මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.06.05

    ජූනි 06, 2018
    2018.06.05 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තිරණ පහත සඳහන්  වේ.
     
    ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම
     
    ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවාවන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව සමඟ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව, වසර 5 1/2ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, වසර 06ක සහන කාලයක් සහිතව වසර 33ක් තුළදී මෙම ණය මුදල පියවීමටත් එකඟ වී ඇති බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී.
     
     
    ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
     
    ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදුව, ඒ සඳහා අවශ්‍ය නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම පිණිස මෙම ක්ෂේත්‍රයට අදාළව කටයුතු කරන ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී. 
     
    ඒ අනුව, අදාළ පාර්ශ්වයන්ගේ එකඟත්වය සහිතව ළමා සුරැකුම් සේවාවන් සපයන්නන් හට ජාතික වෘත්තීය පුහුණු (NVQ) මට්ටමේ වෘත්තීය පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, දැනට පවතින රජයේ ණය යෝජනා ක්‍රම හරහා මෘදු ණය පහසුකම් ලබා දීම හරහා ළමා සුරැකුම් පාඨමාලා හැදෑරීම සඳහා තරුණ පරපුර දිරිමත් කිරීම සහ පුහුණුවලත් තරුණ තරුණියන්හට දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා රුපියල් මිලියන 02ක් දක්වා සහනදායි ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' පොලී සහනාධාර ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා ප්‍රවර්ධනය කිරීම
     
    2017 සහ 2018 අයවැය යෝජනා අනුව රජයේ හා පෞද්ගිලක බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන සහ අනෙකුත් සහභාගිත්ව ආයතන සමඟ ඒකාබද්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලාංකිකයින් සතුව පැවති සහජ ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැංවීම මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරයි. මේ යටතේ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක් ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 03ක්, මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සලසන යෝජනා ක්‍රම 02ක් ඇතුළත්ව යෝජනා ක්‍රම 16ක් යටතේ සහන සලසනු ලැබේ. ඒ අනුව, මේ වන විට 12,405ක් පමණ වන ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 30කට අධික අරමුදල් සපයනු ලැබ තිබේ. 2018 වර්ෂය සඳහා මේ යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම වෙනුවෙන් පොලී සහනාධාර ගෙවීම සඳහා පමණක් රජය විසින් රුපියල් මිලියන 5,250ක් වෙන් කර තිබෙන අතර, එමඟින් ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් ඇති කිරීම මෙන්ම එතුළින් නව රැකියා 50,000ක් බිහි කිරීමට අපේක්ෂා කරනු ලබයි. 
     
    මෙම වැඩසටහන තවදුරටත් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් සහ එමඟින් ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන ජාත්‍යන්තර තලය දක්වා ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම අපේක්ෂාවෙන් ජාතික ප්‍රවර්ධන වැඩසටහනක් වශයෙන්, රජයේ අනෙකුත් සංවර්ධන වැඩසටහන්ද සමඟ ඒකාබද්ධව සෑම පළාතක්ම ආවරණය වන පරිදි මාස 03කට වරක් ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් '2025 දැක්ම' තේමාව යටතේ පැවැත්වීමට අපේක්ෂා කෙරේ. එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැංවීමේ පියවරයන් පිළිබඳ සමුළුවේ (CICA) සාමාජිකත්වය ශ්‍රී ලංකාව විසින් ලබාගැනීම
     
    ආසියානු කලාපය තුළ සාමය ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂාව සහ ස්ථාවරභාවය පිළිබඳ සහයෝගිතාවය වැඩි කිරිම සඳහා වන බහු ජාතික සංසදයක් වශයෙන් මෙම සමුළුව 1992 වසරේදී ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකාව දැනට මෙම සමුළුවේ නිරීක්ෂණ රාජ්‍යයක් වශයෙන් කටයුතු කරන අතර, ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු රටවල් 26ක් මෙම සමුළුවේ සාමාජිකත්වය මේ වන විට ලබා ගෙන ඇත. මෙම සමුළුවේ වර්තමාන සභාපතිත්වය දරන චීනය විසින් එහි පූර්ණ සාමාජිකත්වය ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇති අතර, එමඟින් සාමාජික රාජ්‍යයන් සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාවට අවකාශ ලැබී ඇත. ඒ අනුව, ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැංවීමේ පියවරයන් පිළිබඳ සමුළුවේ (CICA) සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    නවීනතම වෛද්‍ය උපකරණ සැපයීම
     
    වර්තමානයේදී ශ්‍රී ලංකාවේ රෝගාබාධ නිසා සිදුවන මරණ සඳහා හේතුවන දෙවන ප්‍රධාන සාධකය වශයෙන් පිළිකා රෝගය හඳුනාගෙන තිබේ. රෝගය පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් ශ්‍රී ලංකාව තුළ නොමැති වීම හේතුවෙන් ආර්ථික වශයෙන් හැකියාවක් සහිත රෝගීන් විදේශීය ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ලැබේ. පිළිකා රෝගය කල්තබා හඳුනාගත හැකි නම් ප්‍රතිකාර මඟින් රෝගීන්ගෙන් 1/3කට වඩා වැඩි ප්‍රමාණයකගේ රෝග වර්ධනය වළක්වා ගත හැකි වුවත් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල රෝගීන්ගෙන් 70%කගේ පමණ රෝගී තත්ත්වය හඳුනාගනු ලබන්නේ රෝගය බෙහෙවින් උත්සන්න වීමෙන් අනතුරුව බැවින් පිළිකා හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. 
     
    මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රෝග කල්තියා හඳුනාගැනීම හා රෝග නිශ්චය කිරීම සඳහා මහරගම ජාතික පිළිකා රෝහල සඳහා 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රයක්ද මහනුවර ශික්ෂණ රෝහලේ Gamma Knife Package සහ PET/CT යන්ත්‍රයක්ද මිල දී ගෙන සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා ඔස්ට්‍රියාවේ Odelga Med G.m.b.H වෙතින් සවිස්තරාත්මක යෝජනාවක් කැඳවීමටත්, ඒ සඳහා අවශ්‍ය වන අරමුදල් සලසා ගැනීම පිණිස ඔස්ට්‍රියාවේ Unicredit බැංකුව සමඟ සාකච්ඡා කිරීම පිණිසත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා 'සෞඛ්‍යය' අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දීම
     
    ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් 75%ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බව නවතම සංඛ්‍යා ලේඛන අනුව පෙනී ගොස් ඇත. තවද, මුළු ජනගහනයෙන් 72.5%ක් පමණ එළවළු හා පලතුරු අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට නොගන්නා බවත්, කාන්තාවන්ගෙන් 44%ක් පමණ ප්‍රමාණවත් පරිදි කායික ව්‍යායාමයන්හි නොයෙදෙන බවත් හෙළි වී ඇත. මෙම තත්ත්වය මඟහරවා ගනිමින් සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් ගත කිරීම සඳහා සෞඛ්‍යය පිළිබඳ මනා දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ. එසේ වුවද, වර්තමාන පාසල් විෂය නිර්දේශය තුළ හය(6) වසර සිට නවය (9) වසර දක්වා පමණක් 'සෞඛ්‍ය විෂය' අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වෙන අතර, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා එම විෂය අනිවාර්ය නොවේ. 
     
    ඒ අනුව, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස 'සෞඛ්‍ය විෂය' හඳුන්වා දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවද 2023 වසරේදී සිදු කිරීමට නියමිත මීළඟ පාසල් විෂයමාලා සංශෝධනයේදී අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය දක්වා 'සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය' යන විෂය අනිවාර්ය විෂයක් ලෙස පාසල් තුළ ඉගැන්විය යුතු බවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විද්වත් කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති යෝජනාවද සැලකිල්ලට ගනිමින්, පාසල් විෂයමාලා සංශෝධනය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ බලධාරිත්වය දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.
     
     
    වැලිගම පොල් කොළ මැළවීමේ හා කුණුවීමේ රෝග මර්දන වැඩසටහනේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම
     
    දකුණු පළාතේ පැතිරී පවතින වැලිගම පොල් කොළ මැළවීමේ හා කුණුවීමේ රෝගය හේතුවෙන් පොල් වගාවට සිදු වී ඇති හානිය වැළැක්වීම සඳහා එම රෝග මර්දන වැඩසටහන 2018 සිට 2020 දක්වා තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබිණි. මෙම ව්‍යාපෘතිය යටතේ රෝගයට බඳුන් වූ පොල් ගස් හඳුනාගැනීම, ඉවත් කිරීම සඳහා සලකුණු කිරීම, ඉවත් කරන පොල් ගසක් සඳහා රුපියල් 3,000/- බැගින් ඉඩම් හිමියන් වෙත වන්දි ලබා දීම, රෝගය පිළිබඳ දැනුවත් කිරීම, විකල්ප ආර්ථික බෝග ලබා දීම සහ රෝග ප්‍රතිරෝධී පොල් ප්‍රභේදයන් නිපදවීම සඳහා පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරනු ලැබේ. මෙම රෝග මර්දන ව්‍යාපෘතිය යටතේ 2018 වර්ෂයේ මුල් කාර්තුව තුළ රෝගයට බඳුන් වූ පොල් ගස් 832ක් ඉවත් කර ඇති බවත්, තවත් පොල් ගස් 819ක් ඉවත් කිරීම සඳහා හඳුනාගෙන ඇති බවත් අමාත්‍ය මණ්ඩලයේ දැනගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක  මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.
     
     
    'පිබිදෙමු පොළොන්නරුව' වැඩසටහනට සමගාමීව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘති කාර්යාල ගොඩනැඟිල්ල හා එම භූමියේ සිදු කරනු ලබන සංවර්ධන කටයුතු
     
    'පිබිදෙමු පොළොන්නරුව' ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව පූජා නගරය ආශ්‍රිත කලාපය උරුම නගරයක් වශයෙන් සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘති කාර්යාලය ස්ථාපිත කරනු ලැබ ඇති 19 වන සියවසට අයත් ගොඩනැඟිල්ල එහි සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කර දේශීය හා විදේශීය සංචාරකයින්ට ආකර්ෂණීය වන පරිදි සංස්කෘතික උරුම කළමනාකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක්, පුරාවිද්‍යා තොරතුරු මධ්‍යස්ථානයක් හා දේශීය අහාර හා දේශීය කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන අලෙවි හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. එම සංවර්ධන කටයුතුවලට සමගාමීව එම කාර්යාලය ඉදිරිපිටින් දිවෙන කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම නිසා ඉවත් කිරීමට නියමිත අලෙවිසැල් ප්‍රතිස්ථාපනය සඳහා කුඩා අලෙවිසැල් 22කින් යුත් දෙමහල් වෙළඳ සංකීර්ණයක්ද එම භූමිය තුළ කඩිනමින් ඉදි කිරීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සියලු ආකාරයේ හිංසනයන්ගෙන් ළමයින් ආරක්ෂා කිරීම පිණිස වන සිද්ධි කළමනාකරණ මාර්ගෝපදේශය ක්‍රියාත්මක කිරීම
     
    ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් තබා මේ වන විට දශක දෙකක කාලයක් ඉක්ම ගොස් ඇති අතර, ළමුන්ගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් පියවර රාශියක් ගනු ලැබ ඇත. සියලුම ආකාරයේ හිංසනයන්ගෙන් ළමුන් ආරක්ෂා කිරීම සඳහා වන කාර්යයන් ඉටු කිරීමේදී ඒ හා සම්බන්ධ වන සියලුම නිලධාරින් ළමා අයිතිවාසිකම් පිළිබඳ මූලධර්මයන්ට අනුකූලව කටයුතු කිරීම වැදගත් වේ. ඒ අනුව, එහිදී අනුගමනය කළ යුතු පියවර දැක්වෙන මාර්ගෝපදේශයක් 'සියලු ආකාරයේ හිංසනයන්ගෙන් ළමයින් ආරක්ෂා කරගැනීම පිණිස වන සිද්ධි කළමනාකරණ මාර්ගෝපදේශය' නමින් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පි‍ළියෙල කරනු ලැබ ඇත. 
     
    ඒ අනුව, ළමයින් පිළිබඳව කටයුතු කිරීමේදී එම මාර්ගෝපදේශ ජාතික මාර්ගෝපදේශයන් ලෙස ක්‍රියාත්මක කිරීමටත්, සෑම පරිපාලන මට්ටමකදීම අදාළ ප්‍රධානීන් මඟින් එම මාර්ගෝපදේශය ක්‍රියාවට නැංවීම මෙහෙයවීම හා අධීක්ෂණය කිරීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පුද්ගලනාශක බිම් බෝම්බ භාවිතය, තොග රැස් කිරීම, නිෂ්පාදනය කිරීම සහ හුවමාරු කිරීම තහනම් කිරීම සහ ඒවායෙන් ඇති වන විනාශය පිළිබඳව වන සම්මුතිය (ඔටාවා සම්මුතිය) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය
     
    පුද්ගලනාශක බිම් බෝම්බ භාවිතය, තොග රැස් කිරීම, නිෂ්පාදනය කිරීම සහ හුවමාරු කිරීම තහනම් කිරීම සහ ඒවායෙන් ඇති වන විනාශය පිළිබඳව වන සම්මුතියට (ඔටාවා සම්මුතිය) ඇතුළත් වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම සම්මුතියේ විධිවිධාන ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා හැකි කරවන ව්‍යවස්ථා (Enabling Legislation) කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පාසල් සිසුන් සඳහා කිරි පැකට්ටුවක් ලබා දීම
     
    තෝරාගත් පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් හා විශේෂ අධ්‍යාපන ඒකකවල සිසුන් ආවරණය කරමින් පාසල් සිසුන් සඳහා උදෑසන කිරි පැකට්ටුවක් ලබා දීමේ වැඩසටහන 2013 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ, මිල්කෝ පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන, වෙළඳපොළ වටිනාකම රුපියල් 30/-ක් වන මිලිලීටර 150 ප්‍රමාණයේ කිරි පැකට්ටුවක් රජය විසින් මිල දී ගෙන පාසල් සිසුන් වෙත ලබා දෙනු ලැබේ. පාසල් සිසුන්ගේ පෝෂණ ගැටලු අවම කරමින් ක්‍රියාශීලී සිසු පරපුරක් බිහි කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, කිරි පැකට්ටුවක වර්තමාන ඉහළ වෙළඳපොළ මිල ගණන් යටතේ වුවද, මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සලකා මෙම වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පරිගණක ආශ්‍රයෙන් ඉගැන්වීම සඳහා e ඉගෙනුම් සම්පත් නිර්මාණයට ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම
     
    ශ්‍රී ලංකාවේ පාසල්වල තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය හා අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ භාවිතය විධිමත් කිරීම සඳහා වන ව්‍යාපෘති යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළියෙල කර ඇති අතර, යෝජිත ව්‍යාපෘතිය මඟින් සියලුම කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථාන සඳහා පරිගණක හා උපාංග ලබා දීමටත්, නිල්වලා විද්‍යාපීඨය හා අඩ්ඩාලච්චේනෙයි විද්‍යා පීඨය ආශ්‍රිතව පළාත් මට්ටමේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථාන දෙකක් ඉදි කිරීමටත්, කුලියාපිටිය, නාරංගල්ල වත්ත භූමියෙහි ජාතික මට්ටමේ මෘදුකාංග හා පරිගණක යෙදවුම් නිර්මාණය කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත් කටයුතු කෙරෙනු ඇත. මේ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු අපනයන හා ආනයන බැංකුව හරහා ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල සහ අබුඩාබි අරමුදල මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 56.9ක අරමුදල් සලසා ගැනීමට අදාළ කටයුතු සිදු කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම
     
    චීන රජයේ සහයෝගය ඇතිව විශේෂ ආර්ථික කලාපයක් හම්බන්තොට ස්ථානපනය කිරීම සඳහා සැලසුම් කර ඇති අතර, ඒ සඳහා චීන රජය විසින් චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය නම් කරනු ලැබ ඇත. මේ යටතේ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ශ්‍රී ලංකා - චීන සැපයුම් සහ කර්මාන්ත කලාපය ස්ථාපිත කිරීමට අදාළ කටයුතු අදියර 03ක් යටතේ සිදු කිරීමට නියමිතය. මෙම සංවර්ධන කටයුතුවලට සමගාමීව හම්බන්තොට ප්‍රදේශයේ වඩා සැලසුම්ගත නාගරික සංවර්ධනයක් සිදු වන බවට තහවුරු කරගැනීමේ අරමුණින් හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම යෝග්‍ය බවට තීරණය වී ඇත. ඒ සඳහා උපදේශක සේවා ආයතනයක් පත් කර ගැනීමටත්, එකී ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමේ කාර්යය සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ඩිජිටල්කරණ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුම
     
    සයිබර් ආරක්ෂණය, ඉ-රාජ්‍ය ක්‍රමවේද ඩිජිටල් සේවා සහ අත්‍යවශ්‍ය සන්නිවේදන ක්‍රම ඇතුළත් අන්තර්ජාල සම්බන්ධතා යන අංශ විශේෂයෙන් ආවරණය වන පරිදි ඩිජිටල්කරණය ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඇති කරගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක් 2018 ජුනි මස 10 - 13 යන දිනවලදී ෆින්ලන්තයේ ආර්ථික කටයුතු හා රැකියා පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුරදී අත්සන් තැබීම පිණිස විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය ආර්ථිකයේ කොටස්කරුවන් කරගැනීම සඳහා නව පනතක් හඳුන්වා දීම
     
    කම්කරු දෙපාර්තමේන්තුවේ ආරම්භයේ සිට මේ දක්වා සේවකයින්ගේ සේවා කොන්දේසි, සමාජ ආරක්ෂණය, වෘත්තීය ස්වස්ශථතා හා ආරක්ෂාව සම්බන්ධයෙන් පනත් 61ක් ක්‍රියාත්මක කර ඇති අතර, ඉන් පනත් 27ක් පමණක් මේ වන විට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම පනත්වල දැක්වෙන යම් යම් සේවා කොන්දේසි අතර විෂමතාවන් දක්නට ලැබෙන බැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදු වන අපහසුතා මඟහරවා ගැනීමේ අරමුණ ඇතිව දැනට පවතින සේවක අයිතිවාසිකම්වලට අගතියක් නොවන පරිදි සේවා නියුක්තිය පිළිබඳ කරුණුවලට අදාළව තනි පනතක් සකස් කිරීමට යෝජනා වී තිබේ. මෙමඟින් විශේෂයෙන්ම දැනට ආර්ථික සංවර්ධනයට දායක නොවන ශ්‍රම බලකාය ඊට දායක කරගත හැකි වන පරිදි නම්‍යශීලී සේවා කොන්දේසි හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලැබේ. 
     
    ඒ අනුව, දැනටමත් පනවා ඇති කම්කරු නීති මඟින් ආරක්ෂා වන කම්කරු අයිතිවාසිකම්වලට කිසිදු අගතියක් නොවන පරිදි සාප්පු හා කාර්යාල සේවක පනත, පඩිපාලක සභා ආඥාපනත, කාන්තාවන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ පනත සහ ප්‍රසූතිකාධාර ආඥාපනත යන ව්‍යවස්ථා වෙනුවට සේවා නියුත්තිය පිළිබඳ නව පනතක් හඳුන්වා දීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස්රථ 500ක් මිල දී ගැනීම
     
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන කාල සටහන අනුව මගී සේවා සපුරා ලීම සඳහා බස්රථ 7,257ක් අවශ්‍ය වුවද, බස්රථ ඌනතාව හේතුවෙන් දැනට ධාවනයට යොදවනු ලැබ ඇත්තේ බස්රථ 6,000ක් පමණි. දැනට පවතින රථ ඇණියෙන් බස්රථ 1,560ක් වසර 15කට වඩා පැරණි ඒවා වන අතර, ඒවායෙහි නිරන්තර කාර්මික දෝෂයන් ඇති වීම හේතුවෙන් මගී අවශ්‍යතාවන් නිසි පරිදි සලසාලීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නොහැකි වී තිබේ. බස්රථ වල නියමිත ආයු කාලය ඉක්මවීම සහ අනතුරුවලට ලක්වීම හේතුවෙන් වාර්ෂිකව බස්රථ 500ක් පමණ ධාවනයෙන් ඉවත් කළ යුතු වේ. මෙම කරුණු සැලකිල්ලට ගෙන නාගරික මගී සේවා වෙනුවෙන් යෙදවීමට උස් පිටුපස ඇන්ද සහිත ආසන 50-54 නව බස්රථ 400ක් සහ ග්‍රාමීය මගී සේවාවන් සඳහා යෙදවීම වෙනුවෙන් ආසන 32-35 නව බස්රථ 100ක් මිල දී ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශල්‍යාගාර රබර් අත්වැසුම් මිල දී ගැනීම
     
    රබර් කිරිවලින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන, ශල්‍යාගාරවල අවශ්‍යතාව සඳහා එක්වරක් පමණක් භාවිත කරනු ලබන, එක් එක් යුගලය වෙන් වෙන්ව විෂබීජහරණය කර ඇසුරුම් කරන ලද ජීවාණුහරිත ශල්‍යාගාර රබර් අත්වැසුම් යුගල (විවිධ ප්‍රමාණවලින්) 31,041,000ක් සැපයීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,199.9ක මුදලකට Sisili Project Consortium (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වෛද්‍ය පරීක්ෂණ අත්වැසුම් මිල දී ගැනීම
     
    වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරනු ලබන, රබර් කිරිවලින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන, විෂබීජහරණය නොකළ වෛද්‍ය පරීක්ෂණ අත්වැසුම් යුගල (විවිධ ප්‍රමාණවලින්) 79,430,000ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 448.3ක මුදලකට Sisili Project Consortium (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    බේරේ වැව ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති සැලසුම ක්‍රියාත්මක කිරීම වැව ඉවුර සංරක්ෂණය කිරීම
     
    බේරේ වැවට යාබදව පිහිටි භූමි ප්‍රදේශය ස්වාභාවික සෞන්දර්ය රැකෙන පරිදි සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත. බේරේ වැව වටා රේඛීය උද්‍යානයක් ඉදි කිරීම හා වැව අවට ඉඩම් සංවර්ධනය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ඒ යටතේ හඳුනාගෙන තිබේ. මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමට පෙර වැව් ඉවුර සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කැලණියේ සිට අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලුම් වැගන් සහ බහාලුම් පෙට්ටි මිල දී ගැනීම
     
    නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂක බිම් පිරවුමක් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව දැනටමත් පිරිනමා ඇත. ඒ අනුව, කොළඹ තෝරාගත් නාගරික ප්‍රදේශවල එක් රැස්වන නාගරික ඝන අපද්‍රව්‍ය අරුවක්කාලු ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කිරීම සඳහා බහාලුම් වැගන් 34ක් හා බහාලුම් පෙට්ටි 94ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ලංකා විදුලිබල මණ්ඩලයේ භාවිතය සඳහා ගොඩනැඟිලි ඉදි කිරීම
     
    පුත්තලම, ලක්විජය බලාගාරයේ ඉංජිනේරුවන් සඳහා සියලුම පහසුකම්වලින් සමන්විත නිවාස සංකීර්ණ 08ක් සහ කාමර 24කින් යුත් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි, M/s George Stuart Engineering (PVT) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya