ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය නැරඹිමේ සංචාර සඳහා අයදුම් කිරීමට නිළ වෙබ් අඩවියක්

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය නැරඹිමේ සංචාර සඳහා අයදුම් කිරීමට නිළ වෙබ් අඩවියක්
  • SocialShare:

ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය නැරඹිමේ සංචාර සඳහා අයදුම් කරනු ලබන ආයතන සහ පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් නාවික හමුදාව විසින් නිර්මාණය කළ, visitdockyard.navy.lk නව වෙබ් අඩවිය නිළ වශයෙන් ආරම්භ කිරීම, පසුගිය දා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් නාවික තඨාකාංගණයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේදී සිදු කෙරිණි.

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය හරිත ගහනයෙන් වැසුනු හා නිල් සයුරෙන් වටවූ මනස්කාන්ත භූමි ප්‍රදේශයක් වේ. නාවික ‍කෞතුකාගාරය ඇතුළු තඨාකාංගණය තුල ඇති ‍‍ඓතිහාසික වටිනාකමක් ඇති දර්ශණිය ස්ථාන නැරඹීම සඳහා පාසල් ළමුන්, විවිධ සංවිධාන හා ආයතන ඇතුළු විශාල සංචාරකයන් පිරිසක් දෛනිකව පැමිණේ. එලෙස, නාවික තඨාකාංගණ පරිශ්‍රයට පැමිණෙන සිවිල් වැසියන් සඳහා පරිසර සංරක්‍ෂණය සම්බන්ධ පනිවුඩයක් ලබා දී, පරිසරය රැකගැනීම වෙනුවෙන් නාවික හමුදාවේ ආදර්ශය සමාජගත කිරීම වෙනුවෙන්, 2019 වර්ෂයේ ජුනි මස 21 වැනි දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය, ‘නීල හරිත පාරාදීසයක්’ ලෙස නම් කෙරිණි.
ඒ යටතේ, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් රථ වාහන සහ පුද්ගලයින් ඇතුළුවීමේදී සහ පිටවිමේදී Smart Card ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම, සුර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වීදි ලාම්පු ස්ථාපිත කිරීම, තඨාකාංගණය තුළ ප්‍රවාහන පහසුකම් සඳහා විදුලියෙන් සහ සුර්‍ය බල ශක්තියෙන් ක්‍රියාත්මක පරිසර හිතකාමී රථ හඳුන්වාදීම, අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් පොහොර සකස් කිරීම ඇතුළු පරිසර සංරක්ෂණ ව්‍යාපෘති ගණනාවක් නාවික හමුදාව විසින් ආරම්භ කෙරිණි.
ඒ අනුව, එවැනි පරිසර සංරක්‍ෂ‍ණ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මකවන ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය නැරඹිම සඳහා අයදුම් කරනු ලබන බාහිර පුද්ගලයින්ට visitdockyard.navy.lk අඩවියට පිවිසිමෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සංචාර සඳහා අයදුම් කිරීමටත්, එම අයදුම් පත් සම්බන්ධයෙන් වන ඉදිරි පියවර අධික්ෂණය කිරීමටත් සහ එහි අනුමැතිය හා වෙනත් දැනුවත් කිරීම් මාර්ගගත ක්‍රමය ඔස්සේ විද්‍යුත් පණිවුඩ මඟින් ලබාගැනීමේත් පහසුකම මෙම නව වේබ්අඩවිය ආරම්භ කිරීම මඟින් හිමි වේ.
තවද, නැගෙනහිර නාවික විධාන තොරතුරු තාක්ෂණ අංශය මඟින්, නාවික හමුදාවේ පවත්නා ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සංවර්ධනය කෙරුණු මෙම visitdockyard.navy.lk නව වෙබ් අඩවිය ආරම්භ කිරිම මඟින්, දෛනිකව ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය නැරඹිම සඳහා පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් වන පරිපාලන කටයුතු ඉතා කාර්යක්ෂමව සිදු කර, වඩාත් ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් පහසුකම් හා සේවාවන් සංචාරකයින් වෙනුවෙන් ලබාදීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.