මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.07.03

    ජූලි 04, 2018
    2018.07.03 දින පවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.
     
    ජල මූලාශ්‍රයන්හි ජලයෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතිය
     
    කෘෂිකාර්මික කටයුතුවලදී පළිබෝධනාශක හා රසායනික ද්‍රව්‍ය බහුලව භාවිත කිරීම හේතුවෙන් ජල මූලාශ්‍රවල තිබෙන ජලයෙහි ගුණාත්මකභාවය පහත වැටී ඇති අතර, එම තත්ත්වය මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස බලපා ඇත. එසේම දැනට ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල දක්නට ලැබෙන හේතුව පැහැදිලිව හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහාද පානීය ජලයෙහි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් වන ගැටලු හේතු වී ඇතැයි කරුණු ඉදිරිපත් වී තිබේ. මෙම තත්ත්වයට පිළියමක් ලෙස ජල මූලාශ්‍රයන්හි තිබෙන ජලයෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම මඟින් ජල දූෂණය සඳහා හේතුවන සාධක හඳුනා ගැනීමේත් ඒ තත්ත්වයන්ට පිළියම් යෙදීමේත් සහ ඉන් සිදුවන බලපෑම් පිළිබඳ පාසල් ළමුන් හා මහජනතාව දැනුම්වත් කිරීමේත් අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ඒ සඳහා 'රට අභ්‍යන්තර ජල මූලාශ්‍රයන්හි ජලයේ ගුණාත්මක තත්ත්වය පසු විපරම් කිරීමේ ව්‍යාපෘතිය' 2019 සිට 2020 දක්වා අවුරුදු 02ක කාලයක් තුළ රුපියල් මිලියන 44.9ක පිරිවැයක් දරමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    'පිරිසිදු වායු 2025 ක්‍රියාකාරී සැලැස්ම' ක්‍රියාත්මක කිරීම
     
    කොළඹ නගරය අවට වායු ගෝලයේ පවතින වායු දූෂණය පාලනය කිරීම සඳහා විවිධ වැඩසටහන් රජය විසින් දීර්ඝ කාලයක සිට ක්‍රියාවට නංවනු ලැබ තිබේ. වායු තත්ත්වය කළමනාකරණය සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් ස්ථාපිත කරන ලද වායු සම්පත් කළමනාකරණ කේන්ද්‍රය මූලිකත්වයෙන් 'පිරිසිදු වායු 2000 ක්‍රියාකාරී සැලැස්ම' කාලීන අවශ්‍යතාවයන් අනුව සංශෝධනය කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ. ඉදිරි වර්ෂ තුළද ශ්‍රී ලංකාවේ වායු තත්ත්වය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිව 'පිරිසිදු වායු 2025 ක්‍රියාකාරී සැලැස්ම' පිළියෙල කර ඇත. එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමත්, ඒ සඳහා අවශ්‍ය අධීක්ෂණය සහ නියාමනය ලබා දීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කාන්තා සුබසිද්ධිය පිළිබඳ සමීක්ෂණය - 2018/19
     
    කාන්තාවන්ගේ ආරක්ෂාව හා ඔවුන් සවිබල ගැන්වීම සඳහා වන විධිවිධාන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙන්ම වෙනත් පනත් රාශියක් මඟින්ද සලසනු ලැබ තිබේ. ඒ අනුව, කාන්තාවන් සවිබලගැන්වීම සඳහා වන වැඩසටහන් විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වයෙන් සිදු කෙරේ. එසේ වුවත්, ශ්‍රී ලාංකික ශ්‍රම වෙළඳ පොළ තුළ කාන්තා ශ්‍රම සහභාගිත්වය අඩු ප්‍රතිශතයක් ගැනීම, කාන්තා හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආදි කරුණු සම්බන්ධයෙන් නිල නොවන සංඛ්‍යාලේඛන සමාජගත වීමත් සමඟ ශ්‍රී ලාංකේය සමාජය තුළ කාන්තාවන් අත්විඳින යථා ස්වරූපය පිළිබඳ අව‍බෝධ කරගැනීම සඳහා විධිමත් නිල සංඛ්‍යාලේඛනවල අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පිරිනමනු ලැබීමට නියමිත රුපියල් මිලියන 26.9 ප්‍රදාන මුදල යොදාගනිමින්, ජාතික මට්ටමින් කාන්තා සුබසිද්ධිය පිළිබඳ සමීක්ෂණයක්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වීමටත්, එහි වාර්තාව ප්‍රකාශයට පත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.ඉදිරි වර්ෂ තුළද ශ්‍රී ලංකාවේ වායු තත්ත්වය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිව 'පිරිසිදු වායු 2025 ක්‍රියාකාරී සැලැස්ම' පිළියෙල කර ඇත. එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමත්, ඒ සඳහා අවශ්‍ය අධීක්ෂණය සහ නියාමනය ලබා දීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස ඉදි කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
     
    දැනට පවත්නා අධිවේගී මාර්ග ජාලය තවදුරටත් පුළුල් කරමින් පොතුහැර හරහා කොළඹ හා මහනුවර යා කිරීමේ අරමුණින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමට යෝජනා වී ඇත. එමඟින් ආර්ථික වශයෙන් වැදගත් වරාය, ගුවන්තොටුපළ හා වාණිජමය නගර සහ පළාත් කිහිපයක් යා කරමින් ‍දිවයිනේ දකුණු ප්‍රදේශයේ සිට මහනුවර දක්වා අඛණ්ඩ සම්බන්ධතාවක් ඇති කෙරෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක මාර්ග කොටස ජපාන බැංකුවල මූල්‍යකරණය යටතේ ඉදි කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන ජපාන යෙන් බිලියන 100ක අරමුදල් සලසා ගැනීමට ජපානයේ MUFG, Ltd බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීම
     
    නාගරික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම, සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම, ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීම සඳහා වන ප්‍රසම්පාදන කාර්යයන් සිදු කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ආයතනවල හැකියාවන් වර්ධනය කිරීම මඟින් ව්‍යාපෘති සූදානම ශක්තිමත් කිරීම යෝජිත නාගරික ව්‍යාපෘති පෙර සූදානම් පහසුකම මඟින් අපේක්ෂා කෙරේ. එමඟින් පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ද්විතීයික නගර 25ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මූලෝපායික නගර 04ක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිවල ආරම්භක කාර්යක්ෂමතාව වැඩිදියුණු කෙරෙනු ඇත. ඒ අනුව, මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක තාක්ෂණික සහාය ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
     
    තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ දැනුම සහිත මානව සම්පතට ආර්ථිකය තුළ ඇතිවෙමින් පවතින ඉල්ලුම සපුරා ලීම සඳහා විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 165ක සමස්ත ආයෝජනයකින් යුත් විද්‍යා හා තාක්ෂණික මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය මඟින් කැලණිය, රජරට හා සබරගමුව යන විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණික පීඨ 03ක්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයක්ද ස්ථාපිත කෙරෙනු ඇත. එමඟින් වර්තමාන ශ්‍රම වෙළඳපොළට ගැළපෙන කුසලතාවන්ගෙන් පිරි, නවීන තාක්ෂණය පිළිබඳ මනා දැනුමකින් යුත්, ව්‍යවසායකත්වය පිළිබඳ උනන්දුවක් සහිත උපාධිධාරින් බිහි කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 145ක විදේශීය අරමුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීමට අදාළ කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම
     
    උතුරු පළාත තුළ ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන හා රැකියා අවස්ථා වැඩි කරමින් එම පළාතෙහි මත්ස්‍ය නිෂ්පාදනය තිරසරව ඉහළ නැංවීම සඳහා උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ පේදුරුතුඩුවේ හා පේසාලේහි ධීවර වරායන් දෙකක්, යාපනය මන්ඩතිව්හි නැංගුරම් පොළක් සහ යාපනය, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල ධීවර තොටුපළවල් 23ක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මීට අමතරව ජලජ ජීවී වගා සංවර්ධනය සඳහා මුලතිව්හි මුහුදු පිපිඤ්ඤා අභිජනනාගාරයක්ද, මන්නාරමෙහි කකුළුවන් අභිජනනාගාරයක්ද යාපනයේ මුහුදු පැළෑටි පටක රෝපණ විද්‍යාගාරයක්ද ඉදි කිරීමට සැලසුම් කර තිබේ. තවද කාන්තාවන් ඇතුළුව ප්‍රාදේශීය ප්‍රජාවන් වෙත සහාය සැලසීම පිණිස මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 141ක් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කඩොලාන නැවත වගා කිරීම සඳහා ආධාර කිරීම, ණය පහසුකම් පිළිබඳ දැනුම්වත් කිරීම, රැකියා අවස්ථා බිහි කිරීම සඳහා ආදර්ශ හවුල් ව්‍යාපාර 03ක් පිහිටුවීම හා දිගුකාලීන ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාව සඳහා මනෝ-සාමාජයීය සහාය සැපයීම ආදී කටයුතු සිදු කෙරෙනු ඇත. 
    මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් විදේශීය අරමුදල් සහායද සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 201.2ක ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 174ක විදේශීය අරමුදල් සහාය ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
     
    කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, නව කැලණි පාලම හරහා කොළඹ කොටුව සහ වරාය වෙත සම්බන්ධ කිරීම පිණිස කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යෝජනා වී ඇත. මේ මඟින් අවට ප්‍රදේශවල දැනට පවතින අධික රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වාණිජ ප්‍රවාහන පහසුකම් සැපයීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ වරාය සඳහාම වූ විශේෂ ප්‍රවේශ මාර්ගයක් සහිතව, නව කැලණි පාලම සිට ගාලු මුවදොර දක්වා කිලෝ මීටර 5.3ක දිගින් යුක්ත වූ කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ඉදි කිරීමට නියමිතය. එමෙන්ම වරාය ප්‍රවේශ මාර්ගය මංතීරු හය දක්වා වැඩි කිරීමට සහ විද්‍යුත් ගාස්තු එකතු කිරීමේ පද්ධතියක් ඉදි කිරීමටද යෝජනා වී ඇත. මීට අමතරව මෙම ඉදි කිරීම් හේතුවෙන් බලපෑමට ලක් වන වරාය සතු ස්ථාන 49ක් ප්‍රතිස්ථානගත කිරීමට සහ වරාය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 360.2ක මුළු ආයෝජනයක් සිදු කිරීමට රජය විසින් අපේක්ෂා කරනු ලබන අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 300ක විදේශීය අරමුදල් සහායක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
     
    විවිධ ජන කොටස් අතර තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය
     
    රජය සතු පොදු අධිකාරින් සතු තොරතුරුවලට මහජනතාවට ප්‍රවේශවීමට හැකි වන පරිදි 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මේ වන විට ක්‍රියාත්මක වේ. එම පනත මඟින් තහවුරු කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය විශේෂයෙන්ම ගැටුම් පැවති ප්‍රදේශයන්වල හා දුෂ්කර ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශවල සේවය කරන නිලධාරින් අතර ප්‍රචලිත කිරීම, තොරතුරු අයිතිය භාවිතය පිළිබඳ ඔවුන් දැනුම්වත් කිරීම සහ ඒ පිළිබඳ නිලධාරින් පුහුණු කිරීම තවදුරටත් වැඩි වර්ධනය කිරීම පිණිස ව්‍යාපෘතියක් ස්විට්සර්ලන්ත රජය විසින් පිරිනමනු ලබන අරමුදල් භාවිතා කරමින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාව සඳහා සහායවීමට අවශ්‍ය කාර්යරාමුවක් සංවර්ධනය කිරීම හා යටිතල පහසුකම් සැලසීම
     
    ශක්තිමත් රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතා වැඩසටහනක් මඟින් ඍජු විදේශ ආයෝජන ආකර්ශණය කරගනිමින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාවය පිළිබඳ නියෝජ්‍යායතනය (NAPPP) පිහිටුවනු ලැබ ඇත. එම ආයතනය විසින් මේ වන විට රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතා ව්‍යාපෘති 35ක් පමණ ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනා ගනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතා වැඩසටහනට සහාය වීම පිණිස ලෝක බැංකු අරමුදල් යටතේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාත්‍යන්තර ජල සංගමයේ (IWA) 2019 ජල හා සංවර්ධන සමුළුව සහ ජල සුරක්ෂිතතාව සඳහා තිරසර විසඳුම් පිළිබඳ ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වීම
     
    ජාත්‍යන්තර ජල සංගමය විසින් සෑම වසර දෙකකට වරක් සංවිධානය කරනු ලබන ජල හා සංවර්ධන සමුළුව හා ප්‍රදර්ශනය 2019 වර්ෂයේදී කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම සමුළුව මෙරට පැවැත්වීම තුළින් මෙම ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්, ජල හා පාරිසරික වෘත්තිකයින්, ඉංජිනේරුවන්, රසායනඥයින්, නියාමකයින් සහ ප්‍රතිපත්ති සැලසුම්කරුවන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා අත්කර ගත හැකි ප්‍රතිලාභ හා එමඟින් සැලසෙන සේවය සැලකිල්ලට ගෙන, 2019 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට යෝජිත ඉහත සඳහන් ජාත්‍යන්තර සමුළුව හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම
     
    ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ප්‍රාදේශීය කර්මාන්තපුර පිහිටුවා ඇති අතර, ඒවායේ කර්මාන්තශාලා ආරම්භ කිරීමට අපේක්ෂිත ආයෝජකයින් තෝරාගැනීම, ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව හා අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව මඟින් සිදු කෙරෙයි. එකී කමිටුවල නිර්දේශ පරිදි තෝරාගත් ආයෝජකයින්ට, එම කර්මාන්තවලින් බිහිවන ඍජු රැකියා අවස්ථා සහ රුපියල් බිලියන 4කට අධික ආයෝජනය සලකා, වසර 35ක බදු පදනම යටතේ පුත්තලම, නුරානි, බට-අත, නාලන්ද, නාලන්ද එල්ලාවල, ලක්ෂ උයන, රයිගම්පුර, මිල්ලෑව යන කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිරත පෞද්ගලික අංශයට පහසුකම් සැලසීම
     
    කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ඉහළ ඵලදායීතාවකින් කටයුතු කිරීමට හා කෘෂි නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. ගෝලීය ව්‍යාපාරික පරිසරය තුළ සාර්ථකව කටයුතු කිරීමට මෙන්ම ඉහළ ප්‍රමිතියකින් යුත් කෘෂි නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත් කිරීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියුතු පෞද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා අන්තර් අමාත්‍යාංශයීය සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සමෘද්ධි ප්‍රතිලාභීන් ජීවත්වන දුෂ්කර ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
     
    දුෂ්කර ගම්මානවල ජීවත්වන සමෘද්ධි ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙ‍රුණද ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳ පොළට රැගෙන ඒම සඳහා ප්‍රමාණවත් ප්‍රවේශ පහසුකම් නොමැති වීම, වගා කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම්වල පවතින සීමා, අලෙවි පහසුකම් සඳහා අවශ්‍ය ස්ථාන නොමැති වීම, තාක්ෂණික පහසුකම් ලබාගැනීම සඳහා සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා සේවා මධ්‍යස්ථාන නොමැති වීම, යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි නොමැති වීම යනාදී කරුණු හේතුවෙන් එකී වැඩසටහන්වලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වී ඇති බව පෙනී ගොස් තිබේ. එම තත්ත්වයට පිළියමක් ලෙස, උතුරු, නැ‍ඟෙනහිර හා කඳුකර ප්‍රදේශවල මෙන්ම අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල හා හම්බන්තොට වැනි දරිද්‍රතාව ඉහළ මට්ටමක පවතින දිස්ත්‍රික්කවල පිහිටි දුෂ්කර ගම්මානවල එවැනි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම
     
    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, දීර්ඝ කාලයක් තිස්සේ රජයේ සංවර්ධන කාර්යයන්වලට හා රජයේ විවිධ ආයතනවලට අවශ්‍ය වන යාන්ත්‍රික, ඉංජිනේරු වැඩ හා පිරිසැකසුම් කටයුතු ඉතා ඉහළ ගුණත්වයකින් යුතුව සිදු කිරීම පිළිබඳව ප්‍රවීණතාවක් උසුළන දෙපාර්තමේන්තුවකි. එම දෙපාර්තමේන්තුව තවදුරටත් මූල්‍ය ස්වාධීනත්වයකින් යුත් ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට හැකි වන පරිදි ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා නිර්දේශ ලබාගැනීම පිණිස කමිටුවක් පත් කිරීමටත්, යෝජිත ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යයන් අවසන් වන තෙක් රාජ්‍ය අංශයේ ආයතනවලට අවශ්‍ය වන යාන්ත්‍රික, ඉංජිනේරු වැඩ හා පිරිසැකසුම් කටයුතු ඍජු කොන්ත්‍රාත් පදනම යටතේ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව වෙතින් ඉටු කරවා ගැනීම සඳහා බලය ලබා දීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    දේශීය ආයුර්වේද ඖෂධ ආදර්ශ ගම්මාන මට්ටමින් වගාකොට ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත අලෙවි කිරීම
     
    නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආදර්ශ ගම්මාන නිවාස වැඩසටහන, ප්‍රතිලාභී පවුල්වල නිවාස ගැටලුව විසඳීම මෙන්ම ඔවුන් සවිබල ගැන්වීම තුළින් ඔවුන්ව දේශීය ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන්ද ක්‍රියාත්මක වන වැඩසටහනකි. ඒ අනුව, නිවාස ඒකක 25කින් යුක්ත ආදර්ශ ගම්මානයක් සඳහා, නිවාස සඳහා වෙන් කළ බිම් ප්‍රමාණයට අමතරව අක්කර දෙකක භූමි ප්‍රමාණයක් ප්‍රතිලාභීන්ගේ සාමූහික වගා කටයුතු සඳහා වෙන් කර ඇත. එසේම දැනට ප්‍රතිලාභී අයිතියට පත් කර ඇති ආදර්ශ ගම්මාන 77 තුළ ඖෂධ වගාව ආරම්භ කර ඇති අතර, නිම කිරීමට යෝජිත ආදර්ශ ගම්මාන 2,500 සඳහාම ඖෂධ වගාව හඳුන්වා දීම සඳහා සැලසුම් සකස් කර තිබේ. එම වැඩසටහන මඟින් ආයුර්වේද ඖෂධ ආනයනය කිරීම සඳහා වැය වන විදේශ විනිමය අවම කිරීමට මෙන්ම නිවාසලාභීන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමද අපේක්ෂිතය. ඒ අනුව, ආදර්ශ ගම්මාන තුළ ආයුර්වේද ඖෂධ වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහන දියත් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කුලී නිවාස වෙළඳපොළෙහි නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම
     
    නාගරීකරණය හේතුවෙන් නගරයට සංක්‍රමණය වන අයවළුන්ට, රැකියා කරන්නන් සහ තරුණ පවුල් වෙත දැරිය හැකි මිලකට කුලී නිවාස ලබා දීමේ අවශ්‍යතාවය සලකා බලා කුලී නිවාස වෙළඳ පොළෙහි කටයුතු වඩාත් ප්‍රශස්තව සිදු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ තිබේ. එම කමිටුවේ නිර්දේශ පරිදි කුලී නිවාස වෙළඳ පොළ නියාමනය, කුලී නිවාස සැපයීම ඉහළ නැංවීම සහ කාන්තාවන් හා වැඩිහිටියන් සඳහා දැරිය හැකි මිලකට කුලී නිවාස නිර්මාණය කිරීම යනාදී කරුණු කෙරෙහි සැලකිල්ල යොමු කරමින් කුලී නිවාස වෙළඳ පොළෙහි නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම
     
    රජයේ ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන සැලැස්මෙහි ප්‍රමුඛතම අංගයක් වන ඩිජිටල් ආර්ථිකය කරා ළඟාවීම සඳහා 'ඩිජිටල් ශ්‍රී ලංකාවක්' බිහිකිරීම හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා සේවාලාභීන්ට පුළුල් පරාස සබඳතාවක් (Broadband Connection) සලසා දීම අත්‍යවශ්‍ය සාධකයක් වශයෙන් හඳුනාගත හැකි වේ. පුළුල් පරාස සබඳතාව ව්‍යාප්ත කිරීම සඳහා වඩාත් යෝග්‍ය මාධ්‍යයක් වශයෙන් සේවාලාභීන් සිටින පරිශ්‍ර වෙත දෘෂ්‍ය තන්තු මඟින් එම සේවා ලබා දීම යෝග්‍ය වුවද, ඒ සඳහා ඉහළ පිරිවැයක් දැරිය යුතුව තිබේ. තාක්ෂණික දියුණුවත් සමඟ විදුලිබලය හා පුළුල් පරාස සේවාවන් යන සේවාවන් දෙකම, එක් යටිතල පහසුකමක් මඟින් බෙදා හැරීමේ හැකියාව පවතියි. ඒ අනුව, විදුලිය බෙදා හැරීමේ බලපත්‍රලාභීන් සහ බලපත්‍රලාභී විදුලි සංදේශ සේවා සපයන්නන් අන්‍යෝන්‍යව තම යටිතල පහසුකම් බෙදා ගැනීම මඟින් විදුලිය මෙන්ම පුළුල් පරාස සබඳතා පහසුකම්ද ඉහළ තාක්ෂණික ප්‍රමිතියකින් යුක්තව අඩු පිරිවැයක් යටතේ ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතී. මේ පිළිබඳව පරීක්ෂා කර බලා යෝජනා ඉදිරිපත් කිරීම පිණිස ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ ප්‍රාථමික කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම
     
    ආයෝජන ප්‍රවර්ධනය මඟින් අපනයන ඉපැයුම් වර්ධනය කිරීම හා ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමේ රජයේ අපේක්ෂාව ඉටු කරගැනීම සඳහා ප්‍රාථමික කර්මාන්ත අංශය සක්‍රීයව දායක කරගැනීමේ අරමුණ සහිතව ප්‍රාථමික කර්මාන්ත අංශය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පියවර ගෙන තිබේ. එම ජාතික ප්‍රතිපත්තිය මඟින් ප්‍රාථමික කර්මාන්ත අංශයේ තරඟකාරිත්වය හා ඵලදායිතාවය ප්‍රවර්ධනය කිරීම, පර්යේෂණ සහ සංවර්ධනය, ව්‍යවසායක ධාරිතාවය වැඩිදියුණු කිරීම, ලෝක වෙළඳපොළ කොටස වර්ධනය කිරීම, වෙළඳපොළ විවිධාංගීකරණය හා අපනයන ප්‍රවර්ධනය කිරීම මඟින් සමස්ත ආර්ථිකය වර්ධනය කිරීම අපේක්ෂාවයි. ඒ අනුව සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මහතා විසින් ප්‍රාථමික කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරන ලදී.
     
     
    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රමෝපායික ආර්ථික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
     
    ආයෝජන, කෘෂිකාර්මික සංවර්ධනය, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය හා පහසුකම් සැපයීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීම හා ප්‍රවර්ධනය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රත්නපුර, දෙමුවාවත මැණික් වීදිය ජාත්‍යන්තර මැණික් වීදියක් ලෙස සංවර්ධනය කිරීම සහ මැණික් කුලුන ඉදි කිරීම
     
    රත්නපුර නගරය තුළ මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තයට අවශ්‍ය කරන සියලුම සේවාවන් එකම ස්ථානයකින් කාර්යක්ෂමව සපයා ගැනීම සඳහා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ගැණුම්කරුවන් ආකර්ශනය කරගැනීම සඳහා විශේෂිත වූ මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිණිස රත්නපුර, දෙමුවාවත මැණික් වීදිය ජාත්‍යන්තර මැණික් වීදියක් ලෙස සංවර්ධනය කිරීමට සහ මැණික් කුලුනක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව රත්නපුර, දෙමුවාවත වීදියේ පර්චස් 22කින් යුත් ලයිමෙවත්ත ඉ‍ඩමේ මැණික් කුලුනක් ලෙස සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් එම කුලුන තුළ ව්‍යාපාරික ස්ථාන, මැණික් රසායනාගාරයක්, බැංකු පහසුකම්, අපනයන පහසුකම් හා රේගු පහසුකම් ස්ථාපිත කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීම
     
    උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් පවුල් සඳහා ගඩොලින් හා සිමෙන්ති බදාමවලින් බැඳි සාම්ප්‍රදායික ස්ථිර නිවාස ලබා දීමේ වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ සහ ව්‍යාපෘති කමිටුවේ නිර්දේශය පරිදි, නිවාස ඒකකයක් රුපියල් මිලියන 1.25ක බදු රහිත මුදලකට නිවාස ඒකක 25,000ක්, මෙම ව්‍යාපෘතියෙහි I වන අදියර යටතේ උතුරු හා නැ‍ඟෙනහිර පළාත්හි ඉදි කිරීමටත්, එයින් නිවාස 15,000ක්, 2018 වර්ෂයේදී ආරම්භ කර මාස 08ක කාලයක් තුළ සම්පූර්ණ කිරීමට හා ඉතිරි නිවාස 10,000ක ඉදි කිරීමේ කටයුතු 2019 වසරේදී අවසන් කිරීමටත්, මෙම නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති පිළිබඳ කාර්යාලය (UNOPS) හා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන (UN-Habitat) ප්‍රධාන කොටගත් ආයතන සමූහය සමඟ ගිවිසුමකට එළඹීමටත් පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඝන මීටර් 1,500ක ධාරිතාව සහිත ජල කුළුණක් ඉදි කිරීම
     
    ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතියෙහි කොටසක් ලෙස මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත, ඝණ මීටර 1,500ක ධාරිතාවයක් සහිත ජල කුළුණක් සහ සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ ප්‍රධාන නළය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Finite Lanka (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කොළඹ වරාය සහ බංග්ලාදේශයේ චිතගොං වරාය අතර බහාලුම් නැව් පෝෂක සේවාවක් ක්‍රියාත්මක කිරීම
     
    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර නාවික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ස‌බඳතා ශක්තිමත් කරගැනීම පිණිස‍ දෙරටෙහි නැව් සංස්ථා අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගනු ලැබ තිබේ. බංග්ලාදේශය සතුව ඇති ප්‍රධානතම වරාය වන චිතගොං වරායෙහි පවතින සීමිත පහසුකම් හේතුවෙන් සහ නොගැඹුරු බව හේතුවෙන් ප්‍රධාන නාවික සේවාවල යාත්‍රාවන් එම වරායට නොපැමිණේ. එබැවින් බංග්ලාදේශයේ ආනයන හා අපනයන නාවික භාණ්ඩ බොහොමයක් සිංගප්පූරු, කොළඹ හා මැලේසියානු වරායන් හරහා පොදු පෝෂක බහාලුම් ප්‍රවාහන යාත්‍රා මඟින් ප්‍රවාහනය කෙරේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දැනටමත් එළඹ ඇති ගිවිසුම හේතුවෙන් සෙසු රටවලට සාපේක්ෂව පෝෂක ප්‍රවාහන සේවාව සඳහා ශ්‍රී ලංකා නැව් සංස්ථාව වෙත ප්‍රමුඛත්වයක් හිමි වී තිබෙන බැවින් ශ්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචිවූ නෞකාවක් සේවයේ යෙදවීම මඟින් ඉහත ගිවිසුමේ ප්‍රතිලාභ අත්පත් කරගැනීම සඳහා ඒකාබද්ධ හවුල්කාරිත්ව පදනම යටතේ සුදුසු පාර්ශ්වකරුවෙකු තෝරාගැනීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ඒරියල් බණ්ඩල් සන්නායක 2,500km සැපයීම හා බෙදාහැරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
     
    ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය බෙදාහැරීමේ කාර්යය සඳහා භාවිත කරනු ලබන ඒරියල් බණ්ඩල් සන්නායක කිලෝමීටර 2,500ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,456.2ක මුදලකට M/s. ACL Cables PLC වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පොළොන්නරුව සූර්ය බලාගාර ව්‍යාපෘතිය
     
    ඉදි කිරීම, අයිතිය හා පවත්වාගෙන යාම යන පදනම මත මෙගා වොට් 10ක සූර්ය බලාගාරයක් පොළොන්නරුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජනා වී ඇත. එසේ වුවත්, එම ප්‍රදේශයෙන් සුදුසු ඉඩමක් සොයාගැනීමට අපහසු වූ බැවින් වාලච්චේන ග්‍රිඩ් උපපොළ ආසන්නයේ තිබූ සුදුසු ඉ‍ඩමක මෙම බලාගාරය ස්ථාපිත කිරීම සඳහා තීරණය කරන ලදී. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙගාවොට් 10 එකී සූර්ය බලාගාරය ඉදිකිරීම, අයිතිය හා පවත්වාගෙන යාම සඳහා වන ප්‍රසම්පාදනය කිලෝවොට් පැය 1ක් සඳහා රුපියල් 12.49ක මිලකට M/s Didul (Pvt.) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
     
    රුහුණු විශ්වවිද්‍යාලය, භික්ෂු විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යන උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 2,384.7ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මඩකලපුව දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍යය වැඩිදියුණු කිරීම
     
    මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක් ආවරණය වන පරිදි සනීපාරක්ෂක ඒකක 3,400ක් ඉදි කිරීම සඳහා යෝජනා වී ඇත. මේ සඳහා වැයවෙතැයි අපේක්ෂිත රුපියල් මිලියන 300ක මුදල ලබාදීම සඳහා ඉන්දියානු රජය විසින් එකඟතාවය පල කර ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හරහා එම ප්‍රදේශයන්හි සෞඛ්‍ය ගැටලු සහ දරිද්‍රතා මට්ටම අවම කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සකස් කරන ලද අවබෝධතා ගිවිසුම සඳහා එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ගම්පෙරළිය - වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන 2018 - 2019
     
    මෑත වසරවල මුහුණ දීමට සිදු වූ කාලගුණ විපත් හේතුවෙන් දිවයිනපුරා යටිතල පහසුකම්වලට හානි සිදුවීම හා විවිධ හේතුවල බලපෑම නිසා සාමාන්‍ය ආර්ථික වර්ධන වේග‍ෙය් සිදු වූ අඩුවීම හේතුවෙන් බොහෝ පිරිසකට සිය ජීවනෝපාය සංවර්ධන කටයුතුවලදී යම් යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වී තිබේ. එබැවින් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය සහ අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වාරිමාර්ග, ග්‍රාමීය මාර්ග, පාසල් සනීපාරක්ෂක පහසුකම් හා ක්‍රීඩාපිටි, සතිපොළ, හරිත උයන, විදුලිබලය, ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන අලුත්වැඩියාව, නිවාස සංවර්ධනය, ඉඩම් ඔප්පු නිකුත් කිරීම සහ ව්‍යවසායකත්වය යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා 'ගම්පෙරළිය' නමින් වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, යෝජිත වැඩ සටහන 2018 වර්ෂයේ තුන්වන කාර්තුවේ සිට ආරම්භ වන වසර දෙකක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතය. 2018 වර්ෂය සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියන 200 බැගින් සංවර්ධන කටයුතු සඳහා ලබා දීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා සමස්ත ආයෝජනය රුපියල් මිලියන 65,811කි. ඒ අනුව, යෝජිත 'ගම්පෙරළිය' ග්‍රාමීය සංවර්ධන වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya