අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017-10-31

    නොවැම්බර් 01, 2017
     
    2017-10-31 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.
     
     
    ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ කොම්පෝස්ට් අංගණය ඉදි කිරීම
     
    අධික ජනගහනය හා ශීඝ්‍ර කාර්මීකරණය හේතුවෙන් නාගරික ඝන අපද්‍රව්‍ය විශාල වශයෙන් එක්රැස් වන ගම්පහ දිස්ත්‍රික්කය තුළ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදි කිරීමද ඇතුළත්ව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. එම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන ඝන අපද්‍රව්‍ය විධිමත්ව වර්ග කර දිරාපත්වන අපද්‍රව්‍ය යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ද සැලසුම් කර තිබේ. 
     
    එහි පළමු පියවර වශයෙන් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වන කාබනික පොහොර නිෂ්පාදන අංගණය කඩිනමින් ඉදි කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම
     
    ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟාසිටුවීම සඳහා ණය පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව විසින් සලසා දෙනු ලැබ තිබේ. මෙම ණය යෝජනා ක්‍රමය සඳහා වන අධික ඉල්ලුම හේතුවෙන් යෝජිත ව්‍යාපෘති කාල සීමාව අවසන් වීමට පෙර, සම්පූර්ණ අරමුදලම උපයෝජනය කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත සහනශීලී ණය ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
     
    මෙම ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කර, ප්‍රතිලාභීන් වැඩි පිරිසකට සහනශීලී ණය ලබා දීමට හැකිවන පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 75ක අතිරේක අරමුදල් ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2017 රාජ්‍ය නත්තල් උත්සවය
     
    එකම රටක වෙසෙන එකම ජනතාවක් ලෙස නත්තලේ අරුත ගැඹුරින් බෙදාගැනීමේ අරමුණින්, 2017 වර්ෂයේ රාජ්‍ය නත්තල් උත්සවය, 'ප්‍රේමයේ උපත නත්තලයි' යන තේමාව යටතේ ත්‍රිකුණාමලය කතෝලික රදගුරු පදවි බල ප්‍රදේශය මුල් කරගනිමින් පැවැත්වීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රාජ්‍යතාන්ත්‍රික, විශේෂ සහ රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුරවැසියන් වීසා අවසරපත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීමට අදාළව ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
     
    ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින මිත්‍රශීලී සබඳතා වැඩිදියුණු කරගැනීමේ අරමුණින්, දෙරටේ සංචාරයන්හි නිරත වන රාජ්‍යතාන්ත්‍රික, විශේෂ සහ රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි, ශ්‍රී ලාංකික හා කටාර් පුරවැසියන් වීසා බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ කටාර් රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ගුවන් නගර සංවර්ධනය සඳහා ඉඩම් ලබාගැනීම
     
    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට ආසන්නව පිහිටා ඇති ඒකල ප්‍රදේශය, මෙරට කාර්මික අංශයේ නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙයි. බස්නාහිර කලාප මහානගර සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කෙරෙන ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් උප ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. 
     
    * අගය එකතු කළ කර්මාන්ත සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම 
     
    * කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර(SME) සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම
     
    * වාණිජ හා විනෝදාස්වාද සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම
     
    * මාධ්‍ය නගරය 
     
    * මධ්‍යම පාන්තික නිවාස හා පොදු පහසුකම් සේවා 
     
    ඉහත සඳහන් උප ව්‍යාපෘති ඇතුළත් මෙම ගුවන් නගර ව්‍යාපෘතිය රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් අක්කර 80ක පමණ ඉඩම් කොටසක්, නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ප්‍රවේශ ද්වාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
     
    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට යාබද කොළඹ-මීගමුව මාර්ගයේ 18 වන සැතපුම් කණුව ආශ්‍රිත ප්‍රදේශය ප්‍රවාහන, ව්‍යාපාර හා වාණිජ කටයුතු, විවේක හා විනෝදාස්වාද කටයුතු ඇතුළත් වන පරිදි සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඒකාබද්ධ බස්රථ නැවතුම් පොළක් ස්ථාපනය කිරීම, දුම්රිය ස්ථානය වැඩිදියුණු කිරීම, කුලී රථ නැවතුම් පොළ, සංචාරක රථ ගාල, බැංකු සේවා, සිනමා ශාලා, අවන්හල්, විනෝදාස්වාද ජල තීර, සාප්පු සංකීර්ණ ආදී පහසුකම් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ අනුව, යෝජිත 'බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ප්‍රවේශ ද්වාර ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    1981 අංක 75 දරන උක් පර්යේෂණ ආයතනය පනත සංශෝධනය කිරීම
     
    උක් වගා ක්ෂේත්‍රය තුළ සිදු කරනු ලබන පර්යේෂණයන්ට පහසුකම් සැලසීමේ අරමුණින් 1981 අංක 75 දරන උක් පර්යේෂණ ආයතනය පනත පනවනු ලැබ ඇත. එම පනතෙහි විෂය පථය තවදුරටත් පුළුල් කරමින්, උක් පර්යේෂණ ආයතනයේ කටයුතු පර්යේෂණ කටයුතු සඳහා පමණක් සීමා නොකර එම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ද ව්‍යාප්ත කිරීමට හැකි වන පරිදි උක් පර්යේෂණ ආයතනය පනත සංශෝධනය කිරීම පිණිස වැඩබලන වැවිලි කර්මාන්ත අමාත්‍ය ලකෂ්මන් වසන්ත පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වියළි කාලගුණික තත්ත්වයන් ඇති වී ඇති ප්‍රදේශවල භූගත ජල සම්පත් සංවර්ධනය සඳහා භූ ජල විද්‍යා සමීක්ෂණ උපකරණ හා විදුම් යන්ත්‍ර ලබා ගැනීම
     
    ශ්‍රී ලංකාවේ ජල ඉල්ලුම සපුරා ගැනීම සඳහා පොළොව මතු පිට ජල මූලාශ්‍ර මෙන්ම භූගත ජල මූලාශ්‍රද යොදා ගනු ලබයි. දේශගුණ විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා විශේෂයෙන්ම යාපනය, අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල, හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල ජල අවශ්‍යතා සපුරාලීම සඳහා වැඩි වශයෙන් භූගත ජල මූලාශ්‍ර යොදා ගැනීමට සිදු වී තිබේ. ලංකාවේ භූගත ජල සම්පත් සංවර්ධනය සඳහා ඇති ප්‍රමුඛ ආයතනය ජල සම්පත් මණ්ඩලය වන අතර, එම ආයතනය සතු විදුම් යන්ත්‍ර බොහෝමයක් වසර 20කට වඩා පැරණි බැවින් නියඟයෙන් බලපෑමට ලක්වන ප්‍රදේශයන්හි භූගත ජල සම්පත් සංවර්ධනය හා වැඩිදියුණු කිරීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමටත්, භූගත ජල මූලාශ්‍ර භාවිතය යම් නියාමනයක් සහිතව සිදු කිරීම සඳහාත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ආපදාවට ලක් වූ විහාරස්ථාන සංවර්ධනය කිරීම
     
    2017 වර්ෂයේ මැයි මාසයේ ඇති වූ ජල ගැලීම් හා නාය යාම් හේතුවෙන් දිවයිනපුරා ප්‍රදේශ රාශියක විහාරස්ථාන ගොඩනැඟිලි කඩා වැටීම්, වහල කඩාවැටීම්, ආරක්ෂක බැමි හා බෝධි ප්‍රකාර කඩාවැටීම් වැනි හානි විහාරස්ථානවලට සිදු වී ඇති අතර, එම අලාභහානිවල පිරිවැය රුපියල් මිලියන 113.87ක් බව දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් වාර්තා කර තිබේ. මෙම හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල පැවත්වීම සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් ඉතිරි වූ මුදල්වලින් රුපියල් මිලියන 113.87ක් වැය කර දිස්ත්‍රික්ක 09ක් පුරා විහිදී ඇති විහාරස්ථාන අලුත්වැඩියා කිරීම සඳහා බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම
     
    ලෝකයේ ඉහළම සංවර්ධනයක් අත්පත් කරගත් රටවල් අතුරින් ගෝලීය ආර්ථික දර්ශකවලින් ඉහළ ස්ථානයක් හිමි කරගෙන සිටින ඕස්ට්‍රේලියාව සමඟ ශ්‍රී ලංකාව සිය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා 1947 වර්ෂයේදී ආරම්භ කර තිබේ. දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් පුළුල් කරගනිමින් ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වන එකඟතාවන්ට එළඹීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
     
    රාජ්‍ය විශ්වවිද්‍යාලවල දැනට පවතින ඉඩකඩ හා පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එම විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ අනුව, පහත සඳහන් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, 2018-2019 කාලසීමාව තුළ රුපියල් මිලියන 380ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: 
     
    * පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අධ්‍යයන අංශය පුළුල් කිරීම. 
     
    * අනුරාධපුර, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විදේශීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා තෙමහල් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සහ එම විශ්වවිද්‍යාලයේ සංචාරක නිවාසය වැඩිදියුණු කිරීම. 
     
    * නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ කාර්යමණ්ඩල නිල නිවාස ඉදි කිරීම.
     
     
    ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග හය (06) පිළිබඳව පූර්ව - ශක්‍යතා අධ්‍යයනය සහ ශක්‍යතා අධ්‍යයනය සඳහා උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
     
    කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ දැනට පවතින අධික රථවාහන තදබදය සහ පොදු ප්‍රවාහන පද්ධතිය හා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව ප්‍රවාහන මාදිලියක් ලෙස සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (Light Rail Transit - LRT) හඳුන්වා දීමට යෝජනා වී තිබේ. මේ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 06ක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉදි කිරීමට නියමිත අතර, රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය. 
     
    මෙම දුම්රිය සංක්‍රමණ මාර්ග 06 ඉදි කිරීම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම පිණිස උපදේශක ආයතනයක් තෝරාගැනීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර ආයතන 05කින් යෝජනා ඉදිරිපත්ව ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 202ක මුදලකට, කොරියාවේ, M/s Seoyoung Engineering Co. Ltd., (SYE), Saman Corporation වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මහනුවර නගරයේ නාගරික රථගාල වැඩිදියුණු කිරීම
     
    උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර නගරයේ නාගරික රථගාල (Municipal Car Park Roof Top) වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 654.11ක බදු රහිත මුදලකට, M/s. Sierra Construction (Pvt.) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජපානය සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික ක්ෂේත්‍රයේ සීමාවාසික අභ්‍යාසලාභීන් පුහුණු කිරීමේ වැඩසටහන පිළිබඳ සහයෝගිතා ගිවිසුම
     
    ජපානය සතු ඉහළ තාක්ෂණික කුසලතා, ශිල්පීය ක්‍රම හා දැනුම ශ්‍රී ලංකාවට ලබාගැනීමේ, තාක්ෂණික ක්ෂේත්‍රයේ සීමාවාසික අභ්‍යාසලාභීන් දෙරට අතර හුවමාරු කරගැනීමේ, අන්තර්ජාතික සහයෝගිතාව ප්‍රවර්ධනය කරගැනීමේ අරමුණින් සහ මෙරට විගමනික සේවකයින්ට එමඟින් ලැබෙන ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන, ජපානයේ අධිකරණ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යාංශය අතර තාක්ෂණික ක්ෂේත්‍රයේ සීමාවාසික අභ්‍යාසලාභීන් පුහුණු කිරීමේ වැඩසටහන පිළිබඳ සහයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම
     
    නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට සහ පවත්නා පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීමට විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද නිර්ණායක සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම නිර්ණායක මත පදනම්ව වර්තමාන අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය අඹගමුව, මස්කෙළිය සහ නොර්වුඩ් ප්‍රාදේශීය සභා වශයෙන් නව පළාත් පාලන ආයතන 03ක් ලෙස සංස්ථාපනය කිරීමටත්, වර්තමාන නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නුවරඑළිය, ආගරපතන සහ කොටගල ප්‍රාදේශීය සභා වශයෙන් නව පළාත් පාලන ආයතන 03ක් ලෙස සංස්ථාපනය කිරීමටත් තීරණය කර තිබේ. 
     
    ඒ අනුව, ඉහත සඳහන් පළාත් පාලන ආයතන ද ඇතුළත්ව සියලුම පළාත් පාලන ආයතන සංස්ථාපන නියමයන් 2017‑11‑01 දින ගැසට් කිරීමට කටයුතු සිදු කෙරෙන බවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya