අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.05.30

    මැයි 31, 2018
     
    2018.05.30  වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තිරණ පහත සඳහන්  වේ.
     
    ශ්‍රී ලංකාවේ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාව '1990 සුවසැරිය පදනම' - අදියර II ක්‍රියාත්මක කිරීම
     
    '1990 සුවසැරිය' හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතියි. බස්නාහිර හා දකුණ යන පළාත්වල පමණක් දැනට ක්‍රියාත්මක වන එම ගිලන්රථ සේවාව එහි දෙවන අදියර යටතේ, දිවයිනේ අනෙකුත් පළාත් වෙතද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15.02ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ. ඒ අනුව, '1990 සුවසැරිය පදනම' ස්ථාපිත කෙරෙන තුරු එම ගිලන්රථ සේවාවේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට අදාළ බදු වියදම් තම අමාත්‍යාංශය වෙතින් දැරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මැදි ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය පිළිබඳ 2018 අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම
     
    මුල් වරට නිවසක් මිල දී ගනු ලබන මැදි ආදායම්ලාභීන්ට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මැදි ආදායම්ලාභී නිවාස සංවර්ධන ව්‍යාපෘති මඟින් නිවසක් ලබාගැනීම සඳහා සහාය වීමේ අරමුණින් 'මැදි ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය' 2018 අය වැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක කරනු ලැබේ. ප්‍රමාණවත් ඉඩම් ලබාගැනීමේ දුෂ්කරතා සහ ඉදි කිරීම් සඳහා කල්ගත වීම හේතුවෙන් රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන එකී නිවාස ව්‍යාපෘති මඟින් නිවාස ඉල්ලුම කඩිනමින් සපුරාලීම අපහසු බව හඳුනාගනු ලැබ තිබේ. 
     
    එබැවින්, මුල් වරට නිවසක් මිල දී ගනු ලබන මැදි ආදායම්ලාභීන්ට පෞද්ගලික අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘති වෙතින්ද නිවාස මිල දී ගැනීම සඳහා ඉඩ සලසමින් මෙම නිවාස ණය යෝජනා ක්‍රමය පුළුල් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන
     
    රාජ්‍ය අංශයේ විධායක නිලධාරින් සඳහා ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වර්ෂයේදී මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන හඳුන්වා දෙන ලදී. කාර්යය රාමු දෙකක් යටතේ මේ වන විට නිලධාරින් 135 දෙනෙකු සඳහා එමඟින් අධ්‍යයන අවස්ථා හිමි වී තිබේ. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන ඉදිරි වසර 4ක් සඳහා අඛණ්ඩව පවත්වාගෙන යාමට ජපාන රජය එකඟ වී ඇත. ඒ යටතේ සෑම වර්ෂයකදීම පශ්චාත් උපාධි පාඨමාලා ශිෂ්‍යත්ව 15 ක් හා ආචාර්ය උපාධි පාඨමාලා ශිෂ්‍යත්ව 02ක් බැගින් ඉදිරි වර්ෂ 04 තුළ ලබා දීමට යෝජනා වී ඇත. 
     
    ඒ අනුව, යෝජිත මානව සම්පත් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන 265ක ප්‍රදානයක් ලබා ගැනීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමඟ ගිවිසුමක් අත්සන් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කලමැටිය ධීවර වරාය ඉදි කිරීම මගින් බලපෑමට ලක් වූ මාදැල් ධීවරයින් සඳහා සහන සැලසීම
     
    කලමැටිය ධීවර වරාය හා දියකඩනය ඉදි කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ සාම්ප්‍රදායික මාදැල් ධීවර කර්මාන්තයට බාධා ඇති වූ අතර, එමඟින් මාදැල් ධීවරයින් 28 දෙනෙකුට හා ඔවුන්ගේ යැපෙන්නන් 644 දෙනෙකුට අහිතකර බලපෑම් ඇති වී තිබේ. මේ හේතුවෙන් එකී මාදැල් හිමියන් හට සැලකිය යුතු වාර්ෂික ආදායමක් අහිමි වී ඇති බව හඳුනාගනු ලැබ තිබේ. ඒ වෙනුවෙන් මුදලින් වන්දි ගෙවීම වෙනුවට එම මාදැල් හිමියන් 28 දෙනා වෙනුවෙන් එකක් රුපියල් මිලියන 7.8ක් වන අඩි 36ක දිගින් යුත් බහුදින යාත්‍රා ලබා දීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම මාදැල් හිමියන් 28 දෙනා සඳහා වෙන් වෙන් වශයෙන් අඩි 36ක දිගින් යුත් බහු දින ධීවර යාත්‍රා ලබා දීමටත්, එම ධීවර යාත්‍රාවක පිරිවැයෙන් 50%ක් රජය මඟින් දැරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ව්‍යාපාර කටයුතු පහසුකරලීම සඳහා එක් සේවා කවුළුවකින් සේවා පහසුකම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස රේගු ආඥාපනත සංශෝධනය කිරීම
     
    ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආයෝජන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපාර ක්‍රියාවලියේ කාර්යක්ෂම බව හා සරල බව වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වන අතර, මේ සඳහා භාණ්ඩ මෙරටට ගෙන ඒමට ප්‍රථම නිෂ්කාෂණය හා ලේඛන රහිත රේගු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එමඟින් නිෂ්කාෂණ කටයුතුවලදී ව්‍යාපාරිකයින්ට දැරීමට සිදුවන පිරිවැය හා කාලය අඩුවන අතර, ව්‍යාපාර කටයුතු පහසු කිරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය ඉහළ යනු ඇත. 
     
    මේ සඳහා විධිවිධාන සලසමින් රේගු ආඥා පනත සංශෝධනය කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, රේගු ආඥා පනත සඳහා ඇතුළත් කළ යුතු යෝජිත සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ වරායවල් ඇතුළු වෙරළ කලාපය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය
     
    ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 30%ක් පමණ වෙරළ කලාපය ආශ්‍රිතව ජීවත් වන අතර, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය ඇතුළු ප්‍රධාන ආර්ථික ක්‍රියාවලීන් රැසක් මෙම කලාපය තුළ සිදුවේ. මෙමඟින් ජනනය වන අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් සමුද්‍ර පරිසරය දූෂණය වීමේ ඉහළ අවදානමක් මතු වී තිබෙන අතර, මහජන සෞඛ්‍යටද ඉන් දැඩි තර්ජනයක් එල්ල වේ. එබැවින්, ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ සියලු ආයතන නියෝජනය වන පරිදි වෙරළ කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණ කමිටුවක් පිහිටුවීමටත්, වෙරළාශ්‍රිත කලාපය දූෂණය කරන්නන්ට එරෙහිව ඩෙංගු මර්දන පනතේ, ජාතික පාරිසරික පනතේ හා සමුද්‍රීය පරිසර දූෂණ වැළැක්වීමේ පනතේ විධිවිධාන දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් යෙදීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එවකට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මහජනතාව වෙත කඩිනමින් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන
     
    සියලුම පුරවැසියන් සඳහා භූමියෙහි හිමිකම ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ රජයේ ඉඩම්වල පදිංචි පුද්ගලයින් දසලක්ෂයක් සඳහා දීමනා පත්‍ර/බලපත්‍ර ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කරනු ලැබ තිබේ.‍‍ මේ යටතේ පොළොන්නරුව, මොරනරාගල, ගාල්ල හා අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල මීට අදාළ ප්‍රධාන වැඩසටහන් පවත්වා ඇත. ඉතිරි දිස්ත්‍රික්ක 21ට අදාළ ප්‍රධාන වැඩසටහන් හා එක් දිස්ත්‍රික්කයකට 03 බැගින් වූ ප්‍රාදේශීය වැඩසටහන් 2018 මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ සිදු කිරිමට නියමිතය. ඒ අනුව, සියලුම දිස්ත්‍රික්කවල හා ප්‍රාදේශීය මට්ටමින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත අතිරේක භාණ්ඩාගාර ප්‍රතිපාදන සලසා දීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වැවිලි ප්‍රදේශ සඳහා වන නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීම
     
    වැවිලි ප්‍රදේශ සංවර්ධනය වෙනුවෙන් පිහිටුවීමට යෝජනා කරනු ලැබ ඇති නව ගම්මාන සංවර්ධන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා විධිවිධාන සලසමින් සකස් කරනු ලැබ ඇති, වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සැපයීම, සවිකිරීම, පරීක්ෂා කිරීම හා හැසිරවීම සඳහා වූ ප්‍රසම්පාදනය
     
    ද්විත්ව දුම්රිය මාර්ග සඳහා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති 25ක්ද, තනි දුම්රිය මාර්ග සඳහා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති 175ක්ද සැපයීම, සවිකිරීම, පරීක්ෂා කිරීම හා හැසිරවීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අවශ්‍ය පුහුණුව ලබා දීමද ඇතුළත්ව, M/s. N-Able (Pvt) Ltd. සහ මොරටුව විශ්වවිද්‍යාලයේ M/s. Uni Consultancy Services යන ආයතනයන්ගෙන් සැදුම්ලත් සාමූහිකයක් වෙත ප්‍රදානය කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලු හේතුවෙන් ඇති වී ඇති ප්‍රමාදයන් සැලකිල්ලට ගෙන එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇති කාලය මාස 12කින් දීර්ඝ කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වෝහාරික විගණනයන්/විමර්ශන පැවැත්වීම සඳහා ජාත්‍යන්තර විගණන සමාගමක/සමාගම්වල සේවය ප්‍රසම්පාදනය කිරීම
     
    මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වී ඇතැයි කියනු ලබන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා‍ව විසින් එම විමර්ශනය අවසානයේ ලබා දෙන ලද වාර්තාව අනුව, එහි දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වෝහාරික විගණන සිදු කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ සඳහා මනා පරිචයක් හා විශේෂඥතාවක් සහිත ස්වාධීන සමාගමක/සමාගම්වල සේවය ලබාගැනීම සුදුසු බව යෝජනා වී ඇති අතර, සුදුසු එවැනි සමාගමක් තෝරා ගැනීම සඳහා උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද අවිනිශ්චිත වියදම්වල ඉතුරුම් ඵලදායී ලෙස උපයෝජනය කිරීම
     
    ග්‍රාමීය ප්‍රදේශයන්හි පාලම් ඉදි කිරීම සඳහා වෙන් කරන ලද අවිනිශ්චිත වියදම්වල ඉතුරුම් යොදා ගනිමින් මුල් කොන්ත්‍රාත් ගිවිසුම්වල සඳහන් ගාස්තු යටතේම ග්‍රාමීය පාලම් 35ක් සහ සෑම පළාතක් සඳහාම මීටර 36ක දිගකින් යුත් තාවකාලික පාලම් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එහෙත් යෝජිත පරිදි පළාත් මට්ටමින් තාවකාලික පාලම් 09 වෙනුවට ගංවතුරෙන් හානියට පත් අත්‍යවශ්‍ය ස්ථානයන් තෝරා ගෙන අතිරේක පාලම් 15ක් ඉදි කිරීම වඩාත් සුදුසු බව ජාතික මෙහෙයුම් කමිටු රැස්වීමේදී යෝජනා වී ඇත. 
     
    ඒ අනුව, පළාත් මට්ටමින් තාවකාලික පාලම් 09ක් ඉදි කිරීම වෙනුවට අත්‍යවශ්‍ය ස්ථානයන්හි පිහිටි, මෑතකදී ගංවතුරෙන් හානි වූ පාලම් වෙනුවට වානේ පාලම් 15ක් ඉදි කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රැකියා විරහිත උපාධිධාරින් අදියරගත පදනමින් පුහුණු කිරීම
     
    රැකියා විරහිත උපාධිධාරින් සඳහා රැකියා ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, වයස අවුරුදු 45ට අඩු ඉල්ලුම් කරන ලද සියලුම රැකියා විරහිත උපාධිධාරින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගැනෙනු ඇත. ඔවුන් අතුරින් උපාධිධාරින් 5,000ක් 2018 ජූලි මාසයේදීද, 15,000ක් 2018 සැප්තැම්බර් මාසය තුළදීද පුහුණුව සඳහා බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. පුහුණු කාලය තුළදී ඔවුන්ට රුපියල් 20,000/-ක මාසික දීමනාවක් ලබා දෙනු ලැබේ. ඉතිරි උපාධිධාරින් 2019 වර්ෂයේදී අදියර වශයෙන් පුහුණු කිරීමට සැලසුම් කර තිබේ. 
     
    මෙම රැකියා විරහිත උපාධිධාරින් පුහුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, පුහුණුව සම්පූර්ණ කරනු ලබන උපාධිධාරින් අතුරින් සංවර්ධන නිලධාරි ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් සපුරන උපාධිධාරින් සංවර්ධන නිලධාරි පුරප්පාඩු සඳහා බඳවා ගැනීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වඳවී යෑමේ තර්ජනයට ලක් වී ඇති සත්ව හා ශාක විශේෂ සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ගිවිසුමේ (CITES) පාර්ශ්වකරුවන්ගේ 18 වන ජාත්‍යන්තර සම්මේලනය සඳහා සත්කාරකත්වය දැරීම
     
    වඳවී යෑමේ තර්ජනයට ලක් වී ඇති සත්ව හා ශාක විශේෂ සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ගිවිසුමේ (CITES) පාර්ශ්වකරුවන්ගේ 18 වන ජාත්‍යන්තර සම්මේලනය 2019 මැයි මස 22 දින සිට ජුනි 03 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. මෙම සම්මේලනය සංවිධානය කිරීමේ වගකීම එවකට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය වෙත පැවරී තිබූ නමුත්, 2018 03 28 දිනැති අංක 2064/26 දරන ගැසට් නිවේදනය මඟින් එම වගකීම බුද්ධශාසන අමාත්‍යාංශය වෙත පවරනු ලැබ තිබේ. 
     
    ඒ අනුව, එම සම්මේලනය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් වඳවී යෑමේ තර්ජනයට ලක් වී ඇති සත්ව හා ශාක විශේෂ සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ගිවිසුමේ (CITES) ලේකම් කාර්යාලය සමඟ ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තැබීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    දකුණු පළාතේ පැතිර යමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝගය පාලනය කිරීමට අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග ගැනීම
     
    ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය මත රෝගීන් 2,000ක් පමණ පසුගිය මාස 02ක කාලසීමාව තුළ දකුණු පළාතේ රෝහල්වලට ඇතුළත් වී ඇති අතර, එම කාලය තුළදී ඉන් රෝගීන් 11 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වී තිබේ. මෙම රෝගය පාලනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිකාර සේවා සැපයීම, රෝගීන් වෙන් කිරීමේ ස්ථාන ඇති කිරීම ඇතුළු පියවර රැසක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලැබ තිබේ. මෙම රෝගය එම පළාත තුළ සහ ආසන්න ප්‍රදේශවල පැතිර යාම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අදාළ රෝහල් වෙත කඩිනමින් සැපයිය යුතු අතිරේක වෛද්‍ය උපකරණ, අනෙකුත් උපකරණ හා පහසුකම් නොපමාව ලබා දීම පිණිස අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වැඩබලන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රජයේ පොහොර සහනාධාරය යටතේ බෙදාහැරීම පිණිස පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2018 ජුනි
     
    ගොවි ජනතාව වෙත සැපයීම සඳහා රජය විසින් සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් රසායනික පොහොර ආනයනය කරනු ලැබේ. ඒ යටතේ 2018 ජුනි මාසයේ බෙදාහැරීම සඳහා අවශ්‍ය මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 6,000ක් මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 311.74 බැගින් සිංගප්පූරුවේ M/s. Valency International Trading (Pvt) Ltd. වෙතින්ද, යූරියා මෙට්‍රික් ටොන් 18,000ක් මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 280.90 බැගින් අබුඩුබාහි M/s. Agri Commodities and Finance FZE වෙතින්ද ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි මිල දී ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya