අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017.9.26

    සැප්තැම්බර් 27, 2017

    2017.09.26 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ පහත සඳහන් වේ.

    දේශසීමා හරහා සිදු කරනු ලබන විවිධ අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම


    මිනිස් ජාවාරම සහ දේශසීමා ඉක්මවන අනෙකුත් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දැනට පවත්නා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හා ප්‍රව‍ර්ධනය කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී තිබේ. මෙමඟින් මිනිස් ජාවාරම වැළැක්වීම, නීතිවිරෝධී භාණ්ඩ සංසරණය වැළැක්වීම, දේශසීමා කළමනාකරණය, දේශසීමා හරහා සිදු වන අපරාධ වැළැක්වීම සම්බන්ධව කලාපීය හා බහුපාර්ශ්වීය කැපවීම වර්ධනය කිරීම, මුදල් විශුද්ධිකරණය තුළින් ලබාගන්නා මුදල් උපයෝගී කරගනිමින් මිනිස් ජාවාරම් හා දේශසීමා ඉක්මවන අනෙකුත් අපරාධ සිදුකිරීම වැළැක්වීම ආදී ප්‍රතිලාභ දෙපාර්ශ්වයටම අත් වනු ඇත. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියානු රජයේ ආගාමික හා දේශසීමා ආරක්ෂක දෙපාර්තමේන්තුව අතර අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගාල්ල, මහමෝදර මාතෘ රෝහලේ වැඩ අවසන් කිරීම සඳහා අතිරේක මූල්‍යාධාර ලබාගැනීම


    සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වූ ගාල්ල, මහමෝදර මාතෘ රෝහලේ සංවර්ධන කටයුතු අවසන් කිරීම සඳහා තවදුරටත් අවශ්‍යවන මූල්‍ය සහාය ලබා දීමට ජර්මානු රජය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, මෙම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන යුරෝ මිලියන 13ක් දක්වා වන පරිපූරක ණය පහසුකම් ලබාගැනීම සඳහා ජර්මනියේ පුනර්නිර්මාණි බැංකුව (KfW) සමඟ ණය සම්මුති සාකච්ඡා පවත්වා ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා කෙටිකාලීන විසඳුම් ලබා දීම


    සෑම දුම්රිය හරස් මාර්ගයක් සඳහාම විධිමත් ආරක්ෂාවක් සැලසීම රජයේ ප්‍රතිපත්තියයි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා සීනුව හා ආලෝක සංඥා සහිත දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීමට රජය විසින් කටයුතු කෙරෙමින් පවතින අතර, එම කටයුතු අවසන් වන තෙක්, දුම්රිය හරස් මාර්ගවල සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවන් යෙදවීම අවශ්‍ය වේ.

    ශ්‍රී ලංකා පොලීසියේ මැදිහත්වීමෙන් සේවයේ යොදවනු ලැබ ඇති ගේට්ටුකරුවන් විසින් මෙහෙය වනු ලබන දුම්රිය හරස් මාර්ග 687ක් දැනට රට පුරා පවතියි. එකී එක් ගේට්ටුවක් සඳහා ගේට්ටුකරුවන් තිදෙනෙකු බැගින් සේවයේ යොදවනු ලැබ ඇති අතර, එලෙස සේවයේ යොදවනු ලැබ ඇති එක් අයෙකුට මාසිකව රුපියල් 7,500/-ක දීමනාවක් ගෙවනු ලැබේ. එසේ වුවද, මෙම දීමනාව ප්‍රමාණවත් නොවන බව පවසමින් පසුගිය කාලය තුළ සැලකිය යුතු ගේට්ටුකරුවන් සංඛ්‍යාවක් සේවය අතහැර ගොස් ඇත.

    මෙම තත්ත්වයට පිළියමක් ලෙස, දුම්රිය හරස් මාර්ගයන්හි ආරක්ෂාව දවස පුරා සැලසීමේ වගකීම පවුලක නිශ්චිත සාමාජිකයෙකුට පැවරෙන පරිදි එම ආරක්ෂක ගේට්ටු හැසිරවී‍මේ කටයුතු සුදුසු සමෘද්ධිලාභී පවුල් වෙත පැවරීමටත්, ඒ වෙනුවෙන් එක් ගේට්ටුවක් සඳහා රුපියල් 22,500/-ක මාසික දීමනාවක් බැගින් එක් පවුලක් වෙත ලබා දීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගෝලීය පිහිටුම් පද්ධති (GPS) තාක්ෂණය හඳුන්වා දීම මඟින් දුම්රිය මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ මහජනතාව වෙත දුම්රිය සම්බන්ධ තොරතුරු ලබා දීම
    - ගෝලීය පිහිටුම් පද්ධති (GPS) මත පදනම් වූ දුම්රිය මෙහෙයුම් තොරතුරු පද්ධතියක් ලබාගැනීම මඟින් දුම්රිය මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කැගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. එම තාක්ෂණය ඔස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ, අනුරාධපුර සහ නාවලපිටිය පාලක මධ්‍යස්ථාන සම්බන්ධ කිරීම, ස්වයංක්‍රීයව දුම්රිය කාලසටහන් සකස් කිරීම, දුම්රිය මෙහෙයුම් සම්බන්ධ සියලු වාර්තා ජනනය කිරීම, දුම්රිය ප්‍රමාද අධීක්ෂණ පද්ධති විශ්ලේෂණය ආදී පුළුල් විෂය පථයක් ආවරණය වන පරිදි දුම්රිය මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සහ මහජනතාව වෙත දුම්රිය සම්බන්ධ තොරතුරු ලබා දීම සඳහා ගෝලීය පිහිටුම් පද්ධතිය (GPS) තාක්ෂණය යොදා ගැනීම තවදුරටත් පුළුල් කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව අනුව රුපියල් මිලියන 31.8ක මුදලකට අදාළ මෙහෙයුම් පද්ධතිය එම අමාත්‍යාංශයෙන් ලබා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉඩ පහසුකම් සලසා දීම


    දැනට විදේශ කටයුතු අමාත්‍යාංශය පවත්වා ගෙන යනු ලබන කොළඹ 01 පිහිටි ජනරජ ගොඩනැඟිල්ලේ ඇති කාර්යාල ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මුහුණ දී ඇති අපහසුතා මඟහරවා ගැනීම පිණිස තවත් වර්ග අඩි 30,000ක පමණ ඉඩ ප්‍රමාණයක් ලබාගැනීම අවශ්‍ය වී තිබේ. ඒ සඳහා ජනරජ ගොඩනැඟිල්ලට යාබදව පිහිටි ඕලන්ද සමයේදී ඉදි කර ඇති මෑතක් වන තෙක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් භාවිතා කරන ලද ගොඩනැඟිල්ල ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය මඟින් අලුත්වැඩියා කරගැනීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2017 මැයි මස ඇති වූ ගංවතුර හා නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස පූර්ණ ලෙස හෝ පදිංචියට නුසුදුසු ලෙස හානි වූ පුද්ගලයින් සඳහා තවදුරටත් නිවාස කුලී දීමනාව ලබාදීම


    පසුගිය මැයි මස අගභාගයේ ඇතිවූ ගංවතුර, නායයෑම් හා සුළිසුළං තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්වූ අතර, එහිදී සිය නිවාස පූර්ණ ලෙස හෝ පදිංචියට නුසුදුසු ලෙස හානි වූ පවුල් සහ නායයෑම් අධිඅවදානම හේතුවෙන් පදිංචි නිවාසවලින් ඉවත් කරන ලද පවුල්වලට තාවකාලිකව කුලී නිවාසවල පදිංචි වීමට හැකියාව ලැබෙන පරිදි එක් පවුලකට මසකට රුපියල් 7,500/- බැගින් වූ නිවාස කුලී දීමනාවක් මාස 03ක කාලයක් සඳහා ලබා දීමට රජය විසින් තීරණය කරන ලදී. ඒ අනුව, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර හා කොළඹ යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්වූ පවුල් 3,584ක් සඳහා 2017 ජුනි, ජූලි හා අගෝස්තු යන මාස වෙනුවෙන් එම නිවාස කුලී දීමනාව ලබා දෙනු ලැබ ඇත.

    එම පවුල් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේවන විට සිදු කෙරෙමින් පවතින අතර, එම කටයුතු සම්පූර්ණ කෙරෙන තෙක් එකී පවුල් සඳහා දැනට ලබා දෙනු ලබන නිවාස කුලී දීමනාව තවත් මාස 03ක කාලයක් සඳහා ලබා දීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    නායයෑමේ දැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ස්ථිර කාර්යාල පිහිටුවීම


    ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (National Building Research Organization - NBRO), නායයෑම් හා ඒ ආශ්‍රිත කටයුතු අධ්‍යයනය කිරීම, ආපදා අවදානම් කලාප සිතියම්ගත කිරීම, පිළිබඳව දැනුම්වත් කිරීම, පූර්ව අනතුරු ඇඟවීම, නායයෑම් අවදානම සහිත ප්‍රදේශවල ඉදි කිරීම් හා සංවර්ධන ව්‍යාපෘති සඳහා යෝග්‍යතා සහතික නිකුත් කිරීම ඇතුළු කාර්යයන් කොළඹ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය මඟින් සහ නායයෑමේ දැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්ක 09 ක පිහිටුවා ඇති දිස්ත්‍රික්ක කාර්යාල මඟින් සිදු කෙරේ. මෝසම් වර්ෂා රටාවේ වෙනස් වීම් හේතුවෙන් ඇතිවන අධික වර්ෂාව නිසා නායයෑම් හා බෑවුම් කඩාවැටීමේ අවදානම පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බැවින් සිය සේවාවන් තවදුරටත් කාර්යක්ෂමව ලබා දිය හැකි වන පරිදි, නායයෑමේ දැඩි අවධානමක් සහිත තෝරාගත් දිස්ත්‍රික්ක දෙකක නවීන විද්‍යාගාර පහසුකම් සහිත ස්ථිර කාර්යාල ගොඩනැඟිලි ඉදි කිරීමත්, ඉන් අනතුරුව, අවශ්‍යතාවය අනුව අනෙකුත් දිස්ත්‍රික්කවලද එම පහසුකම් ඇති කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අතිනවීන ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

    දැනුම මත පදනම් වූ සමාජයක් හා ආර්ථිකයක් කරා වන ගමනේදී විද්‍යා සංස්කෘතියක් ර‍ටක පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි. විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳව පොදු ජනතාවගේ දැනුම හා අවබෝධය වැඩිදියුණු කර ලීම සඳහා අංග සම්පූර්ණ විද්‍යා මධ්‍යස්ථාන පිහිටුවීමට ලොව බොහෝ රටවල් විසින් කටයුතු කරනු ලැබ තිබේ.

    එබැවින්, අත්හදා බැලීම්‍ ආදී ක්‍රියාකාරකම් සඳහා ඉඩ සලසමින්, විශේෂයෙන්ම පාසල් දරුවන්ට විද්‍යා දැනුම ලබා දීම අරමුණු කරගත් නවීන පහසුකම් සහිත ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ අනුව, හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයේ පිහිටි තාක්ෂණපුරයෙන් වෙන් කරවා ගනු ලැබ ඇති ඉඩම් කොටසෙහි, රුපියල් මිලියන 2,550 ක පිරිවැයකින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    න්‍යෂ්ටික පර්යේෂණ පිළිබඳ යුරෝපා සංවිධානය (CERN) සමඟ සහයෝගිතාවන්ට එළඹීම


    උච්ච ශක්ති භෞතික විද්‍යාව (high energy physics) සහ ඊට අදාළ උසස් තාක්ෂණික විද්‍යාත්මක අත්හදා බැලීම්හි නිරතව සිටින ආයතනයක් වන න්‍යෂ්ටික පර්යේෂණ පිළිබඳ යුරෝපා සංවිධානය (European Organization for Nuclear Research - CERN) සමඟ ශ්‍රී ලංකාව විසින් 2017 මැයි මාසයේදී සහයෝගිතා ගිවිසුමකට එළඹනු ලැබ තිබේ. මෙම සහයෝගිතාව හරහා එම සංවිධානයේ විද්‍යාගාර වෙත ප්‍රවේශ වීමටත්, එම සංවිධානය හා සම්බන්ධ රටවල් 77ක පමණ විද්‍යාඥයන් සමඟ සම්බන්ධතා ‍ඇති කරගැනීමටත් මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හා විද්‍යාඥයින්ට අවස්ථාව සැලසෙනු ඇති අතර, එම දැනුම මෙරට ශිෂ්‍ය ප්‍රජාව වෙත හා දේශීය කර්මාන්තවල ප්‍රගතිය පිණිස ලබා දීමටද හැකිවනු ඇත. ඒ අනුව, ඊ‍ට අදාළ ඉදිරි සහයෝගිතාවන්ට එළඹීම සහ එහි ඉදිරි වසර 05ක කාර්යයන් සඳහා අවශ්‍ය රුපියල් මිලියන 250.45ක ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සමාජ මෙහෙවර උදෙසා විද්‍යා තාක්ෂණ (STS) සම්මන්ත්‍රණය

    සංවර්ධිත ලෝකයේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයන්හි ඇති වී ඇති ප්‍රගතිය ඇසුරින් ප්‍රතිලාභ අත්පත් කර ගැනීම සහ ජාතික සංවර්ධන ක්‍රියාදාමය තුළට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ දැනුම දායක කර ගැනීම ඉහළ නැංවීමේ අරමුණ ඇතිව 'ශ්‍රී ලංකා සමාජ මෙහෙවර උදෙසා විද්‍යා හා තාක්ෂණ සම්මන්ත්‍රණය' 2016 වර්ෂයේදී ප්‍රථම වරට පවත්වන ලද අතර, විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ගේ සහාය මෙරට විද්‍යා හා තාක්ෂණ ව්‍යාපෘතීන් සඳහා යොදා ගැනීමේ මූලාරම්භයන් ඇති කර ගැනීමට එහිදී හැකි වී ඇත.

    එම පළමු සම්මන්ත්‍රණයේ සාර්ථකත්වය සැළකිල්ලට ගෙන මෙම ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව හා සහයෝගයෙන් කටයුතු කරන අනෙකුත් රටවල්වල හා ජාත්‍යන්තර සංවිධානයන්හි නියෝජිතයන්, විදේශයන්හි වෙසෙන විශිෂ්ට ශ්‍රී ලාංකික විද්‍යාඥයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තාක්ෂණඥයින්, නව නිපයුම්කරුවන්, විශ්ව විද්‍යාල හා පාසල් සිසුන් ඇතුළු 1000 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් එය දෙවන වරටත් පැවැත්වීමට යෝජනා වී තිබේ. මෙහිදී, ආර්ථික සංවර්ධනයට උරදෙන නැගී එන තාක්ෂණයන් හඳුනාගැනීම, තිරසර සංවර්ධන අරමුණු සපුරා ගැනීම සඳහා විද්‍යා, තාක්ෂණ නවෝත්පාදනයන් යොදා ගැනීම ඇතුළු තේමාවන් සාකච්ඡා කිරීමට නියමිත වේ. ඒ අනුව, 'ශ්‍රී ලංකා සමාජ මෙහෙවර උදෙසා විද්‍යා හා තාක්ෂණ සම්මන්ත්‍රණය' දෙවන වරටත් 2018 ඔක්තෝබර් මාසයේදී කොළඹ දී පැවැත්වීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය වැඩි දියුණු කිරීම

    ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන මරණවලට හේතුවන දෙවන ප්‍රධානතම සාධකය බවට පිළික‍ා රෝගය පත්ව තිබේ. පිළිකා රෝගීන් සංඛ්‍යාවේ මෑතකාලීන ඉහළයාම සැලකිල්ලට ගනිමින් එම රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර සේවා සපයන දකුණු පළාතේ පිහිටි ප්‍රධානතම රෝහල වන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය වැඩිදියුණු කළ යුතුව තිබේ.

    ඒ අනුව, එම රෝහලේ දැනට පවතින පිළිකා ප්‍රතිකාර සේවා පහසුකම් පුළුල් කිරීම සඳහා එහි බාහිර රෝගී අංශය, අයඩින් ප්‍රතිකාර ඒකකය, සායන, පිළිකා ප්‍රතිකාර ඒකක 03ක්, පිළිකා-ශල්‍ය හා ළමා පිළිකා ප්‍රතිකාර ඒකක, රසායනාගාරයක් සහ ශ්‍රවණාගාර පහසුකම් ඇතුළත් මහල් 10කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මේ සඳහා රුපියල් මිලියන 2,000ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන බව ඇස්තමේන්තුගත කර තිබේ. මෙම ව්‍යාපෘතිය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා දායකත්වය ලබා දීමට Colors of Courage Trust (COC) නැමැති පුණ්‍යායතනය ඉදිරිපත් වී ඇති අතර, දිවයින පුරා පාද යාත්‍රා (Trail) කරමින් එම ආයතනය විසින් එක් රැස් කරනු ලැබ ඇති මූල්‍යාධාර මේ සඳහා යෙදවීමට අපේක්ෂිතය. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීම සඳහා ඉදි කිරීමට යෝජිත දසමහල් ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ Colors of Courage Trust (COC) පුණ්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බදුල්ල පළාත් මහ රෝහලේ, සහාය සායනික සේවාවන් සහිතව හෘද කැතීටකරණ රසායනාගාරයක් ඉදි කිරීම


    ශ්‍රී ලංකාවේ ජනතාව හෘද රෝගවලට ලක්වීමේ අවදානම වර්තමානයේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එබැවින්, රෝහල්වල හෘද රෝග ප්‍රතිකාර ඒකකයන්හි පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය වේ. හෘද රෝග සඳහා‍ විශේෂ ප්‍රතිකාර සේවා සපයනු ලබන, ඌව පළාතේ පිහිටි එකම රෝහල බදුල්ල පළාත් මහ රෝහල වේ. වාර්ෂිකව රෝගීන් 10,000 ක් පමණ මෙහි හෘද රෝග සායන සඳහා පැමිණෙන අතර, ඉන් 1,500 ක් පමණ හෘද රෝග ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කෙරේ. ‍එම හෘද රෝගීන්ගෙන් 1,000 කට වැඩි සංඛ්‍යාවක් රෝග විනිශ්චය සඳහා හෘද කැතීටකරණයට භාජනය කිරීම අවශ්‍ය වුවත් දැනට එම රෝහලේ පවතින පහසුකම් ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) මූල්‍යාධාර යටතේ රුපියල් මිලියන 698 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් අදාළ සායනික ප්‍රතිකාරයන් ද සහිතව හෘද කැතීටකරණ රසායනාගරයක් සහ දැඩි සත්කාර ඒකකයක් බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය, අලෙවි මධ්‍යස්ථානය හා ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථානය එක් ගොඩනැඟිල්ලක ස්ථාපනය කිරීම


    අනුරාධපුර නග‍රයේ විවිධ ස්ථානවල ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාලය, අලෙවි මධ්‍යස්ථානය හා ඖෂධ මිල දී ගැනීමේ මධ්‍යස්ථානය එකම පරිශ්‍රයක් තුළ පවත්වාගෙන යාමේ අවශ්‍යතාව හඳුනා‍ගනු ලැබ ති‍ෙබ්. ඒ අනුව, සීමාසහිත ලංකා සළුසල සමාගමට බදු පදනම මත ලබා දී ඇති, අනුරාධපුර, මහජන ක්‍රීඩාංගණ මාවතේ පිහිටි රජයේ ඉඩම් කොටස හා දැනට අතහැර දමනු ලැබ ඇති එහි පිහිටි ගොඩනැඟිල්ල එම කාර්යය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත දීර්ඝකාලීන බදු පදනම මත පවරා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සබරගමුව පළාතේ රෝහල් සංවර්ධනය කිරීම


    ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 9% ක් පමණ ජීවත්වන සබරගමුව පළාතේ සෞඛ්‍ය අංශයේ පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එම පළාතේ පිහිටි ප්‍රධානතම රෝහල් වන රත්නපුර පළාත් මහ රෝහලේ සහ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධික තදබදයක් පවතින බැවින්, ජනතාවට පහසුවෙන් ලඟාවිය හැකි ගුණාත්මක සෞඛ්‍ය සත්කාර සේවාවක් සැපයීම සඳහා මාවනැල්ල, කරවනැල්ල, බලංගොඩ හා කලවාන යන මූලික රෝහල් සහ රඹුක්කන හා ඇහැළියගොඩ යන ප්‍රා‍ෙද්ශීය රෝහල් සංවර්ධනය කිරීම අවශ්‍ය වේයැයි හඳුනාගෙන තිබේ. ඒ අනුව එම රෝහල්වල විවිධ සායන හා ප්‍රතිකාර ඒකක අලුතින් පිහිටුවීමටත්, එකී සෑම රෝහලකම ඇඳන් සංඛ්‍යාව 250 කින් පමණ ඉහළ නැංවීමටත් අපේක්ෂා කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 1,547 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම


    ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා දැනට භාවිත කරනු ලබන පැරණි ගොඩනැඟිල්ල මහජනතාව වෙත කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමට යෝග්‍ය බවය. එමෙන්ම දැනට විවිධ ස්ථානවල විසිරී පවත්නා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ප්‍රතිස්ථාපනය කිරීම මඟින් ගම්පහ නගරය තුළ පවතින අධික රථවාහන තදබදය අවම කිරීමටද හැකි වනු ඇත.

    ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා වර්ග අඩි 200,000කින් පමණ සමන්විත මහල් හතක (07) ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 2,960ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන රාජ්‍ය සම්මාන උත්සව හා වෙනත් සමරු උත්සව සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන ඉහළ නැංවීම


    මෙරට සංස්කෘතික උරුම සංරක්ෂණ, ප්‍රවර්ධනය හා ව්‍යාප්ත කිරීම අරමුණු කර ගනිමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් විවිධ රාජ්‍ය සම්මාන උළෙල 15ක් හා විවිධ උත්සව සැමරුම් රැසක් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මින් අතැම් රාජ්‍ය සම්මාන උත්සව අඩසිය වසකට වැඩි කාලයක් ඉක්මවා පවත්වාගෙන එනු ලබන අතර, ගුණාත්මක තත්ත්වයෙන් හා ඉහළ ප්‍රමිතියෙන් යුතු නිර්මාණ සම්ප්‍රදායක් බිහි කිරීම සඳහා එය ඉමහත් පිටුබලයක් වී ඇත.

    මෙම රාජ්‍ය සම්මාන උත්සවවලදී සම්මානලාභීන් වෙත ලබාදෙනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණයන් බොහෝ කලකින් ඉහළ නංවා නොමැත. එමෙන්ම, මෙවැනි උත්සව සංවිධාන කටයුතු සඳහා වන පිරිවැයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, මෙතෙක් කලක් සම්මානයට පාත්‍ර නොවූ ප්‍රධාන කලා ක්ෂේත්‍ර කිහිපයක් සඳහා අලුතින් රාජ්‍ය සම්මාන උත්සව පැවැත්වීමට කටයුතු කෙරෙන බැවින් ඒ සඳහා ද අමතර ප්‍රතිපාදන අවශ්‍ය වී ඇත. එබැවින්, විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය සම්මාන උත්සව සඳහා භාණ්ඩාගාරය මඟින් දැනට වාර්ෂිකව වෙන් කරනු ලබන රුපියල් මිලියන 55ක ප්‍රතිපාදනය රුපියල් මිලියන 100ක් දක්වා ඉහළ නැංවීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කරදීම


    ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්තපුරවල ‍ආයෝජනය කිරීම සඳහා සුදුසු කර්මාන්තකරුවන් තෝරා ගැනීම පිණිස පුවත්පත් දැන්වීම් මඟින් යෝජනා කැඳවනු ලැබ තිබේ. ඒ සඳහා ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා ඇගයීමට ලක්කරන ලද ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුවල සහ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුවේ නිර්දේශ පරිදි ලක්ෂ උයන, ත්‍රිකුණාමලය-අදියර 2, මඩකලපුව, මතුගම, හෝමාගම, රත්මලාන, මිල්ලෑව, ගලිගමුව, නාලන්ද එල්ලාවල, බුත්තල, කරන්දෙනිය, බටඅත, දංකොටුව, පුත්තලම, නාලන්ද හා උලපනේ යන ප්‍රාදේශීය කර්මාන්තපුරවල පිහිටි ඉඩම් කොටස්, කර්මාන්ත ව්‍යාපෘති 26ක් ඇති කිරීම සඳහා තෝරාගත් ආයෝජකයින් වෙත බදු පදනම යටතේ වෙන් කරදීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ රත්නපුර අධ්‍යයන මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් ලබා දීම
    - සෑම පළාතක් සඳහාම ශ්‍රී ලංකා විවෘත විශ්වවද්‍යාලයේ එක් ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් බැගින් ගොඩනැගීමේ ව්‍යාපෘතිය යටතේ, එම විශ්වවිද්‍යාලයේ රත්නපුර අධ්‍යයන මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත. එම කාර්යය සඳහා රත්නපුර නව නගරයේ පිහිටි, නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 01යි රූඩ් 02ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වෙත නිදහස් දීමනාවක් වශයෙන් පවරාදීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා විනෝදාස්වාද වෙරළ ප්‍රදේශයක් සංවර්ධනය කිරීම


    කොළඹ නගරයේ ශීඝ්‍ර සංවර්ධනයත් සමඟ කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන මහජනතාව සඳහා පොදුවේ භාවිත කළ හැකි වෙරළ තීරයක් සංවර්ධනය කර සකස් කර දීම අවශ්‍යතාවක්ව පවතී. එබැවින්, මහජනතාවගේ විනෝදාස්වාද කටයුතු සඳහා කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා විනෝදාස්වාද වෙරළ තීරයක් සංවර්ධනය කිරීමටත් එමඟින් මුහුදු ඛාදනය අඩු කරගැනීමට හා අතිරේක දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය ඉඩකඩ ද සලසාගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පොල් ක්ෂේත්‍රයේ කාර්යසාධනය වෙනුවෙන් 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති


    ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්නෙන් 70%ක් පමණ ගෘහස්ත පරිභෝජනයට යොදා ගනු ලබන අතර ඉතිරිය පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා භාවිත කෙරේ. පොල් මද ආශ්‍රිත නිෂ්පාදන අපනයනය මඟින් 2016 වර්ෂයේදී පමණක් රුපියල් බිලියන 84ක විදේශ විනිමය ආදායමක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. පොල් වගා භූමි ප්‍රමාණය සීමිත වීමත්, විවිධ කාලගුණික සාධකයන්හි බලපෑමත් හේතුවෙන් දේශීය පාරිභෝගිකයා මෙන්ම පොල් වගාකරුවාද ආරක්ෂා කරගනිමින් පොල් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය කළ යුතු වේ. ඒ අනුව, පොල් අස්වැන්න ඉහළ නංවා ලීම හා පොල් වගා ක්ෂේත්‍රයේ ඵලදායිතාව ඉහළ නංවා ලීම අරමුණු කරගනිමින්, විශේෂයෙන් උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල පොල් වගාවේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ආදර්ශ පොල් වතු ස්ථාපිත කිරීම සහ පොල් වගා ක්ෂේත්‍රය සඳහා පුහුණු ශ්‍රමික බලකායක් ස්ථාපිත කිරීම යන වැඩසටහන් 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වගා නොකර අත්හැර දමා ඇති කුඹුරු ඉඩම් සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම


    ශ්‍රී ලංකාවේ විදුලි ජනනය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්හි දායකත්වය ඉහළ නැංවීම සඳහා රජය විසින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර, එහිදී සූර්ය බලය මඟින් විදුලිය ජනනය සඳහා ප්‍රමුඛතාව ලබා දී තිබේ. 'සූර්ය බල සංග්‍රාම' ව්‍යාපෘතිය යටතේ ඕනෑම පාරිභෝගිකයකුට සූර්ය බලය මඟින් විදුලිය ජනනය කර ජාතික විදුලි බල පද්ධතියට සැපයීම මඟින් ආදායම් ඉපැයීමට අවස්ථාව ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම වැඩි බස්නාහිර, සබරගමුව වැනි පළාත්වල සූර්ය බල විදුලි ජනනය සඳහා හොඳ විභවයක් පැවතියද ඒ සඳහා අවශ්‍ය ඉඩම් සපයා ගැනීමේ දුෂ්කරතා පවතී. භූමියේ සවි කිරීම මඟින් විදුලිය ජනනය කරනු ලබන මෙගා වොට් 1 ක ධාරිතාවයකින් යුත් සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘතියක් සඳහා සාමාන්‍යයෙන් අක්කර 3ත් 5ත් අතර භූමි ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඒ අනුව, බස්නාහිර හා සබරගමුව පළාත්වල පවතින වගා නොකර අත්හැර දමනු ලැබ ඇති කුඹුරු ඉඩම්, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්ගේ සහ අනෙකුත් බලධාරින්ගේ එකඟත්වය සහිතව සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    විධිමත් කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම


    ස්වාභාවික ව්‍යසනයන් නිසා කෘෂිභෝගවලට සිදුවන හානිය පියවා ගැනීමේදී ගොවි ජනතාව මුහුණ දෙනු ලබන අපහසුතාව සැලකිල්ලට ගෙන ආරම්භයක් වශයෙන් වී, බඩඉරිඟු, සෝයා, ලොකුළූණු, අර්තාපල් හා මිරිස් යන වගාවන් හය සඳහා අක්කරයකට රුපියල් 40,000/- බැගින් රක්ෂණාවරණයක් සැපයීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට 2017 අයවැය මඟින් යෝජනා කරන ලදී. මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල සමඟ එක්ව සුදුසු යෝජනා ක්‍රමයක් සකස් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සුළු වාරිමාර්ග ආශ්‍රිතව හඳුනාගත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම


    පසුගිය කාල‍සීමාව තුළ දිවයිනට බලපෑ නියං හා ජල ගැලීම් තත්ත්වයන්හි වර්ධනය සැලකිල්ලට ගැනීමේදී දේශගුණික විපර්යාස හේතුවෙන් ‍කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුවන බලපෑම අවම කිරීමට හා ඊට අනුගතවීම සඳහා පියවර ගැනීම අවශ්‍ය බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති මුදල් අදාළ අමාත්‍යංශවල ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් විසින් නිර්දේශ කර ඇති පරිදි වියළි කලාපයේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි සුළු ගොවීන්ගේ ගොවිපළවල් කරා නවීන කෘෂි තාක්ෂණය ගෙන යාමට හැකි වන පරිදි ගොවිපළ ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීමටත්, දැනට පවතින කෘෂි ළිං ප්‍රතිසංස්කරණය කර ජල සංරක්ෂිත වගාවන් කෙරෙහි ගොවි ජනතාව වැඩි වශයෙන් යොමු කිරීමටත් වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    රැඳවුම් භාරයේ පසුවන තැතැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා 2013‍ අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම


    නීතිඥවරයෙකුගේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් රැඳවියෙකු සතු අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා 2013 අංක 02 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. අනතුරුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා වූ ප්‍රතිශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීම සඳහා ද අනුමැතිය ලබා දෙන ලදී.

    ප්‍රතිශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත නැවත ඉදිරිපත් කිරීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසීය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කරනු ලැබ ඇති අතර, ඒ සියලු පාර්ශ්ව විසින් ප්‍රතිශෝධිත පනත් කෙටුම්පත ඒකමතිකව පිළිගනු ලැබ තිබේ. ඒ අනුව, මූලිකව වර්ෂ 04ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිශෝධිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය සහ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි පුහුණුව ලබන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දෛනික ආහාර පාන දීමනාව වැඩි කිරීම


    පාසල් සඳහා ගුරුවරුන් පුහුණු කරනු ලබන ජාතික අධ්‍යාපන පීඨ 19ක් මෙරට ක්‍රියාත්මක වන අතර, ශික්ෂණලාභීන් 12,558 දෙනෙකු ඒවායේ දැනට නේවාසිකව අධ්‍යයන කටයුතු සිදු කරති. මෙම ශික්ෂණලාභීන් සඳහා නේවාසික පුහුණු කාල සීමාව තුළ ආහාර පාන දීමනා වශයෙන් රුපියල් 3,500/-ක් මාසිකව ලබා දෙනු ලබන අතර, එම දීමනාව වර්තමාන තත්ත්වයන්ට ගැළපෙන පරිදි ඉහළ නැංවීම සුදුසු වේ. ඒ අනුව, එම මාසික දීමනාව රුපියල් 5,000/- දක්වා වැඩි කිරීමටත්, සීමාවාසික පුහුණු කාලයද ඇතුළත්ව වසර 03ක සම්පූර්ණ පුහුණු කාලය සඳහාම එම දීමනාව ලබා දීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කුරුණෑගල නගර සීමාව තුළ හා වාරියපොළ නගරයේ නව ජාතික පාසල් දෙකක් පිහිටුවීම


    කුරුණෑගල මහනගර සීමාව තුළ සිංහල මාධ්‍ය ජාතික පාසල් 09ක් පවතින අතර, එම පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2016 වර්ෂයේදී ඉල්ලුම්පත් 5,228ක් ලැබී තිබුණද, ඉන් ඇතුළත් කරගත හැකිව ඇත්තේ සිසුන් 1,425ක් පමණි. එමෙන්ම වාරියපොළ නගරය ආශ්‍රිතව දැනට එක් ජාතික පාසලක් පමණක් පවතින අතර, එම පාසලේ පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2016 වර්ෂයේදී ලැබුණු ඉල්ලුම්පත් 503ක් අතුරින් අවස්ථාව සැලසිය හැකිව ඇත්තේ ඉල්ලුම්කරුවන් 240කට පමණි.

    මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, සියලු පහසුකම්වලින් සමන්විත නව ජාතික පාසල් 02ක් ගැහැණු පිරිමි මිශ්‍ර පාසල් වශයෙන් කුරුණෑගල සහ වාරියපොළ යන මැතිවරණ කොට්ඨාස තුළ පිහිටුවීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද, ජාතික පාසල් පිහිටුවීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවටද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

     

    වතු ප්‍රජාවගේ සුබ සාධනය සැලසීම සඳහා ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම


    - වතු ජනාව‍ාස සඳහා අවශ්‍ය පොදු උපයෝගිතා සේවාවන් සැපයීම සඳහා ප්‍රාදේශීය සභා අරමුදල යොදාගැනීමට හැකියාව සැලසෙන පරිදි 1987 අංක 15 දරන ප්‍ර‍ාදේශීය සභා පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමට දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව සකස් කරනු ලැබ ඇති ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පළාත් සභාවන්හි අදහස් විමසීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මානව ක්‍රීඩා කාර්යසාධන පරීක්ෂණාගාරය ඉදි කිරීම


    ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගැනීම සඳහා සහජ කුසලතාව හා ගතානුගතික පුහුණු ක්‍රම පමණක් ප්‍රමාණවත් නොවන අතර, පුහුණුව සඳහා නූතන තාක්ෂණික යන්ත්‍ර සහ නිවැරදි හා යාවත්කාලීන පුහුණු ක්‍රම ශිල්ප උපයෝගී කරගැනීමද අවශ්‍ය වේ. ආබාධ ඇතිවීම පාලනය කරගනිමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උපරිම මට්ටමක පවත්වා ගැනීම සඳහා මානව චලන හා ව්‍යූහමය අඩු පාඩු විශ්ලේෂණය කරනු ලබන 'මානව ක්‍රීඩා කාර්යසාධන පරීක්ෂණාගාර' පහසුකම් දියුණු රටවල් විසින් භාවිත කරනු ලබයි.


    ශ්‍රී ලංකාවේද මෙවැනි මානව ක්‍රීඩා කාර්යසාධන පරීක්ෂණාගාරයක් ඉදි කිරීම ආරම්භ කර ඇති අතර, එහි කටයුතු මෙම වසරේදී අවසන් වනු ඇත. වෘත්තීයමය ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උපරිම තලයක පවත්වා ගැනීම සඳහා මෙම පරීක්ෂණාගාරය මනා පිටිවහලක් වනු ඇත. ඒ අනුව, එම පරීක්ෂණාගාරය සඳහා උසස් තාක්ෂණයෙන් යුතු යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීමේ සහ විශේෂඥ සහාය ලබාගැනීමේ කටයුතු ආරම්භ කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ නව ගොඩනැඟිල්ලේ 2 වන අදියර සම්පූර්ණ කිරීම


    ක්‍රීඩාව හා සබැඳි සිහිවටන සහ ‍ෙඑතිහාසික තොරතුරු සංරක්ෂණය කිරීම හා ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගනිමින් කොළඹ 07, නිදහස් මාවතේ 'ජාතික ක්‍රීඩා කෞතුකාගාරය' ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන සිදු කෙරෙමින් පවතී. ජාතික ක්‍රීඩා සංගම්වල ඉතිහාසය, ක්‍රීඩා හා සම්බන්ධ වාර්තා ඇතුළත් දත්ත ගබඩාවක් හා ලේඛණාගාරයක්, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ ජීවමාන ප්‍රමාණයේ ඉටි පිළිරූ ආදී අංගයන්ගෙන් මෙම කෞතුකාගාරය සමන්විත වනු ඇත.

    2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මෙම කෞතුකාගාරය විවෘත කිරීමට නියමිත අතර, එහි දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු, ගෘහ අලංකරණ හා විද්‍යුත් උපකරණ සවිකිරීමේ කාර්යයන් ආදීය සිදු කිරීම සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන වෙන් කරගැනීමටත්, ක්‍රීඩාව හා සම්බන්ධ පැරැණි තොරතුරු, ඡායාරූප, වීඩියෝ දර්ශන, භාණ්ඩ හා ලිපි ලේඛන ආදිය අදාළ රාජ්‍ය ආයතන වෙතින් මෙම ජාතික ක්‍රීඩා කෞතුකාගාරය වෙත ලබාගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීම සඳහා රෝහල් ඉඩමේ පදිංචි අනවසර පදිංචිකරුවන් නිවාස ලබා දී වෙනත් ස්ථානයක පදිංචි කරවීම

     

    ඇඳන් 2,402කින් සමන්විත මහනුවර ශික්ෂණ රෝහල ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම රෝහල වේ. වාර්ෂිකව රෝගීන් 1,600,000කට පමණ ප්‍රතිකාර කරනු ලබන මෙම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩකඩ සීමිත වීම ප්‍රධාන ගැටලුවක් වේ. මෙම රෝහල සතු ඉඩම් ප්‍රමාණය අක්කර 58.4ක් වුවද ඉන් අක්කර 23.7ක් පමණ අනවසර පදිංචිකරුවන් විසින් අත් කරගෙන සිටීම නිසා මෙම රෝහල තුළ අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමට බාධා එල්ල වී ඇත. මහනුවර ශික්ෂණ රෝහල සංවර්ධන සැලැස්ම යටතේ සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු සඳහ‍ා අවශ්‍ය එම ඉඩම් නැවත ලබාගැනීමටත්, 2018 වර්ෂය සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය වෙත වෙන් කිරීමට නියමිත ප්‍රතිපාදන යොදා ගනිමින් ඉන් බලපෑමට ලක්වන අඩු ආදායම් ලාභී අනවසර පදිංචිකරුවන් සඳහා රෝහල් භූමියේ වෙනත් කොටසක නිවාස 66කින් සමන්විත නිවාස සංකීර්ණයක් ඉදි කර එහිදි නිවාස වෙන් කර දීමටත් විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා;සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා; සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා; නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා; සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මරදාන දුම්රිය ස්ථානයේ සිට මාළිගාවත්ත දක්වා පාලම් හා දුම්රිය මාර්ග සැලසුම් කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම


    ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ජාලයේ කොළඹ හා තදාසන්න නාගරික ප්‍රදේශ ආශ්‍රිත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් 2035 වර්ෂය වන විට දුම්රිය සේවා සඳහා ඇති වන ඉල්ලුම සපුරා ලීම සඳහා 'කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට අවසන් කරනු ලැබ ඇති අතර, කෙටි කාලීන සංව‍ර්ධන යෝජනාවක් වශයෙන් මරදාන සිට මාළිගාවත්ත දක්වා නව දුම්රිය මාර්ග 04ක් පමණ ඉදි කිරීමට එමඟින් සැලසුම් කර තිබේ. මෙම අමතර දුම්රිය මාර්ගය ඉදි කිරීමටත්, ඒ සඳහා මාළිගාවත්ත පාසල් පටුමග පාලම හා මරදාන මගී පාලම පුළුල් කිරීමටත් අවශ්‍ය වන උපදේශක සේවාවන් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගේ සහායද සහිතව මාර්ග සංවර්ධන අධිකාරිය වෙතින් ලබාගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කඩුවෙල - අතුරුගිරිය මාර්ගය සහ වල්ගම - අතුරුගිරිය මාර්ගය වැඩි දියුණු කිරීම


    බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) වෙතින් ලැබී ඇති අරමුදල්වලින් කොටසක් උපයෝගි කරගනිමින් කඩුවෙල - අතුරුගිරිය (බී 174) මාර්ගයේ ආරම්භයේ සිට කි.මී.9.5 දක්වා මාර්ග කොටස සහ වල්ගම - අතුරුගිරිය (බී 451) මාර්ගයේ ආරම්භයේ සිට කි.මී.1.2 දක්වා මාර්ග කොටස වැඩි දියුණු කිරීම සහ පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එම ඉදි කිරීම් සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි එම මාර්ග කොටස් වැඩිදියුණු කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,065ක මුදලකට සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Hovael Constructions (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම පිණිස වන ව්‍යාපෘතිය - යකඩ පාලම් කොටස සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම


    කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු වන අදියර යටතේ ඉදි කළ යුතු යකඩ පාලම් කොටස ඉදි කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ඉදි කිරීම්කරුවන් වෙතින් ලංසු කැඳවනු ලැබ තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම යකඩ පාලම් කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 31,539ක මුදලකට JFE Engineering Corporation, Mitsui Engineering, Shipbuilding Co. Ltd. සහ TODA Corporation යන ආයතනවලින් සැඳුම්ලත් ජපානයේ JMT හවුල් ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හෙද පීඨය ඉදි කිරීම


    ශ්‍රී ලංකාවේ හෙද කාර්යමණ්ඩලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා හෙද කාර්යමණ්ඩලයේ වැඩි සංඛ්‍යාවක් උපාධිධාරින් වශයෙන් පුහුණු කර සෞඛ්‍ය සේවාවට එකතු කරගැනීම පිණිස විශේෂ හෙද පීඨයක් ආරම්භ කිරීමට තීරණය කරනු ලැබ තිබේ. මේ සඳහා අවශ්‍ය සැලසුම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය හා විශ්විවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එකඟතාව පරිදි සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, යෝජිත හෙද පීඨය ශ්‍රී ජයවර්ධනපුර හෙද විදුහල් භූමියේ ඉදි කිරීමටත්, එහි ප්‍රධාන ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැඟිලි සංකීර්ණය මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහල් භූමියේ ඉදි කිරීමටත් සැලසුම් කර තිබේ. එම ඉදි කිරීම්වලට අදාළ කොන්ත්‍රාත්තු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවුර්හි බෝ නොවන රෝග පිළිබඳ ආයුර්වේද පර්යේෂණ රෝහලක් පිහිටුවීම


    අම්පාර දිස්ත්‍රික්කයේ, නින්දවුර්හි පිහිටුවීමට යෝජනා වී ඇති බෝ නොවන රෝග පිළිබඳ ආයුර්වේද පර්යේෂණ රෝහල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC) සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක්, ආපනශාලාවක් සහ වැඩහලක් ඉදි කිරීම


    වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC) සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක්, ආපනශාලාවක් සහ වැඩහලක් ඉදි කිරීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ඉදි කිරීම් සඳහා අවශ්‍ය උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පුත්තලම, නොරොච්චෝලෛ, වික්ටෝරියා වතුයායේ නිවාස සංකීර්ණයේ පාරවල්, බෝක්කු සහ වීදි විදුලි පහන් ඉදි කිරීම


    පුත්තලම ලක්විජය බලාගාරයේ II අදියර යටතේ, පුත්තලම, නොරොච්චෝලෛ, වික්ටෝරියා වතුයායේ නිවාස සංකීර්ණයේ පාරවල්, බෝක්කු සහ වීදි විදුලි පහන් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 332.7ක මුදලකට, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Sierra Construction (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඒරියල් බණ්ඩල් සන්නායක සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම


    ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය බෙදා හැරීමේ නඩත්තු කටයුතු සහ අලුතින් විදුලි සම්බන්ධතා ලබා දීම සඳහා අවශ්‍ය භාණ්ඩ විදුලිය බෙදාහැරීම් කලාප අනුව වෙන් වෙන්ව මිල දී ගනු ලැබේ. ඒ අනුව, බෙදාහැරීම් කලාප අංක 4 සඳහා අවශ්‍ය ඒරියල් බණ්ඩල් සන්නායක (ABC) 3x 70 + 54.6 sqmm -(4 Core) කි.මී. 700 ක ප්‍රමාණයක් සැපයීම හා බෙදාහැරීම සඳහා තරගකාරී ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 363.7ක මුදලකට, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Sierra Cables සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ හම්බන්තොට ගෑස් පිරවුම් කම්හල ව්‍යාපෘතිය


    හම්බන්තොට, අම්පාර, මොනරාගල, මඩකලපුව, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ගෑස් පාරිභෝගිකයින් සඳහා මිල සහන සේවා ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින්, හම්බන්තොට ගෑස් ගබඩා පර්යන්තය ආශ්‍රිතව එල්. පී. ගෑස් සිලින්ඩර පිරවුම් කම්හලක් ස්ථාපනය කිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සැලසුම් කර තිබේ. එම කම්හල ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 647.2ක මුදලකට, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Dockyard General Engineering Services (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නුගේගොඩ, මිරිහාන පොලිස් භට නිවාස හා භෝජනාගාර ගොඩනැඟිල්ල ඉදි කිරීම


    නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පොලිස් භට නිවාස හා භෝජනාගාරය සඳහා ඉදිකිරීමට යෝජිත මහල් 06කින් යුත් ගොඩනැඟිල්ලේ 03වන මහල දක්වා වන මූලික ඉදි කිරීමේ කටයුතු 2008 වර්ෂයේදී අවසන් කර තිබේ. මෙහි ඉතිරි ඉදි කිරීම් වැඩ කටයුතු අවසන් කිරීම පිණිස සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 340.6ක මුදලකට, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ශ්‍රීපාලි කන්ට්‍රැක්ටර්ස් පුද්ගලික සමාගම අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පශු සම්පත් ක්ෂේත්‍රයේ පශු වෛද්‍ය නිලධාරින් සඳහා නූතන ගව පාලන ක්‍රම පිළිබඳව පුහුණුව ලබා දීම


    දේශීය කිරි කර්මාන්තය පසුගිය කාල වකවානුව තුළ සැලකිය යුතු ලෙස දියුණු වී ඇති අතර එම ක්ෂේත්‍රයේ පුහුණු විශේෂඥ දැනුම සඳහා පවතින ඉල්ලුමද වැඩි වී තිබේ. එබැවින්, නූතන කිරිගව පාලන ක්‍රම හ‍ා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා පර්යේෂණ සම්බන්ධයෙන් විශේෂඥ පුහුණුවක් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයේ පශු වෛද්‍ය නිලධාරින් සඳහා ලබාදීමට යෝජනා වී තිබේ. ඒ අනුව, කිරිගව පාලනයට සම්බන්ධ ව්‍යාප්ති සේවයේ යෙදෙන පශු වෛද්‍ය නිලධාරින් 10 දෙනෙකු බෙලරුස් රාජ්‍යයේ කෘෂි තාක්ෂණික කටයුතු පිළිබඳ රාජ්‍ය විශ්වවිද්‍යාලයේදී පුහුණු කිරීම පිණිස එම විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා රජය අතර එකඟතා ගිවිසුමක් ඇති කර ගැනීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව්වන අදියර ක්‍රියාත්මක කිරීම

    ග්‍රාමීය ප්‍රජාව සහ සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර මනා සබඳතාවක් ගොඩනැඟීමේ අරමුණින් මහාමාර්ග සංවර්ධනය සඳහා ආරම්භ කරනු ලැබ දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව් වන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 168ක් පමණ වැය වේ. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුවේ පොදු ප්‍රාග්ධන සම්පත් සංවර්ධන අරමුදලින් ලබාගැනීමට නියමිතය. ඊට අදාළ ණය සම්මුති සාකච්ඡා පැවත්වීමට සහ ණය ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවල නිල නාම යෝජනා නැවත කැඳවීම
    - උතුරු පළාතේ, මුලතිව් දිස්ත්‍රික්කයේ, පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවන් සඳහා 2011-03-17 දින පැවත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම විවිධ හේතු නිසා කල් දැමීමට සිදු වූ අතර, ඒ වන විටත් කැඳවන ලැබ තිබූ නාම යෝජනා අවලංගු කර අලුතින් නාම යෝජනා කැඳවීමටත්, නව මැතිවරණ ක්‍රමය යටතේ අලුතින් ඡන්දයක් පැවත්වීමටත් නීතිමය විධිවිධාන සැලසිය යුතු වේ. මේ සඳහා සකස් කරනු ලැබ ඇති පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පළාත් පාලන සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාවේ සඳහන් අඩුපාඩු සම්පූර්ණ කිරීම

    පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ නිර්දේශ මත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ඇතැම් පළාත් පාලන මැතිවරණ කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරි වසම්වල නම් හා අංක, සභික සංඛ්‍යාව, මායිම් ආදිය සම්බන්ධ ගැටලු, මුද්‍රණ දෝෂ, අක්ෂර වින්‍යාස දෝෂ ආදී අඩුපාඩු පවතින බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.

    එබැවින්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවත්වීමට හැකි වන පරිදි එවැනි ගැටලු සහිත සීමා මායිම් සම්බන්ධ දෝෂ නිරාකරණය කර සංශෝධිත ගැසට් නිවේදනයක් පළ කිරීම අවශ්‍ය වේ. ඒ පිළිබඳ පරීක්ෂා කර සති දෙකක් ඇතුළත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ විධිවිධාන යටතේ නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය


    දිවයින තුළ හැකි උපරිමයෙන් ආහාර නිෂ්පාදනය සිදු කර ආනයන සීමා කිරීමත්, ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ස්වයංපෝෂිත තත්ත්වයක් ඇති කිරීමත් ප්‍රධාන අරමුණු කර ගනිමින් ආරම්භ කරන ලද ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන පසුගිය වගා කන්න කිහිපය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පසුබෑමකට ලක්ව ඇත. එම තත්ත්වය මඟහරවා ගනිමින් 2017-2018 මහ කන්නයේ ආහාර නිෂ්පාදනය නව ප්‍රබෝධයකින් යුතුව ආරම්භ කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, ගොවි ජනතාව සහ පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් 'ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය' නමින් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අදාළ සියලු පාර්ශවවල සහභාගිත්වය හා අවධානය ලබාගත හැකි වන පරිදි එහි ආරම්භක සතිය වන 2017 ඔක්තෝබර් මස 06වන දින සිට 12වන දින දක්වා කාලය තුළ දිවයින පුරා විශේෂ ක්‍රියාකාරකම් දියත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් පිළිබඳ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya