කලාව වෙනුවෙන් දීර්ඝ කාලීන ආයෝජනයන් සිදුකරන, කලාව තුළ ජීවත් විය හැකි තත්ත්වයක් රටතුළ නිර්මාණය විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අරලියගහ මන්දිරයේ 06 දින පැවති 44 වන යෞවන සම්මාන උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සුභපැතුම් එක්කරමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් කළාය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
කලා කෘතියකින් අපි බලා පොරොත්තු වෙන්නේ රසවින්දනය වගේම ප්‍රේක්ෂකයාට යමක් හිතන්නට ඉඩ සැලසීම සහ සමාජයට යම් පණිවුඩයක් ලබා දීමයි. මෙි මගින් ප්‍රේක්ෂකයා එහෙම නැත්නම් පරිශීලකයා වගේම නිර්මාණකරුවාත් තෘප්තිමත් වෙනවා. ඒත් සමහර නිර්මාණ ප්‍රේක්ෂකයා අපහසුතාවට පත්කරනවා. ඒ අපහසුතාව තුළින්මත් සමහරු හිතන්න පෙළඹෙනවා. එවැනි කලා නිර්මාණ අපි දැක තිබෙනවා. තරුණ සේවා සභාවෙන් දැනුම හා පන්නරය ලබා ගත් අපේ කලා ශිල්පීන් අදටත් කලා ක්ෂේත්‍රයේ වැජඹෙමින් සාර්ථකව නිර්මාණකරණයේ යෙදෙනවා. රසික ආදරය ලබනවා. අදටත් අපි එය අත් දකිනවා. ඔවුන් අද පායලා හෙට බැසයන තරු නෙවෙයි කලාව තුළ දිදුළමින් අපිට ආලෝකයක් ලබා දෙනවා. සහකම්පනයෙන් යුතු බුදිධිමත් තරුණ ප්‍රජාවක් බිහි කිරීමට කලාව අත්‍යවශ්‍යයි. කලාව ඇසුරු කරමින් වැඩෙන දරුවා අනාගතයේ සම්පූර්ණ වූ මිනිසෙක් බවට පත්වෙනවා. ඔවුන් එකිනෙකාගේ ගුණ සුවඳ හඳුනන පරිකල්පන ශක්තියක් ඇති පිරිසක් බවට නිරායාසයෙන් පත්වෙනවා.
වර්තමානයේ උසස් කලා නිර්මාණකරුවන්ගේ හිඟයක් පවතින බව අපි සියළු දෙනාම පිළි ගන්නවා. අතීත කලාකරුවා තම නිර්මාණ ශක්තිය හා දක්ෂතාවය මත නිර්මාණ සිදුකළා. එමගින් මුල්‍යමය ලාභයක් බලාපොරොත්තු වුණේ නැහැ. මුදල් මූළික අවශ්‍යතාව නොවුණ යුගයක් තිබුණා. හැබැයි මුදල් නැතුව අද නිර්මාණ කරන්න බැහැ. අද එහෙම දීර්ඝ කාලිනව ආයෝජනයක් කරලා නිර්මාණය කරන්න පෙළඹෙන්නේ නැහැ. අද විවිධ තත්වයන් හේතුවෙන් කලාව තුළ ජීවත් වීම අමාරු තත්වයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. මෙවැනි කාලයක ජාතික තරුණ සේවා සභාවේ මේ ක්‍රියාව ප්‍රශංසනීයව ඇගයීම කළ යුතුයි. තරග ඉසව් 91ක් යටතේ ග්‍රාමීය මට්ටමින් තරග පවත්වලා අද ජාතික මට්ටමින් ඔවුන් ඇගයීමට ලක් කරනවා. එය ජාතියක් ගොඩනැගීමේ රජයේ උත්සාහයට තරුණ සේවා සභාව ලබා දෙන අත්වැලක් ලෙසයි මම දකින්නේ. වේදිකාව, සිනමාව සහ පුංචිතිරය තුළ කලා හැකියාවන් පෙන්නුම් කරන ප්‍රවීණ කලාශිල්පීන් රාශියක් මෙම යෞවන සම්මාන උළෙල හරහා රටට බිහි කර තිබෙනවා. සම්මාන ලබන අංකුර කලාකරුවන් ඒ අඩිපාරේම යනු ඇතැයි මම විශ්වාස කරනවා ඔවුන් මේ කලා කෙතේ ඊළඟ පුරුක බවට පත්වෙයි.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල කලා සංස්කෘතික රස වින්දනය සහ විනෝදාස්වාදය යටතේ ඇති අරමුණු සාක්ෂාත් කර ගන්නටත්, සංස්කෘතියෙන් දියුණු පුද්ගලයින් බිහි කිරීමටත් ගන්නා මේ උත්සාහය වෙනුවෙන් කැපවෙන සියලු දෙනාට ස්තුතිය පුදකරනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.