• මෙරට ස්ථාපිත දෙවන දන්ත වෛද්‍ය පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරීමටත් පියවර
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ දන්ත වෛද්‍ය සිසුන් 145 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරත වන අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන දන්ත වෛද්‍ය සිසුන් ලබන වසර මැද භාගයේ දී අනිවාර්යෙන් ම මහාචාර්ය පුහුණුව සදහා යොමුකළ යුතු වුවත් ඒ සදහා මෙතෙක් නිශ්චිත සැලසුම් සම්පූර්ණ නොවීම මහත් ගැටලුවක් ව පැවතුණි.
මේ පිළිබඳව දැනුවත් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත පීඨය සහ මෙයට සම්බන්ධ සෙසු ආයතන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසි සාකච්ඡාවක් කැඳවු අතර එහි දී එම දන්ත වෛද්‍ය සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීමේ ගැටළුවට කඩිනම් විසඳුමක් ලෙස කළුබෝවිල ශික්ෂණ රෝහලේ සහ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ දී විධිමත් අයුරින් එම පුහුණුව ලබා දීමට තීරණය කරන ලදී.
කළුබෝවිල ශික්ෂණ රෝහලට සහ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය සඳහා අවශ්‍ය වන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, දන්ත තාක්ෂණ නිලධාරීන් මෙන් ම අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් අනුයුක්ත කිරීමටත්, අවශ්‍ය උපකරණ හැකි ඉක්මනින් ලබා දීමටත් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
එමෙන් ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක්, මහරගම මුඛ සෞඛ්‍ය ආයතන පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමටත් මෙහිදි තීරණය වූ අතර මේ සදහා නිසි සැලසුමක් යටතේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
මෙරට ස්ථාපිත වූ දෙවන දන්ත වෛද්‍ය පීඨය ලෙස 2022 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ වූ මෙම දන්ත වෛද්‍ය පීඨය අංගම්පූර්ණ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙහි දී පැවසී ය.
මෙම සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන වත්සලා ප්‍රියදර්ශණී, චාමික ගමගේ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය චන්දන ගජධීර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය පත්මලාල් එම්. මානගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරංගි ජී.යසවර්ධන, මහාචාර්ය හේමන්ත අමරසිංහ, මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය මනෝජ් ජයකොඩි යන මහත්ම මහත්මීන් ද මෙයට සම්බන්ධ සියලු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.