වගා හානි සඳහා වන්දි ලබාදීම කඩිනමින් අවසන් කරන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

වගා හානි සඳහා වන්දි ලබාදීම කඩිනමින් අවසන් කරන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
  • SocialShare:

වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන සහ එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති වෙනුවෙන් නිසි අයුරින් යෙදවීම පිළිබඳ සොයා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

කෘෂි දත්තවල පවතින අසම්පූර්ණ බව හේතුවෙන්, තීරණ ගැනීමේදී සිදු වන දෝෂ පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.

කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ තුළ සාධාරණ මිලක් ලබා දෙමින් ගොවියා ආරක්ෂා කිරීම මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණයක් සිදු වන පරිදි මිලගණන් තීරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

පශු සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු පියවර, අපනයන කෘෂි භෝග ප්‍රවර්ධනය, මිල්කෝ ආයතනයේ මෙහෙයුම් හා එහි ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ.එස්.ආර්.ඩී. සමරසිංහ, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්ලන්ද, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ.එල්. සන්දික යන මහත්ම මහත්මීහු සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.