තැපැල් සේවාවේ ජාතික පුනරුදයක් වත්මන් රජය ඇති කරමින් පවතින බවත් 152 තැපැල් දිනය ඉලක්ක ජයගත් තැපැල් දිනයක් ලෙස සැමරිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
සුවහසක් ජනයාගේ සතුට, බලාපොරොත්තු, හා ආදරය ගම් නියම්ගම් පුරා මෙන්ම ලොව පුරා බෙදාහරින තැපැල් සේවාව සමරන ලෝක තැපැල් දිනය අද (09) දිනට යෙදී ඇත.
ඒ වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
151 වන ලෝක තැපැල් දිනය මෙලෙස මෙම වර්ෂයේ දී සමරනු ලබන අතර, මෙරට සමරනු ලබන 56 වන ජාතික තැපැල් දින සැමරුම් උත්සවය ද මෙය වේ.
තැපැල් සේවාවට දීර්ඝ ඉතිහාසයක් සහ ආර්ථික වැදගත්කමක් සහිත සේවාවක් බවත් තැපැල් සේවාවේ ජාතික පුනරුදයක් වත්මන් රජය ඇති කරමින් පවතින බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසීය. තැපැල් සේවාව අනෙක් දෙපාර්තමේන්තු මෙන් නොව සේවා සපයමින් ආදායම් ඉපයීම ද සිදු කරන බවත් එය සුවිශේෂි බව ද අවධාරණය කරන ලදි.
සපයන සේවා ශක්තිමත් කිරීමට මානව සම්පත් සංවර්ධනය, ගොඩනැගිලි සංවර්ධනය, නවීන තාක්ෂණයෙන් යුක්ත කිරීමට රජය කටයුතු කරන බවත්, සියළු තැපැල් කාර්යාල ව්‍යවසායික මධ්‍යස්ථාන බවට පත් කිරීමේ වගකීම සියළු තැපැල් සේවකයින් සතු බවත් ඒ සඳහා ශක්තිමත් මානව සම්පතක් තැපැල් සේවාව සතු බව ද පෙන්වා දෙන ලදි.
152 තැපැල් දිනය වේගයෙන් සංවර්ධනය වු, නවීන තාක්ෂණය මුසු වු, රජයට බරක් නොවන ඉලක්ක ජයගත් සේවාවක් ලෙස ජනතා විශ්වාසය ද සමග සැමරීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
තැපැල්පති රුවන් සත්කුමාර මහතා මෙහි දී පැවසූවේ තැපැල් සේවාව පිළිබඳ ජනතාව තුළ ධනාත්මක ප්‍රතිචාරයක් ගොඩනැංවීමට කටයුතු කළ යුතු බවයි. විශ්ව තැපැල් සංගමයේ මඟපෙන්වීම මත සේවා දියත් කරන බවත් රටට බරක් නොවන සේවාවක් බවට තැපැල් සේවාව පත් කළ යුතු බවත්, තැපැල් සේවාවේ අරමුණු සාක්ෂාත් කිරීමට සියළු කාර්ය මණ්ඩල කැපවන ලෙස ද ඉල්ලා සිටින ලදි. එමෙන්ම ඌව පළාතේ තැපැල් සේවාවේ සංවර්ධන කටයුතුවල ප්‍රතිලාභ ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටින ලදි.
මෙහිදී 151 වන ලෝක තැපැල් දින සැමරුම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කරනු ලබන සමරු මුද්දර නිකුතුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් නිකුත් කිරීම සිදු වු අතර, තැපැල් දින සමරු කලාප පිළිගැන්වීම ද, කාර්යක්ෂම උප තැපැල් කාර්යාල, කාර්යක්ෂම තැපැල් අධිකාරි කාර්යාල, කාර්යක්ෂම දිසා පාලන අධිකාරි කාර්යාලය, කාර්යක්ෂම දිසා ගිණුම් කාර්යාල සඳහා ත්‍යාග සහතික පත් පිරිනැමීම ද, අමාත්‍ය්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.
මෙහි දී කාර්යක්ෂම නියෝජ්‍ය උප තැපැල් කාර්යාලය ලෙස ඌව පළාත් උප තැපැල් කාර්යාලය හිමි කර ගැනීම ද විශේෂත්වයකි.
එමෙන්ම තැපැල් සේවාවේ ආදායම් ප්‍රවර්ධනය සඳහා දායක වූ තැපැල් කාර්යාල ඇගයීම, තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කරන පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල වල නියෝජිත සේවා කාර්ය සාධනය වෙනුවෙන් ඇගයීම් තිළිණ ප්‍රදානය, 2024 සහ 2025 වර්ෂවල රාජ්‍ය සේවා තරඟ වලින් ජයග්‍රහණය කරන ලද තැපැල් දෙපාර්තමේන්තුවේ ක්‍රිඩකයින් ඇගයීම, උප තැපැල් කාර්යාල සඳහා ටැබ් යන්ත්‍ර ප්‍රදානය, ලෝක තැපැල් දිනය වෙනුවෙන් පාසල් දරුවන් වෙනුවෙන් පවත්වන ලද විවිධ තරඟ වලට අදාළ ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය ඇතුළු තැපැල් සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ තැපැල් සේවකයින් සහ කාර්යාල රැසක් ඇගයීම ද මෙහිදී සිදු විය.
මෙරට තැපැල් සේවයට වසර 227 ක දීර්ඝ ඉතිහාසයක් ඇත. විශ්ව තැපැල් සංගමය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ලොව රටවල් 193 ක් මෙම දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 09 වැනි දින සමරනු ලබයි. 1874 දී ලොව පුරා රටවල් ගණනාවක් ඔක්තොම්බර් මස 09 වෙනි දින පොදු තැපැල් සංගමය යන සංවිධානයක් පිහිටුවා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීම සිදු වූ අතර ඒ අනුව එම දිනය ලෝක තැපැල් දිනය ලෙස 1969 වර්ෂයේ දී නම් කෙරිණි.
මෙම ජාතික සැමරුම් උත්සවයට ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රවීන්ද්‍ර බණ්ඩාර, බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ, උප නගරාධිපති සුජීව පීරිස්, බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පාලිත අතුලසිරි ජයවර්ධන, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රි ප්‍රභාත්, බදුල්ල පළාත් ආණ්ඩුකාර ලේකම් ආර්.එච්.සී ප්‍රියන්ති, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේරත් යන මහත්ම මහත්මීන්, නියෝජ්‍ය තැපැල්පතිවරුන්, සියලු ශ්‍රේණි නියෝජනය කරමින් තැපැල් වෘත්තිකයන් ඇතුළුව පිරිසක් එක්ව සිටියහ.


