අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017.12.05

    දෙසැම්බර් 06, 2017

    2017.12.05 දින පැවත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

    තරුණ කිරි ගෙ‍ාවි ව්‍යවසායකයින් බිහි කිරීම මඟින් දේශීය කිරි නිෂ්පාදනය නංවාලීම

    ශ්‍රී ලාංකිකයින්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය දියර කිරි හෝ පිටිකිරි ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය නොවීම හේතුවෙන් එම කිරි නිෂ්පාදන ආනයනය කිරීම සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් වාර්ෂිකව වැය කිරීමට සිදු වේ. එබැවින් නවීන විද්‍යාත්මක ක්‍රම හා තාක්ෂණය භාවිතයෙන් මෙරට කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීමට රජයේ අවධානය යොමු වී තිබේ.
    ඒ අනුව, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ තරුණ කිරි ගෙ‍ාවි ව්‍යවසායකයින් බිහි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එම වැඩසටහන යටතේ කිරි ගව පාලනයට පූර්ණකාලීනව යොමු විය හැකි තරුණ පිරිස් තෝරාගෙන අවශ්‍ය තාක්ෂණික දැනුම හා සම්පත් ඔවුන්ට ලබා දී දෛනිකව අවම වශයෙන් කිරි ලීටර 100ක් නිෂ්පාදනය කළ හැකි ව්‍යවසායකයින් ලෙස ගොඩනැංවීමට සැලසුම් කර ඇත. මෙවැනි තරුණ ව්‍යවසාය ඒකක 10,000ක් පමණ ඇති කිරීම මඟින් රටේ කිරි නිෂ්පාදනය ප්‍රශස්ත මට්ටමක‍ට ගෙන ඒමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


    ඒ අනුව, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ, මධ්‍යම පළාත් සභාවේ සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහාය ලබාගනිමින්, මෙහි නියමු ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමටත්, එහි සාර්ථකත්වය මත අනෙකුත් ප්‍රදේශවලද එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම අරමුදල් සලසා ගැනීම

    වයඹ, උතුරු මැද හා උතුරු යන පළාත්වල ඇති වියළි ප්‍රදේශයන්ට මහවැලි ග‍ඟෙහි ජලය ලබා දීම මඟින් එම ප්‍රදේශ සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය සහ මිණිපේ වම් ඉවුර ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යන ප්‍රධාන ආයෝජන ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කෙරේ.

    මෙම ණය වැඩසටහනෙහි දෙවන අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 210ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීමට නියමිත අතර එය ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ උමං සහිත ඇළ මාර්ගයේ කොටසක් ඉදි කිරීම, ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ කළුගඟ - මොරගහකන්ද යා කරන ඇළ කොටසක් ඉදි කිරීම, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ මහකිතුල උමං මාර්ගය, මහකිතුල සහ මහකිරුළ ජලාශ, මහකිතුල සිට මහකිරුළ ජලාශය දක්වා වන පෝෂිත ඇළෙහි කොටසක් ඉදි කිරීම, ඉහත ඉදි කිරීම් සිදු කරන ප්‍රදේශවල පාරිසරික සහ සමාජ ආරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම යන කාර්යයන් සිදු කිරීම පිණිස යොදා ගැනීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන්ට සහන ණය ලබා දීම

    රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන කඩඉම් ලකුණු ක්‍රමවේදය හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොලැබෙන සිසුන්ට උපාධි ප්‍රදානය කරනු ලබන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදැරීම පිණිස රුපියල් 800,000/-ක උපරිම ණය සීමාවකට යටත්ව, පොලී රහිත සහන ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් 2017 අයවැය යෝජනාවක් අනුව රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මීට සමගාමීව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීම සඳහා අ.පො.ස. උසස් පෙළ සමත් තරුණ තරුණියන් වෙත ඔවුන්ගේ සාමාන්‍ය වියදම්ද ආවරණය වන පරිදි රුපියල් මිලියන 1.1ක් දක්වා ණය මුදලක් ලබා දීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    ඒ අනුව, වෙනත් උපාධි පාඨමාලා හදාරනු ලබන තරුණ තරුණියන්ටද මෙම ණය මුදල මඟින් දැනට ආවරණය කෙරෙන පාඨමාලා ගාස්තු සහ පොත්පත් සඳහා වන වියදම්වලට අමතරව, අනෙකුත් සාමාන්‍ය වියදම් සඳහාද වර්ෂයකට රුපියල් 75,000/-ක් බැගින් එක් කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ ලබා දෙනු ලබන ණය මුදලේ උපරිම වටිනාකම, වසර 03ක උපාධියක් සඳහා රුපියල් දසලක්ෂ විසිපන්දහසක් (රු.1,025,000/-) සහ වසර 04ක උපාධියක් සඳහා රුපියල් එකොළොස් ලක්ෂයක් (රු.1,100,000/-) දක්වා ඉහළ නැංවීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා පහසුකම් සැලසීම

    දැනුම පදනම් කරගත් ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් කඩිනම් ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා නව්‍ය හා තිරසර ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, මෙරට ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය නංවාලීම උදෙසා අවශ්‍ය දැනුම හා වෘත්තීය නිපුණත්වය ලබා දීම සඳහා ලොව පිළිගත් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    මේ සඳහා ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල සමඟ පවත්වන ලද සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරවේදය පිළිබඳ පාසලක් ලාභ ලැබීමේ අරමුණකින් තොරව ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ, කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. යෝජිත ව්‍යාපාරවේද පාසල ඉන්දියානු සාගර කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට එම විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වේ. දක්ෂතාවන්ගෙන් හා කුසලතාවන්ගෙන් පිරිපුන් නමුත් ආර්ථික දුෂ්කරතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මෙහි අධ්‍යයන අවස්ථා විවර කෙරෙනු ඇත.


    මෙම ව්‍යාපාරවේද පාසල ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි මූලික සැලසුම් කටයුතු සඳහා පහසුකම් සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා; උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම


    ශ්‍රී ලංකාවේ බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා ප්‍රභවයක් ලෙස ස්වාභාවික වායු හඳුන්වාදීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් රජයෙන් රජයට පදනම මත චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කර්මාන්ත කලාපයට විදුලිය ලබා දීමේ මූලික අරමුණින් සහ ඉදිරියේදී ඇති විය හැකි විදුලි හිඟය මඟහරවා ගැනීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, චීන රජය විසින් නම් කර ඇති China Machinery Engineering Corporation (CMEC) ආයතනය හා ලංකා විදුලිබල මණ්ඩලය අතර හවුල්කාරිත්වයක් වශයෙන් මෙම ස්වාභාවික වායු විදුලි බලාගාරය හා ස්වාභාවික වායු ගොඩබෑමේ පර්යන්තයක් ඉදි කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සංවර්ධන ව්‍යාපෘති සඳහා හංගේරියානු රජයේ මූල්‍ය ආධාර ලබාගැනීම


    ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා අරමුදල් සැපයීමට හංගේරියානු රජය එකඟ වී ඇත. මේ යටතේ පහත සඳහන් ව්‍යාපෘති සඳහා යුරෝ මිලියන 149ක සහන ණය පහසුකම් හංගේරියානු අපනයනය ආනයන බැංකුව හරහා සැපයෙනු ඇත.


    (i)    බිංගිරිය - උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය (යුරෝ මිලියන 53)
    (ii)    කොහුවල, කිරුළපන සහ යාන්ගල්මෝදර ගුවන් පාලම් ඉදි කිරීම - (යුරෝ මිලියන 52)
    (iii)    අධිකරණ කළමනාකරණ විද්‍යුත් පද්ධතිය (යුරෝ මිලියන 32)
    (iv)    දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතිය (යුරෝ මිලියන 12)

    ඒ අනුව, ඉහත ණය මුදල ලබාගැනීම වෙනුවෙන් හංගේරියානු රජය සමඟ මූල්‍ය සහයෝගිතා රාමුගත වැඩසටහනක් ඇති කරගැනීම සඳහා වන ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ටැන්සානියාව, රුවන්ඩාව, අසර්බයිජානය, පෝලන්තය යන රටවල් සමඟ ද්විපාර්ශ්වික ගුවන්සේවා ගිවිසුම් ඇති කරගැනීම


    ටැන්සානියාව, රුවන්ඩාව, අසර්බයිජානය හා පෝලන්තය යන රටවල් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින්, දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුම්වලට එම එක් එක් රටවල් සමඟ අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව එම ගිවිසුම්වල විධිවිධාන බලාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ගුවන්තොටුපළ තුළ අනවසර තැරැව් කටයුතු වැළැක්වීම සඳහා නීති පැනවීම


    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පොදු පරිශ්‍රය තුළ අනවසරයෙන් ගැවසෙන විවිධ 'තැරුව්කරුවන්' (touts) හේතුවෙන් ගුවන් මගීන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම තත්ත්වය පාලනය කිරීම සඳහා නීති පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    ඒ අනුව, ගුවන් තොටුපළ තුළ තැරැව් කිරීම හා අනවසර පුද්ගලයින් විසින් ගුවන්තොටුපළ තුළ දී වාහනවලට බඩු පැටවීම 2010 අංක 14 දරන සිවිල් ගුවන්සේවා පනත යටතේ වැරදි ලෙස හඳුනා ගැනීමට, එවැනි වැරදි සිදු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හා නීතිපතිවරයාගේ අවසරයකින් තොරව ගුවන්තොටුපළ පිහිටා ඇති අධිකරණ බල සීමාව තුළ පිහිටි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම සඳහා විධිවිධාන සලසමින් 2010 අංක 14 දරන සිවිල් ගුවන්සේවා පනත සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් බද්ද


    - රට තුළට ගලා එන හඬ කැවූ විදේශීය ටෙලි නාට්‍ය, චිත්‍රපට හා වෙළඳ දැන්වීම් හේතුවෙන් දේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට කර්මාන්තයට සිදුවන අයහපත් බලපෑම සැලකිල්ලට ගනිමින් සිංහල හෝ දෙමළ භාෂාවට හඬ කවන ලද විදේශීය ටෙලි නාට්‍ය, චිත්‍රපට ‍හා වෙළඳ දැන්වීම් මත අය කරනු ලබන 'ටෙලි නාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් බද්ද' වැඩි කිරීමට 2017 අයවැය මඟින් යෝජනා කරන ලදී.

    ඒ අනුව, අදාළ බද්ද සංශෝධනය කරමින් 2006 අංක 11 දරන මුදල් පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති අංක 2044/21 දරන 2017‑11‑07 දිනැති අතිවි‍ශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වේක්කයා (Chanos chanos) මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් සඳහා බදු පදනම මත ඉඩම් ලබා දීම


    මෙරට ප්‍රධානතම අපනයන මත්ස්‍ය ප්‍රභේදයන් වන ටූනා සහ බිල් ෆිෂ් වර්ගයේ මත්ස්‍ය සම්පත නෙළා ගැනීම සඳහා භාවිත කරනු ලබන මරුවැල් පන්න ක්‍රමයේදී දැල්ලන්, වේක්කයන් සහ සාලයන් වැනි මසුන් ඇම වශයෙන් යොදාගනු ලැබේ. මේ සඳහා වාර්ෂිකව මෙට්‍රික් ටොන් 7,000ක පමණ ඇම අවශ්‍ය වුවත්, ඉන් දේශීයව සපයා ගනු ලබන්නේ මෙට්‍රික් ටොන් 3,000ක පමණ ප්‍රමාණයකි. ඇම වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවීම හේතුවෙන් මෙරට ප්‍රධාන අපනයන මත්ස්‍ය විශේෂයන්ගේ මිල ඉහළ යාම සිදුවන අතර, එය එම නිෂ්පාදන සඳහා විදේශ වෙළඳපොළෙහි තරගකාරී මිලක් නියම කිරීමේදී අහිතකර ලෙස බලපානු ලබයි.

    ඇම සඳහා මෙන්ම මිනිස් පරිභෝජනය සඳහාද යොදා ගත හැකි 'වේක්කයා' (Chanos chanos) මත්ස්‍යයින් වාණිජ මට්ටමින් ඇති කිරීම ඉතා ලාභදායි වන අතර, ඇම ආනයනය කිරීම සඳහා වාර්ෂිකව වැය කරනු ලබන රුපියල් බිලියනයකට අධික මුදලින් විදේශ විනිමය යම් ප්‍රමාණයක් ‍එමඟින් ඉතිරි කර ගත හැකිවනු ඇත. මෙම වේක්කයා මත්ස්‍යයින් තීව්‍ර ක්‍රමයට බෝ කිරීමේ ව්‍යාපෘති යෝජනාවක් සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය රජයේ හවුල්කරු ලෙස ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය - පෞද්ගලික පදනම ය‍ටතේ, නියමිත පාරිසරික බලපෑම් ඇගයීම් සිදු කිරීමට යටත්ව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ, බංගදෙණියේ පිහිටි ප්‍රමාණයෙන් හෙක්ටයාර 12.14ක් වන, ශ්‍රී ලංකා ජල ජීවී වගා සංවර්ධන අධිකාරියට අයත් ඉඩ‍ම් කොටසක් එම සංගමය වෙත බදු පදනම මත ලබා දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වතුකර ප්‍රජාව සඳහා මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම


    සෞඛ්‍ය, අධ්‍යාපන, සුරක්ෂිත ජලය ආදී පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් කරා ප්‍රවේශ වීමට ඇති දුෂ්කරතාව හේතුවෙන් වතුකර ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වයට අදාළ දර්ශක රටේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව පහළ මට්ටමක පවතී. එබැවින් එම යටිතල පහසුකම් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි වන පරිදි වතුකරයේ මාර්ග සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, හැටන් ප්‍රදේශයේ ඇබෝර්ට්ස්ලී සිට බ්‍රෝඩොක් කොටස දක්වා දිවෙන මාර්ගය තාර දමා සකස් කිරීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැනට පවත්නා ජාල යටිතල පහසුකම් (Network Infrastructure) වැඩිදියුණු කිරීම


    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය පරිපාලන කටයුතු සහ පාර්ලිමේන්තු ක්‍රියාවලීන් සඳහා නවීන තාක්ෂණය මත පදනම් වූ කාර්යක්ෂම සහ ඵලදායී මෙහෙයුම් විධි ක්‍රම යොදාගැනීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් 'ඉ-පාර්ලිමේන්තු ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කරනු ලැබේ. එහිදී දැනට පවතින පරිගණක ජාල යටිතල පහසුකම් (Network Infrastructure) වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා අවශ්‍ය උපකරණ හා සේවා සම්පාදනය සඳහා යෝග්‍ය සමාගමක් තෝරා ගැනීම පිණිස රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය කිරීම හා නැවත ක්‍රියාත්මක කිරීම


    යාපනය, වලිකාමම් ප්‍රදේශයේ පිහිටි මයිලිඩ්ඩි ධීවර වරාය 1980 දශකයේ මෙරට ධීවර කර්මාන්තයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් ප්‍රධාන ධීවර වරායක් වූ අතර ඊසාන දිග මෝසම් ක‍ාලසීමාව තුළ පවා භාවිත කළ හැකි වීම හේතුවෙන් එය සුවිශේෂ වේ. ගැටුම් පැවති සමයේදී මෙහි කටයුතු අඩාළ වූ අතර උතුරු පළාතේ සාමකාමී තත්ත්වය නැවත ඇති වීමත් සමඟ 2017 වර්ෂයේ ජූලි මාසයේදී එම ධීවර වරාය හා අක්කර 54ක ඉඩම ධීවර කටයුතු සඳහා භාවිත කළ හැකි වන පරිදි නිදහස් කරනු ලැබ තිබේ.

    ඒ අනුව, එම ප්‍රදේශයේ පදිංචිව සිට අවතැන් වූ ජනතාව නැවත එම ප්‍රදේශයට පැමිණ සිටින අතර, ධීවර කටයුතු සඳහා යළි යොදා ගැනීම සඳහා මයිලිඩ්ඩි ධීවර වරය තුළ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජාතික නිවාඩු නිකේතන (NHR) වැඩිදියුණු කිරීම


    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් පාලනය කරනු ලබන, අනුරාධපුරය, නුවරඑළිය, බණ්ඩාරවෙළ හා කතරගම යන ප්‍රදේශවල පිහිටා ඇති ජාතික නිවාඩු නිකේතන රජයේ සේවකයන් ඇතුළු දේශීය සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය වී ඇත. එම නිවාඩු නිකේතන සඳහා ඇති සංචාරක ආකර්ෂණය තවදුරටත් වැඩි කරගැනීමේ අරමුණින්, එම නිවාඩු නිකේතන ප්‍රතිසංවර්ධනය කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම


    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ අදියර 1 සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 315ක මුදලකට M/s. CML-MTD Construction Ltd. වෙත පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    නවීන පර්යේෂණ සහ සංවර්ධන සංකීර්ණයේ (MRDC) බාහිර කාර්යයන් සහ භූමි සංවර්ධන කාර්යයන් සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම


    කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) මාලබේ පරිශ්‍රයෙහි පිහිටි, නවීන පර්යේෂණ සහ සංවර්ධන සංකීර්ණයේ (MRDC) බාහිර කාර්යයන් සහ භූමි සංවර්ධන කාර්යයන් සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 215.9ක මුදලකට M/s. Ranasiha Lanka Construction (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය/වෛද්‍ය ඒකක දීර්ඝ කිරීම


    ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝහලක් වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල මඟින් සපයනු ලබන ශල්‍ය වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එහි ශල්‍ය/වෛද්‍ය ඒකක දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා වන ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 690ක මුදලකට M/s Subasinghe Contractors & Earth Movers සමාගම වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2018 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන නගර සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදේශක සේවා ලබාගැනීම


    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහන යටතේ 2018 වර්ෂයේ නව ව්‍යාපෘති 80ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එම නව ව්‍යාපෘති කඩිනමින් නිමා කිරීමේ අරමුණින්, මෙම එක් එක් ඉදි කිරීම් කාර්යයයෙහි ස්වභාවය අනුව ඊට අවශ්‍ය උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු, නාගරික සංවර්ධන අධිකාරිය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතන වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    බණ්ඩාරගම, අලුබෝමුල්ල, කුරුස හන්දිය පොළ සහ වාණිජ සංකීර්ණය ඉදි කිරීම


    පානදුර - හොරණ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරගම, අලුබෝමුල්ල ප්‍රාදේශයේ කුරුස හන්දිය ආශ්‍රිතව පිහිටි බණ්ඩාරගම සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සතු ඉඩම තුළ පොළ, වාණිජ සංකීර්ණයක් හා බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. මේ යටතේ වෙළඳ කුටි 120ක්ද ඉදි කිරීමට අපේක්ෂිතය. 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 200ක ඇස්ත‍මේන්තුගත පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා එම සමුපකාර සමිතිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සූර්ය බල සංග්‍රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීම


    සූර්ය බල සංග්‍රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ. ඒ සඳහා සූර්ය බල පද්ධති සවි කළ හැකි රාජ්‍ය ආයතන සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් හඳුනාගනු ලැබ ඇති අතර, මෙම සූර්ය බල පද්ධති සවි කිරීම සඳහා සුදුසු ආයතන තෝ‍රාගැනීම පිණිස ටෙන්ඩර් කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, රජයේ රෝහල් 63ක, රජයේ පාසල් 13ක හා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සූර්ය බල බද්ධති සවි කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලැබ ඇති ආයතන වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යාන්ඔය ජලාශ ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කිරීම


    මෑත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද මහා පරිමාණ වාරි සංවර්ධන ව්‍යාපෘතිවලින් එකක් වන යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය මඟින් අනුරාධපුරය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ජල හිඟයකට මුහුණු පා ඇති ප්‍රදේශ කිහිපයක පිහිටි ඉඩම් හෙක්ටයාර 4,190ක් පමණ වගා කිරීම සඳහා ජලය සැපයීම සිදු කෙරේ. එම ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ‍ඩොලර් මිලියන 39.5ක මුදලකට සැලසුම් කර ඉදි කිරීමේ පදනම මත M/s. China CAMC Engineering Co. Ltd. (CAMCE) වෙත පිරිනැමීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීම


    රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) අතර හවුල්කාරිත්ව ගිවිසුමක් 2017 ජූලි 29 දින අත්සන් තබන ලදී. ඒ අනුව, හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා ස්ථාපනය කරන ලද විශේෂිත කාර්යය සමාගම් ‍දෙකක් වන ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) විසින් එම ගිවිසුමේ එකඟතා අනුව සිය මෙහෙයුම් කටයුතු 2017 දෙසැම්බර් 09 දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    HIPG සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 85%ක් CM Port සමාගමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමි වන අතර 15%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ. එසේම, HIPS සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 58%ක් HIPG සමාගමට හිමිවන අතර ඉතිරි 42%ක ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ. ඒ අනුව, එම මුල් ගිවිසුමට පරිපූරක ගිවිසුමක් වශයෙන් සකස් කරනු ලැබ ඇති කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අදාළ පාර්ශ්ව අතර අත්සන් තැබීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි සිදු වූ දේපළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම


    මෑත කාල වකවානුව තුළ ඇති වූ නියං, ගංවතුර හා අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ආපදාවට ලක් වූ ජනතාවගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ හානි වූ දේපළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් දැනටමත් රුපියල් බිලියන 32ක අතිරේක ප්‍රතිපාදන සලසා දෙනු ලැබ තිබේ. මෙම කටයුතු සඳහා තවදුරටත් අවශ්‍ය වන අරමුදල් දැනටමත් වෙන් කර තිබෙන ප්‍රතිපාදන තුළම කළමනාකරණය කරගැනීමට හැකි වන පරිදි විවිධ අමාත්‍යාංශ විසින් මෙතෙක් උපයෝජනය කර නොමැති ප්‍රතිපාදන භාවිත කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    රාජ්‍ය ආයෝජන කාර්යක්ෂම ලෙස සැලසුම් කිරීමේ හා ව්‍යාපෘති සකස් කිරීමේ පහසුකම් සැපයීමේ වැඩසටහන


    රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති ආරම්භ කිරීමේ ක්‍රියාවලියෙහි තත්ත්වය ඉහළ නැංවීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය වැඩිදියුණු කිරීම රජයේ විවිධ නියෝජිත ආයතනවල ව්‍යාපෘති සැලසුම් ලේඛන සකස් කිරීමේ හැකියාව ඉහළ නැංවීම යන අරමුණු ළඟා කරගැනීම සඳහා 'ව්‍යාපෘති සකස් කිරීමේ පහසුකම් සැපයීමේ වැඩසටහන' (Programmatic Project Preparation Facility - PPPF) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 4ක අරමුදල් සලසා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ මූල්‍ය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මීතොටමුල්ල කසළ බහාලුම් ස්ථානයේ සිදු වූ නායයෑම හේතුවෙන් ඉවත් කරන ලද නිවාස හිමියන් සඳහා රුපියල් 50,000/-ක නිවාස කුලී දීමනාව තවදුරටත් ලබා දීම


    2017‑04‑14 දින කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි කසළ බහාලුම් ස්ථානයේ සිදු වූ නායයාම හේතුවෙන් නිවාස අහිමි වීම හෝ පදිංචි නිවාස අධි අවදානමකට ලක් හේතුවෙන් එම නිවාසවලින් ඉවත් කරන ලද පවුල්වලට නිවාස ලබාදීමේ වැඩසටහනේ පළමුවන හා දෙවන අදියර යටතේ පවුල් 98ක් සඳහා නිවාස ලබා දී ඇති අතර, එහි තෙවන අදියර යටතේ තවත් පවුල් 72ක් සඳහා 2017-11-08 දින විකල්ප නිවාස ලබා දෙනු ලැබ තිබේ.

    එසේ නැවත පදිංචි කරනු ලබන තෙක් රුපියල් 50,000/- ක නිවාස කුලී මාසික දීමනාවක් 2017 අගෝස්තු මාසය දක්වා එම පවුල් වෙත ලබා දෙන ලද අතර, ඒ අනුව, අවසන් වරට පදිංචි කරන ලද පවුල් 72 සඳහා 2017 අගොස්තු මස සිට ඔවුන් නැවත පදිංචි කරවන ලද දිනය දක්වා වූ මාස දෙකක කාලසීමාව සඳහාද නිවාස කුලී මාසික දීමනාව ලබා දීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙහි ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලැස්ම සඳහා උපදේශක සේවා ලබා ගැනීම


    කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියෙහි ශක්‍යතා අධ්‍යයනය සහ සවිස්තරාත්මක සැලැස්ම සකස් කිරීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, පවුම් 256,030, ඇමරිකානු ඩොලර් 6,481,575 සහ ශ්‍රී ලංකා රුපියල් 379,213,616ක මුදලකට M/s. DOHWA Engineering Co. Ltd. සහ එහි හවුල්කරුවන් වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පෞද්ගලික රෝහල් මඟින් හදිසි හදවත් සැත්කම් සිදු කිරීම


    කොළඹ, ජාතික රෝහලේ, හෘද රෝග ඒකකයේ හදවත් සැත්කම් සිදු කරනු ලබන ශල්‍යාගාර දෙකෙහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එහි හදවත් සැත්කම් අත්හිටවනු ලැබ තිබේ. ඒ අනුව, එම රෝහලේ රෝගීන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත හදවත් සැත්කම් සඳහා මාරු කර යැවෙන නමුත්, එය ප්‍රමාණවත් පිළියමක් නොවේ. එබැවින්, හදිසි හදවත් සැත්කම්වලට භාජනය කළ යුතු රෝගීන් සඳහා රජයේ වියදමින් හදවත් සැත්කම් සිදු කිරීම පිණිස ඒ සඳහා පහසුකම් ඇති පෞද්ගලික රෝහල් වෙත යොමු කිරීමටත්, කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ශල්‍යාගාර අලුත්වැඩියා කටයුතු කඩිනම් කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජීවන වියදම අඩු කිරීම පිණිස කෙටිකාලීන ක්‍රියාමාර්ග


    දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය නිසා කන්න කිහිපයක වගා කටයුතු අඩාළ වීමෙන් රටේ ආහාර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර, ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමට එය හේතු වී තිබේ. විශේෂයෙන්ම හාල්, පොල් සහ එළවළු වර්ගවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පෙන්වා දෙන ලද අතර, අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී .

    මෙම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදන ප්‍රමාණවත් පරිදි වෙළඳපොළට සැපයීම‍ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට එහිදී තීරණය කරන ලදී:

    * මහා භාණ්ඩාගාරයේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ සහල් ආනයනය කිරීම සඳහා ඕනෑම පෞද්ගලික ආයතනයකට හෝ ස.තො.ස. ආයතනයට පහසුකම් සැලසීම.

    * පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද හා සාමාන්‍ය පාරි‍භෝජනය සඳහා අවශ්‍ය පොල් ගෙඩි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ආනයනය කිරීම.

    * වගා කටයුතු අඩාළ වී සිටින ගොවි ජනතාවට දැනට රජය විසින් ලබා දී ඇති සහනවලට අමතරව තවදුරටත් සැලසිය හැකි සහන සම්බන්ධයෙන් කඩිනමින් යෝජනා ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීම.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya