අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017-11-07

    නොවැම්බර් 08, 2017

    2017-11-07 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.

     

    ආර්ථික සංවර්ධන සහයෝගිතාව සඳහා කොරියානු ජනරජය සමඟ කාර්යරාමු එකඟතාවකට එළඹීම

     

    - ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින සුහදශීලී මිත්‍රත්වය හා ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින්, සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම පිණිස 2017-2019 කාලපරිච්ඡේදය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 500කට සමාන ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට කොරියානු රජය එකඟ වී තිබේ. කොරියානු රාජ්‍ය ණය ආධාර ඉතා සහනදායී පොලී අනුපාතයන් යටතේ ලබා දෙන අතර, එකී ණය නැවත ගෙවීම සඳහා වසර 10ක සහන කාලයක් ඇතුළුව වසර 40ක කාලයක් හිමි වේ.

    ඒ අනුව, කොරියානු අපනයන හා ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලින් ලබා දීමට නියමිත ඉහත ණය මුදල ලබාගැනීම සඳහා කොරියානු ජනරජයේ ආණ්ඩුව සමඟ කාර්යරාමු ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටි පුරවැසියන් වෙත මාසික දීමනාවක් ලබා දීම

     

    - වයස අවුරුදු 100 ඉක්මවූ වයෝවෘද්ධ වැඩිහිටි ජනගහනයක් රටක සිටීම, එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිනුම් දණ්ඩක් ලෙස සැලකෙයි. මේ වන විට වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් 350ක් පමණ ශ්‍රී ලංකාව තුළ වෙසෙන බව හඳුනාගනු ලැබ තිබේ.

    ඒ අනුව, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින්, වයස අවුරුදු 100 ඉක්මවූ, අඩු ආදාම්ලාභී වැඩිහිටි පුරවැසියන් වෙත රුපියල් 5,000/-ක මාසික දීමනාවක් ලබා දීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    ආදායම් සංරක්ෂණ පනත යටතේ නිකුත් කළ 2031/49 අංක දරන ගැසට් නිවේදනය, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

     

    - අදාළ කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, රජය විසින් ගනු ලැබ ඇති ප්‍රතිපත්තිමය තීරණයන්ට අනුව, තෝරාගත් රේගු සංකේතාංකවල විස්තරයන් සංශෝධනය කිරීමට සහ ඒවායේ නව උපබෙදුම් ඇති කිරීම සඳහා 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති, 2017 අගෝස්තු 11 දිනැති අංක 2031/49 දරන ගැසට් නිවේදනය, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා භාවිත කෙරෙන ඉඩම් පවරා දීම

     

    - ශ්‍රී ජයවර්ධනපුර ‍කෝට්ටේ පරිපාලන අගනුවර සංවර්ධන වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් බත්තරමුල්ල, කඩුවෙල, ශ්‍රී ජයවර්ධනපුර ‍ හා මහරගම යන ප්‍රදේශවලින් අත්පත් කරගෙන ඇති අක්කර 1,000ක පමණ ඉඩම්වලින් කොටසක් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදි කිරීම සඳහා භාවිත කර ඇති අතර, තවත් කොටසක් ජල රක්ෂිත ලෙස වෙන් කර තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා භාවිත කරනු ලබන නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත මේ දක්වා විධිමත්ව පවරා දෙනු ලැබ නොමැති ඉඩම් කොටස්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    දඬුවම් පමුණුවන ලද තැනැත්තන් දෙරට අතර හුවමාරු කරගැනීම පිණිස ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක් අත්සන් කිරීම

     

    - ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබ බන්ධනාගාරගත කරනු ලබන තායිලන්ත පුරවැසියෙකුට හෝ තායිලන්ත අධිකරණයක් විසින් වැරදිකරු කරනු ලැබ බන්ධනාගාරගත කර දඬුවමකට යටත් කරනු ලබන ශ්‍රී ලාංකික පුරවැසියෙකුට, එකී දණ්ඩනයට අදාළ ඉතිරි කාලය තම රටේදී විඳීමට හැකි වන පරිදි, එලෙස දඬුවම් පමුණුවන ලද තැනැත්තන් දෙරට අතර භාර දීම පිළිබඳ ගිවිසුමක් ශ්‍රී
    ලංකාව හා තායිලන්තය අතර ඇති කරගැනීමට සහ එසේ ඇති කරගනු ලබන ගිවිසුම අපරානුමත කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    නිවාස සහ මානව ජනාවාස සංවර්ධනය සඳහා ඌන උපයෝජිත ඉඩම් යොදාගැනීම

     

    - කුඹුරු ඉඩම්, වෙනත් කෘෂිකාර්මික ඉඩම් හා වන රක්ෂිතයන් වෙනත් කාර්යයන් සඳහා යොදාගැනීම වැළැක්වීම සඳහා රජය විසින් පනවා ඇති නීති හේතුවෙන් ඇතැම් ඌන උපයෝජිත ඉඩම් සංවර්ධන කටයුතුවලට යොදාගැනීමේදී යම් යම් බාධා මතු වී ඇති බව නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන්ම ශීඝ්‍රයෙන් නාගරීකරණය වන ප්‍රදේශවල මානව ජනාවාස සංවර්ධනය සඳහා ඉඩම් යොදාගැනීමේදී මිනින්දෝරු පිඹුරේ සඳහන් කර ඇති ඉඩම් කොටසක නම 'වෙල', 'කුඹුර' හෝ 'දෙණිය' යන වචනවලින් අවසන් වන්නේ නම් හා එම ඉඩම් සත්‍යවශයෙන්ම වගා කළ නොහැකි වුවත් එම ඉඩම් නිවාස ඉදි කිරීම් කටයුතු සඳහා යොදා ගැනීමට අපහසු වී ඇත. ඒ හේතුවෙන් ඌන උපයෝජිත ඉඩම් සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීම පිණිස කඩිනම් ක්‍රමවේදයක් සකස් කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මී‍ට පෙර නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ ඇත.

    එම නිලධාරි කමිටුවේ නිර්දේශ පරිදි, එවැනි ඌන උපයෝජිත ඉඩම් නිවාස ඉදි කිරීම් කටයුතු සඳහා යොදාගැනීමේදී ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් කටයුතු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ නිලධාරි කණ්ඩායමක් පත් කර අදාළ ආයතනවල නිලධාරින් සමඟ කඩිනමින් ක්ෂේත්‍ර පරීක්ෂණ කිරීමෙන් අනතුරුව අදාළ අනුමැතීන් ලබා දීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද
    දිසානායක මැතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ප්‍රතිසංස්කරණය කිරීම

     

    - පසුගිය මැයි මස ඇති වූ ස්වාභාවික ආපදා තත්ත්වයන්හි බලපෑම හේතුවෙන් අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගොඩනැඟිලිවලට හා උපකරණවලට දැඩි ලෙස හානි සිදු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ගුරුවරුන්ගේ පුහුණු පාඨමාලා නියමිත කාලසීමා තුළ අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් පාසල්වලට අනුයුක්ත කිරීම ද ප්‍රමාද වී තිබේ.

    එබැවින්, හානියට පත් එම ගොඩනැඟිලි කඩිනමින් ප්‍රතිසංස්කරණය කර අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නවීකරණය කිරී‍ම අත්‍යවශ්‍ය වන අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීමට චෙක් ජනරජය එකඟ වී තිබේ. ඒ අනුව, නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රතිසංස්කරණ හා වැඩිදියුණු කිරීමේ කටයුතු සිදු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 15ක වටිනාකමකින් යුතු මූල්‍යාධාර ලබාගැනීම සඳහා චෙක් ජනරජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දෙහිවල ගල්කිස්ස ප්‍රදේශය තුළ නළ මඟින් සිදු කරනු ලබන මලාපවහන කටයුතු පුළුල් කිරීම

     

    - අධික ලෙස නාගරීකරණයට ලක්ව ඇති දෙහිවල - ගල්කිස්ස ප්‍රදේශයේ නළ මලාපවහන ආවරණය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට සහ එම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව M/s. Vinci Construction Grands Projects/LUDWIG PFEIFFER Hoch-u Tiefabau GmBH & Co. වෙත ප්‍රදානය කිරීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ තෙලවල පුහුණු මධ්‍යස්ථානය හා
    අනෙකුත් ගොඩනැඟිලි ඉදි කිරීම

     

    - ගාස්තු ගෙවීමකින් තොරව ලබාගන්නා ජල භාවිතය නියමානුකූල කිරීම සහ මහජනතාව වෙත සලසනු ලබන ජල සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා කළමනාකරණය මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනේ අරමුණු වේ. එම වැඩසටහනෙහි දෙවන අදියර ය‍ටතේ තෙලවල පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමට යෝජිත අතර, ගාස්තු ගෙවීමකින් තොරව ලබා ගන්නා ජල භාවිතය නියමානුකූල කිරීමේ ව්‍යාපෘතිය හා සම්බන්ධ විවිධ මට්ටම්වල නිලධාරින් සහ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අනෙකුත් නිලධාරින් පුහුණු කිරීමට එම මධ්‍යස්ථානය යොදාගැනීමට අපේක්ෂිතය.

    ඒ අනුව, මහල් හතරකින් යුත් පුහුණු මධ්‍යස්ථානයක්, මහල් පහකින් සමන්විත නේවාසිකාගාර ගෙඩනැඟිල්ලක් සහ ආපන ශාලාවක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Sierra Construction (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය

     

    - ජල සම්පාදනය හා සනීපාරක්ෂාව ‍වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මුලතිව්, කිලිනොච්චිය, බදුල්ල, මොනරාගල, රත්නපුරය, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි කොට්ඨාස 540ක වෙසෙන 530,000ක පමණ ජනතාවකට වැඩිදියුණු කළ ජල සම්පාදන පහසුකම්ද, තවත් 175,000ක පමණ ජනතාවකට වැඩිදියුණු කළ සනීපාරක්ෂක පහසුකම්ද සැලසීමට අපේක්ෂා කරනු ලැබේ.

    මෙම ව්‍යාපෘතියේ පළමුවන සංරචකය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ජල සම්පාදන ක්‍රමය ඉදි කිරීමට අපේක්ෂිත අතර, එමඟින් ඉදිරියේදී ගලිගමුව නගරය ද ඇතුළත්ව ග්‍රාම නිලධාරි වසම් 29ක 45,000ක පමණ ජනගහනයකට සුරක්ෂිත පානීය ජලය සැපයෙනු ඇත. ඒ අනුව, දිනකට ඝන මීටර 9,000ක පිරිපහදු ජල නිෂ්පාදන ධාරිතාවක් සහිත ජල පවිත්‍රාගාරයක් ඉදි කිරීම, බෙදා හැරීමේ නළ පද්ධති එළීම ඇතුළු කාර්යයන් සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන4.6ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,268ක මුදලකට M/s Sierra Construction (Private) Limited වෙත
    පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා හදිසි අවස්ථා මිල දී ගැනීම් (Spot Tender) යටතේ අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීම

     

    - පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා කඩිනමින් අවශ්‍ය ගල් අඟුරු සැපයීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, අමාත්‍ය මණ්ඩල‍යේ ආවරණ අනුමැතියට යටත්ව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය යටතේ ගල් අඟුරු ක්ෂණික මිල දී ගැනීමේ ක්‍රමවේදය අනුව මිල දී ගැනීම සඳහා බලය ලබා දී තිබේ. ඒ අනුව, එම බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක ප්‍රමාණයක්, ලියාපදිංචි සැපයුම්කරුවන් අතුරින් සාරානුකූල අවම ලංසුව ඉදිරිපත් කරනු ලැබ ඇති Swiss Singapore Overseas Enterprises Pte Ltd. වෙතින් මෙට්‍රික්ටොන් 01ක් ඇමරිකන් ඩොලර් 87.97ක FOBT මිලට මිල දී ගැනීම සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    'අධිකරණ නිවහන' ව්‍යාපෘතිය

     

    - කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ සඳහා දැනට භාවිත කරනු ලබන ගොඩනැඟිලිවල ඉඩකඩ ඉතා සීමිත වන අතර, ඒවායේ පැරණි බව හේතුවෙන් අවදානම් තත්ත්වයක් ද මතු වී තිබේ. එමෙන්ම උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැඟිල්ලේ පිහිටුවා ඇති නීති ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ ආයතන සඳහා ද ප්‍රමාණවත් ගොඩනැඟිලි පහසුකම් සැලසිය යුතු වේ. ඒ අනුව, අධිකරණ ශාලා 40කින් සමන්විත අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම, අධිකරණ අමාත්‍යාංශ සංකීර්ණය ඉදි කිරීම, විනිශ්චයකාරවරුන්ගේ පුහුණු ආයතනය වැඩිදියුණු කිරීම හා නීතිඥවරුන් පුහුණු කිරීම සඳහා නීති මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා 'අධිකරණ නිවහන'ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් සපුරනු ලබන සංවර්ධකයෙකු/කොන්ත්‍රාත්කරුවෙකු, රට තුළ දැනට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ නියුතු දේශීය හා විදේශීය කොන්ත්‍රාත්කරුවන් අතුරින් තරගකාරී පදනම මත තෝරාගැනීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    මෙ‍ගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම

     

    - හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කර්මාන්ත කලාපයට විදුලිය ලබා දීමේ මූලික අරමුණින් සහ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි හිඟය මඟහරවා ගැනීම සඳහා චීන රජය හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වශයෙන් මෙ‍ගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය, චීන රජය මඟින් නම් කර
    ඇති China Machinery Engineering Corporation (CMEC) සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධව බද්ධ ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. යෝජිත ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කර ඇති දීර්ඝකාලීන බලශක්ති සැලැස්මට ඇතුළත් කර අදාළ අනුමැතීන් සහිතව ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    අල්ලස් සහ දූෂණයට අදාළ නීති සංශෝධනය කිරීම

     

    - ශ්‍රී ලංකාව තුළ අල්ලස සහ දූෂණය තුරන් කිරීම සඳහා පවතින නීති වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමටත්, දැනට පවතින නීති අතර තිබෙන යම් යම් පරස්පරතාවන් හේතුවෙන් එම නීති ක්‍රියාත්මක කිරීමේදී මතු වී ඇති ගැටලු මඟහරවා ගැනීම සඳහාත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ ඊ‍ට ආනුෂංගික පනත් සංශෝධනය කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    ශ්‍රී ලංකා මහ බැංකුවේ 'මෑතකාලීන ආර්ථික ප්‍රවණතා : 2017 සුවිශේෂ සිදුවීම් සහ 2018 අපේක්ෂාවන්' පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට
    ඉදිරිපත් කිරීම

     

    - ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2017 ඔක්තෝබර් මාසය දක්වා ශ්‍රී ලංකා ආර්ථිකයේ මූර්ත අංශය, විදේශීය අංශය, රාජ්‍ය මූල්‍ය අංශය සහ මූල්‍ය යන අංශයන්හි කාර්යසාධනය ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 'මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2017 සුවිශේෂ සිදුවීම් සහ 2018 අපේක්ෂාවන්' මැයෙන් වූ වාර්තාව, 2018 අයවැය ලේඛනයට සමගාමීව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති
    හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1)(ඇ) ව්‍යවස්ථාව යටතේ මහාධිකරණයක් ස්ථාපිත කිරීම

     

    - මෙරට අධිකරණවල විශාල වශයෙන් නඩු ගොඩගැසී පැවතීම හේතුවෙන් මූල්‍ය වංචා, දූෂණ, රජයේ වත්කම් හා රජයේ ආදායම් සම්බන්ධ වංචාසහගත ක්‍රියා සහ ඊට සමාන වරදවල් සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම ප්‍රායෝගිකව අපහසු වී ඇත. එබැවින්, මහජන දේපළවලට එරෙහිව සිදු කරනු ලබන වැරදි, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම, සාපරාධී විශ්වාසය කඩකිරීම
    හා මහජන දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, සංවිධානාත්මක අපරාධ ඇතුළුව අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂයෙන්ම වෙන් වූ මහාධිකරණයක් පිහිටුවීම සුදුසු බව හඳුනාගෙන ඇත.

    ඒ අනුව, අගවිනිසුරුවරයා විසින් නම් කරනු ලබන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩල 03කින් සමන්විත මහාධිකරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1)(ඇ) ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ පිහිටුවීමටත්, නිශ්චිතව දක්වනු ලබන වරදවල් සම්බන්ධයෙන් වන නඩු කටයුතු නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් සිය අභිමතය පරිදි එම මහාධිකරණය වෙත යොමු කිරීමටත්, එම මහාධිකරණයේ
    නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සෘජුව අභියාචනය කිරීමටත් විධිවිධාන සලසමින් අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම පිණිස නීතිකෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

     

    - මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය දෙනු ලැබ තිබේ. ඒ අනුව එහි ඉදි කිරීම් කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Finite Lanka (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 140.96ක බදු රහිත මුදලකට පිරිනැමීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිව්මහල් ගොඩනැඟිල්ලේ ඉතිරි ඉදි කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම

     

    - පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා සිවු මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එහි පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව Micro Construction (Pvt) Ltd. වෙත පිරිනමන ලදුව එම ඉදි කිරීම් කටයුතු නිමවීමට ආසන්න මට්ටමේ පවතී.

    එම ඉදි කිරීම් කටයුතුවල ප්‍රගතිය සලකා එහි දෙවන අදියරේ ඉදි කිරීමේ කටයුතු රුපියල් මිලියන 952.90ක (බදු රහිත) මුදලකට එම සමාගම වෙතම පිරිනැමීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    රට තුළ පවතින පෙට්ට්‍රල් හිඟය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම

     

    - මහජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා බාධාවක් වී ඇති රට තුළ පවතින පෙට්ට්‍රල් හිඟය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ දැඩි අවධානය යොමු වූ අතර, පවතින පෙට්ට්‍රල් හිඟය මගහැරීම සඳහා වහාම ගත යුතු ක්‍රියාමාර්ග, එවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වූ කරුණු, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන් කවරේද යන්න පිළිබඳව හා එවැනි තත්ත්වයන් ඉදිරියේදී නැවත ඇති වීම වළක්වා ගැනීමට ගත
    යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පරීක්ෂා කර බලා නොපමාව සිය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    i ගරු (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා
    විශේෂ කාර්යභාර අමාත්‍ය - (සභාපති)

     

    ii ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා
    ආපදා කළමනාකරණ අමාත්‍ය

     

    iii ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා
    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය

     

    iv ගරු අර්ජුන රණතුංග මැතිතුමා
    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya