Danusha Marine සමාගම විසින් මෙරට නිෂ්පාදිත විශාලතම ධීවර යාත්‍රාව එළිදැක්වීම ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 03 වන දින, දික්කෝවිට ධීවර වරායේදී උත්සවාකාරයෙන් පැවැත්විණී.
මීටර් 24 ක දැවැන්ත මෙම ධීවර යාත්‍රාව, සෝමාලියාවෙන් ලැබුණු ඇනවුමකට අනුව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නවීන තාක්ෂණයට අනුකූලව නිපදවා තිබීම විශේෂත්වයකි. Danusha Marine සමාගම, දකුණු කොරියාව, කෙන්යාව, ස්වීඩනය, නෝර්වේ ඇතුළු විදෙස් රටවල් රැසකටම ධීවර යාත්‍රා නිෂ්පාදනය කර අපනයනය කරනු ලබයි.
එහිදී අදහස් පළ කළ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කළේ, පසුගිය මාස 3ක කාලය තුළ ධීවර අමාත්‍යාංශයේ ක්‍රියාකාරිත්වය ඉතා සැලකිල්ලෙන් අධීක්ෂණය කළ බවත්, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බොහෝ ආයතන පසුගිය කාලයේදී විශාල පසුබෑමකට ලක්ව තිබූ බවත්ය.
90%ක් දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටියදීත්, දේශපාලන බලපෑම් නිසා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය නිසි ලෙස භාවිතා කිරීමට නොහැකි වූ බව අමාත්‍යවරයා කණගාටුවෙන් ප්‍රකාශ කළේය. එසේ නමුත්, වර්තමානයේ යහපත් නායකත්වයක් ලැබී ඇති බැවින්, අමාත්‍යාංශයේ සියලුම කාර්ය මණ්ඩල නිදහස්ව හා දේශපාලන
බලපෑමකින් තොරව කාර්යක්ෂමව සේවය කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Danusha Marine සමාගමේ සභාපති සුමිත්‍ර ප්‍රනාන්දු මහතා වැනි දක්ෂ ව්‍යවසායකයින් බිහිවීම රටට අවශ්‍ය බවත් වැඩිදුරටත් පැවසීය. ඉදිරියේදී මෙවැනි ධීවර යාත්‍රා පමණක් නොව, විශාල නැව් පවා මෙරටදීම නිෂ්පාදනය කිරීමට හැකි විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එම අවස්ථාවට එක්වූ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව විශිෂ්ට මානව සම්පතකින් පිරිපුන් රටක් වන අතරම, භූ දේශපාලනික පිහිටීම අතින් ද ලංකාව ලෝකයේම සුවිශේෂී රටක් බවය. තවද, මෙවැනි ධීවර බෝට්ට නිෂ්පාදනය මගින් ශ්‍රී ලංකාවට ධීවර බෝට්ටු නිෂ්පාදනයේ හැකියාව ඇති බවට ලෝකයටම පසක් කරවන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන ධීවර බෝට්ටු, මීළඟ පියවර වශයෙන් දේශීය ධීවර කර්මාන්තයේ නියැලෙන්නන් වෙත ලබා දිය යුතු බව සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේය. තවද, මෙතැනින් නොනැවතී දේශීය යාත්‍රා නිෂ්පාදනය දක්වා ඉදිරියට යා යුතු බවටත්, තාක්ෂණය තවදුරටත් දියුණු කළ යුතු බවටත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම දැවැන්තම ධීවර යාත්‍රාව එළිදැක්වීමේ උත්සවය සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, Danusha Marine සමාගමේ සභාපති සුමිත්‍ර ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ලේකම්, සම්පත් මන්ත්‍රීනායක මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.