මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017.11.21

    නොවැම්බර් 22, 2017

    2017.11.21 වැනි දින පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

    යෞවනයන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි වන සේ පරිපූරක ඡන්දහිමි නාමලේඛනය පිළියෙල කිරීම සඳහා නීති සැකසීම


    1980 අංක 44 දරන ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන පරිදි, සෑම වර්ෂයකම ජුනි මස 01වන දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලැබ ඇති පුරවැසියෝ ඡන්දහිමියන් වශයෙන් ලියාපදිංචි කෙරෙති. ඒ සඳහා ඡන්දහිමි නාමලේඛනය වාර්ෂිකව ප්‍රතිශෝධනය කෙරෙන අතර, එම ක්‍රියාවලිය සඳහා මාස 06ක පමණ කාලයක් ගත වේ. යම් වර්ෂයක ජුනි මස 01වන දින ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ කර එය සකසා සහතික කිරීමට පෙර කාලසීමාව තුළ කිසියම් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදු වුවහොත් එවැනි අවස්ථාවලදී ඊට පෙර වර්ෂය සඳහා සකස් කරන ලද ඡන්දහිමි නාමලේඛනය අදාළ කරගන්නා බැවින් ඡන්දහිමි නාමලේඛනයෙහි ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් ලැබූ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද නවක ඡන්දහිමියන්ට එවැනි ඡන්ද විමසීමකදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මඟ හැරේ.

    එබැවින් යම්කිසි ඡන්දහිමි නාමලේඛනයක් සහතික කිරීමෙන් පසු ඊළඟ වර්ෂයේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කරනු ලබන තෙක් අතර කාලසීමාව තුළදී වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන තැනැත්තන්ගේ නම් ඒ වනවිටත් සහතික කරනු ලැබ ඇති ඡන්දහිමි නාමලේඛනයට අප්‍රමාදව ඇතුළත් කිරීම මඟින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම සඳහා පරිපූරක ඡන්දහිමි නාමලේඛනයක් සකස් කිරීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් යෝජනා කරනු ලැබ තිබේ. ඒ සඳහා විධිවිධාන සැලසීමට 1980 අංක 44 දරන ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    'මහාසූපවංසය' ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කිරීම


    ශ්‍රී ලංකාව දියුණු ආහාර සංස්කෘතියකට උරුමකම් කියන රටක් වන අතර, අතීතයේ මෙරට පැවති නිරෝගිමත් හා සෞඛ්‍යසම්පන්න දිවි පැවැත්ම සඳහා එම ආහාර සංස්කෘතිය මහත් පිටිවහලක් වූ බව පෙනේ. ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතිය හා එහි ඓතිහාසික පරිණාමය පිළිබඳව විවරණය කෙරෙන 'මහාසූපවංසය' නමින් අගනා කෘතියක්, දේශබන්දු (ආචාර්ය) ටී.පබ්ලිස් සිල්වා මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්වතුන් කිහිපදෙනෙකුගේද සහයෝගය ඇතිව සම්පාදනය කරනු ලැබ තිබේ.

    මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම මඟින් මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ ශ්‍රී ලාංකේය දැනුම හා උරුමය ලෝකය හමුවට ගෙන යාමට අවකාශ සැලසෙනු ඇත. ඒ අනුව, 'මහාසූපවංසය' ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර, එහි පිටපත් 1,000ක් මුද්‍රණය කිරීම සඳහා අරමුදල් සලසා දීම මඟින් අනුග්‍රහය දැක්වීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජාතික කලා-සංස්කෘතික ප්‍රතිපත්තියක් බලගැන්වීම


    රටක සාමූහික මහජන විඥානය සකස් වීම කෙරෙහි කලා සංස්කෘතික ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ජනමාධ්‍ය ක්ෂේත්‍රය හා ආගමික ක්ෂේත්‍රය ඍජුවම බලපාන සාධක වේ. ඒ අතුරින්, සමාජය සුවපත් කිරීම සම්බන්ධයෙන් පුරෝගාමී කාර්යභාරයක් ඉටු කිරීමෙහි ලා කලා-සංස්කෘතික ක්ෂේත්‍රය තීරණාත්මක වේ. නව කලා හා සංස්කෘතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාව තුළ නව සංස්කෘතික නවෝදයක් ඇති කර ලීම සඳහා සම්මානනීය කලාකරුවන් හා විද්වතුන් පිරිසක් විසින් මූලාරම්භයක් ගනු ලැබ තිබේ.

    කලාව හා සංස්කෘතියට අදාළව මෙරට ජනතාවගේ දැක්ම, තේරුම් ගැනීම හා භාවිතය පුළුල් කිරීම මඟින් සංස්කෘතික වශයෙන් එකිනෙකා හා අනෙකුත් ප්‍රජාවන් සමඟ සහානුබද්ධ පුරවැසියෙකු බිහි කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැඟීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, අදාළ ආයතන සමඟ මනා සම්බන්ධීකරණයකින් යුතුව මේ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා සංස්කෘතික පුනර්ජීවනය සඳහා වූ ජාතික මෙහෙයුම් ඒකකයක්, ජනාධිපති කාර්යාලයට අනුයුක්තව ස්ථාපිත කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත මුර සංචාරක නෞකාවක් ලබාගැනීම


    දළ වශයෙන් වර්ග කිලෝමීටර 517,000ක් පමණ වන ශ්‍රී ලංකාවට අයත් සමුද්‍ර තීරයෙහි ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ කාර්යය ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ. මෙරට දකුණුදිග වෙරළෙන් නාවික සැතපුම් පහකට ඔබ්බෙන්, වඩාත් කාර්ය බහුල ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගයක් පැවතීමත්, සමුද්‍රීය ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, මංකොල්ලකෑම්, නීතිවිරෝධී මසුන් ඇල්ලීම් ආදී අභියෝග ඉහළ යාමත් හේතුවෙන් වෙරළාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය යාත්‍රා සංඛ්‍යාව ඉහළ නැංවීම අවශ්‍ය වේ.

    ඒ අනුව, ඉන්දීය රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් අනුව, ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් භාවිත කරන ලද 'වරුණ' මුර සංචාරක නෞකාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත මුදල් අය කිරීමකින් තොරව ලබා දෙනු ලබන අතර, එම දෙපාර්තමේන්තුවේ සමුද්‍රීය මුර සංචාරක හැකියාව වැඩිදියුණු කිරීමට එය ඉවහල් වනු ඇත. එම නෞකාව ප්‍රදානයක් වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාවේ පයිනස් වනවගා, දේශීය ශාක විශේෂ සහිත වනවගා බවට පරිවර්තනය කිරීම


    ක‍ඩදාසි කර්මාන්තය සඳහා අමුද්‍රව්‍යක් ලෙස භාවිත කිරීමේ සහ ජල පෝෂක ප්‍රදේශවල තත්ත්වය පහළ මට්ටමක පවතින ඉඩම්වලට තුරු වැස්මක් ඇති කිරීමේ අරමුණින්, 1960-1990 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පයිනස් වනවගාව ආරම්භ කරනු ලැබ තිබේ. මේ වන විට හෙක්ටයාර 16,000 ක පමණ පයිනස් වනවගාවක් ශ්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි කලාපයන්හි දක්නට ලැබේ. එයින් කඳුකර ප්‍රදේශවල පිහිටි පයිනස් වනවගාවන්හි යටි රෝපණයක් දක්නට නොලැබීම හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශයන්හි සංරක්ෂණය සඳහා එම වන වගා මඟින් ලැබෙන්නේ අවම දායකත්වයකි.

    එබැවින්, ජල පෝෂක ප්‍රදේශයන්හි පරිසර සංරක්ෂණය සඳහා ඇති කරනු ලැබ ඇති පයිනස් වගාවන් ආශ්‍රිතව දේශීය ශාක විශේෂ වගා කිරීම මඟින් යටිරෝපණයක් වර්ධනය කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එමඟින් එම වන වගාවන්හි පාංශු හා ජල සංරක්ෂණය ඉහළ නැංවීමටත්, ජෛව විවිධත්වය වර්ධනය කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. මෙම ව්‍යාපෘතිය වනාන්තර තිරසර කළමනාකරණය සහ පුනරුත්ථාපනය පිළිබඳ ආසියා ශාන්තිකර ජාලය මඟින් ලබා දෙනු ලබන ප්‍රදාන ආධාර යටතේ ඉදිරි වර්ෂ තුනක (03) කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා පිළිබඳ ගිවිසුම


    ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින්, දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුමට දෙරට අතර අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ගිවිසුමේ විධිවිධාන බලාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාව සහ හෙලනික් ජනරජය (ග්‍රීසිය) අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා පිළිබඳ ගිවිසුම


    ශ්‍රී ලංකාව සහ ග්‍රීසිය අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින්, දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුමට දෙරට අතර අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ගිවිසුමේ විධිවිධාන බලාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳාම පහසුකරණය පිළිබඳ ගිවිසුම (TFA) අනුව ශ්‍රී ලංකාවේ බැඳීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම


    වෙළඳාම හා තීරුබදු පිළිබඳ පොදු සම්මුතියෙහි ජාත්‍යන්තර වෙළඳාම පහසුකරණය හා සම්බන්ධ වගන්ති පැහැදිලි කිරීමට මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය, නිකුත් කිරීම හා නිෂ්කාශනය යන කටයුතු කෙරෙහි ඇති වන බාධා ඉවත් කරලීමේ අරමුණ පෙරදැරිව පහසුකරලීමේ බහුපාර්ශ්වීය ගිවිසුමක් වශයෙන් වෙළඳාම පහසුකරණ ගිවිසුම (Trade Facilitation Agreement - TFA) ඇති කරගනු ලැබ තිබේ. දේශ සීමා හරහා භාණ්ඩ ප්‍රවාහනය, නිකුත් කිරීම සහ නිෂ්කාශනය කඩිනම් කිරීම මෙම ගිවිසුමෙන් අපේක්ෂා කෙරේ.

    ශ්‍රී ලංකාව විසින් මෙම ගිවිසුමට දැනටමත් අත්සන් තබනු ලැබ ඇති අතර, ඒ යටතේ වන ශ්‍රී ලංකාවේ බැඳීම් ඉටු කිරීම් මඟින් ගෝලීය වෙළඳ පහසුකරණ දර්ශකයන්හි ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළ නැංවීම, ජාත්‍යන්තර වෙළඳාමේ පිරිවැය අඩු කරගැනීම, ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ වඩාත් තරගකාරී වීමට හැකිවීම ඇතුළු වාසි රැසක් අත්කර ගත හැකි වනු ඇත.

    ඒ අනුව, ඊට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා වෙළඳාම පහසුකරණය පිළිබඳ ජාතික කමිටුවක් දැනටමත් පත් කරනු ලැබ තිබේ. වෙළඳ පහසුකරණ ගිවිසුමේ විධිවිධානයන්ගෙන් පරිබාහිර වූ අනෙකුත් සක්‍රීය වෙළඳ පහසුකම්කරණ කටයුතුද ඇතුළත් කරමින් එම කමිටුවේ කාර්යභාරය පුළුල් කිරීමටත්, ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳාම් පහසුකම්කරණ ගිවිසුමෙහි බැඳීම් අනුව කටයුතු කිරීම සඳහා කාර්ය සැලැස්මක් සකස් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වේරස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු


    ගංවතුර පාලනය කිරීමේ මූලික අරමුණින් ක්‍රියාත්මක කෙරෙමින් පවතින වේරස් ගඟ ව්‍යාපෘතිය යටතේ මේ දක්වා සිදු කරන ලද සංවර්ධන කටයුතු මඟින් බොරලැස්ගමුව, රත්තණපිටිය, පිළියන්දල, වේරහැර, නුගේගොඩ ආදී ප්‍රදේශවල ‍වැසි ජලාපවහනය වැඩිදියුණු කර ඇති අතර, එම ප්‍රදේශවල ගංවතුර තර්ජනය අවම කිරීමට එය හේතු වී තිබේ.

    කැස්බෑව, මහරගම, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර බලපෑම අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මඩකලපුව, මන්මුනෙයි නිරිත ප්‍රදේශයේ ජලජීවී වගාව වැඩිදියුණු කිරීම


    - ගැටුම්කාරී වාතාවරණයට පෙර කිවුල්දිය ඉස්සන් ගොවි ‍පොළක් වශයෙන් භාවිත කරන ලද, මඩකලපුව, මන්මුනෙයි නිරිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි හෙක්ටයාර 202.343 (අක්කර 500)ක ඉඩම් ප්‍රමාණයක් තුළ ජලජීවී වගා කර්මාන්තය නැවත ඇති කිරීමට යෝජනා වී තිබේ. එමඟින් ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් එක් කෙරෙනු ඇති අතර, ප්‍රදේශය තුළ සෘජු රැකියා අවස්ථා 900ක් පමණ අලුතින් නිර්මාණය වනු ඇත.

    ඒ අනුව, එම භූමිභාගය තුළ පොකුණු 450ක් පමණ ඉදි කිරීම මඟින් කිවුල්දිය ඉස්සන්, මඩ කකුළුවන්, වේක්කයින්, මෝදා ඇතුළු වාණිජ වශයෙන් ඉහළ ආදායමක් ලැබිය හැකි මත්ස්‍ය විශේෂ ඇති කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව තෝරාගනු ලබන ආයෝජකයින් වෙත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා බදු පදනම මත මෙම ඉඩම් වෙන් කර දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    1941 අංක 39 දරන ණය සහනදායක ආඥාපනත සංශෝධනය කිරීම


    ණය සම්බන්ධ ආරවුල් නිරවුල් කිරීමේ වඩාත් කාර්යක්ෂම විකල්ප යන්ත්‍රණයක් ලෙස ණය සහනදායක මණ්ඩල යොදාගැනීමේ අරමුණින් වර්තමානයේ කොළඹට සීමා වී ඇති එම මණ්ඩලයේ කටයුතු අනෙකුත් ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීම සඳහා එහි අධිකරණ බල සීමාව පුළුල් කිරීමට යෝජනා වී තිබේ. එමෙන්ම එහි ක්‍රියාකාරිත්වය ස්ථාවර හා ඵලදායී කිරීම සඳහා සාමාජිකත්වය තවදුරටත් පුළුල් කිරීමට හා තෝරාගැනීමේ නිර්ණායක වෙනස් කිරීමටද යෝජනා වී තිබේ. ඒ සඳහා විධිවිධාන සලසමින් 1941 අංක 39 දරන ණය සහනදායක ආඥාපනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    රජ්ගම නාගරික නිවාස ව්‍යාපෘතිය

     

    නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කෙරෙන රජ්ගම නාගරික නිවාස ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. සුනාමි ව්‍යසන‍යෙන් බලපෑමට ලක් වූ පවුල් 39ක්ද ඇතුළුව අඩු ආදායම්ලාභී පවුල් 92ක් සඳහා ඒ යටතේ නිවාස ඉදි කෙරෙන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යාමේදී අදාළ භූමියෙහි පවතින ඉතා අබලන් තත්ත්වයේ පවතින නිවාස 45ක් ද ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

    ඒ අනුව, පවුල් 137ක් සඳහා නිවාස පහසුකම් සැලසිය හැකිවන පරිදි මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, මෙම ගම්මානය සඳහා වන පොදු යටිතල පහසුකමක් වශයෙන් ප්‍රජා ශාලාවක් ඉදි කර දීමටත් නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රජයේ ඉඩම් බැහැර කිරීම විධිමත් කිරීම හා රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම වැළැක්වීම


    රජයේ ඉඩම් බැහැර කිරීම විධිමත් කිරීමට හා රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට සහ ඊට අදාළ කරුණු අධ්‍යයනය කර වාර්තා කිරීම පිණිස ඉඩම් විෂයට සම්බන්ධ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී.

    ඒ අනුව, එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ සහ ඒ පිළිබඳ ජනාධිපතිතුමා, ආරක්ෂක ඇමතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණුද සැලකිල්ලට ගෙන, රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම වැළැක්වීමට සහ රජයේ ඉඩම් බැහැර කිරී‍මට අදාළව දැනට පවතින ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නෛතික රාමුවක් පිළියෙළ කිරීම


    තිරසර ඉඩම් කළමනාකරණය පිළිබඳ ව්‍යාපෘතිය යටතේ විද්වත් කමිටුවක් මඟින් සකස් කරන ලද ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය සඳහාත්, එය ක්‍රියාත්මක කිරීම පිණිස නීති සකස් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී තිබේ. නීතිය මඟින් බලාත්මක කළ හැකි ලෙස ස්ථාපිත වූ ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් නොමැති වීම මෑත කාලවලදී දිවයිනට බලපෑ ගංවතුර සහ නාය යෑම් වැනි ව්‍යසනයන් ඇතිවීමට බලපෑ ප්‍රබල සාධකයක් ලෙසද හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, ඉහත සඳහන් කරන ලද ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය පදනම් කර ගනිමින් අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අපනයන භෝග ගම්මාන ව්‍යාපෘතිය


    මහනුවර ප්‍රදේශය තුළ පිහිටි, ඵලදායී කාර්යයන් සඳහා දැනට භාවිතයට ගෙන නොමැති රාජ්‍ය ආයතන සතු ඉඩම් නැවත වගා කිරීමේ හෝ අපනයන අරමුණු කරගත් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන පරිදි භාවිතයට ගැනීමේ අවශ්‍යතාව මහනුවර නගර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුව විසින් හඳුනාගනු ලැබ තිබේ.

    ඒ අනුව, 'අපනයන භෝග ගම්මාන ව්‍යාපෘතිය' නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ යටතේ, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වුඩ්සයිඩ් වතුයායේ පිහිටි, මේ සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති අක්කර 400ක භූමි භාගයක් සුදුසු නිර්ණායක අනුගමනය කරමින් තෝරාගනු ලබන ප්‍රතිලාභීන් වෙත බදු පදනම මත ලබා දීමටත්, එම ඉඩම්වල කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත්, මෙහි සාර්ථකත්වය මත ව්‍යාපෘතියේ කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් විශේෂ කාර්යභාර අමාත්‍ය සහ මහනුවර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුවේ සභාපති (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල ටයර් නැවත පිරවීම සහ පෙරසවි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම


    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල ටයර් නැවත පිරවීම සහ පෙරසවි කිරීම සඳහා වන සේවාවන් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩල විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි සමාගම් 09ක් වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පරණ කෝට්ටේ පාර (රාජගිරිය කොටස) වැඩිදියුණු කිරීම

    දේශීය බැංකු වෙතින් ලබා ගන්නා අරමුදල් යොදා ගනිමින් ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද මාර්ග ව්‍යාපෘතිවල පවතින ඉතිරි අරමුදල් භාවිත කරමින් මහයියාව උමඟ පුළුල් කිරීම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය පුළුල් කිරීම, පරණ කෝට්ටේ පාර (රාජගිරිය) වැඩිදියුණු කිරීම සහ කුරුණෑගල නගරයේ මාර්ග කාණු පද්ධතිය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    මෙයින් පරණ කෝට්ටේ පාර (රාජගිරිය) වැඩිදියුණු කිරීම මඟින් රාජගිරිය මංසන්ධිය අවට දැනට පවතින අධික රථවාහන තදබදය අඩු කිරීමට හැකි වනු ඇති බැවින් එම මාර්ග කොටස වැඩිදියුණු කිරීම ඉතා කෙටි කාලසීමාවක් තුළ නිම කරගැනීම අවශ්‍ය වී තිබේ. ඒ අනුව, එම කාර්යය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඍජු කම්කරු ක්‍රමය යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    රෝහල්වල ඉදි කිරීම් හා සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම


    රෝහල්වල දැනට සිදු කරනු ලබන සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමේදී සිදු වන ප්‍රමාදය වළක්වා‍ ගැනීම සඳහා එම ඇතැම් ඉදි කිරීම් කටයුතු, රජයේ ඉදි කිරීම් ආයතන වෙත පැවරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, කරාපිටිය ශික්ෂණ රෝහලේ මුඛ සෞඛ්‍ය ඒකකය ඉදි කිරීම, අම්පාර මහ රෝහලේ විශේෂිත ළමා රෝග වාට්ටු සංකීර්ණය ඉදි කිරීම, නින්දවූර් මූලික රෝහලේ නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම යන ඉදි කිරීම් කටයුතු, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත පැවරීමටත්, හොරණ මූලික රෝහලේ ශල්‍යාගාරය සහිත සය මහල් ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කටයුතු ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.

     

    ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මිල දී ගැනීම

     

    'ත්‍රිපෝෂ' යනු මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ට, පෝෂණ ගැටලු සහිත ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් මුදල් අය කිරීමකින් තොරව ලබා දෙනු ලබන පෝෂ්‍යදායී පරිපූරක ආහාරයකි. සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන අතර, 2014 වසරේ සිට 2017 වසර දක්වා එම කිරිපිටි සැපයීම මිල්කෝ (පෞද්ගලික) සමාගම විසින් සිදු කරනු ලැබ තිබේ.

    දේශීයව කිරිපිටි නිෂ්පාදනයේ නිරත රජයේ සමාගමක් වන මිල්කෝ සමාගම වෙතින් තවදුරටත් කිරිපිටි මිල දී ගැනීම මඟින් දේශීය කිරි ගොවීන්ගේ ආර්ථිකය නඟා සිටුවීමට ලබා දිය හැකි දායකත්වය සහ අතරමැදියන්ගෙන් තොරව ඍජුවම මිල දී ගැනීමේ වාසිය සලකා, 2018 වර්ෂයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 600ක්, රුපියල් මිලියන 486ක බදු රහිත මිලකට එම සමාගමෙන් මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    බොරැල්ල, එලියට් පෙදෙස මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතිය


    බොරැල්ල, එලියට් පෙදෙසේ ඉදි කිරීමට යෝජිත නිවාස ඒකක 400කින් සමන්විත මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 7,799ක බදු රහිත මුදලකට M/s. Yanjian Group Company Limited වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'සිලෝන් ටී' සඳහා ගෝලීය ප්‍රවර්ධන සහ අලෙවි වැඩසටහන ක්‍රියාත්මක කිරීම


    - ශ්‍රී ලංකාවේ තේ සඳහා 'සිලෝන් ටී' ලෙස ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින වර්තමාන ඉල්ලුම පවත්වාගෙන යාම, අහිමි වූ වෙළඳ පොළවල සුපිරිසිදු 'සිලෝන් ටී' පිළිබඳ ප්‍රතිරූපය යළි ගොඩනැංවීම සහ ජාත්‍යන්තර වෙළඳ පො‍ෙළහි ශ්‍රී ලංකා තේ සන්නම් ස්ථාපිත කිරීමේ මූලික අරමුණින් යුතුව ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් 'සිලෝන් ටී' සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. එම වැඩසටහනේ මාධ්‍ය සැලසුම් කිරීම, උපලේඛනගත කිරීම හා මිල දී ගැනී‍ම සම්බන්ධයෙන් උපදේශක ආයතනයක් තෝරාගැනීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කටයුතු කරනු ලැබ තිබේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ උපදේශක ආයතනය වශයෙන් Dentsu Grant (Pvt) Ltd. සමාගම රුපියල් මිලියන 219.89ක මුළු මුදලකට, වසර තුනක කාලසීමාවක් සඳහා පත් කරගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම


    දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසු දරුවන් වෙත පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ, 2016 වසරේදී සිසුන් 621,941කට පාවහන් ලබා දී ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 592.2ක මුදලක් රජය විසින් වැය කරනු ලැබ තිබේ. මෙම වැඩස‍ටහන ක්‍රියාත්මක කිරීමේදී අදාළ සැපයුම්කරුවන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් තෝරාගනු ලැබූ අතර, ඔවුන් සිසුන්ගේ පාදවල ප්‍රමාණය හඳුනාගෙන එම පාදවලට ගැළපෙන පරිදි සපත්තු නිෂ්පාදනය කර පාසල වෙත ගෙන ගොස් බෙදා හැරීමේ ක්‍රමයක් අනුගමනය කරන ලදී. නමුත් ඒ සඳහා මාස 6ක පමණ දීර්ඝ කාලයක් ගතවීම සහ සියලුම පාසල් දරුවන් වෙත එකම අවස්ථාවකදී පාවහන් ලබා දීමේ අවශ්‍යතාව යන කරුණු සැලකිල්ලට ගෙන, මේ වසර සඳහා අවශ්‍ය වන පාවහන් ලබා දීමේ දී උක්ත ක්‍රමවේදය වෙනුවට සිසු දරුවන් වෙත පාවහන් තිළිණ පතක් ලබා දීම මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී තිබේ.

    ඒ අනුව, ඒ ඒ ශ්‍රේණි අනුව පාසල් සිසුන් සඳහා රුපියල් 1,200 සිට රුපියල් 1,500 දක්වා වටිනාකමින් යුත් පාවහන් තිළිණ පත් ලබා දීම මඟින් මෙම වැඩසටහන මේ වසරේදී ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 808.27ක පමණ පිරිවැයක් දැරීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය නව තාක්ෂණය අනුව වැඩිදියුණු කිරීම


    වර්ෂයකට විභාග 270ක් පමණ පැවැත්වීමට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සහ ලේඛන මුද්‍රණය කිරීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය මඟින් සිදු කෙරෙන අතර, ඒ සඳහා යොදා ගන්නා බොහොමයක් යන්ත්‍ර වසර 30ක් පමණ පැරණි ඒවා වේ. නව තාක්ෂණික ක්‍රමවේද මේ සඳහා හඳුන්වා දීම මඟින් විභාගවල රහස්‍යභාවය උපරිම ලෙස ආරක්ෂා කරගත හැකි අතර, එමඟින් විභාග පිළිබඳ අපේක්ෂකයින්ගේ විශ්වාසනීයත්වයද ඉහළ යනු ඇත. ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය සඳහා ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය යොදා ගැනීම මඟින් වැඩිදියුණු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    ඒ අනුව, ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය හඳුන්වා දීම මඟින් විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.9ක සහ රුපියල් මිලියන 15ක බදු රහිත මුදලකට M/s. Metropolitan Office (Pvt) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය (Fuel Hydrant System) ඉදි කිරීම සහ ගුවන් සේවා ඉන්ධන පර්යන්ත පහසුකම් වැඩිදියුණු කිරීම


    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි II අදියරේ සංවර්ධන කටයුතුවලට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන, යෝජිත නව ගුවන් යානා හැසිරවීම් පථයේ E අංගණයේ ඉන්ධන සැපයුම් පද්ධතිය (Fuel Hydrant System) ඉදි කිරීමේ සහ ගුවන් සේවා ඉන්ධන පර්යන්ත පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව M/s.WEC Engineers and Contractors Pte Ltd., Singapore, PT Wijaya Karya (Persero) Tbk සහ China National Chemical Engineering යන ආයතනවල හවුල් ව්‍යාපාරය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 51.5ක බදු රහිත මුදලකට පිරිනැමීමටත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍යකරණ පහසුකම් සලසා ගැනීම සඳහාත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඉන්ධන ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ස්ථාපිත කිරීම


    - ශ්‍රී ලංකාව තුළ අවම වශයෙන් දින 30කටවත් ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් පවත්වාගෙන යාමට එක් එක් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් සංවර්ධනය කළ යුතු වන අතර, ඒ සඳහා තවත් මෙට්‍රික් ටොන් 100,000ක අමතර ගබඩා ධාරිතාවක් අවශ්‍ය වේ යැයි ගණන් බලා තිබේ. එහි මූලික පියවරක් වශයෙන් පෙට්‍රල් ඝන මීටර 15,000ක ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ඉදි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබ තිබේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඝන මීටර 15,000ක ධාරිතාවකින් යුත් අභ්‍යන්තර පාවෙන වහලක් සහිත (Internal Floating Roof) ඉන්ධන ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ස්ථාපිත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 412.78ක බදු රහිත මුදලකට Ms. Indo East Engineering & Construction (Lanka) Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරි සඳහා යෙදවීමට යෝජිත විශේෂ කාර්ය බලකාය සඳහා අවශ්‍ය සංග්‍රාමික වාහන 06ක් මිල දී ගැනීම


    එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරි සඳහා යෙදවීමට යෝජිත විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් සඳහා අවශ්‍ය වාහන සහ උපකරණ සපයා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ යටතේ, යෝජිත වැඩසටහන සඳහා යෙදවීමට අවශ්‍ය සංග්‍රාමික වාහන 06ක් මිල දී ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබ තිබේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එක් සංග්‍රාමික වාහනයක් රුපියල් මිලියන 68.93 බැගින් සංග්‍රාමික වාහන 06ක්, රුපියල් මිලියන 413.59ක බදු සහිත මිලකට M/s Securatec Lanka (Pvt) Ltd. සමාගම වෙතින් මිල දී ගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම


    පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල, එම ප්‍රදේශයේ ජීවත්වන මහජනතාවට රෝගී සත්කාර සේවාව සපයනු ලබන ප්‍රධානම රෝහල වේ. හදිසි අනතුරු සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු රෝගීන් සඳහා එම රෝහලෙහි දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින්, එහි හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ඉදි කිරීමේ කටයුතු 2015 වර්ෂයේදී ආරම්භ කරන ලදී. එහි පළමුවන අදියර වශයෙන් මහල් දෙකක ඉදි කිරීම් කටයුතු අවසන් කර භාර දීමට ආසන්නව පවතී.

    ඒ අනුව, එහි දෙවෙනි අදියර යටතේ සිදු කිරීමට නියමිත ඉදි කිරීම් කාර්යයන් කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එම ඉදි කිරීම් කටයුතු, පිරිමැවුම් කර ඉදි කර භාර දීමේ (Design and Built)පදනම මත, රුපියල් මිලියන 643.36ක බදු සහිත මුදලකට, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශ කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ආනයනය පාලනය කරන ලද හා තහනම් කරන ලද අයිතම ලැයිස්තුව සඳහාත්, අපනයනය පාලනය කරන ලද අයිතම ලැයිස්තුව සඳහාත් වූ රෙගුලාසි


    ශ්‍රී ලංකාව 1968 වර්ෂයේ සිට ලෝක රේගු සංවිධානයේ සාමාජිකත්වය දරන අතර, සංයෝජිත වෙළඳ භාණ්ඩ විස්තර සටහන හා වර්ගීකරණ සංකේත ක්‍රමය පිළිබඳව වූ අන්තර්ජාතික සම්මුතිය ක්‍රියාත්මක කිරීමටද මෙරට බැඳී සිටී. ජාත්‍යන්තර වෙළඳාම් රටාවේ හා තාක්ෂණයේ සියුම් වෙනස්කම් අනුව නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක ක්‍රමය යාවත්කාලීන කිරීමට පියවර ගනු ලැබ ඇති අතර, ඒ අනුව ජාතික‍ රේගු සංකේතාංක ක්‍රමය අංක 8කින් යුතු සංශෝධිත වර්ගීකරණ සංකේතාංක ක්‍රමයක් ලෙස සංශෝධනය කරනු ලැබ තිබේ.

    මීට සමගාමීව, ආනයනය පාලනය කරන ලද හා තහනම් කරන ලද අයිතම සම්බන්ධව සහ අපනයනය පාලනය කරන ලද අයිතම සම්බන්ධව 1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනත යටතේ ප්‍රසිද්ධ කර ඇති රෙගුලාසි (පාලනයට යටත් අයිතම) සංශෝධනය කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, එම රෙගුලාසි සංශෝධනය කරමින් පළ කරනු ලැබ ඇති 2017‑11‑09 දිනැති අංක 2044/40 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය සහ 2017‑11‑09 දිනැති අංක 2044/41 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ කොරියනු ජනරජය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම


    ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජනයන් සිදු කරනු ලබන වැදගත් රටක් වශයෙන් වශයෙන් කොරියානු ජනරජය සැලකෙන අතර, එරට විසින් මෙරට සමාගම් 70කට වැඩි සංඛ්‍යාවක් තුළ දැනටමත් ආයෝජන සිදු කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව තුළ කොරියානු ආයෝජන පුළුල් කිරීමට හැකියාව ඇති තවත් ක්ෂේත්‍ර ගණනාවක් හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා දෙරට අතර ආයෝජන සහයෝගිතාව සහ සාමූහිකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම යෝග්‍ය වේ.

    ඒ අනුව, දෙරට අතර ආයෝජන හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    බෝ නොවන රෝග පිළිබඳව සාර්ක් රටවල ප්‍රථම වාර්ෂික සමුළුව සඳහා සත්කාරකත්වය දැරීම


    සාර්ක් කලාපයේ සියලුම රටවල් බෝ නොවන රෝග පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටියි. මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ඇති ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාත්, මේ පිළිබඳ එක් එක් රටවල්වල අත්දැකීම් හුවමාරු කරගැනීමට සහ බෝ‍ නොවන රෝග පාලනය කිරීම සඳහා වන ක්‍රමවේද වැඩිදියුණු කිරීමට අවකාශ සලසා ගැනීම සඳහාත් බෝ නොවන රෝග පිළිබඳව සාර්ක් රටවල්වල වාර්ෂික සමුළුවක් පැවැත්විය යුතු බව සාර්ක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවේදී යෝජනා වී තිබේ.

    එම සමුළුව 2017 දෙසැම්බර් 09 සහ 10 දිනවල ශ්‍රී ලංකාවේ, කොළඹදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංස්කෘතික, කලා, අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම

     

    ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර දැනට පවත්නා මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම සහ සංස්කෘතික, කලා, අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් දෙරට අතර ගිවිසුමක් අත්සන් තැබීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    2017/2018 මහ කන්නය සඳහා පොහොර සැපයීම

     

    2017/2018 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම් මඟින් බෙදාහැරීම පිණිස අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 72,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, ඒ සඳහා සාර්ථක ලංසුව ඉදිරිපත් කරනු ලැබ ඇති JAT Holding (Pvt) Ltd. වෙත මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 327.40ක් බැගින් ඇමරිකානු ඩොලර් මිලියන 23.57ක මුදලකට පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya