතර, මෙම පිරිසේ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්, වන්දනාකරුවන් සහ විදෙස්ගත වන ලද පිරිස් ඇතුළත් වන බව මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. මැලේරියා රෝගයේ රෝග ලක්ෂණ ලෙස උණ, හිසරදය, ඇඟපත රුදාව, ඇතැම් අවස්ථාවල හුස්මගැනීමේ අපහසුතා වන බව ද පෙන්වා දෙයි.
මෙම පාගමන සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආර්නල්ඩ්, මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ, මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න, මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පුබුදු චූලසිරි, ක්ෂය රෝග මර්දන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා, සංක්‍රමණය සදහා ජාත්‍යන්තර සංවිධානයේ (International Organization for Migration) නියෝජිතයින් ඇතුලු ක්ෂේත්‍ර කාර්ය මණ්ඩල එක්ව සිටියහ.