මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.03.06

    මාර්තු 07, 2018

    2018.03.06 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

     

    ගිරිදර ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම


    දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 18කට අයත් ප්‍රදේශවල පානීය ජල ගැටලු සඳහා විසඳුම් ලබා දීමේ අරමුණින්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස හඳුනාගනු ලැබ ඇති ගිරිදර ජලසම්පාදන ව්‍යාපෘතිය රුපියල් මිලියන 513.28ක පිරිවැයක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස දේශීය බැංකු වෙතින් යෝජනා කැඳවනු ලැබ ඇති අතර, එහිදී මහජන බැංකුව වෙතින් මෙම ණය මුදල ලබාගැනීමට තීරණය කරනු ලැබ තිබේ. ඒ අනුව, ගිරිදර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රුපියල් මිලියන 513.28ක මුදල ලබාගැනීමට මහජන බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත බලය පැවරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සංගණන ඒකක ලැයිස්තුගත කිරීම


    ජන හා නිවාස සංගණනය පදනම් කරගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි සංගණන ඒකක, එනම් නිවාස, සමූහ වාසස්ථාන හා වාසය සඳහා නොවන ස්ථාන ලැයිස්තුගත කිරීම, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැ‍බේ. එම දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සියලුම සමීක්ෂණ සඳහා වන සමීක්ෂණ රාමුව ලෙස මෙම ලැයිස්තුව භාවිත කරනු ලැබේ. අවසන් වරට ජන හා නිවාස සංගණනය පවත්වන ලද 2012 වර්ෂයේ සිට මේ දක්වා කාලසීමාව තුළ ඇති වූ ආපදා, නව ජනාවාස ඇති කිරීම වැනි හේතු නිසා මෙම සමීක්ෂණ රාමුව සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත. ජන හා නිවාස සමීක්ෂණ නිවැරදිව සිදු කිරීමට මෙන්ම, ආපදා කළමනාකරණය, තිරසර සංවර්ධන අභිමතාර්ථ ළඟා කරගැනීම ආදී කාරණාවන්හිදී ද මෙම දත්ත යොදා ගනු ලබන හෙයින් යාවත්කාලීන තොරතුරු තිබීම අත්‍යවශ්‍ය වේ.

    එබැවින්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන යන්ත්‍රණයන්හි සහාය ද ලබාගනිමින්, මුළු දිවයිනම ආවරණය පරිදි සංගණන ඒකක ලැයිස්තුගත කිරීම 2018 වර්ෂය තුළ සිදු කිරීමටත්, ඉන් ඉදිරියට සෑම වසර 02කට වරක් එම ක්‍රියාවලිය සිදු කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මාකුඹුර බහුකාර්ය මධ්‍යස්ථානයේ ඉදි කිරීම් සඳහා අරමුදල් සම්පාදනය කිරීම


    මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතියි. දුම්රිය, දුර ගමන් සේවා සහ ප්‍රාදේශීය බස් සේවා යන ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කරමින් ඉදි කෙරෙන මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය මඟින් වඩාත් කාර්යක්ෂම, අඩු වියදම් සහිත පොදු ප්‍රවාහන පහසුකම් සැලසීම අරමුණු කෙරේ.

    එම බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවාහන කළමනාකරණය, මෙහයවීම හා නඩත්තුව සහ මගීන්ට අවශ්‍ය තොරතුරු සැපයීම පිණිස එහි මෙහෙයුම් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා රුපියල් මිලියන 306.79ක් පමණ වැය වන බව ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව, පිටත වටරවුම් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අදියර 2හි කාර්යයන් සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) වෙතින් ලබා ගන්නා ලද ණය මුදලේ ඉතිරි වී ඇති මුදල් යොදා ගනිමින් මාකුඹුර බහුකාර්ය මධ්‍යස්ථානයේ යෝජිත ඉදි කිරීම් සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීම හා උතුරු දුම්රිය මාර්ගය පුනරුත්ථාපන කිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිහිටුවීම


    ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ජාලයේ දිග කිලෝමීට‍ර 1,450ක් වන අතර, එහි දුම්රිය හරස් මාර්ග 1,337ක් පවතියි. ඉන් දුම්රිය හරස් මාර්ග 520ක් දැනටමත් සුරක්ෂිත කරනු ලැබ ඇති අතර, 2018 අයවැය ප්‍රතිපාදන යටතේ තවත් දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා දුම්රිය ආරක්ෂණ පද්ධති සවි කිරීමට අවශ්‍ය පියවර ගැනෙමින් පවතියි. තවදුරටත් ඉතිරි සියලුම දුම්රිය හරස් මාර්ග ආවරණය වන පරිදි දුම්රිය හරස් මාර්ග ඉදි කිරීමේ ව්‍යාපෘතියක් හංගේරියානු රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

    තවද, කොළඹ සිට යාපනය දක්වා දුම්රිය ගමන් කාලය විනාඩි 40කින් පමණ අඩු වන පරිදි, පැයට කිලෝමීටර 120ක වේගයෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට හැකි වන අයුරින්, මහව මංසන්ධියේ සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීමටත්, පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව මාර්ගය ඉදි කිරීම හා සංඥා පද්ධතිය සවි කිරීමටත් අවශ්‍ය කටයුතු ඉන්දියානු රජයේ ආධාර යටතේ ආරම්භ කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිහිටුවීමටත්, හංගේරියානු අපනයන - ආනයන බැංකුවේ මූල්‍යාධාර යටතේ දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගෘහස්ථ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කම්කරු නීතිරීති සංශෝධනය කිරීම


    ශ්‍රී ලංකාව තුළ සේවයේ යොදවා ඇති ගෘහස්ථ සේවකයින් පිළිබඳ සංඛ්‍යාලේඛන නොමැති වුවත්, එවැනි විශාල පිරිසක් සේවයේ යෙදෙන බව පැහැදිලි වේ. එම ගෘහස්ථ කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා දැනට පවතින කම්කරු නීතිරීති ප්‍රමාණවත් නොවන බැවින්, අඩු වැටුපකට සේවයේ යෙදවීම, නිවාඩු ලබා නොදීම සහ සමාජ ආරක්ෂණයක් නොලැබීම ආදී අවාසි සහගත තත්ත්වයන්ට එම කම්කරු ප්‍රජාව මුහුණපාන බව හඳුනාගනු ලැබ තිබේ. කාර්මික ආරවුල් පනත, සේවක අර්ථසාධක අරමුදල් පනත හා අනෙකුත් කම්කරු පනත් මඟින් ගෘහස්ථ කම්කරුවන් ඉවත් කර ඇති අතර, ඒ හේතුවෙන් එම කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට කම්කරු දෙපාර්තමේන්තුවට මැදිහත් වීමට නොහැකි වී ඇත.

    ගෘහස්ථ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව 'ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම 2017 - 2021' මඟින්ද හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ගෘහස්ථ සේවකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙන ලදී.

     

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම


    කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ප්‍රාග්ධන මෙන්ම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අරමුදල් සැලසීම අරමුණු කරගනිමින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන මඟින්, රුපියල් මිලියන 50ක උපරිමයකට යටත්ව, වසර දහස (10)ක ආපසු ගෙවීමේ කාලයක් සහිතව අරමුදල් සලසා දෙනු ලැබේ. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවත්නා ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙනු ලැබේ. මෙම ණය ආධාර වැඩසටහන සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10ක් සහභාගි වන අතර, එම සහභාගිත්ව මූල්‍ය ආයතන සමඟ අදාළ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පොල්දූව අතුරු මාර්ගය 'සුහුරුපායේ' සිට 'කොස්වත්ත හන්දිය' දක්වා දීර්ඝ කිරීම

     

    බත්තරමුල්ල ප්‍රදේශයේ සිදුවන සීඝ්‍ර සංවර්ධනය හේතුවෙන් කඩුවෙල-කොළඹ මාර්ගයේ වාහන තදබදය උග්‍ර වී ඇති අතර, ඊට පිළියමක් වශයෙන් පොල්දූව මංසන්ධියේ සිට කොස්වත්ත මංසන්ධිය දක්වා බත්තරමුල්ල නගරය මඟහැර යා හැකි මාර්ගයක් ඉදි කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. පොල්දූව මංසන්දියේ සිට 'සුහුරුපාය' දක්වා ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණ කරනු ලැබ ඇති අතර, එම මාර්ගය උඩුමුල්ල මංසන්ධිය දක්වා මංතීරු දෙකක මාර්ගයක් වශයෙන් දීර්ඝ කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිවන රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් මෙම මාර්ගය කොස්වත්ත හංදිය දක්වා දීර්ඝ කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පොල්දූව අතුරු මාර්ගය කොස්වත්ත මංසන්ධිය දක්වා දිගින් කිලෝ මීටර 4ක් පමණ වන මංතීරු හතරේ මාර්ගයක් වශයෙන් දීර්ඝ කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මුතුරාජවෙල වැලි පිරවුම් ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටස් 2ක් සේවා ව්‍යාපෘති සඳහා බදු පදනම මත ලබා දීම


    වත්තල, මුතුරාජවෙල ප්‍රදේශය බස්නාහිර පළාත් මහානගර සැලැස්මට අනුව ඉදිකෙරෙන සේවා නගරයේ කොටසක් ලෙස හඳුන‍ාගෙන ඇත. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මුහුදු වැලි පිරවීම මඟින් එම ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද අක්කර 400ක් වූ ඉඩම විවිධ ව්‍යාපෘති සඳහා බැහැර කරනු ලැබ ඇත.

    එහි ඉතිරිව ඇති ඉඩම් කොටස් 2ක් සේවා ව්‍යාපෘති සඳහා බදු පදනම මත ලබාදීමට පුවත්පත් වල දැන්වීම් පල කිරීම මඟින් අයදුම්පත් කැඳවනු ලැබ තිබේ. එහිදී ඉහළම මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති John Keells Logistics (Pvt) Ltd., ආයතනය වෙත වසර 30ක කාලසීමාවක් සඳහා එකී ඉඩම් කොටස් 2ක බදු පදනම මත ලබාදීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොළඹ සහ කොළොන්නාව ප්‍ර‍ෙද්ශවල ගංවතුර පාලනය කිරීම


    කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගංවතුර පාලනය ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන ප්‍රධාන සංවර්ධන කාර්යයක් ලෙස කොළොන්නාව ඇළ මාර්ග හැරවුම් යෝජනා ක්‍රමය හඳුනාගනු ලැබ තිබේ. කැලණි නදියේ අඩු ජල මට්ටමක් පවතින කාලසීමාවන්හිදී කොළඹ ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂා ජලය එයට බැසයාම සඳහා පවතින ඇළ මාර්ග විශාල කිරීම‍ත්, කැලණි නදියේ ඉහල ජල මට්ටමක් පවතින අවස්ථාවන්හිදී කොළොන්නාව ප්‍රදේශයේ ඇති වන ගංවතුර තත්ත්වය අවම කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමත් මෙමඟින් අපේක්ෂා කෙරේ.

    ඒ අනුව, සේදවත්ත - අඹතලේ පාරේ පිහිටි කිත්තම්පහුව ඇළ මාර්ගය හරහා පිටවාන ආසන්නයේ ඇති දියදොර ව්‍යූහය නැවත ඉදි කර ඇළ මාර්ගයේ ගලා බැස්මට බාධා වන අවහිරතා ඉවත් කිරීමටත්, ඉවුරු සංරක්ෂණ කටයුතු සිදු කිරීමටත් සැලසුම් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ නිලධාරින්ගේ ද සහයෝගය ලබාගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම


    ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ අරමුණින් හඳුන්වා දෙන ලද 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත පසුගිය වර්ෂ 12ක පමණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමේදී නිරීක්ෂණය කරන ලද ගැටලු සැලකිල්ලට ගෙන එම පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද, අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුව විසින් මහජන අදහස්ද ලබා ගැනීමෙන් අනතුරුව, එම පනත සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ.

    ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන වැඩිහිටියන් හෝ දරුවන්‍ වෙනුවෙන් නීතිමය ක්‍රියාමර්ග ගත හැකි පුද්ගල කාණ්ඩ සංඛ්‍යාව වැඩි කිරීම, පැමිණිලි ගොනු කිරීමේ ක්‍ර‍මවේදය ලිහිල් කිරීම, වින්දිතයාගේ රැකවරණය තහවුරු කිරීම පිණිස අනිවාර්ය උපදේශනය ලබා දීමේ අවශ්‍යතාව ඉවත් කිරීම, පසුවිපරම් කිරීමේ දැනට පවතින ක්‍රමවේදය සංශෝධනය කිරීම, තාවකාලික ආරක්ෂණ නියෝග කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලසීම ආදී සංශෝධන කිහිපයක් ඒ අනුව ඉදිරිපත් වී තිබේ. එම සංශෝධන ඇතුළත් කරමින්, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන වෙත සුදුසු ඉඩම් ලබාගැනීම


    ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේදී එම ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ක්‍රමවේදයන්ට අනුකූලව බැහැර ලීම සඳහා සුදුසු ඉඩම් සපයා ගැනීමේ දුෂ්කරතාවන්ට පළාත් පාලන ආයතන මුහුණ පා සිටී. ඇතැම් පළාත් පාලන ආයතන වෙත කසළ බැහැර කිරීම සඳහා ඉඩම් නිදහස් කර ඇතත් ඒවායේ නීත්‍යනුකූල අයිතිය ලබා දී නොතිබීම හේතුවෙන් එම ඉඩම් සනීපාරක්ෂක බිම් පිරවුම් ලෙස සංවර්ධනය කිරීමේදී බාධා එල්ල වී තිබේ.

    එබැවින් අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් මේ සම්බන්ධයෙන් පවත්වන ලද සාකච්ඡාවේදී එකඟ වී ඇති පරිදි, කසළ බැහැර කිරීම සඳහා දැනටමත් නිදහස් කර ඇති ඉඩම් විධිමත් පරිදි අදාළ පළාත් පාලන ආයතන වෙත පවරා දීමටත්, සනීපාරක්ෂක බිම් පිරවුම් ලෙස සංවර්ධනය කිරීම මඟින් කසළ බැහැර කිරීම සඳහා යොදා ගැනීමට සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හා රජ්‍ය වැවිලි සංස්ථාව සතු ඉඩම් කොට‍ස් සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් දීර්ඝකාලීන බදු පදනම මත භුක්ති විඳිනු ලබන ඉඩම් කොටස් ඉඩම් අත් කරගැනීමේ පනත යටතේ රජයට පවරා ගෙන පළාත් පාලන ආයතන වෙත වෙන් කර දීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා; වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා; සහ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඉහළ ඇළහැර ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ කළු ගඟ - මොරගහකන්ද හුවමාරු ඇළ ඉදි කිරීම


    කළු ගඟ ජලාශයේ සිට මොරගහකන්ද ජලාශය දක්වා වන කිලෝමීටර 8ක් දිගැති උමං මාර්ග දෙකකින් සමන්විත හුවමාරු ඇළ, විවෘත ඇළ මාර්ගය, දියමං පාලම් සහ ඒ ආශ්‍රිත නිර්මිත ඉදි කිරීම මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ඉහළ ඇළහැර ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතියේ විෂය පථයට අයත් වේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, මෙම ඉදි කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 6,111.91ක මුදලකට චීනයේ Sinohydro Corporation Limited වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ගුවන්තොටුපළ විවේකාගාර සඳහා ආහාරපාන සැපයුම් සේවා (Catering Services) ලබාගැනීම


    ව්‍යාපාරික පන්තිය, පළමු පන්තිය හා විශේෂ කාණ්ඩවල ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විවේකාගාර 04ක් සහ මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි එක් විවේකාගාරයක් පවත්වා ගෙන යනු ලැබේ. මෙම විවේකාගාරවල සේවය ලබාගනු ලබන දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා ඉහළ ප්‍රමිතියක් යටතේ ආහාර පාන සැපයීම (Catering Services) සිදු කළ යුතු වේ. එබැවින්, එම කොන්ත්‍රාත්තුව, ඒ සඳහා හැකියාව ඇති, ශ්‍රීලන්කන් ගුවන්සේවයට අනුබද්ධිත M/s SriLankan Catering Limited ආයතනය වෙත ඉදිරි වසර 03ක කාලසීමාවක් සඳහා පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වියදම් පිරිමැසුම්දායක තාක්ෂණය (NERD Technology) උපයෝගි කරගනිමින් රාජ්‍ය ආයතනවල ඉදි කිරීම් කටයුතු සිදු කිරීම


    ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) විසින් වියදම් පිරිමැසුම්දායක ගොඩනැඟිලි ඉදි කිරීමේ තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව පර්යේෂණ සිදු කරනු ලබන අතර, එම පර්යේෂණයන්හි ප්‍රතිඵල ජනතාව අතර ව්‍යාප්ත කිරීම සඳහා ද පියවර ගනු ලබයි. මේ වන විට මෙම වියදම් පිරිමැසුම්දායක තාක්ෂණ ක්‍රමවේදය (NERD Technology) භාවිත කරමින් රටේ විවිධ පළාත්වල පාසල් ගොඩනැඟිලි, ආරෝග්‍යශාලා සඳහා වන විද්‍යාගාර, සායනික ගොඩනැඟිලි, ගබඩා ගොඩනැඟිලි, හමුදාවන් සඳහා අවශ්‍ය නවාතැන් ගොඩනැඟිලි මෙන්ම විවිධ මාදිලියේ නිවාසද ඉදි කරනු ලැබ ඇත. අදාළ ගොඩනැඟිල්ල සැලසුම් කරන අවස්ථාවේ සිට මෙම ක්‍රමවේදය අනුගමනය කරනු ලැබුවහොත් ඉදි කිරීම් පිරිවැයෙන් අවම වශයෙන් 20% - 25%ක පමණ මූල්‍යමය ඉතිරියක් සලසා ගත හැකි වන අතර දැව, වැලි සහ කළුගල් භාවිතය ද අවම කිරීමට හැකියාව ඇත. මෙම තාක්ෂණය ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා යොදාගැනීම ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් ද නිර්දේශ කරනු ලැබ තිබේ.

    මෙම කරුණු සැලකිල්ලට ගෙන, රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීමේදී වියදම් පිරිමැසුම්දායක තාක්ෂණය උපයෝගි කරගැනීමට ඉඩ සලසමින්, රුපියල් මිලියන 50ක උපරිමයකට යටත්ව, එවැනි ඉදි කිරීම්වල උපදේශක සේවා, සැලසුම් කිරීම හා ඉදි කිරීම යන කාර්යයන්, ප්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) වෙත සෘජුවම ලබා දීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් ප්‍රසම්පාදනය කිරීම


    දැනට ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම නිසා ඉදිරි මාස 06 තුළ ජලාශවල ජල මට්ටම අඩුවීමක් අපේක්ෂා කළ හැකි අතර, එය අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට බාධාවක් විය හැකි බව හඳුනාගනු ලැබ තිබේ. එබැවින් මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් කෙටිකාලීන විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමක් හරහා ලබාගැනීම පිණිස ලංසු කැඳවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ තිබේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, කිලෝවොට් පැය 1ක් රුපියල් 28.063ක් බැගින් මෙගාවොට් 56ක විදුලිය ධාරිතාවක් M/s Aggreko International Projects Limited වෙතින්ද, කිලෝවොට් පැය 1ක් රුපියල් 28.367ක් බැගින් මෙගාවොට් 44ක විදුලිය ධාරිතාවක් M/s Heyleys Aventura (Pvt) Limited & SES Smart Energy Solutions Fzco වෙතින්ද මාස 06ක කාලසීමාවක් සඳහා මිල දී ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වවුනතිව් සූර්ය බලාගාරය ඉදි කිරීම


    වාලච්චේන ප්‍රදේශයෙහි ඉදි කිරීමට යෝජිත මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සූර්ය බලාගාරය වවුනතිව් ග්‍රිඩ් උපපො‍ළට සම්බන්ධ කෙරෙන බැවින්, එය 'වවුනතිව් සූර්ය බලාගාරය' ලෙස නම් කරනු ලැබ තිබේ. එම සූර්ය බලාගාරය ඉදි කිරීම සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, ආයතන 17ක් විසින් ඒ සඳහා ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, වවුනතිව් සූර්ය බලාගාරය ඉදි කිරීම, අයිතිය හා පවත්වාගෙන යාම (Build, Own & Operate) සඳහා වන කොන්ත්‍රාත්තුව, කිලෝවොට් පැය 1කට රුපියල් 11.86ක අවම මිලක් ඉදිරිපත් කර ඇති M/s Ex-Pack Corrugated Cartons (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පළාත් පාලන ආයතනවල කසළ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා කසළ ප්‍රවාහන (Compactors) රථ 100ක් මිල දී ගැනීම


    ශ්‍රී ලංකාවේ කසළ බැහැර කිරීම කාර්යක්ෂමව හා විධිමත්ව සිදු කිරීම සඳහා පළාත් පාලන ආයතන සතුව දැනට පවතින රථවලට අමතරව කසළ ප්‍රවාහන රථ 341ක් පමණ අවශ්‍ය වන බව හඳුනාගනු ලැබ තිබේ. ඉන් කසළ ප්‍රවාහන රථ 190ක් කොරියානු ණය ආධාර යටතේ ලබාගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි. තවත් කසළ ප්‍රවාහන රථ 100ක් දේශීය අරමුදල් මඟින් කඩිනමින් ලබාගැනීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා ලංසු කැඳවනු ලැබ තිබේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, ඝනමීටර 6ක ධාරිතාවකින් යුත් කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ 100ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 622.13ක මුදලකට, චීනයේ ZXY Hong Kong Company Limited වෙත පිරිනැමීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම


    1996 වර්ෂයේදී ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපනය කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලය මේ වන විට පීඨ 7කින් සමන්විත විශ්වවිද්‍යාලයක් වේ. වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ වයඹ, මොරටුව හා සබරගමුව යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීම සඳහා 2018 වර්ෂයේ අයවැය මඟින් රුපියල් මිලියන 1,250ක් වෙනු කරනු ලැබ තිබේ. ඒ යටතේ වෛද්‍ය සිසුන් 75කු බඳවා ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය 2018 වර්ෂයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම වෛද්‍ය පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු 2019 වර්ෂයේදී ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, එතෙක් එම පීඨයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ගොඩනැඟිලි පහසුකම් සලසා ගත යුතුව තිබේ.

    ඒ අනුව, එම කාර්යය සඳහා යොදා ගැනීමේ අරමුණින්, රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ බටුහේන පාසල අසල පිහිටි විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැඟිලි සංකීර්ණය හා ඉඩම උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙත නිත්‍යානුකූලව පවරාගැනීම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේද එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව පනතක් හඳුන්වාදීම


    අල්ලස් හා දූෂණයට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, ඒ යටතේ 1954 අංක 11 දරන අල්ලස් පනත සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. අල්ලස් පනත හා 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලතල 1994 අංක 19 දරන පනත මඟින් ස්ථාපනය කරන ලද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරී තිබේ.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156අ(1) ව්‍යවස්ථාව අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමාගේම මෙහෙයවීමෙන් හෝ වෙනත් තැනැත්තෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන පැවත්වීමේ හා නඩු පැවරීමේ බලතල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරීම සහ ශ්‍රී ලංකාව පාර්ශ්වයක් වන දූෂණ විරෝධී අන්තර්ජාතික සම්මුතීන් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලසීම සිදු කළ යුතු වේ.

    මේ සඳහා 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම වෙනුවට එම කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කරමින් ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපනය කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම සුදුසු බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, එම කාර්යය සඳහා නව පනතක් කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වන්දි ගෙවීමේ කාර්යාලය


    - මානව හිමිකම් හෝ මානුෂවාදී නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමට ලක් වූ පහත දැක්වෙන අවස්ථාවන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් වරින් වර අනුමත කරනු ලබන ප්‍රතිපත්ති තීරණ අනුව, හානි පූර්ණ වන්දි ලබා දීම සඳහා ස්වාධීන ආයතනයක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

    i පසුගිය කාලයේදී උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ ගැටුම් හෝ එහි ප්‍රතිඵලයක් ලෙස ඉන් අනතුරුව සිදු වී ඇති සිදුවීම්

    ii දේශපාලන ගැටුම් හෝ මහජන කැළැඹීම්

    iii ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ගේ, කණ්ඩායම්වල හෝ ජන කොටස්වල අයිතීන් සැලසුම් සහගතව උල්ලංඝනය කිරීම්

    iv 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවී‍මෙන් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි' අර්ථ දක්වා ඇති ආකාරයේ අතුරුදහන් කිරීම්

    ඒ අනුව, එවැනි සිදුවීම්වලින් බලපෑම්වලට ලක් වූ ගැටුම්වලට මැදි වූ ගම්මානවල වැසියන්, පොලිසියේ හා ආරක්ෂා හමුදා සාමාජිකයින්ගේ පවුල්ද ඇතුළුව, සියලු වාර්ගික හා ආගමික කණ්ඩායම්වලට අයත් ශ්‍රී ලාංකිකයින්ට හානි පූර්ණ වන්දි ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි 'හානි පූර්ණ වන්දි කාර්යාලයක්' නීතිය මඟින් ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහ‍ා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2017/2018 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම

     

    2017/2018 මහ කන්නයේ පරිභෝජන අවශ්‍යතා ඉක්මවා වී අස්වැන්නක් ලැබී ඇති දිස්ත්‍රික්කවල රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන, වී අලෙවි මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් භාණ්ඩාගාරය වෙතින් ලබාගැනීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා ඉදිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    South Asian Institute of Technology and Medicine (SAITM) ආයතනයේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන ගැටලු නිරාකරණය කිරීම


    South Asian Institute of Technology and Medicine (SAITM) ආයතනයට වෛද්‍ය සිසුන් ඇතුළත් කරගැනීම සහ වෛද්‍ය උපාධි ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් උද්ගත වූ ගැටලුව නිරාකරණය කිරීමේ අරමුණින්, එම ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනයේ නිරත සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් යෙදීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

    ගැටලුව අධ්‍යයනය කිරීමෙන් හා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම කමිටුව විසින් ලබා දී ඇති වාර්තාවේ සඳහන් පහත දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * SAITM ආයතනයේ දැනට ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් පමණක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සහ එහි අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කරනු ලබන සිසුන් සඳහා වෛද්‍ය විද්‍යා උපාධිය පිරිනැමීම;

    * එම සිසුන්ගේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පුනරාවර්තන වියදම රජය මඟින් ලබා දීම;

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya