මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.04.10

    අප්‍රේල් 11, 2018

    2017.04.10 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුනු තිරණ පහත සඳහන් වේ.

     

    හඳුනාගත් රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීම

    මෙරට සෞඛ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීමේ අරමුණින් දැනට හඳුනාගෙන ඇති රෝහල් සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම් හා එම රෝහල් සඳහා වෛද්‍ය උපකරණ සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. කලින් සැලසුම් කර තිබූ පරිදි, ඒ සඳහා චීනයේ අපනයන ආනයන බැංකුවෙන් (EXIM Bank of China) ණය ආධාර ලබාගැනීමට නොහැකි වී තිබේ. නමුත්, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එහි මුළු ව්‍යාපෘති පිරිවැයෙන් 85%ක් වන ඇමරිකානු ඩොලර් මිලියන 72.25ක මුදලක් හොංකොංහි හොංකොං සහ ෂැංහයි බෑංකින් කෝ‍පරේෂන් ලිමිටඩ් (HSBC) වෙතින්ද, ඉතිරි 15%ක පිරිවැය වන ඇමරිකානු ඩොලර් මිලියන 12.75ක මුදල මහජන බැංකුව වෙතින්ද සලසා ගැනීම සඳහා ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    තිරසර සංවර්ධන ඉලක්ක ප්‍රචලිත කිරීම

    2030 වර්ෂය වනවිට තිරසර සංවර්ධන ඉලක්ක (Sustainable Development Goals - SDGs) සාක්ෂාත් කරගැනීම පිළිබඳව වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සඳහා 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාව එකඟතාව පළ කර තිබේ. ඒ සඳහා අදාළ වන විධිවිධාන ඇතුළත් 2017 අංක 19 දරන ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත, 2017 10 03 දින සිට බල පැවැත්වේ. ඒ අනුව, එම තිරසර සංවර්ධන ඉලක්ක ලඟා කරගැනීමේදී රාජ්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු ජාතික ක්‍රමෝපායන් තම ආයතනික සැලසුම් තුළට ඇතුළත් කරගන්නා ලෙස සියලු රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දුම්කොළ නිෂ්පාදනයන් සඳහා සම්මත (අවර්ණ) ඇසුරුම්කරණය හඳුන්වා දීම
    දුම්කොළ පරිභෝජනය මඟින් ඇති කරනු ලබන ඍජු හෝ වක්‍ර බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවන බවට ගණන් බලා තිබේ. පසුගිය කාලය පුරා දුම්කොළ හා මද්‍යසාර භාවිතය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රතිඵලයක් වශයෙන් 2011 වර්ෂයේදී 29%ක්ව පැවති ශ්‍රී ලංකාවේ වැඩිහිටි පිරිමි තැනැත්තන් අතර දුම්කොළ පරිභෝජනය 2015 වර්ෂය වන විට 24% දක්වා අඩු වී තිබේ. ඉදිරි වසර 4ක කාලය තුළ එම අගය 15% ක් දක්වා අඩු කරගැනීම මඟින් දුම්කොළ භාවිතය හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ 6,000ක් පමණ වළක්වා ගැනීම රජයේ අපේක්ෂාව වේ. ඒ අනුව, දුම් පානය අධෛර්මත් කිරීමේ එක් උපක්‍රමයක් වශයෙන්, සියලුම දුම්කොළ නිෂ්පාදන ඇසුරුම්වල ඇති ආකර්ෂණීය බව අඩු වන පරිදි 'සම්මත ඇසුරුම්කරණය' හඳුන්වා දීමට යෝජනා වී තිබේ. මෙහිදී දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් සඳහා වර්ණ දෙකක් හෝ සුදු හා කලු යන වර්ණ පමණක් භාවිත කළ හැකි අතර, වෙළඳ නාමය, නිෂ්පාදන නාමය, නිෂ්පාදනයේ ප්‍රමාණය සහ සෞඛ්‍යමය අනතුරු ඇඟවීම් ආදී රජය විසින් නිශ්චය කළ ‍හෝ අනිවාර්ය කළ තොරතුරු හෝ සලකුණක් හැර අන් කිසිවක් එම ඇසුරුම්වල ප්‍රදර්ශනය කිරීමට ඉඩ දෙනු නොලැබේ. මෙම උපක්‍රමය දුම්කොළ අලෙවිය සැලකිය යුතු මට්ටමකින් පහත හෙලීමට ඉවහල් වන බව වෙනත් රටවල්වල අත්දැකීම් මඟින් තහවුරු වී තිබේ. ඒ අනුව, මෙරට අලෙවි කරනු ලබන සියලුම දුම්කොළ නිෂ්පාදන සඳහා 'සම්මත ඇසුරුම්කරණය' හඳුන්වා දීමට අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීමේ අරමුණින්, 2006 අංක 27 දරන ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරිය පනත සංශෝධනය කිරීම හෝ එම පනත යටතේ රෙගුලාසි පැනවීම සඳහා අවශ්‍ය කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම
    ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මට්ටමින් පිහිටා ඇති ප්‍රාථමික මට්ටමේ රෝහල් 970ක් පමණ ඇති නමුත්, මහජනතාව මෙම රෝහල් ජාලය මඟහැර තෘතීයක මට්ටමේ ප්‍රතිකාර ලබා දෙන රෝහල් වෙතම යොමු වීමේ ප්‍රවණතාවක් පවතී. ඒ හේතුවෙන්, තෘතීයක මට්ටමේ ප්‍රතිකාර ලබා දෙන රෝහල්වල අධික තදබදයක් නිර්මාණය වී ඇත. එමෙන්ම, වයස්ගත ජනගහනය වැඩිවීම, බෝ නොවන රෝගවල වර්ධනය, වෙනස් වන රෝග රටාවන් ආදි හේතු නිසා මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව උද්ගත වී තිබේ. එබැවින්, විශේෂඥ ප්‍රතිකාර සේවා ලබා දෙන ආසන්නතම ප්‍රාථමික රෝහල් සමඟ පර්ෂද වශයෙන් සම්බන්ධ කිරීම මඟින් මහජනතාවට පහසුවෙන් සේවා ලබාගත හැකි දියුණු සෞඛ්‍ය සේවා පද්ධතියක් ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පහත සඳහන් අංග ඇතුළත් වන පරිදි සකස් කරනු ලැබ ඇති, 'සාර්ව සෞඛ්‍ය රැකවරණයක් අරමුණු කර ගත් සෞඛ්‍ය සත්කාර සැපයීමේ ප්‍රතිපත්තිය' ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. * ජනගහනයෙන් 5,000ක් ආවරණය වන පරිදි, පවුලේ වෛද්‍යවර‍‍ෙයකු බැගින් හඳුනාගෙන රෝග නිවාරණය සඳහා පහසුකම් සැලසීමට හැකිවන සේ ප්‍රාථමික සත්කාරක සේවා සපයන ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම. * පවුල් වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සිදු කිරීමට සහ ප්‍රථම වරට සත්කාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ලබා දෙන සේවා ශක්තිමත් කිරීමට අවශ්‍ය මූලික පුහුණුව වෛද්‍යවරුන්ට ලබා දීම. * ප්‍රාථමික සත්කාරක ආයතනවලින් සියලුම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සහතික කිරීම සහ එම රෝගීන් විශේෂඥ වෛද්‍යවරුන් සහිත ද්විතීයක සහ තෘතීයක රෝහල් වෙත කාලානුරූපීව සුදුසු පරිදි යොමු කිරීම ශක්තිමත් කිරීම. * සෑම පුරවැසියෙකුටම අනන්‍ය වූ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හඳුනාගැනීමේ අංකයක් සහිත පුද්ගල සෞඛ්‍ය වාර්තාවක් ලබා දීම සහ සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම. * සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් ඵලදායී ලෙස අනුයුක්ත කිරීම සහ උපයෝගි කරගැනීම සහතික කිරීම. * අදාළ පර්ෂද තුළ ප්‍රාථමික සත්කාර සපයන වෛද්‍යවරුන් සමඟ එකාබද්ධව ඔවුන්ගේ සායනික හැකියාවන් වර්ධනය කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් මඟින් දූරස්ථව උපකාර ලබා දීමේ ක්‍රමයක් ස්ථාපනය කිරීම.

    ධීවර සහ ජලජීවී වගා ක්ෂේත්‍රය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීම
    ධීවර සහ ජලජීවී වගා ක්ෂේත්‍රය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදෙන ලද අනුමැතිය පරිදි ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය අමාත්‍යාංශය විසින් ධීවරයින්, ජලජීවී වගාකරුවන්, අපනයනකරුවන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ, විද්වතුන්ගේ සහ මහජනතාවගේද අදහස් ලබා ගනිමින් එම ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කරනු ලැබ තිබේ. ධීවර කර්මාන්තය හා ජලජීවී වගාව තිරසර ලෙස කළමනාකරණය කිරීම සහ එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදීයාම කෙරෙහි මෙම නව ප්‍රතිපත්තිය මඟින් අවධානය යොමු කරනු ලැබ තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ධීවර කර්මාන්තය සිදු කිරීම, නීති විරෝධී ධීවර කටයුතු වැලැක්වීම, උචිත නව තාක්ෂණය හඳුන්වාදීම, පසු අස්වනු හානිය අවම කිරීම, ජාතික මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම, මත්ස්‍ය නිෂ්පාදන අපනයන ප්‍රවර්ධනය, ධීවර ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම යනාදී කරුණු කෙරෙහි මෙමඟින් ප්‍රතිපාදන සලසයි. යෝජිත ධීවර සහ ජලජීවී වගා නව ජාතික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන නියෝජිතයින්ගේ අදහස් ලබාගැනීම පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකාවේ කලපු හා අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත ජලජ පරිසර සංරක්ෂණය හා සංවර්ධනය තුළින් ජලජීවී නිෂ්පාදනය ඉහළ නැංවීම
    මෙරට ස්වාභාවික කලපු පද්ධතිය, මෝය කට හා ආශ්‍රිත ප්‍රදේශ, විල්ලු හා කෘෂිකර්මාන්තය සඳහා යොදා ගනු නොලබන අතිරික්ත ජලය සහිත තෙත් කලාපයේ කුඩා හා මධ්‍ය පරිමාණයේ අභ්‍යන්තර ජලාශ, තිරසර කළමනාකරණයකින් යුතුව ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට ඉහළ හැකියාවක් පවතී. එබැවින්, ශ්‍රී ලංකාවේ කලපු හා අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත ජලජ පරිසර සංරක්ෂණය සහ සංවර්ධනය හා ජලජීවී වගාව තුළින් මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම පිණිස 2018 අයවැය මඟින් රුපියල් මිලියන 1,000ක් වෙන් කරනු ලැබ තිබේ. මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම, නව රැකියා අවස්ථා බිහි කිරීම, සංචාරක කර්මාන්තය හා ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය, මත්ස්‍ය නිෂ්පාදන සැකසුම් හා අගය එකතු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමත්, විදේශ විනිමය ඉපයීම ඉහළ නැංවීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණු වේ. පුත්තලම, නයාරු, ආරුගම්බේ, පානම හා රැකව යන කලපු සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් කලපු 18ක් සහ තෙත් කලාපයේ මිරිදිය වැව් 300ක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දේශගුණික විපර්යාසයන්ට අනුගතවන කෘෂි - වාරි සංවර්ධන ව්‍යාපෘතිය (2018-2024)
    දිවයිනේ වියළි හා අතරමැදි කලාප තුළ පිහිටා ඇති කුඩා වැව්, ඇනිකට් හා ඇල මාර්ගවලින් සමන්විත සුළු වාරිමාර්ග යටතේ කුඹුරු අක්කර 470,000ක් පමණ වගා කෙරෙන අතර, එය මෙරට සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් 25%ක් පමණ වේ. ගොවි පවුල් 384,000ක් පමණ මෙමඟින් තම ජී‍වනෝපාය සලසා ගනු ලැබේ. මෙම කුඹුරු ඉඩම් දේශගුණික විපර්යාසයන්හි බලපෑමට ඉතා පහසුවෙන් ලක්විය හැකි බැවින්, වියළි කලාපීය දිස්ත්‍රික්ක 09ක් පුරා විසිරී පවතින එල්ලංගා පද්ධති 87ක් යටතේ ඇති කුඩා වැව් 1,493ක් දේශගුණික විපර්යාසයන්හි බලපෑමට ඔරොත්තු දෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හඳුනා‍ගෙන තිබේ. ඒ අනුව, එම වැව් යටතේ ඇති වගා බිම්වල ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් 2018-2024 කාල පරිච්ඡේදය තුළ ලෝක බැංකු ආධාර යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රාජ්‍ය වෙසක් උත්සවය - 2018
    'දැමුණු සිත සුව ගෙන දේ' යන තේමා පාඨය මුල් කරගනිමින්, ශ්‍රී බුද්ධ වර්ෂ 2562ක් වන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ඓතිහාසික දේවගිරි රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව, 2018 අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 දින දක්වා වන 'වෙසක් සතිය' ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවටත්, ආධ්‍යාත්මික සංවර්ධනයෙන් පිරිපුන් තිරසර සමාජයක් ගොඩනැංවීමේ අරමුණින් වැඩසටහන් රැසක් ඊට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත බවටත් බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

    2014 අංක 33 දරන ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන පනත සංශෝධනය කිරීම
    ඉදි කිරීම් කර්මාන්තයේ කටයුතු නියාමනය කරමින්, විධිමත් කරමින් සහ ප්‍රමිතිකරණය කරමින් ශ්‍රී ලකාවේ ඉදි කිරීම් කර්මාන්තයේ සංවර්ධනය උදෙසා විධිවිධාන සැලසීමේ අරමුණින් 2014 අංක 33 දරන ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන පනත පනවනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයට අදාළ කටයුතු සියල්ල එමඟින් ආවරණය නොවන බැවින් ඉදි කිරීම් කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන් ආවරණය වන පරිදි එම පනත සංශෝධනය කළ යුතු බවට ඉදි කිරීම් කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගෙන් හා වෘත්තීයවේදින්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, අදාළ සියලු පාර්ශ්වකරුවන් විමසීමෙන් හා මනා සංවාදයකින් අනතුරුව, එම පනත සඳහා සංශෝධන කෙටුම්පත් සකස් කරනු ලැබ තිබේ. එම කෙටුම්පත් පදනම් කරගනිමින් 2014 අංක 33 දරන ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
    කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) පනත පැනවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දෙන ලද අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කරනු ලැබ තිබේ. 2009 වසරට පෙර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා වෙනත් රාජ්‍ය ආයතන විසින් ඉදි කරනු ලැබූ සහාධිපත්‍ය දේපළවල අයිතිය ඒවායේ පදිංචිකරුවන් වෙත පැවරීමට බාධාවක්ව පවතින වත්මන් බද්ධ නිවාස අයිතිකම් පනතේ පවතින විධිවිධාන සඳහා පිළියම් යෙදීම මෙමඟින් අපේක්ෂා කෙරේ. එමෙන්ම රජයට අයත් සහාධිපත්‍ය දේපළවල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් විධිවිධාන යෙදීමටද මෙමඟින් කටයුතු කෙරේ. ඒ අනුව, බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංක‍ාවේ ඛනිජ තෙල් ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම
    ඛනිජ තෙල් මිල ශීඝ්‍රයෙන් පහළ යාමත් සමඟ ගෝලීය ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු කැනීම් කර්මාන්තය වර්ධනය නොවීම හේතුවෙන් පසුගිය වර්ෂ තුනක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු මන්දගාමීව සිදු වී ඇතත්, දේශීය වෙළඳ පොළ අවශ්‍යතාවන් මුදුන්පත් කරවා ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් අක්වෙරළ ගවේෂණ කටයුතු නොකඩවා සිදු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. මේ වන විටත් සොයා ගනු ලැබ ඇති ස්වාභාවික වායු නිධි සංවර්ධනය කිරීම සඳහා සුළු පරිමාණ ලංසු කැඳවීම සහ ගවේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිමත් ලංසු කැඳවීම කෙරෙහි අවධානය යොමු කරමින් දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින් පියවර ගනු ලැබ තිබේ. මන්නාරම් ද්‍රෝණියේ එම් 2 වශයෙන් නම් කරන ලද බිම් කොටසින් සොයා ගැණුනු ස්වාභාවික වායු නිධියේ අතිරේක නිධි සොයා ගැනීම සඳහා ගවේෂණය කිරීමට ලංසු කැඳවීමේ වටය 2018 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නැ‍ඟෙනහිර වෙරළ තීරයේ හා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සඳහා තෝරාගත් සමාගම් සමඟ ගිවිසුම්වලට එළඹීමට සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ගොඩබිම් තීරයේ ඛනිජ තෙල් ගවේෂණය සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංක‍ාවේ ඛනිජ තෙල් ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීම සඳහා ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග හා සැලසුම් සම්බන්ධයෙන් වන ඉහත සඳහන් තොරතුරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

    රථවාහන දුම් පරීක්ෂා සහතික පත්‍ර නිකුත් කිරීම සඳහා වන ප්‍රසම්පාදනය
    රථ වාහන සඳහා දුම් පරීක්ෂණ සහතික පත්‍ර නිකුත් කිරීම පිණිස වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, M/s Laugfs Eco Sri (Pvt.)Ltd., M/s Cleanco Lanka (Pvt.) Ltd. සහ M/s Auto Test Lanka (Pvt.) Ltd. යන සමාගම් තුන වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වතු පාසල් වැඩිදියුණු කිරීම සඳහා සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවලින් ඉඩම් ලබාගැනීම
    වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල් 843ක් පිහිටුවා තිබේ. මුලින් මෙම පාසල් සඳහාම වෙන් වූ නිශ්චිත භූමි ප්‍රමාණයක් නොවූවද, සෑම වතු පාසලක් සඳහාම අක්කර 2ක භූමි ප්‍රමාණයක් වෙන් කර දීමට රජය විසින් ප්‍රතිපත්තිමය එකඟතාවකට එළැඹිණි. පසු කලෙක රජය සතුව පැවති වතු, පෞද්ගලික සමාගම් වෙත බදු පදනම මත නැවත ලබා දෙනු ලැබ ඇති බැවින්, වතු පාසල් සඳහා වෙන් කරන ලද උපරිම අක්කර 2 ක ප්‍රමාණය, එම පාසල්වල සංවර්ධන කටයුතු සඳහා අදාළ වතු සමාගම් වෙතින් වෙන් කරගත යුතු වේ. ඒ අනුව, දිස්ත්‍රික්ක 07ක පිහිටි, දැනට සීමිත භුමි ප්‍රමාණයක පවත්වාගෙන යනු ලබන වතු පාසල් 354ක් සඳහා අක්කර 02ක උපරිමයක් දක්වා අදාළ වතු සමාගම් වෙතින් ඉඩම් පවරා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා; රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා; සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2018 මාර්තු මස මුල් කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, තෙල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පීඩාවට පත් වූ පාර්ශ්වයන්ට සහන සැලසීම
    2018 මාර්තු මස මුල් කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ දිගන හා තෙල්දෙණිය ප්‍රදේශ ආශ්‍රිතව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයින් තිදෙනා වෙනුවෙන්, එම එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 500,000/- බැගින් ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දීමටත්, එම සිදුවීම්වලින් තුවාල ලැබූ එක් අයෙකු වෙනුවෙන්, රජයේ ‍ෛවද්‍ය වාර්තා මත පදනම්ව, රුපියල් 250,000/- ක උපරිමයකට යටත්ව වන්දි පිරිනැමීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya