සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ රජයට බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයෙන් පැසසුම්

සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ රජයට බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයෙන් පැසසුම්
  • SocialShare:

මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීම සඳහා බාධාවක්ව තිබූ 18 % ක ආනයනික ඇසුරුම් ද්‍රව්‍ය සදහා වූ vat (වැට්) බද්ධ මෙවර අයවැයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් කර දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට සහ රට තුළ ඖෂධ සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු වත්මන් රජය ගත් ප්‍රශස්ථ තිරණයට බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයේ විශේෂ ස්තූතිය පිරිනමන බව එම සංගමයේ වත්මන් සභාපති නලීන් කන්නන්ගර මහතා පැවසී ය.

සභාපතිවරයා මෙම කරුණු අනාවරණය කළේ බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයේ වෙබ් අඩවිය (www.slpma.lk) එළිදැක්වීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට සමාගාමීව අදහස් දක්වමින් ය.
බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයේ වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවය කොල්ලුපිටිය SHERATON හෝටලයේ දී පසුගිය දා පැවැත්විණි.
මේ වන විට රජයේ රෝහල්වල ඖෂධ අවශ්‍යතාවයෙන් 30% පමණ සපයනු ලබන්නේ බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය විසින් බවත්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීම සදහා බාධාවක් ව තිබූ ආනයනික ඇසුරුම් ද්‍රව්‍ය සදහා වූ 18 % vat බද්ධ දේශීය කර්මාන්තය අධෛර්‍යමත් කිරීමට පසුගිය කාලයේ දී විශාල වශයෙන් බලපෑ බව ද සභාපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.
වර්තමානය වන විට මෙරට තුළ බටහිර ඖෂධ නිෂ්පාදනයේ විශාල පිබිදීමක් සහ වර්ධනයක් ඇති වී තිබෙන බවත්, රට තුළ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 27 ක් පවත්වා ගෙන යන බවත්, එම කර්මාන්තශාලාවලින් තත්ත්වයෙන් උසස්, ගුණාත්මකභාවයෙන් ඉහළ, නිෂ්පාදනය වෙළද පොළ වෙත බෙදා හරින බව ද, වත්මන් රජය ලබා දුන් මෙම සහනය පෙරලා ජනතාවට ම ලබා දෙන බව ද වත්මන් සභාපති නලීන් කන්නන්ගර මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.
1963 වර්ෂයේ දී බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය පිහිටුවන ලද අතර එය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ලියාපදිංචි ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක විය. බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය දේශීය පුද්ගලික ඖෂධ නිෂ්පාදකයින් 27 දෙනෙකුගෙන් සමන්විත වේ.
බටහිර ඖෂධ දේශීය නිෂ්පාදක සාමාජිකයන්ගේ කර්මාන්ත ශාලාවලින් නිපදවන ඖෂධ වලින් 35% රජයේ රෝහල්වල භාවිතයට ගනු ලබයි. පෞද්ගලික අංශයේ ඖෂධ ශාලාවල අලෙවි කරනු ලබන ඖෂධවලින් 95% ක් විදේශයෙන් ගෙන්වනු ලබන ඖෂධ වන අතර මෙරට නිෂ්පාදිත දේශිය ඖෂධ 5% ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ ඖෂධ ශාලාවල අලෙවිකරනු ලබයි. වර්තමානය වන විට මෙරට නිෂ්පාදනය කරනු ලබන බටහිර ඖෂධ වර්ග ප්‍රමාණය 350 කි.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයන අතර ම පෞද්ගලික ඖෂධ ශාලාවලින් ඖෂධ මිලදී ගන්නා ජනතාවට ද ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව සහ සාධාරණ මිලකට ලබා දීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජිකයන් හමුවේ මෙහි දී පැවසී ය.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යාමේ දී රජයේ දායකත්වය පමණක් නොව පෞද්ගලික අංශයේ දායකත්වය ද සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යවන බව මෙහි දී පෙන්වා දුන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදන අංශයේ කටයුතු කරන නිෂ්පාදකයින්ට වත්මන් තත්ත්වයට පැමිණිමට අධ්‍යයන කටයුතු සිදුකිරීමට, දැනුම ලබාගැනීමට ඔවුන් වෙනුවෙන් රජයේ බදු මුදල් විශාල ප්‍රමාණයක් වැය කර තිබෙන බව ද සිහිපත් කර සිටි අතර එම වගකීමෙන් ඖෂධ නිෂ්පාදන අංශයේ කටයුතු කරන නිෂ්පාදකයින්ට ගැලවීමට නොහැකි බව ද අවධාරණය කර සිටියේ ය.
වත්මන් රජය දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධව කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් රජයක් ලෙස ලබා දෙන බව ද ප්‍රකාශ කර සිටියේ ය. මෙහි දී කිසිඳු ආකාරයක දේශපාලන හිතවත්කම් හෝ වෙනත් ආකාරයේ සම්බන්ධකම් අනවශ්‍ය බව සහතික කළ ඒ මහතා ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින්ට රජයක් ලෙස අවශ්‍යවන පහසුකම් නිබඳව ලබා දීමට කටයුතු කරන බව ද පැවසී ය.
මෙම අවස්ථාවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ,රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්, බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති දිනේෂ් අතපත්තු, භාණ්ඩාගාරික හේමසිරි පෙරේරා, හිටපු සභාපති කලණ හේවමල්ලික යන මහත්වරුන් ද එම සංගමයේ විධායක කමිටුවේ සහ සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.