ශ්රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දා 08 වැනි දින රාත්රි කාලයේ යාපනය, කෝවිලන් ප්රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
විදේශීය ධීවර යාත්රා මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, 2025 ජනවාරි මස 08 වැනි එදින රාත්රි කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්ෂණය කර, එම ධීවර යාත්රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයට අනුයුක්ත නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්රහාරක යාත්රා යොදවා සිදු කෙරිණි.
එහි දී, යාපනය, කරෙයිනගර් හි කෝවිලන් ප්රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් තවදුරටත් රැඳී සිටි එක් (01) ඉන්දීය ධීවර යාත්රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා (10) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.