ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් 05ක් ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට

ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් 05ක් ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට
  • SocialShare:

මෙරට ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ ආයුර්වේද වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එම පත්වීම් ලිපි ප්‍රධානය පසුගියදා මහරගම, නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී සිදුවිය.

ආයුර්වේද වෛද්‍ය සභාව සභාපතිවරයා ඇතුළුව සාමාජිකයින් 23 දෙනෙකු ගෙන් සමන්විත වන අතර ඊට අදාල පත්වීම් ලිපි ප්‍රධානයෙන් අනතුරුව පළමු ආයුර්වේද වෛද්‍ය සභා සැසිවාරය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පැවැත්විණි.

මෙම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ඉදිරි කාලය තුළ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම, ද්විතීක හා තෘතීයීක අංශයේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, රට තුළ දේශීය ඖෂධ නිෂ්පාදනය සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වලට සැපයීම, මෙරට ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීම, සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන ප්‍රධාන ධාරාවන් 5 ඔස්සේ සෞඛ්‍ය සේවාව විශිෂ්ට මට්ටමකට ඔසවා තැබීමට සැළසුම් සකස් කර ඇති බව පැවසීය.

මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීම සදහා දැනට පවතින ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර ගැනීම මෙන්ම බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් පිළිබදවත්, පවතින කාලීන ගැටලු පිළිබදවත් මෙහිදී කරුණු විමසූ අමාත්‍යවරයා විසදුම් ලබාදිය හැකි යැයි හදුනාගත් ගැටළු රාශියකට කඩිනම් විසදුම් ලබාදීමට එම අවස්ථාවේදීම කටයුතු කළ අතර, ඉදිරි සැළසුම් සකස් කිරීම සහ ගැටළු විසදීම සදහා ඉතා දීර්ඝ ලෙස වෛද්‍ය සභාවේ සාමාජිකයන් සහ නිලධාරීන් සමග සාකච්ඡා කරමින් කරුණු එක්රැස් කර ගැනීමට ද කටයුතු කලේය.

දේශීය වෛද්‍ය ක්‍රමය මනා ලෙස සංවර්ධනය කරමින් අනාගත ඉලක්ක ගතව එම වෛද්‍ය ක්‍රමයට ගම්‍යය වූ සුවිශේෂතා හදුනාගනිමින් එම සුවිශේෂතා සංචාරක ව්‍යාපාරය හා බද්ධ කර සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම ද රජයේ ප්‍රමුඛතම අරමුණක් බව මෙහිදී සදහන් කළ අමාත්‍යවරයා එයට සමගාමීව සංචාරක කලාපයන්හි ස්ථාපිත බටහිර සහ ආයුර්වේද රෝහල් පද්ධතියේ මානව හා භෞතික පහසුකම් ද වර්ධනය කර නිසි ක්‍රමවේදයක් ඇතිව විධිමත් අයුරින් සංවර්ධනය කිරීමට ක්‍රියා කරන බවද පැවසීය.
එමෙන්ම මේ වන විට බටහිර වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක වන රජයේ රෝහල් 1164 ක් ද, ආයුර්වේද අංශයේ රෝහල් 112 ක් ද මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තුළ ක්‍රියාත්මක වන බව සිහිපත් කළ අමාත්‍යවරයා, එම සෑම රෝහලක් පිළිබදවම අවධානය යොමු කර දියුණූ මට්ටමට ගෙන එ්ම වත්මන් රජයේ සැලසුම බව ද, මින් ඉදිරියට කටයුතු කිරීමේදී එම සැලසුමෙන් භාහිරව ඇමතිවරයාගේ හෝ පළාතේ දේශපාලඥයාගේ මනසේ පහල වන මනෝරාජික සංකල්ප නිලධාරීන් හෝ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක නොකල යුතු බව ද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේවික්‍රම මහතා ඇතුලු ආයුර්වේද වෛද්‍ය සභාවට අලුතින් පත් වු සාමාජිකයින්, ආයුර්වේද වෛද්‍යවරුන්, නිලධාරීන්, ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.