අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017-10-10

    ඔක්තෝබර් 11, 2017

    2017.10.10 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

    හයි‍ඩ්‍රොෆ්ලෝරොකාබන් (Hydroflurocarbons - HFC) අදියරගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානයට සිදු කළ කිගාලි සංශෝධනය සඳහා ශ්‍රී ලංකාව අනුගත වීම

     
    ඕසෝන් ස්තරයට හානි පමුණුවන රසායනිකයන් භාවිතය නියාමනය කර ඒවා ක්‍රමානුකූලව හා අදියරගතව භාවිතයෙන් ඉවත් කිරීම සඳහ‍ා ලෝක ප්‍රජාව විසින් 1987 වර්ෂයේදී මොන්ට්‍රියල් සන්ධානය ඇති කරගන්නා ලදී. ශ්‍රී ලංකාව එම සන්ධානයට පාර්ශ්වකරුවකු වන අතර, එම සන්ධානය සඳහා වරින් වර සිදු කරනු ලැබ ඇති සංශෝධනයන්ටද අනුකූලතාව දක්වනු ලැබ තිබේ. මොන්ට්‍රියල් සන්ධානය සඳහා සිදු කළ අවසන් සංශෝධනය 2016 වසරේ ඔක්තෝබර් 15 වන දින රුවන්ඩාවේ, කිගාලිහිදී සිදු කරනු ලැබ ඇති අතර, එහිදී ගෝලීය උණුසුම වැඩිවීම පාලනය කිරීම සඳහා 2050 වර්ෂය වන විට ගෝලීය උණුසුමට දායක වන හයිඩ්‍රොෆ්ලෝරොකාබන් (HFC) වැනි ඕසෝන් ප්‍රහීනකාරක රසායන ද්‍රව්‍ය භාවිතය අදියරගතව සීමා කිරීම පිණිස සියලු පාර්ශ්ව එකඟ වී ඇත. 
     
    ඒ අනුව, ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයට හා ආර්ථිකයට බලපෑමක් නොවන පරිදි හයිඩ්‍රොෆ්ලෝරොකාබන් භාවිතය සීමා කිරීමට අවශ්‍ය කටයුතු හා දැනුම්වත් කිරීම් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති බව සැලකිල්ලට ගනිමින් කිගාලි සංශෝධනය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරනු ලැබීමටත්, ඒ බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලැබීමට යෝජිත ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය
     
    ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන වෙත ප්‍රමාණවත් පහසුකම් සැලසීම හා නිසි ක්‍රමවේදයක් සකස් කර දීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. මේ සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන නිසි වැඩපිළිවෙළක් මඟින් විසඳුම් ලබා දීම සුදුසු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ යටතේ, අධික ජනගහනය හා ශීඝ්‍ර කාර්මීකරණය හේතුවෙන් විශාල වශයෙන් නාගරික ඝන අපද්‍රව්‍ය එකතුවන ගම්පහ දිස්ත්‍රික්කයේ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. 
     
    ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන විසින් එක්රැස් කරනු ලබන ඝන අපද්‍රව්‍ය විධිමත් පරිදි කළමනාකරණය සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් සහ කාබනික පොහොර නිෂ්පාදන අංගණයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක්, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් රුපියල් මිලියන 989 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්‍රය සංවර්ධන කිරීම මඟින් ආර්ථිකය සවිබල ගැන්වීම
     
    සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආර්ථිකය තුළ යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව සඳහා සුවිශේෂී ස්ථානයක් හිමිවේ. එම ‍ක්ෂේත්‍රය සඳහා සිදුකරනු ලබන ආයෝජනයන් ගෙන් එමෙන් පහළොස් ගුණයකට වැඩි ප්‍රතිලාභ අත්කර ගත හැකි බව වෙනත් රටවල අත්දැකීම් මඟින් හෙළි වී තිබේ. ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම මඟින් උසස් තාක්ෂණික අපනයනයන් ඉහළ නැංවීම, මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා යොදා ගත හැකි උසස් තාක්ෂණික යන්ත්‍ර නිර්මාණය කිරීම මඟින් ආනයන වියදම් අවම කිරීම, මනා පුහුණුවලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා නිර්මාණය කිරීම වැනි ප්‍රතිලාභ අත්කර ගත හැකි වේ. 
     
    ඒ අනුව, යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා සම්බන්ධ සමාගම් සඳහා නිෂ්පාදන සැලසුම් නිර්මාණය කිරීමේ ඉංජිනේරු (Product Design Engineering) උද්‍යානයක් හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නිතිනි තාක්ෂණ ආයතනය තුළ ස්ථාපිත කිරීමටත්, එහි කළමනාකරණ කටයුතු ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) වෙත පැවරීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ උචිත තාක්ෂණය දියුණු කිරීමේ සහ බුද්ධිමය දේපළ බෙදා හදා ගැනීමේ ව්‍යාපෘතිය (2017)
     
    ඉහළ සහ පහළ මට්ටම්වල තාක්ෂණයන් අතරමැද ස්ථානයක වර්ගීකරණය වී ඇති උචිත තාක්ෂණය (Appropriate Technology) යනු සංවර්ධනය වන රටවල ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමටත්, දරිද්‍රතාවෙන් මිදීමටත් භාවිත කළ හැකි කාර්යක්ෂම හා පිරිවැය ඵලදායී විසඳුමකි. බුද්ධිමය දේපළ බෙදා හදා ගැනීම මඟින් සංවර්ධනය වෙමින් පවත්නා රටවල වැසියන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා උචිත තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් දකුණු කොරියානු ජනරජයේ බුද්ධිමය දේපළ කාර්යාලය (KIPO) සහ කොරියානු නවෝත්පාදන ප්‍රවර්ධන සංගමය (KIPA) විසින් ක්‍රියාත්මක කරනු ලබයි. 
     
    එම ව්‍යාපෘතිය යටතේ, පොල් කුඩු භාවිතයෙන් මෙරටට සුදුසු පොල්තෙල් නිස්සාරකයක් නිපදවීමට හා ඒ ආශ්‍රිත සන්නාම වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. මෙම උචිත තාක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ 'ජාතික විද්‍යා දිනය' සහ 'ජාතික විද්‍යා සතිය' සැමරීම
     
    සමාජය උදෙසා විද්‍යාවේ ඇති වැදගත්කම සහ සාමය හා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි දී විද්‍යාවට හිමිවන කාර්යභාරය ඉස්මතු කර පෙන්වීම සඳහා සෑම වර්ෂයකම නොවැම්බර් මස 10 දින 'ලෝක විද්‍යා දිනය' වශයෙන් සමරනු ලැබේ. ඊට සමගාමීව ශ්‍රී ලංකාව තුළද 'ජාතික විද්‍යා දිනය' සහ 'ජාතික විද්‍යා සතිය' සැමරීම කෙරෙහි අවධානය යොමු වී ඇත. 
     
    ඒ අනුව, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී හා තිරසර සමාජයක් නිර්මාණය කිරීමේදී විද්‍යාවට හිමිවන කාර්යභාරය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම හා සවිබල ගැන්වීම ඇතුළු විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගත් විවිධ වැඩසටහන්වලට මුල්තැන දෙමින් සෑම වසරකම නොවැම්බර් මස 10 වන දින 'ජාතික විද්‍යා දිනය' ලෙස සහ එදිනෙන් ආරම්භ වන සතිය 'ජාතික විද්‍යා සතිය' ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කෘත්‍රිම රා ඇතුළු අනෙකුත් නීතිවිරෝධී රා නිෂ්පාදන වැළැක්වීම සඳහා සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීම
     
    රා නිපදවනු ලබන ගසකින් රා මැදීමට හෝ රා බෑමට වලංගු බලපත්‍රයක් ලබාගත යුතු බවට විධිවිධාන සුරාබදු ආඥාපනතේ ඇතුළත්ව තිබුණි. නමුත්, පසුකාලීනව එම ආඥාපනතට සිදු කරන ලද සංශෝධන හේතුවෙන්, වර්තමානයේදී කිතුල්, තල් හා පොල් යන ගස්වලින් රා මැදීමට හෝ රා බෑමට බලපත්‍ර ලබාගත යුතු නොවේ. ඒ හේතුවෙන් ස්කාගාර, රා තැබෑරුම්, බෝතල් රා නිෂ්පාදනාගාර හා විනාකිරි නිෂ්පාදනාගාර වෙත ලැබෙන රා ප්‍රමාණය අධීක්ෂණය කිරීමේ ගැටලු මතු වී ඇති අතර, එය කෘත්‍රිම රා ඇතුළු අනෙකුත් නීතිවිරෝධී රා නිෂ්පාදනය ඉහළ යාමට ද හේතුවක් වී තිබේ. 
     
    ඒ අනුව, මෙරට රා නිෂ්පාදනය නියාමනය කිරීමේ අරමුණින්, කිතුල් ගස් හැර රා මැදීමට යොදා ගනු ලබන පොල් හා තල් ගස්වලින් රා මැදීම සඳහා බලපත්‍ර ලබාගත යුතු බවට විධිවිධාන සලසමින් සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා සකස් කරනු ලැබ ඇති සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අංගොඩ ප්‍රදේශයේ අලුතින් ඉදි කෙරෙන මහල් නිවාස සංකීර්ණයේ නිවාස අලෙවි කිරීම
     
    'නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය' යටතේ, කොළඹ නගරයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් පදිංචි කරවීම සඳහා නිවාස ඒකක 500කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක්, අංගොඩ රෝහල් පරිශ්‍රයේ අක්කර 05ක ඉඩම් කොටසක් තුළ ඉදි කෙරෙමින් පවතියි. එහි වැඩකටයුතු අවසන් වීමට ආසන්නව ඇත. එහෙත් විවිධ හේතු නිසා කොළඹ නගරය තුළ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් කොළඹ නගර සීමාවෙන් බැහැර ප්‍රදේශවල පදිංචි කරවීමේ ප්‍රායෝගික අපහසුතා මතු වී තිබේ. 
     
    එබැවින්, රුපියල් මිලියන 4ත් 5ත් අතර මුදලකට මිල කළ හැකි මෙම නිවාස ඒකක, පුවත්පත් දැන්වීම් මඟින් අයදුම්පත් කැඳවා, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද ඇතුළුව පහළ මධ්‍යම පාන්තික රජයේ සේවකයින්, කලාකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ආදී කණ්ඩායම් වෙත අලෙවි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පශු විමර්ශන මධ්‍යස්ථානවල කුකුළු හා මත්ස්‍ය රෝග හඳුනාගැනීම සහ ආවේක්ෂණය සඳහා වන පහසුකම් වැඩිදියුණු කිරීම
     
    කුකුළු පාලනය, ඉස්සන් වගාව සහ සුරතල් මත්ස්‍ය වගාව යන කර්මාන්තයන්හි ඉහළ වර්ධනයක් පසුගිය කාලසීමාව තුළ ඇති වී තිබෙන අතර, විශේෂයෙන් ඉස්සන් හා සුරතල් මත්ස්‍ය වගාව විදේශ විනිමය ලබා දෙනු ලබන අංශයක් වේ. මෙම ක්ෂේත්‍රයන්ට විවිධ රෝග ඇතුළු වීම පාලනය කිරීම, රෝග හඳුනා ගැනීම හා ඒ සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා පහසුකම් ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් වේ. 
     
    එබැවින් එම කර්මාන්තයන්හි සංවර්ධනයට දායක වීමේ අරමුණින්, කුකුළු හා මත්ස්‍ය රෝග හඳුනාගැනීම සහ ආවේක්ෂණය සඳහා වාරියපොළ, හලාවත සහ වැලිසර යන ප්‍රදේශවල පිහිටි පශු විමර්ශන මධ්‍යස්ථානවල රසායනාගාර පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව වැඩිදියුණු කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද, එම මධ්‍යස්ථානවල සේවයේ යෙදී සිටින පශු වෛද්‍යවරුන් සඳහා මත්ස්‍ය රෝග නිවාරණය සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ලබා දීමේ වැඩපිළිවෙළක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව සකස් කිරීමටත් තීරණය කරන ලදී.
     
     
    පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන බදු, බලපත්‍ර ගාස්තු සහ වෙනත් ගාස්තු නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සැකසීම
     
    පළාත් පාලන ආයතන විසින් සිය බල ප්‍රදේශ තුළ පිහිටි ඉඩම් හා ගොඩනැඟිලිවලට අදාළව වරිපනම් බදු අය කිරීමේදී සහ ඇතැම් සේවාවන් සැලසීමේදී අය කරනු ලබන ගාස්තුවල ප්‍රමාණය සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා මහජනතාව විවිධ ගැටලුවලට මුහුණපාන බවට පැමිණිලි ඉදිරිපත් වී තිබේ. තක්සේරු ලේඛනයේ නම සංශෝධනය කිරීම, ගොඩනැඟිලි බිම් කට්ටි සංවර්ධන සැලසුම් ඉදිරිපත් කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම, දූරකථන කුලුනු සඳහා ගාස්තු අය කිරීම වැනි කරුණු සඳහා යොදාගනු ලබන අයදුම්පත් ගාස්තු, ව්‍යාපාරික ස්ථාන සඳහා අය කරනු ලබන බලපත්‍ර ගාස්තු සහ වරිපනම් බදු ඇතැම් අවස්ථාවන්හිදී සාධාරණ පදනමකින් තොරව තීරණය කරනු ලැබ ඇති බව හඳුනාගනු ලැබ ඇත. 
     
    ඒ අනුව, පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන විවිධ බදු හා ගාස්තු පිළිබඳව ජාතික මට්ටමේ සමාලෝචනයක් සිදු කිරීම සඳහා සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල ඉදි කිරීම් සංවර්ධන කටයුතු සඳහා උපදේශක සේවා ලබාගැනීම
     
    ක්‍රීඩා අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ ඉදි කිරීම් කටයුතුවලදී ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙතින් උපදේශක සේවා ලබාගැනීම සිදු කෙරේ. එසේ වුවද, එම ව්‍යාපෘති හා සංවර්ධන කටයුතු තවදුරටත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා වෙනත් රාජ්‍ය ආයතනවලින් ද උපදේශක සේවා ලබාගැනීම සුදුසු බව නිරීක්ෂණය වී ඇත. 
     
    ඒ අනුව, ක්‍රීඩා අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන වල ඉදි කිරීම් සංවර්ධන කටයුතු සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට අමතරව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව, රාජ්‍ය විශ්වවිද්‍යාල, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යන රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතනවලින්ද, ත්‍රිවිධ හමුදාව වෙතින්ද උපදේශක සේවාවන් ලබාගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    තහනම් උත්තේජක භාවිතයෙන් තොර ක්‍රීඩා ජයග්‍රහණ ළඟා කර ගැනීම
     
    ක්‍රීඩාවේ පවතින දැඩි තරගකාරීත්වය හා වාණිජමය මුහුණුවර හේතුවෙන් තහනම් උත්තේජක ද්‍රව්‍ය අඩංගු පෝෂණ අතිරේක දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව භාවිත කිරීමේ ප්‍රවණතාවක් වර්තමාන ක්‍රීඩක - ක්‍රීඩිකාවන් අතර දක්නට ලැබේ. මෙහි අනිටු විපාක ඉදිරි ජාත්‍යන්තර තරගවලදී මතු වීමට ඉඩ ඇති බැවින්, එම තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු වේ. එබැවින්, ජාතික හා පාසල් මට්ටමේ ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට, ඔවුන්ගේ දෙමාපියන්ට, පුහුණුකරුවන්‍ට මෙන්ම ක්‍රීඩා කළමනාකරුවන්ටද තහනම් උත්තේජක ද්‍රව්‍ය හා ක්‍රම පිළිබඳව දැනුම ලබා දීම යෝග්‍ය වේ. 
     
    ඒ අනුව, ක්‍රීඩාවේ ජීවගුණය රැකගනිමින් තහනම් උත්තේජකවලින් තොර ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා තහනම් උත්තේජක ද්‍රව්‍ය හා ක්‍රම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, තහනම් උත්තේජක භාවිතය පිළිබඳ පරීක්ෂා කිරීම් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමේ පහසුකම් ඇති කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය වෙත වෙන් කරගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පොලිස් තොරතුරු හා සන්නිවේදන පද්ධති (PICS) ව්‍යාපෘතිය
     
    ශ්‍රී ලංකා පොලීසිය සඳහා තොරතුරු හා සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය, නවීන තාක්ෂණයට අනුකූලව 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, එහි පළමු අදියර යටතේ බස්නාහිර පළාත ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් වශයෙන් එය ක්‍රියාත්මක කිරීමටත්, එහි සාර්ථකත්වය මත ව්‍යාපෘතියේ දෙවන අදියර මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාතික තරුණ මෘදුකාංග තරඟාවලිය - 2017 - 2019
     
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ සමාජයේ සැමට ලබා දීම සඳහා නවෝත්පාදන විසඳුම් නිර්මාණය කිරීම පිණිස තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් තරුණයින් අතර මෘදුකාංග තරගාවලියක් පැවැත්වීමට යෝජනා වී තිබේ. ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබයි. 
     
    මේ යටතේ, සංවර්ධන අභියෝග සඳහා විසඳුම් වශයෙන් යොදා ගත හැකි මෘදුකාංග නිර්මාණය කිරීම සඳහා පළාත් මට්ටමින් තරගාවලි 03ක් පැවැත්වීමට නියමිත අතර, ඉන් තෝරා ගනු ලබන ජයග්‍රාහකයින්ට ඊට අදාළ ව්‍යවසායයන් ආරම්භ කිරීම සඳහා අනුග්‍රහය ලබා දෙනු ඇත. ඒ අනුව යෝජිත තරුණ මෘදුකාංග තරගාවලිය 2017-2019 කාලසීමාව තුළ පැවැත්වීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රත්නපුර, සමන් දේවාලය සංවර්ධනය කිරීම
     
    බැතිමතුන් විශාල පිරිසක් දිනපතා පැමිණෙන රත්නපුර මහ සමන් දේවාලයේ වහලවල හා අනෙකුත් ගොඩනැඟිලිවල දිරාපත් වී ඇති කොටස් කඩිනමින් පිළිසකර කළ යුතුව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතන විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබේ. එම දේවාලයේ පෞරාණික බව ආරක්ෂා වන පරිදි එම අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කොළඹ සහ රුහුණ විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
     
    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපනය කිරීම සදහා වූ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 1,801ක මුදලකට M/s. International Construction Consortium (Pvt.) Ltd. වෙතද, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා විභාග ශාලාවක්, සායනික විශිෂ්ටතා මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් සහ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහිත මහල් 12කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සදහා වූ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 850ක මුදලකට M/s. Link Engineering (Pvt.) Ltd. වෙතද පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    විසල් පොළොන්නරුව උපනගර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
     
    'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ ජලසම්පාදන ව්‍යාපෘති 09ක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. එහි උප ව්‍යාපෘතියක් වන විසල් පොළොන්නරුව උපනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගල්ලෑල්ල ජල පවිත්‍රාගාරයේ සිට යෝජිත පොළොන්නරුව උරුම නගරය, වාණිජ නගරය, පරිපාලන නගරය හා වකුගඩු රෝහල සදහා අවශ්‍ය අතිරේක ජල සැපයුම සම්පාදනය කෙරෙනු ඇත. 
     
    මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යාන්ත්‍රික හා විදුලි උපකරණ සැපයීම, ස්ථාපනය, පරීක්ෂා කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 154ක මුදලකට M/s. K P Projects International (Pvt.) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පොළොන්නරුව නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය
     
    'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙන පොළොන්නරුව ප්‍රදේශයේ නැ‍ඟෙනහිර නගර ප්‍රදේශය ඇතුළත්වන පරිදි නව ජල සම්පාදන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලැබී තිබේ. මෙමඟින් වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව, ලංකාපුර, හිඟුරක්ගොඩ සහ ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි 262,481ක් පමණ වූ ජනතාවට සෞඛාරක්ෂිත පානීය ජලය සැපයීමට අපේක්ෂා කෙරේ. 
     
    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 354ක මුදලකට M/s. China Harbour Engineering Company Ltd. වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කළුතර මහ රෝ‍හලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය වැඩිදියුණු කිරීම
     
    කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහල වන කළුතර මහ රෝහල මඟින් අගලවත්ත, බුලත්සිංහල, හොරණ, බණ්ඩාරගම, කළුතර, මතුගම සහ බේරුවල යන ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාව වෙත රෝගී සත්කාරක සේවාවන් සැපයීමේදී ඉමහත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. නේවාසික රෝගීන් සදහා වඩා වැඩි ඉඩ පහසුකම් සැපයීම අරමුණු කරගනිමින්, එම රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මහල් 07කින් යුත් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. 
     
    මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 2,817ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය‍ට හා ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රුධිර පරීක්ෂා සඳහා යොදා ගනු ලබන න්‍යෂ්ටික අම්ල පරීක්ෂක ප්‍රතිකාරක 400,000ක් මිල දී ගැනීම
     
    ජාතික රුධිර පාරවිලයන සේවය සඳහා රුධිර දායකයින් විසින් ලබා දෙනු ලබන රුධිරය තුළ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) හා හෙපටයිටීස් බී හා සී කාණ්ඩයන්හි වෛරස අන්තර්ගත වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා භාවිත කරනු ලබන න්‍යෂ්ටික අම්ල ප්‍රතිකාරක 400,000ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 5.94ක මුදලකට M/s. Apcot Marketing (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වෛද්‍ය පරීක්ෂණ අත්වැසුම් සහ ශල්‍යාගාර අත්වැසුම් මිල දී ගැනීම
     
    වෛද්‍ය පරීක්ෂණවලදී භාවිත කරනු ලබන රබර් අත්වැසුම් යුගල මිලියන 92ක් කුඩා, මධ්‍යම හා විශාල ප්‍රමාණයන්ගෙන් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 482කටද, ශල්‍යකර්ම වලදී භාවිත කරනු ලබන විෂබීජහරණය කරන ලද ශල්‍යාගාර රබර් අත්වැසුම් යුගල මිලියන 31ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,196ක මුදලකටද, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, Sisili Project Consortium (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය(වෛද්‍ය)රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ලංකා විදුලිබල මණ්ඩලය සඳහා අවශ්‍ය කෲ කැබ් රථ මිල දී ගැනීම
     
    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාප 02 සඳහා අවශ්‍ය කෙටි රෝද කෲ කැබ් රථ 50ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 185.6ක මුදලකට සතොස මෝටර්ස් පී.එල්.සී. ආයතනය වෙතද, දිගු රෝද කෲ කැබ් රථ 15ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 56.5ක මුදලකට යුනයිටඩ් මෝටර්ස් ලංකා පී.එල්.සී. ආයතනය වෙතද ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) විසින් සහල් ආනයනය කිරීම
     
    2017 වර්ෂයේ යල කන්නයේ අපේක්ෂිත සහල් නිෂ්පාදනය 50%කින් පමණ අඩු වී තිබේ. එබැවින් 2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා වෙළඳ පොළේ සහල් අවශ්‍යතාව සපුරා ලීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 500,000ක් සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) මඟින් ආනයනය කිරීමට තීරණය කරනු ලැබ තිබේ. මෙයින් මෙට්‍රික් ටොන් 100,000ක් දැනටමත් ඉන්දියාවෙන් ඇණවුම් කරනු ලැබ ඇති අතර, ඉතිරි අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 400,000ක සහල් ප්‍රමාණය කඩිනමින් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා; මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා; ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම
     
    පොදු මහජන අවශ්‍යතාවන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන තැනැත්තන් සත්‍යවාදීව, අවංකව සහ පාරදෘශ්‍යභාවයකින් යුතුව කටයුතු කළ යුතු වේ. 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය අනුව, එවැනි තැනැත්තන් විසින් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව තමන් සතුව පවතින වත්කම් හා බැරකම් කාලීනව ප්‍රකාශයට පත් කළ යුතු අතර, එම නීතිය අදාළ වන තැනැත්තෙකුට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහාද එමඟින් විධිවිධාන සලසනු ලැබ තිබේ. 
     
    ඒ අනුව, නියමිත පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම පැහැර හැරීම, එවැනි ප්‍රකාශයක අසත්‍ය තොරතුරු සඳහන් කිරීම හෝ අවශ්‍ය අවස්ථාවන්හිදී අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී අවස්ථාවන්හිදී නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට වර්තමානයේදී නියම කෙරෙන දඬුවම රුපියල් 1,000/-කට නොවැඩි දඩයක් සහ/හෝ වසරකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීම වේ. වර්තමාන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, එම දඩය රුපියල් 100,000/-ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
     
    දරිද්‍රතාවෙන් පීඩා විඳින ජනතාවගේ නිවාස ගැටලු විසඳීම සඳහා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන නමින් පුළුල් වැඩසටහනක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලැබේ. එම වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි ආදර්ශ ගම්මාන 25ක නිවාස 600ක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 300ක මූල්‍යාධාරයක් ඉන්දියානු රජය විසින් දැනටමත් ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතියේ ප්‍රගතිය අගයමින් නිවාස 600ක් තවදුරටත් ඉදි කිරීම පිණිස තවත් රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළ කර ඇත. 
     
    ඒ අනුව, ඉන්දියානු රජය විසින් ලබා දෙනු ලබන රුපියල් මිලියන 300ක එම ප්‍රදානය උපයෝගී කරගනිමින් 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ, ඉතා පහළ ආදායම් ලබන තවත් පවුල් 600ක් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඉන්දියානු රජය සමඟ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට එළඹීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන සඳහා යටිතල පහසුකම් සම්පාදනය
     
    2016 වර්ෂයේදී පවත්වන ලද දීපව්‍යාප්ත නිවාස අවශ්‍යතා සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාව තුළ නිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල් 216,197ක් වෙසෙන බව හඳුනාගෙන තිබේ. එම ජනතාවට නිවාස අයිතිය ලබා දීම සඳහා නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය විසින් 'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන්, ඉතා ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් ලෙස සලකා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමඟින් 2020 වර්ෂය වන විට ආදර්ශ ගම්මාන 2,500ක් ඉදි කිරීමට ඉලක්ක කර තිබේ. 
     
    එම වැඩසටහන් සාර්ථක කරගැනීමේදී නව ජනාවාස ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කිරීම, ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම, පානීය ජල පහසුකම් ස්ථාපනය කිරීම මෙන්ම විදුලිබලය ලබා දීම ද අත්‍යවශ්‍ය වේ. එබැවින් අලුතින් ආරම්භ කිරීමට අපේක්ෂිත ආදර්ශ ගම්මාන 2,500 සඳහා අවශ්‍ය ඉහත සඳහන් පහසුකම් සලසා දීම කෙරෙහි රජය විසින් දැනටමත් ක්‍රියාත්මක කරනු ලබන හා ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලැබීමට නියමිත සංවර්ධන වැඩසටහන්වලදී ප්‍රමුඛතාව ලබා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.
     
     
    ජාතික විගණන පනත් කෙටුම්පත
     
    ජාතික විගණන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතු වී ඇති විවිධ අදහස් සහ අනෙකුත් රටවල්වල පවතින මීට අදාළ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඊට සුදුසු සංශෝධන නිර්දේශ කිරීම පිණිස විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට 2017‑08‑15 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. 
     
    ඒ අනුව, එම අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ සහ අනෙකුත් නිරීක්ෂණවලට අනුකූල වෙමින්, විගණන සේවා කොමිෂන් සභාව විසින් වාර්තා කරනු ලබන අවස්ථාවක, යම් රජයේ නිලධාරියෙකුගේ නොසැලකිල්ල, අවභාවිතය, වංචාව හෝ දූෂණය හේතුවෙන් රජයට සිදු වන යම් අලාභයක්, අදාළ නිලධාරියාගෙන් අධිභාරයක් ලෙස අය කරගැනීමේ බලතල, එම නිලධාරියා සේවය කරන ආයතනය අයත්වන අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැවරීම, එවැනි අධිභාරයකට යටත් කෙරෙන යම් රාජ්‍ය නිලධාරියෙකු විසින් සිදු කරනු ලබන අභියාචන විමර්ශනය කිරීම සඳහා ස්ථාපිත කරනු ලැබීමට නියමිත 'අධිභාර අභියාචන කමිටුව' සඳහා රාජ්‍ය පරිපාලනය සහ ඉංජිනේරු යන ක්ෂේත්‍රයන් නියෝජනය කරන තැනැත්තන් දෙදෙනෙකුද ඇතුළත් කරමින් එම කමිටුව පුළුල් කිරීම ඇතුළු යෝජිත සංශෝධන ඇතුළත් කරමින් ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya