කල්මුනේ අෂ්රොෆ් අනුස්මරණ රෝහලේ සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගනිමින් රුපියල් මිලියන 150 ක පිරිවැයක් යටතේ ඉදිකරන ලද නව සායන හා ගෙවීම් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ සිදු කෙරිණි.
මෙහි දී ගෙවන වාට්ටුවේ භෞත චිකිත්සක ඒකකය ද අමාත්‍යවරයා අතින් නිල වශයෙන් විවෘත කෙරිණි.
සායන හා ගෙවීම් වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවේ අදහස් දැකවූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කල්මුනය හා අවට ප්‍රදේශවල වෙසෙන ජනතාවට තාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමට විවිධ දුෂ්කරතාවයන් මධ්‍යයේ කල්මුනේ අෂ්රොෆ් අනුස්මරණ රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි කැපවීමෙන් කටයුතු කිරීම අගය කිරීමකට ලක්කර සිටියේය. අමාත්‍යවරයා රෝහලට අවශ්‍යවන භෞතික සම්පත් සහ මානව සම්පත් ඉදිරියේ දී කඩිනමින් අදියරෙන් අදියර ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
රෝහලක සංවර්ධනයට එම රෝහල අවට ප්‍රජාවගේ දායකත්වය, රෝහල් කාර්ය මණ්ඩලයේ මෙන්ම රෝහල් සංවර්ධන කමිටුවේ දායකත්වය ද බවපාන බව අවධාරණය කල අමාත්‍යවරයා මෙම රෝහලේ සංවර්ධනයට එම සියලු දෙනාගේම සහයෝගය අඛණ්ඩව ලැබී තිබෙන බවත්, ඉදිරියටත් එම සහයොගය ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂාකරන බවද පැවසී ය.
රජයක් ලෙස මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව, ප්‍රමිතිගතව, කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගන්නා බව සදහන්කළ අමාත්‍යවරයා මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය උපායමාර්ගිකව, ජාතික සැලැස්මකට අනුව සංවර්ධනය කරන බවත්, එහි දී මධ්‍යම රජයේ රෝහල්වලට අමතරව පළාත් සභාව මගින් පාලනයවන රෝහල්ද එම සැලැස්මට අනූව සංවර්ධනය කර මෙරට ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීමට කටයුතු කරන බව වැඩිඳුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහි සදහන් කර සිටියේ ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නැගෙනහිර පළාතේ ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවන් ලබාදීම උදෙසා සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති රැසක් මේවන විට ක්‍රියාවට නන්වා ඇත.
මහල් 04 කින් යුත් නව සායන හා ගෙවීම් වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ලේ බිම් මහල භෞත චිකිත්සක ඒකකයකින් යුක්ත වේ. පළමු සහ දෙවන මහල් ගෙවන වාට්ටු වලින් සමන්විත වන අතර ඉහළම මහල ශ්‍රවණාගාරකින් සහ අධ්‍යක්ෂ කාර්යාලයකින් ද යුක්ත වේ.
නව සායන හා ගෙවීම් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතුවලට අදාළ උපදේශන සේවා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) විසින් සිදු කර ඇත.
විවෘත කිරීම් වලින් අනතුරුව අමාත්‍යවරයා රෝහලේ වත්මන් ප්‍රතිකාර සේවා කටයුතු පිළිබඳව නිරීක්ෂණයක යෙදුන අතර, රෝහල් කාර්ය සාධන විශ්ලේෂණය සහ අවශ්‍යතාවයන් පිළිබඳව මෙහි දී වෛද්‍ය අධිකාරීවරුන් සහ උපදේශකයින් විසින් කරුණු ඉදිරිපත් කිරීම ද සිදු කරන ලදි.
අනතුරුව රෝහල් පාලන අධිකාරිය සහ කාර්ය මණ්ඩලය සමග රෝහල් ශ්‍රවණාගාරයේ දී විශේෂ සාකච්ජාවකටද අමාත්‍යවරයා සහභාගි විය.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය එල්.ජී. වසන්ත පියතිස්ස, කල්මුණේ ආසනයේ ජාතික ජන බලවේග සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අතම්බාව, කල්මුනේ අෂ්රොෆ් අනුස්මරණ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය අයි.එල්.එම්. රිෆාස්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.


