ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් අධි ශීතකරණ රථ 06ක්

ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් අධි ශීතකරණ රථ 06ක්
  • SocialShare:

ලංකා ධීවර සංස්ථාවේ මත්ස්‍ය බෙදාහැරීමේ ක්‍රියාවලිය නවීකරණය කිරීම සහ පසු අස්වනු හානිය අවම කිරීම ඉලක්ක කරගනිමින් ජපාන රජය විසින් පිරිනමන ලද රුපියල් මිලියන 200ක් වටිනා නවීන අධි ශීතකරණ රථ (Refrigerated Trucks) 06ක් නිල වශයෙන් ධීවර අමාත්‍යාංශය වෙත භාරදීම ඊයේ (10) කොළඹ ධීවර සංස්ථා මූලස්ථානයේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසෝමාටා අකියෝ (H.E. ISOMATA Akio) මහතා විසින් මෙම රථ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ ජපානය අතර 1945 වසරේ සිට පවතින්නේ නොසැලෙන ඓතිහාසික මිත්‍රත්වයක් බවයි. මෙම ශීතකරණ රථ මඟින් මත්ස්‍ය අස්වැන්නෙහි ගුණාත්මකභාවය සුරකිමින් පාරිභෝගිකයා වෙත නැවුම්ව ලබා දීමටත්, මත්ස්‍ය නාස්තිය අවම කිරීමටත් හැකි වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට ධීවර ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ජපානය ලබා දෙන සහාය පිළිබඳව සිය කෘතවේදීත්වය පළ කළේය.

උත්සවය ඇමතූ ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පෙන්වා දුන්නේ වත්මන් රජය යටතේ ධීවර සංස්ථාව දැවැන්ත පරිවර්තනයකට ලක්ව ඇති බවයි. "අතීතයේදී ලංකා ධීවර සංස්ථාව ICU එකේ වෙන්ටිලේටර් බට ගහපු රෝගියෙක් වගේ අතිශය අසාධ්‍ය මට්ටමක තිබුණේ. නමුත් අපි දැන් එම බට ඉවත් කර සංස්ථාව නැවත පණගන්වා තිබෙනවා. සේවකයින්ගේ රුපියල් මිලියන 700ක EPF/ETF හිඟ මුදල් පවා ගෙවීමට රජය පියවර ගත්තා. ජපානයෙන් ලැබුණු මෙම දායකත්වය සංස්ථාවේ නව ගමනට විශාල උත්තේජනයක්," යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජපාන තානාපති ඉසෝමාටා අකියෝ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් 40%ක් පමණ අපතේ යන බව මෙහිදී පෙන්වා දුන් ජපාන තානාපති ඉසෝමාටා අකියෝ මහතා, එම පසු අස්වනු හානිය අවම කර ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර ජීවනෝපාය නංවාලීමටත් ජපානය අඛණ්ඩව සහාය දෙන බව ප්‍රකාශ කළේය. මෙම සහන වැඩපිළිවෙළ යටතේ දැනටමත් එම පළාත්වල අයිස් නිෂ්පාදන යන්ත්‍ර 03ක් ස්ථාපිත කර ඇති බවද ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.

මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස, ලංකා ධීවර සංස්ථාවේ සභාපති මොහොමඩ් නව්රස් නසාර්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල බමුණුආරච්චි සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය, සීනෝර් ආයතනයේ සභාපති වසන්ත මාන්නප්පෙරුම යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ ජපාන තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.