මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.03.27

    මාර්තු 28, 2018

    2018.03.27 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුනු තීරන පහත සඳහන් වේ.

     

    ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණවේදීන්ගේ සංගමය (AAT)


    ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණවේදීන්ගේ සංගමය, 1987 දී පිහිටුවා ඇති අතර, එය සමාගම් පනත යටතේ ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති අතර, එම සංගමය මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ගණකාධිකරණ හා පුහුණු ආයතනයක් බවට පත් වී තිබේ. එම ආයතනයේ කටයුතු තවදුරටත් වර්ධනය කෙරෙමින් කුඩා හා මධ්‍යම ව්‍යවසාය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය නිපුණ ගණකාධිකරණ තාක්ෂණවේදීන් බිහි කිරීම උදෙසා පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාපනය කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අතිරේක අරමුදල් සලසා ගැනීම


    කළුගඟ ජලාශයේ ඉදි කිරීම් කටයුතු 2014 වර්ෂයේදී ආරම්භ කරනු ලැබ ඇති අතර, 2018 දෙසැම්බර් මාසය වන විට මෙම ඉදි කිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ජලාශයේ වේල්ලේ පාදමෙහි පෙර හඳුනා නොගත් භූගෝලීය තත්ත්වයන් සහ ඒ අනුව සිදු කරන ලද ප්‍රතිශෝධනයන් හේතුවෙන් කොන්ත්‍රාත් පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 50.5කින් ඉහළ ගොස් තිබේ. එම හිඟ අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 16ක පමණ කොටසක් ආවරණය කිරීම සඳහා අතිරේක ණය මුදලක් ලබා දීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල විසින් එකඟ වී ඇත. ඒ අනුව, එම ණය මුදල ලබාගැනීම සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකම් සලසා ගැනීම


    තල්පිටිගල ජලාශය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 174ක් වන අතර, ඉන් 85%ක ප්‍රමාණයක් ආවරණය කිරීම සඳහා චීනයේ අපනයන - ආනයන බැංකුව වෙතින් ණය මුදලක් ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ව්‍යාපෘති පිරිවැයේ ඉතිරි 15%ක ප්‍රමාණය ආවරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 26.1ක ණය මුදලක් මහජන බැංකුව වෙතින් ලබාගැනීමටත්, ඒ සඳහා ණය ගිවිසුමකට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මරදානේ පිහිටි ඓතිහාසික කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානයේ 'ශ්‍රී ලංකා ජාතික දුම්රිය කෞතුකාගාරය' ස්ථාපිත කිරීම


    මහජනතාව, ශිෂ්‍යයන් සහ දුම්රිය සේවාව පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරගන්නා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත් දුම්රිය කෞතුකාගාරයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමේ ප්‍රයත්න කිහිපයක් දරනු ලැබ තිබේ. එහෙත් ප්‍රමාණවත් සම්පත් හා ක්‍රමවේදයන් නොමැති වීම හේතුවෙන් මරදාන හා කඩුගන්නාව ප්‍රදේශවල දැනට ස්ථාපිත කරනු ලැබ ඇති දුම්රිය කෞතුකාගාර නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. එබැවින්, නව ව්‍යාපෘතියක් යටතේ, මරදාන පිහිටි කොළඹ දුම්රිය පර්යන්ත ස්ථානය සහ ඊට ආසන්න ගොඩනැඟිලි පුනරුත්ථාපනය කර දුම්රිය කෞතුකාගාරයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ.

    ඓතිහාසික වටිනාකමක් ඇති දුම්රිය ආශ්‍රිත කුඩා හා විශාල කෞතුක භාණ්ඩ සියයකට වැඩි සංඛ්‍යාවක් එහි ප්‍රදර්ශනය සඳහා යෝග්‍ය තත්ත්වයේ පවතින බව හඳුනාගෙන ඇති අතර, නව කෞතුකාගාරය සඳහා දේශීය හා විදේශීය සංචා‍රකයින් ආකර්ෂණය කරගැනීම මඟින් දුම්රිය දෙපාර්තමේන්තුවට සැලකිය යුතු ආදායමක් ලබාගැනීමටද හැකි වනු ඇත. ඒ අනුව, 'ශ්‍රී ලංකා ජාතික දුම්රිය කෞතුකාගාරය' පිහිටුවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා දැව කර්මාන්ත වටිනාකම් ඉහළ නැංවීම


    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අනෙකුත් විවිධ කර්මාන්තයන්හි සංවර්ධනය හා සැසඳීමේදී දැව හා දැව ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය පෙන්නුම් කරනුයේ මන්දගාමී ප්‍රගතියකි. වනාන්තරවල ආරක්ෂාකාරී බව හා නිෂ්පාදන ධාරිතාව අතර සමබරතාවක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ කර්මාන්තය තිරසර ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා වන සංරක්ෂණය හා තිරසර කළමනාකාරිත්වය, නිවර්තන වන සම්පත් භාවිතය හා අලෙවිය ප්‍රවර්ධනය කරනු ලබන ජාත්‍යන්තර නිවර්තන දැව සංවිධානයෙහි (International Tropical Timber Organization - ITTO) සාමාජිකත්වය ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමටත්, දැව භාණ්ඩ නිෂ්පාදකයින් විශාල ප්‍රමාණයක් සිටින මොරටුව ප්‍රදේශයේ දැව නිර්මාණ සැලසුම් නවෝත්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහාත් සැලසුම් කර තිබේ.

    යෝජිත දැව නිර්මාණ සැලසුම් නවෝත්පාදන මධ්‍යස්ථානය මඟින් දැව නිෂ්පාදකයින්ට, රාජ්‍ය දැව සංස්ථාවේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සැලසුම් නිර්මාණ කණ්ඩායම්වල සහාය ඇතිව ප්‍රධාන පෙළේ දැව වර්ග වැඩිදියුණු කරමින් විශිෂ්ටතම දැව සැකසුම් කලාපයක් ලෙස මොරටුව ප්‍රදේශය සංවර්ධනය කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. ඒ අනුව, ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් අදාළ ආයතන සහ විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුම් ඇති කරගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා ඉඩම් කොටසක් පවරා ගැනීම


    - කළුතර, ජාතික සෞඛ්‍ය විද්‍යායතන බල ප්‍රදේශය තුළ පිහිටි රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී සහ පයාගල ප්‍රදේශයේ ළමා හා මාතෘ සෞඛ්‍ය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කිරීමට සහ දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග නිවාරණ වැඩසටහන් මෙන්ම ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ද යොදාගැනීමට හැකිවනු පිණිස පයාගල, වඩුගොඩ ප්‍රදේශය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. මෙම කාර්යය සඳහා, 2004 වර්ෂයේ සිට වසා දමා ඇති වඩුගොඩ ප්‍රාථමික විදුහල පිහිටා‍ තිබූ භූමිය ඉතා යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

    ඒ අනුව, පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා එම ඉඩම් කොටස සිය අමාත්‍යාංශය වෙත පවරා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මොළය මිය ගිය අයගේ අවයව බද්ධ කිරීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම


    මොළය මිය ගිය අයගේ අවයව බද්ධ කිරීම, කාලයක සිට ලොව පුරා සිදු කෙරෙමින් පවතින ශල්‍යකර්මයකි. මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව, දැඩි සත්කාර ඒකකයන්හි හුස්ම දෙන යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින තැනැත්තන්ගේ අවයව මෙලෙස බද්ධ කළ හැකිය. විශේෂයෙන්ම, වකුගඩු, හෘදය වස්තුව, අක්මාව, පෙණහැල්ල, අග්න්‍යාශය, ආහාර මාර්ගයේ කොටස් මෙන්ම ඇසේ කොටස්, සම, ශිරා, හෘදය වස්තුවේ කපාට, කණ්ඩරා හා අස්ථිද මෙලෙස බද්ධ කිරීමේ හැකියාව පවතියි.

    අවයව දන්දීම සඳහා මරණයට පෙර කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් වසරකට 750-1000ත් අතර ප්‍රමාණයකගේ අවයව ප්‍රයෝජනයකට ගැනීමකින් තොරව මිහිදන් කෙරෙන බැවින්, මරණයෙන් පසු අවයව පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත පළ කිරීමට මහජනතාව වෙත අවස්ථාව සලසා දීම රජයේ වගකීමකි. ඕස්ට්‍රේලියාව, ප්‍රංශය හා ලෙබනනය යන රටවල් සිය ජාතික දත්ත පද්ධති යොදා ගනිමින් මෙම කාර්යය සිදු කරන අතර, අන්තර්ජාලය, දුරකථන, කෙටි පණිවිඩ ආදිය මඟින් අවයව දන්දීමේ දත්ත පද්ධතිය සඳහා ලියාපදිංචි වීමේ අවස්ථා රැසක් එක්සත් රාජධානිය වැනි රටවල් විසින් සලසා දෙනු ලැබ ඇත.

    විශේෂයෙන්ම, මෝටර් රථ හදිසි අනතුරු මොළය මියයාමේ මරණ සිදුවීමට ප්‍රධාන හේතුවක් වන අතර, ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම 2,500කට වැඩි පිරිසක් මෝටර් රථ හදිසි අනතුරු හේතුවෙන් මිය යන බව ගණන් බලා තිබේ. ඒ අනුව, මරණයෙන් පසු අවයව බද්ධ කිරීමේ ජාතික වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළද ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    නවෝත්පාදකයින් කර්මාන්තවලට යොමු කිරීම


    නව නිපැයුම්කරුවන් හට කර්මාන්තවලට ප්‍රවේශ වීමේ අවස්ථාව සලසා දීමට 2018 අයවැය මඟින් යෝජනා වූ අතර, එහි අරමුණ වනුයේ ලියාපදිංචි පේටන්ට් බලපත්‍රයක් හෝ යෝග්‍ය ව්‍යාපාර අදහසක් සහිත විශ්වවිද්‍යාල උපාධිධරයන් සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකලාභීන් කර්මාන්ත හා සම්බන්ධ කිරීමයි. එහිදී නවෝත්පාදකයින් අදාළ කර්මාන්ත සඳහා යොමු කරනු ලබන අතර, ඔවුන්ගේ මාසික වැටුපෙන් 50% ක් සඳහා දායක වීමටත් (රුපියල් 50,000/-ක සහ මාස 24ක උපරිමයකට යටත්ව) ඊට අමතරව පේටන්ට් බලපත්‍ර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ දැරීමට සිදුවන වියදම් හා උපදෙස් ලබා දීමටද රජය විසින් කටයුතු කෙරෙනු ඇත.
    ඒ අනුව, මේ සඳහා අයදුම්කරුවන් හා හවුල්කාර සමාගම් තෝරා ගැනීම සඳහා නිර්ණායක තීරණය කිරීම, ආයතන සඳහා අයදුම්කරුවන් ගළපමින් සුදුසු අයදුම්කරුවන් සහ ආයතන තෝරාගැනීම ඇතුළුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ එය සාර්ථක කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත්, එම මෙහෙයුම් කමිටුවට සහාය වීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මාධ්‍යවේදීන් සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් පැවැත්වීම


    මාධ්‍යවේදීන්ගේ බහුවිධ දක්ෂතා හා සුවිශේෂ නිපුණතාවන් හඳුනාගෙන ඒවා ඇගයීමට ලක් කිරීමටත්, වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා නිසි මඟපෙන්වීම් ලබා දෙමින් ඔවුන් අභිප්‍රේරණය කිරීමටත්, යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීමටත්, සංවර්ධනාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා මාධ්‍යවේදීන් පෙලඹවීමටත් කටයුතු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් විසින් ඉටු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ දායකත්වය ඇගයීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් 2018 වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අන්තර්කාලීන විධිවිධාන සැලසීම සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා මඟ හැරවීම පිණිස 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම


    2017 අංක 24 දරන දේශීය ආදායම් පනත 2018 අප්‍රේල් මාසයේ සිට බලාත්මක වේ. එහිදී පෙර පැවැති දේශීය ආදායම් පනත මඟින් ලබා දී තිබූ කල් ඉකුත් නොවූ අලාභ ප්‍රතිපූරණය කිරීම, ප්‍රාග්ධන දීමනා, බදු විරාම වැනි ප්‍රතිපාදන බදු ගෙවන්නන් හට ලබා දීමට අවශ්‍ය අන්තර්කාලීන විධිවිධාන රෙගුලාසි වශයෙන් නිකුත් කළ යුතු වේ. එමෙන්ම නව පනත ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික දුෂ්කරතා මඟහැරවීම පිණිස එහි ඇතැම් විධිවිධාන සංශෝධනය කළ යුතුව ඇත. ඒ අනුව, එම කාර්යයන් සඳහා 2017 අංක 24 දරන දේශීය අදායම් බදු පනත සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත


    2018 අය වැය මඟින් යෝජනා කරන ලද පහත දැක්වෙන සංශෝධන ඇතුළත් කරමින් 2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * මත්පැන් මත පනවා ඇති අනෙක් බදුවලට අතිරේකව මත්පැන් මත ජාතිය ගොඩනැඟිමේ බද්ද පැනවීම.

    * පහත සඳහන් සේවා හා භාණ්ඩ මත වූ ගොඩනැඟිමේ බදු ඉවත් කිරීම.

    (අ) කෘෂිකාර්මික කටයුතු සඳහා උසස් තාක්ෂණය යොදා ගැනීමේ අරමුණින් හරිතාගාර, පොලි ටනල්ස් හා හරිතාගාර ඉදිකිරීම සඳහා භාවිතා වන උපාංග.

    (ආ) පොල් තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන.

    (ඇ) කපා ඔපදමා ප්‍රති අපනයනය කිරීමේ අරමුණින් ආනයනය කරනු ලබන මැණික් ගල්.

    (ඈ) ඔරු පැදීම, කයාක්ස්, කයිට් සර්ෆින්ග්ස්, කිමිදීම ආදී ජල ක්‍රීඩා සඳහා අවශ්‍ය මෝටර් මඟින් ක්‍රියාත්මක නොවන ක්‍රීඩා උපකරණ හා උපාංග.

    (ඉ) එල්ලී යන ග්ලයිඩර්, බැලුන, පැදවිය හැකි ගුවන් යානා (ඩිරිජිබර්), පැරෂුට්, පැරා-ග්ලයිඩර් ආදී ගුවන් ක්‍රීඩා සඳහා අවශ්‍ය බල ගැන්වීම් අවශ්‍ය නොවන ක්‍රීඩා උපකරණ හා උපාංග.

    (ඊ) ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය මඟින් සපයනු ලබන සේවාවන්.

     

    ශ්‍රී ලංකා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය පිළිබඳ පනත් කෙටුම්පත


    කොළඹ මහ නගර ප්‍රදේශය තුළ කාර්යක්ෂම සහ ඵලදායී මගී ප්‍රවාහන ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටියි. මේ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 07ක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, කොළඹ නගරය තුළ දිවෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය සහ බොරැල්ල සිට බත්තරමුල්ල හරහා මාලඹේ දෙසට විහිදෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය සඳහා මෙහිදී ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබ තිබේ. 2025 වර්ෂය වන විට කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

    එම මාර්ග දෙක ඉදි කිරීම සඳහා අරමුදල් සපයනු ලබන ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ ඇති එකඟතාව අනුව, මෙම මාර්ග ඉදි කිරීමට පෙර ඊට අදාළ නියාමන රාමු සකස් කළ යුතු වේ. ඒ අනුව, යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධතිය නියාමනය සහ කළමනාකරණය සඳහා නෛතික ආයතනයක් ස්ථාපනය කිරීමටත්, අදාළ අනෙකුත් නීතිමය විධිවිධාන සැලසීමටත්, ශ්‍රී ලංකා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පූජා භූමි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පූජා භූමි සංවර්ධන සමාලෝචන කමිටු පිහිටුවීම

    දිවයින පුරා පිහිටා ඇති පූජා භූමිවලට පැමිණෙන බැතිමතුන් සහ සංචාරකයින් සඳහා ඇති පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එහිදී විධිමත් පාලන යන්ත්‍රණයක් හා මඟ පෙන්වීමක් සහිතව විධිමත් පරිදි පූජා භූමි සංවර්ධනය කිරීම වැදගත් වේ. ඒ අනුව, මනා සැලැස්මකට අනුකූලව පූජා භූමි සංවර්ධනය කිරීමේ අරමුණින්, ඒ වෙනුවෙන් බලතල සහිත 'පූජා භූමි සංවර්ධන සමාලෝචන කමිටු', අනුරාධපුර, කතරගම, සේරුවාවිල, මාතලේ අලුවිහාරය, මහියංගණය, කැලණිය, කෝට්ටේ, දෙවිනුවර, මුතියංගනය හා තිස්සමහාරාමය යන එක් එක් පූජා භූමි සඳහා පිහිටුවීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය වෙනුවට වැ‍විලි නියාමන සහ අනුකූලතා ආයතනය ස්ථාපිත කිරීම


    ඉඩම් ප්‍රතිසංස්කරණ පනත්වලින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පවරන ලද ඉඩම් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාව වෙත පසුව පවරා දෙන ලදුව, ඉන් අනතුරුව ප්‍රාදේශීය වැවිලි සමාගම් 23ක් වෙත 1992 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි වසර 53ක කාලයක් සඳහා බදු ගිවිසුම් යටතේ ලබා දී තිබේ. එම සමාගම්වල රජයේ අයිතිය සම්බන්ධයෙන් වන අධීක්ෂණ කටයුතු වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය මඟින් සිදු කරනු ලබයි. බදු කාලය තුළ තවදුරටත් ඉතිරිව ඇති වසර 28ක බදු කාලසීමාව තුළ රජයේ අයිතීන් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කිරීම සඳහා දැනට පවතින වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය වෙනුවට ප්‍රමාණවත් අධීක්ෂණ බලතල සහිතව වැවිලි නියාමන සහ අනුකූලතා ආයතනය ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී බුද්ධ වර්ෂ 2562වන රාජ්‍ය වෙසක් උත්සවය සඳහා විදුලිය ලබා දීම


    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය, කුරුණෑගල, ඓතිහාසික බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදී පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. ප්‍රධාන උත්සවය පැවැත්වෙන විහාරස්ථානය සහ ඒ අවට ප්‍රදේශයට විදුලි ආලෝකය සැපයීම සඳහා තවදුරටත් අවශ්‍ය වන අරමුදල් සලසා දීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිත කිරීම


    විශේෂ ආගමික කටයුතු සහ ප්‍රාදේශීයව පිහිටා ඇති සිද්ධස්ථානවල වැදැගත්කම සැලකිල්ලට ගෙන, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල 02 ක් මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි ස්ථාපිත කරනු ලැබ ඇත. උතුරු, උතුරු මැද හා වයඹ පළාත් ආශ්‍රිතවද විශේෂ ආගමික සිද්ධස්ථාන රැසක් පිහිටා ඇති අතර, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත්වීම යටතේ පරිපාලන කටයුතු සිදු කෙරෙන සිද්ධස්ථාන 54ක් සහ පොදුවේ විහාරස්ථාන 2,364ක් එම පළාත්වල පිහිටා ඇත. එම සිද්ධස්ථාන හා විහාරස්ථානවලට අදාළ රාජකාරි සහ අවශ්‍ය සේවාවන් වඩාත් පහසුවෙන් සැපයීමට හැකි වන පරිදි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් කුරුණෑගල ස්ථාපිත කිරීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මානව අභිමානය සහ සමාජ සමගිය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත


    මානව අභිමානය හා සමාජ සමඟියට හානි වන අයුරින් මහජනයා අතර සමාජ නොසන්සුන්තාව සහ ආගමික හා ප්‍රජා අසමගිය ඇති කිරීම පිණිස වර්ධනය වන රහසිගත උත්සාහයන් මෙන්ම විද්‍යුත් මාධ්‍ය හරහා කරන හිංසනය, පළිගැනීම, බියගැන්වීම සහ තර්ජනය කිරීම වැනි ව්‍යසනයන් මැඬපැවැත්වීම සඳහා පියවර ගැනීම වර්තමානයේදී අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත.

    ඒ අනුව, එක් එක් තැනැත්තාගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන සහ මහජනතා අතර ආගමික, වාර්ගික හෝ ප්‍රජා අසමගිය ඇති කිරීමට කරන උත්සාහයන් අපරාධ වශයෙන් සලකා කටයුතු කිරීමට හැකි වන පරිදි නීති සකස් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය ප්‍රතිස්ථාපනය කිරීම


    ජනතාව අතර පොතපත කියවීමේ හා පරිහරණය කිරීමේ පුරුද්ද වැඩිදියුණු කිරීමට හා ඊට අනුබල දීමටත්, පොත්පත් ලිවීම, නිෂ්පාදනය ඇතුළු කාර්යයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමටත් යන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා යුනෙස්කෝ ආයතනයේ නිර්දේශයක් මත 1972 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය 2012 දී අහෝසි කොට එහි කාර්යයන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය යටතට පත් කරනු ලැබ තිබේ. එසේ වුවද, ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය විසින් ඉටු කරගැනීමට අපේක්ෂිත වූ අරමුණු හා කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කරගැනීම පිණිස ඒ සඳහාම වෙන් වූ ආයතනයක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, 2012 දී අහෝසි කරන ලද ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (ලෝක බැංකු ආධාර යටතේ)


    ගෝලීයකරණය හා තාක්ෂණයේ කඩිනම් දියුණුවත් සමඟ ආර්ථික හා සමාජ කටයුතුවලට අවශ්‍ය වන පරිදි රටක මානව සම්පත නිර්මාණය කිරීමේ අඩිතාලම වශයෙන් සාමාන්‍ය අධ්‍යාපනය හඳුනා ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සාමාන්‍ය අධ්‍යාපනය නවීකරණය කිරීම හා එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 100ක සහනදායී ණයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කොට තිබේ. වර්තමාන රැකියා වෙළඳ පොළේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි, කුසලතාවලින් හා පුහුණුවෙන් යුතු වූ මානව ප්‍රාග්ධනයක් සංවර්ධනය කරගැනීමේ අරමුණින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන


    අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා තාක්ෂණවේදය විෂයධාරාව 2013 වර්ෂයේ සිට හඳුන්වා දෙන ලද අතර, එහි ප්‍රථම අදියරේදී පාසල් 251ක මෙම විෂයධාරාව ඉගැන්වීම ආරම්භ කරන ලදී. තාක්ෂණවේදය විෂය ඉගෙනුමට ඇති ඉඩ ප්‍රස්ථා තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් 2019 වසර වන විට පාසල් 1,500කට තාක්ෂණවේදය විෂයධාරව හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. මෙම විෂයධාරාව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට නැඹුරු විෂයයන් වන බැවින්, මෙම විෂයධාරාව ඉගැන්වීම සිදු කරන පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, නවීන තාක්ෂණයෙන් සමන්විත උපකරණ සැපයීම සහ එම විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම අත්‍යාවශයෙන්ම සිදු කළ යුතු වේ. එම අරමුණු ඉටු කරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත 'තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන', අන්තර්ජාතික සංවර්ධනය සඳහා OPEC අරමුදලේ (OFID) සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ප්‍රාදේශීය මට්ටමේ කුඩා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම


    නව මැතිවරණ ක්‍රමය අනුව පවත් වන ලද පළාත් පාලන ඡන්ද විමසීම අනුව පළාත් පාලන ආයතනයන්හි සෑම කොට්ඨාසයක් සඳහාම මහජන නියෝජිතයෙකු තේරී පත්ව සිටන බැවින්, ඔහු/ඇය නියෝජනය කරනු ලබන කොට්ඨාසයට අදාළ යටිතල පහසුකම් අවශ්‍යතා හඳුනාගැනීමේදී එම නියෝජිතයින්ටද අවස්ථාව ලබා දීම වැදගත් වේ. එසේ හඳුනාගනු ලබන යෝජනාවන් සඳහා ප්‍රමුඛත්වය දෙමින් එකී යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පැන නැඟිය හැකි ගැටලු හා ද්වීකරණයවීම් වළක්වා ගැනීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පළාත් හා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ පරිපාලනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම


    ක්‍රීඩා යටිතල පහසුකම් ගමට ගෙන යාම තුළින් ජාත්‍යන්තරය ජයගත හැකි ග්‍රාමීය ක්‍රීඩක - ක්‍රීඩිකාවන් බිහි කිරීමේ අරමුණින්, මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් ක්‍රීඩා සංකීර්ණ 09ක් හා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ 16ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කෙ‍ෙරමින් පවතියි. ඒ යටතේ, අනුරාධපුර, බදුල්ල, ත්‍රිකුණාමලය, මහනුවර යන ප්‍රදේශවල ඉදි කරන ලද පළාත් ක්‍රීඩා සංකීර්ණ 04ක් සහ කළුතර, මාතර, පොළොන්නරුව, මඩකළපුව හා යාපනය යන ප්‍රදේශවල ඉදි කරන ලද දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ 05ක් ජනතා අයිතියට පත් කරනු ලැබ තිබේ. අනෙකුත් ක්‍රීඩා සංකීර්ණයන්හි ඉදි කිරීම්ද මෙම වර්ෂය තුළ නිම කිරීමට අපේක්ෂා කෙරේ.

    මෙම ක්‍රීඩා සංකීර්ණ නිසි පරිදි පරිපාලනය කිරීම සඳහා විධිමත් යන්ත්‍රණයක් සකස් කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම


    2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද 2017 අංක 3 දරන තහනම් උත්තේජක (තහනම් කරන ලද ලැයිස්තුව) නියෝග ඇතුළත්ව නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදනය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ නැබඩගහවත්ත සිට මහකිතුල ජලාශ පිවිසුම් උමඟ දක්වා ප්‍රධාන ඇළ ඉදි කිරීම


    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ නැබඩගහවත්ත සිට මහකිතුල ජලාශ පිවිසුම් උමඟ දක්වා ප්‍රධාන ඇළ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 5,505.28ක මුදලකට China State Construction Engineering Corporation Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහනුවර නාගරික කලාපයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධනය කිරීම


    මහනුවර දිස්ත්‍රික්කයේ ජනගහනය මිලියන 1.4ක් පමණ වන අතර, ඉන් 150,000ක් පමණ මහනුවර නාගරික කලාපයේ පදිංචිකරුවන් වේ. මහනුවර නගරය වෙත දිනකට වාහන 55,000ක් පමණ ඇතුළු වන අතර, ඒ සඳහා පවතින ප්‍රධාන පිවිසුම් මාර්ග 03 වත්මන් සහ අනාගත ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවන අතර, අධික නාගරීකරණය හේතුවෙන් එම මාර්ග තවදුරටත් පුළුල් කිරීමේ ඉඩකඩ සීමා වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදය අඩු කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පහත දැක්වෙන දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය උපදේශක සේවා ලබාගැනීම සඳහා යෝග්‍ය ආයතන වෙතින් යෝජනා කැඳවනු ලැබ ඇති බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

    * රඹුක්කන සිට කඩුගන්නාව දක්වා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන ධාරිතාව වැඩිදියුණු කිරීම;

    * කඩුගන්නාව සිට කටුගස්තොට දක්වා හෝ වල්ලේගඟම (මාතලේ මාර්ගය) දක්වා ද්විත්ව මාර්ග ඉදි කිරීම;

    * කටුගස්තොට සිට මාතලේ දක්වා දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම;

    * පේරාදෙනිය හංදියේ සිට ගම්පොළ දක්වා ගමනාගමන ධාරිතාව වැඩිදියුණු කිරීම.

     

    ඌව පළාතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම


    ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කිලෝ මීටර 557.31ක් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ කිලෝ මීටර 488.78ක් දිගින් යුතු ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු 15ක්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අඹතලේ ජල පවිත්‍රාගාරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය


    2020 වර්ෂය වන විට කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික ජල ඉල්ලුම ජලය ඝනමීටර 863,602ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් එම ජල ඉල්ලුම සපුරාලීම සඳහා අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලය පිරිසිදු කිරීමේ ධාරිතාව දිනකට ජලය ඝනමීටර 50,000කින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස සලකා අඹතලේ ජල පවිත්‍රාගාරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාවේ බටහිර හා දකුණු පළාත්වල නගර සඳහා සෞඛ්‍ය හා සනීපාරක්ෂක වැඩසටහන් ව්‍යාපෘතිය - සැලසුම් හා අධීක්ෂණ උපදේශක සේවා


    සංවර්ධනය සඳහා වන ප්‍රංශ නියෝජිතායතනයේ සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ මෙරට බස්නාහිර හා දකුණු පළාත්වල නගර සඳහා සෞඛ්‍ය හා සනීපාරක්ෂක වැඩසටහන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මහා පරිමාණ මලාපවහන පද්ධතිවල කළමනාකරණ ධාරිතාව වැඩිදියුණු කිරීම සහ මීගමුව, ගාල්ල-උණවටුන හා කැලණිය-පෑලියගොඩ මලාපවහන පද්ධති ක්‍රියාත්මක කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ. මේ සඳහා සැලසුම් හා අධීක්ෂණ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s Cabinet D'ETUDES MARC MERLIN සහ SWECO Denmark A/S Green Tech Consultants (Pvt) Ltd. අතර ඇතිකර ගනු ලැබ ඇති බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කැලණිතිස්ස ද්විත්ව චක්‍ර විදුලි බලාගාරයේ ගෑස් ටර්බයිනය සඳහා නව උපාංග මිල දී ගැනීම


    කැලණිතිස්ස ද්විත්ව චක්‍ර විදුලි බලාගාරයේ ගෑස් ටර්බයිනයේ යම් නිශ්චිත ධාවන කාලයකින් පසු නැවත සවි කළ යුතු අත්‍යවශ්‍ය උපකරණ, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඒවායේ මුල් නිෂ්පාදකයා‍ වන General Electric (GE) සමාගමේ දේශීය නියෝජිතයා වන ඉන්දියාවේ GE BHEL-GE Gas Turbine Services පුද්ගලික සමාගම වෙතින් රුපියල් මිලියන 582ක මුදලකට මිල දී ගැනීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම්වල කාලය දීර්ඝ කිරීම


    ලංකා විදුලිබල මණ්ඩලය සතුව ඇති සමස්ත විදුලිබල ස්ථාපිත ධාරිතාවය මෙගාවොට් 4,086කි. මෙයින් මෙගා වොට් 1,391ක් පමණ වූ ජල විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය පසුගිය වසර 02 තුළ පැවැති නියං කාළගුණ තත්ත්වය නිසා සීමා වී තිබේ. දැනට ඉදි කෙරමින් පවතින සියලු බලාගාර අවසන් වීමට නියමිතව ඇත්තේ 2019 සහ 2022 වසර අතර කාලයේදී බව බැවින් වසර 2020 පමණ වනතෙක් විදුලිබලය ලබා ගැනීම සඳහා තාවකාලික වැඩපිළිවෙලක් යෙදීමේ අවශ්‍යතාවය මතුවී තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශද සලකා බලමින් සීමාසහිත Ace Power සමාගමට අයත් මාතර, ඇඹිලිපිටිය හා සපුගස්කන්ද බලාගාරවලින් තවදුරටත් විදුලිය මිල දී ගැනීම‍ට හැකිවන පරිදි එම සමාගම සමඟ ඇති කරලෙන ඇති 2018 ඉදිරි කාලයේදී අවසන් වීමට නියමිත ගිවිසුම් වල කාලය තවත් වසර 03ක කාලයක් සඳහා දීර්ඝ කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදි කිරීම


    හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ මෙගා වොට් 30.2ක ධාරිතාවයක් සහිතව මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු කොටස් 03ක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. එයින් පළමු කොටස යටතේ සිවිල් වැඩවල මූලික වැඩකටයුතු යටතේ පාරවල් සකස් කිරීම, කාර්යාල ඉදි කිරීම, වාරිමාර්ග පද්ධති හා සේවක නිවාස ඉදි කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 5.21ක මුදලක් වෙන් කර තිබේ. මෙම ප්‍රසම්පාදනය සඳහා කරන ලද ලංසු කැඳවීම අනුව ලැබී තිබුණු ලංසු 07 අතුරින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අවම ලංසුව ඉදිරිපත් කරන ලද වී.වී. කරුණාරත්න සමාගම වෙත රුපියල් මිලියන 1,109.4ක (බදු රහිත) මුදලකට පිරිනැමීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කෘෂි භෝග රක්ෂණ සඳහා ප්‍රතිරක්ෂණ ආවරණයක් ලබා ගැනීම


    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් 2018 අයවැය යෝජනා අනුව හඳුන්වා දෙන ලද කෘෂි භෝග රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ආවරණය කිරීම සඳහා වන ප්‍රතිරක්ෂණය Renaisance Re Lloyds Syndicate සමාගම වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොළඹ වරායෙහි උතුරු වරාය කොටස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම


    ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය විසින් කොළඹ වරාය උතුරු දෙසට සංවර්ධනය කිරීම සඳහා අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය අනුව එම කාර්යය සඳහා කැමැත්ත පළ කිරීමේ (EOI) සහ යෝජනා කැඳවීම (RFP) මඟින් සුදුසු උපදේශණ සමාගමක් තෝරා පත් කරගැනීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම


    රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුවට අනුකූලව උතුරු නැගෙනහිර ආර්ථික පිවිසුම් කලාපයක් ලෙස වැඩිදියුණු කර ගැනීමේ සැලැස්මේ ප්‍රධාන ව්‍යාපෘති අතුරින් එකක් ලෙස කන්කසන්තුරේ වරාය, තිරසර වාණිජමය වරායක් ලෙස ප්‍රතිසංස්කරණ කිරීම හඳුනාගෙන තිබේ. ඒ සඳහා ඉන්දියාව විසින් සලසනු ලබන අරමුදල් උපයෝගි කරගනිමින් කන්කසන්තුරේ වරායේ දැනට පවතින ජැටිය සහ දිය කඩනය ප්‍රතිසංස්කරණය කිරීම සහ නව ජැටියක් ඉදි කිරීමේ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් සිදු කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන හා තාක්ෂණික ඇගයීම කමිටු පත් කිරීමටත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම


    ග්‍රාමීය ප්‍රදේශයන්හි ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම සහ පළාත් විෂමතාවයන් අවම කිරීම සඳහා ආසන්න වශයෙන් ග්‍රාමීය පාලම් 4,000ක් ඉදි කළ යුතු බවට හඳුනාගෙන තිබූ අතර, ඒවායින් පාලම් 1,210ක් ඉදි කිරීම සඳහා ක්‍රියාත්මක වන පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ දැනට පාලම් 1,000කට වැඩි ප්‍රමාණයක ඉදි කිරීම් අවසන් කර ඇති අතර, තවත් 200ක පමණ වැඩ අවසන් කිරීමට නියමිතව තිබේ.

    පාලම් කඩිනමින් ඉදි කර ග්‍රාමීය ප්‍රදේශ අතර සබඳතාවන් වැඩිදියුණු කරන ලෙස විවිධ පළාත්වලින් ලැබී ඇති ඉල්ලිම් සලකා තවත් ග්‍රාමීය පාලම් 250ක් ඉදි කිරීම සඳහා අවශ්‍ය වන අතිරේක අරමුදල් මුල් ව්‍යාපෘති සඳහා අරමුදල් සලසා දුන් ආයතන මඟින් ලබාගැනීම සඳහා අදාළ ණය ගිවිසුම්වල කාලසීමාවන් දීර්ඝ කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොටුගොඩ, කොළොන්නාව, පාදුක්ක, හොරණ, දෙහිවල සහ මාදම්පේ ග්‍රිඩ් උපපොළවල් වැඩි දියුණු කිරීම


    හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ කොටුගොඩ, කොළොන්නාව, පාදුක්ක, හොරණ, දෙහිවල සහ මාදම්පේ ග්‍රිඩ් උපපොළවල් වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන, රුපියල් මිලියන 2,214.16ක මුදලකට M/s ABB India Ltd. වෙත පැවරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    යල කන්නයේ සිට ක්‍රියාත්මක වන පරිදි පොහොර සහනාධාර ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම


    ගොවීන්ට පොහොර වශයෙන් ලබා දුන් පොහොර සහනාධාර වැඩසහටන 2016 වර්ෂයේ යල කන්නයේ සිට මුදල් ප්‍රදානය ලෙසින් ලබා දීමට තීරණය කරන ලද අතර, එය 2016 යල කන්නයේ සිට මේ දක්වා අඛණ්ඩව කන්න 4ක් තුළ ක්‍රියාත්මක කරන ලදී. එම වැඩසටහන යටතේ වී වගාව සඳහා හෙක්ටයාර දෙකක් සඳහා එක් කන්නයකට රුපියල් 25,000/-ක මුදලක්ද, අර්තාපල්, ළුණු, මිරිස්, බඩඉරිඟු හා සෝයා වැනි තෝරාගත් අනෙක් ක්ෂේත්‍ර භෝග සඳහා හෙක්ටයාරයකට වසරකට රු.10,000/-ක මුදලක්ද ගෙවීන්ගේ බැංකු ගිණුම්වලට ප්‍රේෂණය කිරීමට කටයුතු කරන ලදී.

    පොහොර මිල දී ගැනීම සඳහා මුදල් ප්‍රදානය කිරීමේ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමේදී මතු වූ කරුණු සලකා, එම මුදල් ප්‍රදාන ක්‍රමවේදය වෙනුවට සියලුම වගාවන් ආවරණය වන පරිදි ගොවීන්ට අවශ්‍ය යූරියා, ටී.එස්.පී., එම්.ඕ.පී. සහ ඇමෝනියා සල්පේට් යන ඍජු පොහොර ඒ ඒ වගාවන්ට යෙදිය යුතු නිර්දේශ මත පදනම්ව විවෘත වෙළඳපොළෙහි නියම කරන ලද සහනාධාර මිලකට ලබැගැනීමට කටයුතු සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

    ඒ අනුව, වී වගා කරන ගොවීන්ට එක් කන්නයක් සඳහා අක්කර 5ක උපරිමයකට යටත්ව අවශ්‍ය කරන යූරියා, ටී.එස්.පී., එම්.ඕ.පී. යන ඍජු පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් රු.500/-ක සහනාධාර මිලකට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ලබා දීමටත්, අනෙකුත් භෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය කරන පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් රු.1,500/-ක සහනාධාර මිලකට විවෘත වෙළඳ‍ පොළෙන් මිල දී ගැනීමටත් හැකි වන ක්‍රමවේදයක් සකස් කිරීමටත්, 2018 අයවැය මඟින් යෝජනා කර තිබූ පරිදි වී,‍‍‍‍ අර්තාපල්, බඩඉරිඟු, සෝයා සහ ළුණු වගාවන්ට ස්වාභාවික හේතූන් නිසා ඇති වන හානි වෙනුවෙන් අක්කරයකට රුපියල් 40,000/- වන්දියක් සැපයෙන රක්ෂණ යෝජනා ක්‍රමයකට එක් ගොවියෙකු වෙනුවෙන් කන්නයක් සඳහා රුපියල් 675/-ක දායක මුදලක් රජය විසින් දැරීමටත් මෙම යෝජනා 2018 යල කන්නයේ සිට ක්‍රියාත්මක කිරීමත් පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම


    1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය පනත හා 1988අංක 27 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය, 1990 අංක 30 දරන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය හා 2007 අංක 50 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය යන සංශෝධිත පනත් මඟින් ස්ථාපිත කරන ලද ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය, අධ්‍යාපනික හා වෘත්තීමය වශයෙන් පරිපූර්ණනිලධාරින් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්හි සේවයෙහි යෙදවීම සඳහා අවශ්‍ය උසස් අධ්‍යාපනය හා පුහුණුව සාර්ථකව ලබාදෙමින්, වර්තමානයේදී දේශීය සිසුන්ට හා විදේශීය පුරවැසියන්ට පුහුණුව ලබා දෙන ආරක්ෂක විශ්වවිද්‍යාල‍යක් ලෙස කටයුතු කරනු ලැබේ. එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තවදු‍රටත් පුළුල් කර ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයක් ලෙස එහි කාර්යභාරය හා කර්තව්‍යය වැඩි දියුණු කිරීම උදෙසා ඉහත සඳහන් පනත් පරිච්ඡින්න කොට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත නමින් නව පනතක් ප්‍රතිස්ථාපනය කිරීම මීට පෙර අමාත්‍ය මන්ඩලය මඟින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව සකස් කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රතයේ පළ කිරීමටත්, එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2018 වර්ෂයේ වෙසක් සතියට සමගාමීව යෙදෙන මැයි දිනය සැමරීමේ කටයුතු සඳහා වෙනත් දිනයක් යොදා ගැනීම


    2018 වර්ෂයේ වෙසක් පෝය අප්‍රේල් මස 29 දිනට යෙදී ඇති අතර, එදින සිට ඉදිරි සතිය වෙසක් සතිය ලෙස නම් කර ඇති අතර, වෙසක් තෙමඟුල සැමරීම සඳහා දිවයිනපුරා විවිධ පුණ්‍ය වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙවර වෙසක් සතිය තුළ මැයි 01 දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයද යෙදී ඇති බැවින් වෙසක් සතිය තුළ ක්‍රියාත්මක වන වැඩසටහන්වලට මහජනතාවට බාධාවකින් තොරව සහභාගිවීමට හැකි වන පරිදි මැයි දිනය සැමරීමේ උත්සව සහ වැඩසටහන් පැවැත්වීම සඳහා සුදුසු වෙනත් වැඩපිළිවෙලක් යොදවන ලෙසට අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමින්වහන්සේලා විසින් යෝජනා කර තිබේ.

     

    ඒ අනුව, මෙවර මැයි දිනයට සමගාමීව පැවැත්වෙන උත්සව සහ වැඩසටහන් මැයි මස 07 දින පැවැත්වීමට කටයුතු යොදන ලෙස සියලුම වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලීමක් කරනු ලැබේ. ඒ සඳහා මැයි 01 දිනට යෙදී ඇති නිවාඩු දිනය අවලංගු කර මැයි මස 07 දින නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya