දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සහ ලංකා ගුරු සංගමයේ දකුණු පළාත් නිලධාරීන් අතර සාකච්ඡාවක්

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සහ ලංකා ගුරු සංගමයේ දකුණු පළාත් නිලධාරීන් අතර සාකච්ඡාවක්
  • SocialShare:

ලංකා ගුරු සංගමයේ දකුණු පළාත් නිලධාරීන් සමග ඔවුන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (07) දකුණු පළාත් ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී පළාත, දිස්ත්‍රික්ක, කලාප වශයෙන් සිදුවන ගුරු හා විදුහල්පති ස්ථාන මාරු වීම් නිසි පරිදි සිදු නොවීම, උසස් වීම්, වැටුප් වර්ධක ගෙවීම් ප්‍රමාද වීම්, පසුගිය කාල වකවානුවේ පළාත් පාලන මැතිවරණය නම් කර තිබියදී එයට ඉදිරිපත්වූ නිලධාරීන්ගේ නිවාඩු, ආපදා ණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු, වාර විභාග වලදී ප්‍රශ්න පත්‍ර පිටවීම, කලාප කාර්යාල හා කොට්ඨාස කාර්යාල වෙත ගියපසු වැඩකටයුතු කර ගැනීමේදී පහසුකම් අඩු වීම, ගුරු පුහුණු කටයුතු ඇතුළු ක්ෂේත්‍රයට අදාල ගැටලු රාශියක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මෙම සාකච්ඡාවේදී ලංකා ගුරු සංගමයේ නියෝජිතයින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය. “ මාරු මණ්ඩල චක්‍රලේඛ පරිදි මාරු මණ්ඩල රැස්වී තීරණ ගත්තාද ? එසේ තීරණ ගත්තා නම් එම තීරණ සඳහා අසතුට පළ කරන පිරිස් එයට හේතු දක්වා තිබේද ? මේ ගැන සොයා බලන්න. මේ මාරු වීම් වැනි කුඩා ගැටලු මා වෙත එන්න ඕන නැහැ. ඒ සඳහා අදාළ නිලධාරීන් වැඩකටයුතු කළ යුතුයි. කාර්ය සාධනය නිසි පරිදි කලට වේලාවට පුරවා දී තිබියදීත් වැටුප් වර්ධක ලබා නොදී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන්න. අධ්‍යාපනය තුළ අපට ඉතිරි උනේ ළමයාට උස්සන්න බැරි බෑගයක් සහ දෙමාපියන්ට කරන්න ගෙදර වැඩ දෙන එකයි. මේ පිළිබඳව නැවත අධ්‍යනයක් සිදු කර නිවැරදි ක්‍රමයකට යා යුතුයි. අධ්‍යන කටයුතු සඳහා යොදා ගන්නා පෙළ පොත්වල නියම අවශ්‍යතා සහිත විෂයයන් හඳුනාගෙන විෂය නිර්දේශයන් අවශ්‍ය පරිදි වෙනස් කර අධ්‍යයන කටයුතු සඳහා නව කොටස් ඇතුලත් කල යුතුයි.

අධ්‍යාපන කාර්යාල වල ගොඩගැසී තිබෙන වැඩ ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගත යුතුයි. දැනට අධ්‍යාපන කාර්යල වල සේවය කර වෙනත් ස්ථාන වෙත ස්ථාන මාරු ලබා තිබෙන නිලධාරීන් නැවත කැඳවා එම නිලධාරීන්ට දිරිගැන්වීමක් සිදු කර මසක් ඇතුලත එම ගොනු වල වැඩ කටයුතු අවසන් කර ගැනීම සඳහා යෙදවීමට මා යෝජනා කරනවා. ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට කලාප කාර්යාල වෙත යන්න සිදු වන අවස්ථා අඩු කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කල යුතුයි. ගුරුවරුන්ට මොඩියුලර් සිදු කිරීමට දැනට තිබෙන පුහුණු මධ්‍යස්ථාන වල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොමැතිනම් එම කටයුත්ත සඳහා ඉඩකඩ හා පහසුකම් තිබෙන පාසල් යොදා ගන්න. තාක්ෂණික මෙවලම්ද උපයෝගී කර ගන්න. නැනිනම් මෙම නිලධාරින්ට විශ්‍රාම යනතුරුම මෙම මොඩියුලර් අවසන් කරන්න බැරි වෙනවා.
චිත්‍ර විෂය සඳහා ගුරුවරුන් හිඟයි. ඒ නිසා කුමන හෝ උපාධියක් සමග චිත්‍ර විෂය හදාරා සමත් වෙලා ඉන්න සුදුසුකම් සහිත ඕනෑම අයෙක් පුරප්පාඩු පවතින දකුණේ පාසල් සඳහා බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා. වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ ගැටලුව අවම කිරීමට විභාග ප්‍රශ්න පත්‍ර සංචිතයක් ඇති කළ යුතුයි. කටපාඩම් කර විභාග ලියන්නේ නැතිව පර්යේෂණ මට්ටමින් විභාග ලියන ක්‍රමයක් සකස් කළ යුතු වෙනවා.” යනුවෙනි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.