අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2017.11.14

    නොවැම්බර් 15, 2017
     
    2017.11.14 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.
     
    උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම
     
    ශීඝ්‍ර කාර්මීකරණය හමුවේ ඉහළ යන රසායනික ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මානව සෞඛ්‍යයට හා පරිසරයට සිදුවන බලපෑම අවම කරගැනීම කෙරෙහි බොහෝ රටවල්වල අවධානය යොමු වී තිබේ. මී‍ට අදාළව ඇති කරගනු ලැබ ඇති බාසල් සම්මුතිය (Basel Convention), ස්ටොක්හෝම් සම්මුතිය (Stockholm Convention), රොටඩෑම් සම්මුතිය (Rotterdam Convention) හා මිනමාටා සම්මුතිය (Minamata Convention) යන ජාත්‍යන්තර සම්මුතීන්ට ශ්‍රී ලංකාව ද පාර්ශ්වකරුවෙක් වී තිබේ. 
     
    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා කර්මාන්ත ආශ්‍රිත ආයෝජන දිරි ගැන්වීමේදී පරිසරයට හානියක් නොවන පරිදි රසායනික ද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස භාවිත කෙරෙන බව තහවුරු කරගැනීම සඳහා පියවර ගැනීම අවශ්‍ය වේ. ඒ අනුව, අදාළ සියලු පාර්ශ්වකරුවන් සහභාගි කරගනිමින් ශ්‍රී ලංකාව තුළ උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මඩකලපුව ගුවන්තොටුපොළෙහි ගුවන් යානා පියාසර පුහුණු පාසලක් ස්ථාපිත කිරීම
     
    මඩකලපුව ගුවන්තොටුපොළ වඩාත් ක්‍රමවත් ලෙස සිවිල් ගුවන් සේවා මෙහෙයුම් සඳහා විවෘත කිරීමත් සමඟ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සමගාමීව දේශීය සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ ඇතිවිය හැකි නව පිබිදීම හේතුවෙන් නැඟෙනහිර පළාතේ ආර්ථික කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් සිදු වෙතැයි අපේක්ෂා කෙරේ. සිවිල් ගුවන් පියාසර කටයුතු සඳහා එම ප්‍රදේශයේ පවතින සුදුසු කාලගුණ තත්ත්වය, මඩකලපුව ගුවන්තොටුපොළෙහි සිට කිලෝමීටර 135ක අරයක් තුළ දේශීය ගඟන යාත්‍රාංගණ 05ක් පිහිටා තිබීම සහ ගුවන් යානා තදබදය අඩු, නිදහස් ගුවන් අවකාශයක් තුළ මෙහෙයුම් සිදු කළ හැකි වීම යනාදී වාසිදායක කරුණු සැලකිල්ලට ගෙන, මඩකලපුව ගුවන්තොටුපොළෙහි දේශීය ගුවන් සේවා මෙහෙයවීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්ව වෙතින් අභිලාෂය පළ කිරීමේ යෝජනා කැඳවනු ලැබ තිබේ. 
     
    ඒ අනුව, මඩකලපුව ගුවන්තොටුපොළෙහි දේශීය ගුවන් සේවා මෙහෙයවීම හා ගුවන් යානා පියාසර පුහුණු පාසලක් පිහිටුවීම සඳහා M/s. Skurai Aviation ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    උඩරට දුම්රිය මාර්ගයේ අස්ථායී බෑවුම් හා නායයාම් ප්‍රතිසංස්කරණය කිරී
     
    පසුගිය කාල සීමාව තුළ සිදු වූ නායයාම්වල බලපෑම් සැලකිල්ලට ගෙන, උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව හා ආරක්ෂාකාරීව සිදු කිරීමේ අරමුණින්, එම දුම්රිය මාර්ගයේ අස්ථායී බෑවුම් හා නායයාමට හැකි ස්ථාන ස්ථායී කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. 
     
    ඒ අනුව, උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා බදුල්ල අතර ප්‍රදේශයට ප්‍රමුඛතාව ලබා දෙමින්, නායයාමේ අනතුරු සහිත ස්ථාන හා අස්ථාවර බෑවුම් ප්‍රතිසංස්කරණය හා කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම ඇතුළත් යෝජිත ව්‍යාපෘතිය, ඉදිරි වසර පහක කාලසීමාව තුළ, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
     
    ආර්ථික හා සමාජීය සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා විද්‍යාත්මක, පර්යේෂණ සහ තාක්ෂණික ක්ෂේත්‍රයන්හි ඵලදායී සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ. 2017 දෙසැම්බර් 07 සහ 08 යන දිනයන්හිදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විද්‍යා සම්මන්ත්‍රණය අතරතුරදී එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සැලසිනේ රූපවාහිනී ආයතනය රජයට අයත් ඇපයෙන් සීමිත පෞද්ගලික සමාගමක් ලෙස ස්ථාපනය කිරීම
     
    පූර්ණ අයිතිය රජය සතු, 1982 වර්ෂයේදී ආරම්භ කරන ලද සැලසිනේ රූපවාහිනී ආයතනය විසින් මූලික වශයෙන් රජයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරක කටයුතු සහ ඉසව් කළමනාකරණ කටයුතු සිදු කරනු ලබයි. අනෙකුත් වෙළඳ දැන්වීම් ප්‍රචාරක හා ඉසව් කළමනාකරණ ආයතන හා තරගකාරීව කටයුතු කරමින්, කාර්යක්ෂම වාණිජ ආයතනයක් ලෙස ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට එම ආයතනයට හැකිවන පරිදි, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ රජයට පූර්ණ හිමිකාරිත්වය සහිත ඇපයෙන් සීමිත පෞද්ගලික සමාගමක් වශයෙන් සැලසිනේ රූපවාහිනී ආයතනය ස්ථාපනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය වැඩිදියුණු කිරීම
     
    ජර්මනියේ ෆෙඩ්රික් ඊබට් පදනමේ මූල්‍ය හා සම්පත් දායකත්වය ඇතිව, 1982 වර්ෂයේදී ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවාව සඳහා අවශ්‍ය තාක්ෂණික ශිල්පීන් පුහුණු කිරීමේ අරමුණිනි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීන් ඉලක්ක කරගනිමින් පාඨමාලා 18ක් පමණ මෙම ආයතනය විසින් වර්තමානයේ පවත්වාගෙන යනු ලබන අතර, ශිෂ්‍යශිෂ්‍යාවෝ 450ක් පමණ වාර්ෂිකව එහි අධ්‍යයන කටයුතුවල නිරත වෙති. 
     
    මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දෙන ජාතික ආයතනය බවට ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය පත් කිරීම පිණිස තුන් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. එමඟින් ආයතනයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, උතුරු හා නැ‍ඟෙනහිර පළාත් වෙත ආයතනයේ පුහුණු වැඩසටහන් ව්‍යාප්ත කිරීමටත් අපේක්ෂා කෙරේ. මේ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බුද්ධ ජයන්ති පොත්හලේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම
     
    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සම්පාදනය කරනු ලබන සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ, බෞද්ධ විශ්වකෝෂ සහ වෙනත් සිංහල හා ඉංග්‍රීසි බෞද්ධ පොත් එම දෙපාර්තමේන්තුවේ බුද්ධ ජයන්ති පොත්හලෙහි අලෙවි කරනු ලැබේ. බුදුදහම හා බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් හදාරනු ලබන දෙස් විදෙස් විද්‍යාථීන්ගේ හා පාඨකයින්ගේ පහසුව සඳහා මෙම පොත් සහනදායී මිලකට අලෙවි කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, ‍එහි අලෙවි කරනු ලබන තෝරාගත් ප්‍රකාශන සඳහා වට්ටම් ලබා දීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මැදි ආදායම් නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන කඩිනම් වැඩසටහන
     
    මැදි ආදායම්ලාභී පවුල් සඳහා නිවාස සැපයීමේ අරමුණින්, නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශයන්හි නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහනක්, පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඒ යටතේ ඉදි කරනු ලබන නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් කොටස් කඩිනමින් වෙන් කර දීම අවශ්‍ය වේ. 
     
    ඒ අනුව, නිවාස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, අක්මීමන, කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට හා ආණමඩුව යන ප්‍රදේශයන්හි පිහිටි, රජයට අයත් ඉඩම් කැබලි කිහිපයක්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත නිදහස් කරගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය ඉහළ නැංවීම
     
    රාජ්‍ය හා පෞද්ගලික අංශ සඳහා, විශේෂයෙන්ම වාරිමාර්ග අංශයේ විශාල ව්‍යූහයන් සඳහා අවශ්‍ය නිෂ්පාදන හා සේවා සැපයීම රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ. වාරිමාර්ග ජල කළමනාකරණ සොරොව්වල දොරටු, මෙහෙයුම් පද්ධති හා උපකරණ නිෂ්පාදනය කිරීම සිදු කරනු ලබන එම දෙපාර්තමේන්තුවේ වාත්තු වැඩහලෙහි කාර්යක්ෂමතාව හා නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින්, ඉහළින් සවි කරනු ලබන නවීන දොඹකරයක් (ටොන් 8) එකී දෙපාර්තමේන්තුව සඳහා මිල දී ගැනීමට යෝජනා වී තිබේ. 
     
    එමෙන්ම, මෙම දෙපාර්තමේන්තුවේ ආයතනික කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ආයතනික සම්පත් සැලසුම්කරණ මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දීමට ද යෝජනා වී තිබේ. මෙම කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කරගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම
     
    1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥාපනත මඟින් නේවාසික සහ කෘෂිකාර්මික කාර්යයන් සඳහා ගොවි ප්‍රජාවටත්, මහා පරිමාණ කෘෂිකාර්මික කාර්යයන් සඳහා මධ්‍යම පාන්තිකයන්ටත් රජයේ ඉඩම් ලබාගැනීමට අවශ්‍ය නෛතික පසුබිම සකස් කරනු ලැබිණි. සමාජ හා ආර්ථික වෙනස්වීම් සැලකිල්ලට ගෙන, පසුකාලීනව මෙම ආඥාපනත වරින් වර සංශෝධනය කරනු ලැබ තිබේ. මහජන නියෝජිතයින්, පොදු ජනතාව හා විවිධ සංවිධාන විසින් සිදු කරනු ලැබ ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන, වර්තමාන සමාජ අවශ්‍යතා මත පදනම්ව මෙම ආඥාපනතට තවදුරටත් සංශෝධන හඳුන්වා දීමට යෝජනා වී තිබේ. 
     
    ඒ අනුව, වඩාත් ලිහිල් කොන්දේසි ඇතුළත් දීමනා පත්‍රයක් හඳුන්වා දීම, දීමනාපත්‍ර යටතේ පදිංචිය සඳහා ලබා දෙන ලද ඉඩම් වෙනත් පරමාර්ථ සඳහා පරිහරණය කිරීමට ඉඩ සැලසීම, පසු අයිතිය නම් නොකර දීමනා පත්‍රකරුවෙකු මියගිය අවස්ථාවකදී ඔහුට අයත් දීමනා පත්‍ර දේපළෙහි උරුමය සාමාන්‍ය සිවිල් නීතිය යටතේ හිමිවන පරිදි විධිවිධාන සැලසීම ඇතුළු සංශෝධන හඳුන්වා දෙමින් ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පොදු රාජ්‍ය මණ්ඩලයීය පළාත් පාලන සංසදයේ මහසභා රැස්වීම හා සම්මන්ත්‍රණය 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
     
    පළාත් පාලන ක්ෂේත්‍රයට අදාළව ස්ථාපනය කරනු ලැබ ඇති පොදු රාජ්‍ය මණ්ඩලයීය පළාත් පාලන සංසදයේ සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරයි. මෙම සංසදයේ මහසභා රැස්වීම හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය වසර දෙකකට වරක් පැවැත්වෙන අතර, පළාත් පාලන ක්ෂේත්‍රයේ සිදුවන ගුණාත්මක වෙනස්කම් පිළිබඳව සාමාජික රටවල් අතර අදහස් හුවමාරු කරගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. 
     
    ඒ අනුව, 2019 පොදු රාජ්‍ය මණ්ඩලයීය පළාත් පාලන සංසදයේ මහසභා රැස්වීම හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා වන යෝජනාවක්, මෙම වසරේ නොවැම්බර් මස 21-24 දිනයන්හිදී මෝල්ටා රාජ්‍යයේදී පැවැත්වෙන එම සංසදයේ සමුළුවට ඉදිරිපත් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම
     
    ගැටුම් පැවති කාලසීමාවේදී අත් අඩංගුවට ගන්නා ලද හා සිය කැමැත්තෙන් භාර වූ නොමඟ ගිය එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කරන ලද අතිවිශෙෂ ගැසට් නිවේදනයක් මඟින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය 2006 වර්ෂයේදී ස්ථාපනය කරන ලදී. නොමඟ ගිය සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීමේදී එම කාර්යාංශය දක්වන ලද සාර්ථකත්වය සැලකිල්ලට ගෙන, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීමේ වගකීම ද එම කාර්යාංශය වෙත පවරනු ලැබ ඇති අතර, මේ වන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 1,774 දෙනෙකු පමණ පුනරුත්ථාපනය කර සමාජගත කරනු ලැබ තිබේ. 
     
    අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය සඳහා යොමු කරනු ලබන නොමඟ ගිය සටන්කරුවන්, අන්තවාදී හෝ විනාශකාරී ක්‍රියාවල නිරතවූවන්, මත්ද්‍රව්‍ය හා විෂ ඖෂධවලට ඇබ්බැහිවූ තැනැත්තන් ආදීන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට හා ඔවුන් සම්බන්ධ පසු විපරම් සිදු කිරීමට විධිවිධාන සලසමින්, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය, පාර්ලිමේන්තු පනතක් මඟින් විධිමත් පරිදි සංස්ථාපනය කිරීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සපුගස්කන්ද විදුලි බලාගාරය සඳහා 2017/2018 වර්ෂයට අවශ්‍ය ලිහිසි තෙල් (Lubricating Oil) මිල දී ගැනීම
     
    ලංකා විදුලිබල මණ්ඩලයේ, සපුගස්කන්ද විදුලි බලාගාරය මෙගාවොට් 18ක ධාරිතාවකින් යුත් ජනක යන්ත්‍ර 04කින් හා මෙගාවොට් 10 ධාරිතාවකින් යුත් ජනක යන්ත්‍ර 08කින් සමන්විත වේ. එම විදුලි ජනක යන්ත්‍ර සඳහා 2017/2018 වර්ෂයට අවශ්‍ය, එහෙත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් සපයනු නොලබන වර්ගවල ලිහිසි තෙල් (Lubricating Oil) ලීටර මිලියන 1.1 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ලිහිසි තෙල් ලීටරයක් රුපියල් 234.43ක් බැගින් වන සේ M/s. Chevron Lanka PLC ආයතනය වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අතුරුඵලයක් ලෙස පුත්තලම ගල් අඟුරු බලාගාරයේ නිපදවෙන අළු බැහැර ලීම
     
    පුත්තලම පිහිටි මෙගාවොට් 900ක ධාරිතාවකින් යුත් ගල් අඟුරු විදුලි බලාගාරයේ විදුලිය නිපදවීමේදී වර්ෂයකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ දහනය කෙරේ. මෙහි අතුරුඵලයක් ලෙස වර්ෂයකට අළු මෙට්‍රික් ටොන් 255,000ක් පමණ නිපදවෙන අතර සිමෙන්ති සහ වහල සෙවිලි කරනු ලබන ෂීට් නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන බැවින් මෙම අළු සඳහා ඉහළ වෙළෙඳ පොළ ඉල්ලුමක් පවතී. 
     
    එබැවින්, එම බලාගාරයේ එකතු වී ඇති අළු බැහැර කිරීම සඳහා රජයේ ටෙන්ඩර් පටිපාටිය යටතේ ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, ලංසු ඉදිරිපත් කරනු ලැබූ ආයතන අතරින් සුදුසුකම් ලැබූ ආයතන වෙත, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ හා ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි අදාළ අළු තොග බැහැර කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සඳහා උපායමාර්ග සකස් කිරීම පිණිස උපදේශක සමාගමක් තෝරාගැනීම
     
    ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ සඳහා අවශ්‍ය මූලෝපායන් ගොඩනැංවීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 1.425ක මුදලකට McKinsey & Company වෙත පිරිනැමීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මහවැලි 'ඊ' (E) කලාපය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විශේෂ බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
     
    වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන අභය භූමියන්හි නැ‍ඟෙනහිර මායිමේ මිණිපේ වම් ඉවුරු ඇළට වම් පසින් පිහිටි ප්‍රදේශය තුළ පවුල් 20,000ක් පමණ වසර 40කට අධික කාලයක් පුරා ස්ථිරව ජීවත්වේ. මෙම ප්‍රදේශය සඳහා සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි එහි සංවර්ධන හා පරිපාලන බලතල ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත පැවරීම සුදුසු බව හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා අදාළ වනජීවී රක්ෂිතයන්හි සීමා නැවත නිර්ණය කළ යුතු වේ. 
     
    ඒ අනුව, මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන විශේෂ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව, මිණිපේ හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හඳුනාගත් ප්‍රදේශය, 'මහවැලි 'ඊ' කලාපය' ලෙස මහවැලි සංවර්ධන බල ප්‍රදේශයක් වශයෙන් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මහවැලි ජල සුරක්ෂිතතා හා ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ණය ආධාර ලබාගැනීම
     
    වයඹ, උතුරු මැද හා උතුර යන පළාත්වල කෘෂිකාර්මික කටයුතු, පානීය ජල අවශ්‍යතා සහ වාණිජ කටයුතු සඳහා මහවැලි ජලය ලබා දෙමින් එම ජලය ඵලදායී ලෙස භාවිතා කිරීම ඉහළ නැංවීමේ අරමුණින් මහවැලි ජල සුරක්ෂිතතා හා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහනෙහි දෙවන අදියර යටතේ මොරගහකන්ද සහ හුරුළුවැව ජලාශ සම්බන්ධ කරන කිලෝමීටර 62ක් දිග ඉහළ ඇළහැර ඇළ මාර්ගයේ උමං ඇළ මාර්ග කොටස ඉදි කිරීම, කළුගඟ හා මොරගහකන්ද ජලාශ සම්බන්ධ කරන උමං සහිත ඇළ මාර්ගය ඉදි කිරීම සහ මහකිරුළ ජලාශයන්හි සහ මහකිතුල පිවිසුම් උමං මාර්ගයෙහි ඉතිරි ඉදි කිරීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ. 
     
    මෙම දෙවන අදියර සඳහා සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 242ක් වන අතර, ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 32ක දායකත්වයක් ශ්‍රී ලංකා රජය මඟින් දරනු ලබයි. ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 210ක මූල්‍ය අවශ්‍යතාව ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ණය මුදලක් ලෙස ලබාගැනීමට නියමිතය. ඒ අනුව, එම ණය මුදල ලබාගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, එම බැංකුව සමඟ අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සාපරාධී ක්‍රියා වැළැක්වීමට අදාළ කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව දැක්වීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
     
    අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම, නඩු පැවරීම, අපරාධ වැළැක්වීම සහ සාපරාධී කටයුතුවලින් උපයන මුදල් රාජසන්තක කිරීම යන කරුණුවලදී දෙරටේ පවතින නීති බලගැන්වීමේ අරමුණින්, සාපරාධී ක්‍රියා වැළැක්වීමට අදාළ කාරණාවලදී නෛතික සහයෝගිතාව දැක්වීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර එළඹීම පිණිස 2017 ජුනි මස 13 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, දෙ‍රටේ අදාළ නිලධාරින් අතර පැවති සාකච්ඡාවලදී එකඟ වී ඇති පරිදි ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට එළඹීමටත්, එය වසර කිහිපයක් සාර්ථකව ක්‍රියාවට නැංවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් දෙරට අතර ගිවිසුමකට එළඹීමටත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් මඟින් හම්බන්තොට වරාය දියුණු කිරීමට අදාළව අත්සන් තබනු ලැබ ඇති සහන ගිවිසුම සංශෝධනය කිරීම
     
    රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් මඟින් හම්බන්තොට වරාය දියුණු කිරීමට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) විසින් 2017‑07‑29 දින සහන ගිවිසුමකට අත්සන් තබන ලදී. එකී සහන ගිවිසුමේ විධිවිධාන පරිදි ගිවිසුම අත්සන් කළ දින සිට දින 180ක් ඇතුළත ගිවිසුමේ සඳහන් පූර්ව කොන්දේසි අදාළ පාර්ශ්වයන් විසින් සම්පූර්ණ කළ යුතුව ඇති අතර, ඊට අදාළ කටයුතු මේ වන විට සිදු ‍ක‍ෙරමින් පවතී. 
     
     
    ගිවිසුමේ 4.2 වගන්තිය අනුව පූර්ව කොන්දේසි සම්පූර්ණ කළ පසු CM Port හෝ එහි අනුබද්ධිත ආයතනය විසින් සිය 'ආයෝජන වටිනාකම' ශ්‍රී ලංකා රජය වෙත පහත පරිදි ගෙවිය යුතු වේ. 
     
    i ඇප තැන්පතුව වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 5ක් දැනටමත් විශේෂ ගිණුමක තැන්පත් කර ඇති අතර, ගිවිසුම ක්‍රියාත්මක වන දිනයේදී එම මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත මාරු කළ යුතුය. 
     
    ii ගිවිසුම ක්‍රියාත්මක වන දිනෙන් මාස 01ක කාලය තුළදී ඇප තැන්පතුව අඩු කි‍රීමෙන් අනතුරුව ඉතිරි ආයෝජන වටිනාකමෙන් 10%ක් (වාරික 01) ගෙවිය යුතුය.
     
    iii ගිවිසුම ක්‍රියාත්මක වන දිනෙන් මාස 03ක කාලය තුළදී ආයෝජන වටිනාකමෙන් 30%ක් (වාරික 02) ගෙවිය යුතුය.
     
    iv ගිවිසුම ක්‍රියාත්මක වන දිනෙන් මාස 06ක කාලය තුළදී ආයෝජන වටිනාකමෙන් ඉතිරි 60% (වාරික 03) ගෙවිය යුතුය.
     
    ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත CM Port විසින් සිය 'ආයෝජන වටිනාකම' ගෙවීමේ දිනය ඉදිරියට ගෙන ඒමටත්, ගිවිසුම ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේදී ගෙවනු ලබන මුදල වැඩි කිරීමටත්, පහත සඳහන් පරිදි එකඟ වී ඇත: 
     
    i ගිවිසුම ක්‍රියාත්මක වන දිනයේදී ඇප තැන්පතුව අඩු ක‍ර ඉතිරි ආයෝජන වටිනාකමෙන් 30%ක් (වාරික 01) ගෙවීම; 
     
    ii ගිවිසුම ක්‍රියාත්මක වන දිනෙන් මාසයක් ඇතුළත ආයෝජන වටිනාකමෙන් 10%ක් (වාරික 02) ගෙවීම;
     
    iii ගිවිසුම ක්‍රියාත්මක වන දිනෙන් මාස 06ක් ඇතුළත ආයෝජන වටිනාකමෙන් ඉතිරි 60% (වාරික 03) ගෙවීම;
     
    ඒ අනුව, ඉහත පරිදි අදාළ ගෙවීම් සිදු කිරීමට හැකි වන ලෙස සහන ගිවිසුමේ අදාළ වගන්ති සංශෝධනය කිරීමටත්, ඒ සඳහා අතිරේක ගිවිසුමක් අත්සන් කිරීමටත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට ලක් කිරීමේ හෝ දඩුවම්වලට එරෙහි සම්මුතියේ වෛකල්පික සන්ධානයට එළඹීම
     
    වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමානයකට ලක් කිරීමේ සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුතියට ශ්‍රී ලංකාව විසින් 1984 වර්ෂයේදී අත්සන් තබනු ලැබ ඇති අතර, 1994 වර්ෂයේදී එම සම්මුතියෙහි විධිවිධාන මෙරට නීතිය මඟින් බලාත්මක කරන ලදී. 
     
    වධහිංසා පැමිණවීම මර්දනය කිරීමට හා ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර යන්ත්‍රණ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජයේ ඇති අවංක බව හා අධිෂ්ඨානය පෙන්නුම් කරමින් එකී සම්මුතිය යටතේ වන වෛකල්පික සන්ධානයට (Optional Protocol) ශ්‍රී ලංකාව විසින් අත්සන් තැබීමටත්, එහි බැඳීම් අනුව රැඳවුම් ස්ථාන ක්‍රමවත් අධීක්ෂණයට ලක් කිරීමේ හා අධිකරණ නියෝග හෝ වෙනත් අයුරකින් රඳවා ගනු ලැබ සිටින පුද්ගලයින්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
     
    2017 නොවැම්බර් මස මුල් සතියේ පැවති පෙට්‍රල් හිඟය පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව
     
    මහජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා බාධාවක් වන පරිදි 2017 නොවැම්බර් මස මුල් සතියේ රට තුළ පැවති පෙට්‍රල් හිඟය සහ එවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වූ කරුණු, ඊට වගකිව යුතු පාර්ශ්ව හඳුනාගැනීම, එවැනි තත්ත්වයන් ඉදිරියේදී නැවත ඇති වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ආදී කරුණු පිළිබඳ පරීක්ෂා කර බැලීම පිණිස පත් කරන ලද, සිය ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය කමිටුවේ වාර්තාව විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. 
     
    ඒ අනුව, ඛනිජ තෙල් තොග කළමනාකරණ ක්‍රමවේදයේ කාලයක් තිස්සේ පවතින දුර්වලතා හදිසි පෙට්‍රල් හිඟයක් ඇති වීමට මූලික වශයෙන් හේතු වී ඇති බව හඳුනාගනු ලැබ ඇති අතර, මෙවැනි තත්ත්වයක් ඇතිවීමට නිශ්චිතවම වගකිව යුතු නිලධාරින් හඳුනාගැනීම පිණිස ඒ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම සහිත නිලධාරින් තිදෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් පත් කර වාර්තාවක් ලබාගැනීම යෝග්‍ය බවත් එමඟින් නිර්දේශ කරනු ලැබ තිබේ. එසේම මෙවැනි තත්ත්වයන් අනාගතයේදී ඇති වීම වැළැක්වීම සඳහා අතිරේක ඉන්ධන ගබඩා පහසුකම් ඇති කිරීම, නූතන තොග පාලන කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම ආදී නිර්දේශද එමඟින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. මෙම වාර්තාවේ සඳහන් නිර්දේශ පරිදි ඉදිරි කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya