මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017-09-12

    සැප්තැම්බර් 13, 2017
    ජෛව සුරක්ෂිතතා පනත් කෙටුම්පත
     
    ස්වාභාවික හේතූන් සහ විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ‍ජෛව විවිධත්වයේ තිරසර පැවැත්මට බලපෑම් එල්ල වේ. ජෛව තාක්ෂණයේ දියුණුව තුළින් බිහි කරන ලද, ජාන වෙනස් කිරීමට බඳුන් කරන ලද ජීවීන් අනාරක්ෂිත ලෙස පරිසරයට මුදා හැරීම ද ජෛව විවිධත්වයට තර්ජනයක් වන එවැනි මානව ක්‍රියාකාරකමක් බව පිළිගැනේ. මෙම තර්ජනයෙන් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට සිදු විය හැකි හානි අවම කරගැනීම සඳහා පියවර ගැනීම කාලීන අවශ්‍යතාවකි. 
     
    'ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාර්ටිජිනා සන්ධානයට (Cartagena Protocol on Bio-safety)' ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවෙකු වන බැවින් ජෛව තාක්ෂණයේ දියුණුව තුළින් බිහි කරන ලද ජීවීන් භාවිතය, ප්‍රවර්ධනය කිරීම තුළින් නිපැයීම් කිරීම, අලෙවිකරණය, වාණිජ කටයුතුවලට යොදා ගැනීම, ප්‍රවාහනය, ආනයනය, අපනයනය, ප්‍රතිඅපනයනය, පැවරීම, බැහැර කිරීම හා මුදා හැරීම ආදී කටයුතු මානව සෞඛ්‍යයට හා ජෛව විවිධත්වයට අවදානමක් නොවන පරිදි හෝ අවම අවදානමක් ඇති වන පරිදි සිදු කිරීමට අවශ්‍ය නෛතික විධිවිධාන සැලසිය යුතුව තිබේ. ඒ සඳහා ජෛව සුරක්ෂිතතාව පිළිබඳ නව පනතක් හඳුන්වා දීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදි කිරීම
     
    ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ, නගරයට පමණක් නොව ඈත පිහිටි ගම්මානවලට ද ළඟා කර දීමේ අරමුණින්, රට තුළ මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සදහා රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ යටතේ ග්‍රාමීය ප්‍රදේශවල පාලම් 3,500ත් 4,000ත් අතර ප්‍රමාණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, එක්සත් රාජධානියේ හා නෙදර්ලන්තයේ මූල්‍ය සහාය ඇතිව මෙවැනි පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘති දෙකක් දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතී. 
     
    එසේම හංගේරියානු සහ බෙල්ජියම් රජයන් ද ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘති සදහා මූල්‍ය සහාය ලබා දීමට ඉදිරිපත්ව ඇත. ඒ අනුව, එම රජයන්ගේ මූල්‍ය සහාය ද ඇතිව ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රිටිගල යාන් ඔය ජාතික උද්‍යානය සහ මායිම් සංශෝධනය කරන ලද හොරොව්පොතාන ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කිරීම
     
    දිවයිනේ උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල අවතැන්වන අලි ඇතුන් සහ පැටවුන් රැකබලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දෙවන ඇත් අතුරු සෙවණ ලෙස 'රිටිගල ඇත් අතුරු සෙවණ' ස්ථාපිත කරනු ලැබ තිබේ. එම ඇත් අතුරු සෙවණ සහ ඊට යාබද වනාන්තර ප්‍රදේශය ද ඇතුළත් වන හෙක්ටයාර 427.8ක භූමි ප්‍රමාණය, 'රිටිගල - යාන් ඔය ජාතික උද්‍යානය' ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබේ. 
     
    එමෙන්ම අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා නිතර ගම් වදිමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන වනඅලින් අල්ලා ගාල් කිරීම පිණිස හොරොව්පොතාන ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය ආශ්‍රිත භූමි ප්‍රදේශය ද ඇතුළත් 'හොරව්පොතාන ජාතික උද්‍යානය' එහි මායිම් සංශෝධනය කර නැවත ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ. ඒ අනුව, රිටිගල යාන් ඔය ජාතික උද්‍යානය සහ මායිම් සංශෝධනය කරන ලද හොරොව්පොතාන ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ගුවන් සේවා ගනුදෙනු පිළිබඳ 10 වන සම්මන්ත්‍රණය
     
    ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් සේවා සාකච්ඡා සම්මුති සම්මන්ත්‍රණය (International Civil Aviation Negotiation Conference - ICAN) මඟින් රාජ්‍යයන් අතර ගුවන් සේවා අයිතීන් (Traffic Rights) පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. දසවන වරට පැවැත්වෙන එම සම්මන්ත්‍රණය 2017 වර්ෂයේ දෙසැම්බර් 04 සිට 08 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මේ වන විට කටයුතු සංවිධානය කෙරෙමින් පවතියි. ඒ සඳහා සත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට එළඹීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සංඥා භාෂා පනත් කෙටුම්පත
     
    ශ්‍රී ලංකාවේ වෙසෙන ශ්‍රව්‍යාබාධිත ජනගහනය 389,677ක් බව වාර්තා වී තිබේ. ආබාධිතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මඟින් 'සංඥා භාෂාව' තදබල බිහිරිභාවයෙන් පෙළෙන තැනැත්තන්ගේ සන්නිවේදන භාෂාව වශයෙන් පිළිගනු ලැබ ඇත. පිළිගත් භාෂාවක් ලෙස සංඥා භාෂාව ස්ථාපිත කිරීම මඟින් බිහිරි තැනැත්තන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමටත්, රජය මඟින් සලසනු ලබන සේවාවන් වෙනසකින් තොරව ඔවුන් වෙත ලබා දීමටත් ඉඩ සැලසෙනු ඇත. එලෙස සමාන අවස්ථා සැලසීම මඟින් බිහිරි ප්‍රජාවගේ ආත්ම අභිමානය ද ඉහළ නැංවෙනු ඇත. 
     
    ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ පිළිගත් භාෂාවක් ලෙස සංඥා භාෂාව ස්ථාපනය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසීමේ අරමුණින්, යෝජිත සංඥා භාෂා පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාල සංකීර්ණයන් ඉදි කිරීම සඳහා ඉඩම් කොටස් ලබාගැනීම
     
    කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රත්නපුර හා බදුල්ල කලාපයන්ට අයත් කම්කරු කාර්යාල, දිස්ත්‍රික් කම්කරු කාර්යාල හා දිස්ත්‍රික් කර්මාන්ත ශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාල කුලී පදනම මත ලබාගත් ගොඩනැඟිලිවල ස්ථාපනය කරනු ලැබ ඇත. මෙම කාර්යාලයන්හි සේවය ලබාගැනීම සඳහා දෛනිකව මහජනතාව විශාල සංඛ්‍යාවක් පැමිණෙන අතර, ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් සැලසීමටත්, එකී කාර්යාලයන්හි කාර්යමණ්ඩලයට අවශ්‍ය ඉඩකඩ සැලසීමටත් එම කාර්යාල සඳහා ස්ථිර ගොඩනැඟිලි ඉදි කිරීමට යෝජනා වී ඇත. 
     
    ඒ අනුව, රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාල සංකීර්ණ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ඉඩම් කොටස් ලබා ගැනීම පිණිස කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න  මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    විසල් වවුනියා ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
     
    වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ නිදන්ගත වකුගඩු රෝගයට දරුණු ලෙස ගොදුරු වී ඇති වවුනියාව දකුණ හා චෙඩ්ඩිකුලම් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සැපයීමේ ප්‍රධාන අරමුණින් විසල් වවුනියා ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. 
     
    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ චීනයේ M/s China National Complete Plant Import & Export Corporation Limited (COMPLANT) ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබනු ලැබ ඇති බවට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
     
     
    නැවත ආරෝපණය කළ හැකි බැටරි සඳහා භාවිත කරනු පිණිස ශ්‍රී ලංකා මිනිරන් වැඩිදියුණු කිරීම
     
    ශ්‍රී ලංකාව ඉතා උසස් තත්ත්වයේ මිනිරන් නිෂ්පාදනය කරන රටක් වන නමුත්, ඒවා අගය එකතු නොකර අමුද්‍රව්‍ය වශයෙන් අපනයනය කිරීම හේතුවෙන් එමඟින් මෙරටට ලැබෙන ආදායම පහළ අගයක් ගනී. එබැවින්, ඉහළ ආදායමක් ලබාගැනීමේ අරමුණින් ස්වාභාවික මිනිරන් වැඩිදියුණු කර, අගය එකතු කරනු ලැබූ නිෂ්පාදනයන් වශයෙන් අපනයනය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. 
     
    ඒ අනුව, නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය සඳහා යොදාගත හැකි වන පරිදි යෝග්‍ය නවීකරණයන්ට බඳුන් කිරීම මඟින් මෙරට ස්වාභාවික මිනිරන් වැඩිදියුණු කිරීම සඳහා වන පර්යේෂණ ව්‍යාපෘතියක් ජාතික මූලික අධ්‍යයන ආයතනය (NIFS) මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ ගමනාගමන පහසුව සඳහා කුඩා පාලම් ඉදි කිරීම
     
    ඉතාම අනාරක්ෂිත තාවකාලික ඒදඬු භාවිතයෙන් ඇළදොළ ආදිය හරහා ගමනාගමනය සිදු වන ස්ථාන 1,500ක් සහ කිසිදු ආරක්ෂිත පිළියමක් නොමැතිව දුෂ්කර ලෙස ගංගා, ඇළදොළ ආදිය තරණය කරමින් ගමනාගමනය සිදු කෙරෙන ස්ථාන 500ක් පමණ ශ්‍රී ලංකාවේ අතිදුෂ්කර ප්‍රදේශවල තිබෙන බව නිරීක්ෂණය කර තිබේ. එබැවින් මෙවැනි දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත ලෙස ගමන් පහසුව සලසා දීමේ අරමුණින් කුඩා පාලම් ඉදි කිරීම අවශ්‍ය වේ. මේ සඳහා ඉතා අඩු වියදමක් යටතේ, කල් පවතින කුඩා පාලම් (Foot Bridges) විශේෂයක් දියුණු තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර අත්හදා බැලීමට ඉංජිනේරු පර්යේෂණ හා තාක්ෂණ ආයතනය (NERDC) සමත්ව ඇත. 
     
    ඒ අනුව, ඉතා අනාරක්ෂිත ලෙස ගංගා, ඇළදොළ ආදිය තරණය කරමින් ජනතාව ගමනාගමනය සිදු කරන ස්ථාන හඳුනාගෙන, එම ස්ථානවල මෙවැනි පාලම් 1,000ක්, ඉදිරි වර්ෂ තුන (03) තුළ ඉදි කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.
     
     
    සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක් (Social Innovation Lab) පිහිටුවීම
     
    රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙර ඒවායේ සාර්ථක විය හැකි බව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක් (Social Innovation Lab) පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ අනුව, ක්‍රියාශීලී ප්‍රතිපත්තීන් නිර්මාණය කිරීමට මෙන්ම ප්‍රතිපත්තීන්හි ස්ථිරභාවය හරහා ඵලදායී රාජ්‍ය සේවාවක් සැපයීම ඉලක්ක කරගනිමින් යෝජිත සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය යටතේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය තුළ ස්ථාපිත කර නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කිලිනොච්චිය, ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයේ සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් ඉදි කිරීම
     
    ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන, කිලිනොච්චියේ පිහිටි ශ්‍රී ලංකා-ජර්මානු පුහුණු ආයතනය (SLGTI) 2016 වර්ෂයේදී ස්ථාපිත කරන ලද අතර, දැනට සිසුහු 200ක් පමණ එහි NVQ 4,5 සහ 6 මට්ටමේ පුහුණු පාඨමාලා හදාරති. එහි වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 57%ක් පමණ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් බැහැරව පිහිටි දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වේ. මෙම පුහුණු ආයතනයේ දැනට පවතින නේවාසික පහසුකම් ප්‍රමාණවත් වන්නේ සිසු සිසුවියන් 144 දෙනෙකුට පමණක් වන අතර මෙම වර්ෂයේදී තවත් සිසුන් 400 දෙනෙකු පමණ මෙහි පුහුණු පාඨමාලා සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත බැවින් එම නේවාසික පහසුකම් වැඩිදියුණු කළ යුතුව තිබේ. 
     
    ඒ අනුව තවත් සිසුන් 400ක් සඳහා නේවාසික පහසුකම් සැලසීමට හැකි වන පරිදි කිලිනොච්චිය, ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය සඳහා නව නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ගාල්ල නගරයේ නව ශ්‍රවණාගාරයක් ඉදි කිරීම
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ මෙන්ම සමස්ත දකුණු පළාතටම අදාළ ඇතැම් රාජ්‍ය උත්සව, සම්මන්ත්‍රණ, සම්මේලන, මහජන රැස්වීම් හා සාකච්ඡා ආදිය ගාල්ල නගරය ආශ්‍රිතව පැවැත්වේ. මෙම කටයුතු සඳහා වර්තමානයේ බොහෝ විට භාවිත කෙරෙනුයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් Hall de Galle නමැති ශාලාව වන අතර එහි පවතින පහසුකම් සහ ඉඩකඩ එවැනි කටයුතු සඳහා ප්‍රමාණවත් නොවේ. එබැවින්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ශ්‍රවණාගාරයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. 
     
    ඒ අනුව, ගාල්ල නගරය තුළ පැවැත්වෙන එවැනි කටයුතු සඳහා පොදු ශ්‍රවණාගාරයක් වශයෙන් භාවිත කිරීම පිණිස නවීන පහසුකම් සහිත ආසන 2,000කින් සමන්විත ශ්‍රවණාගාරයක් දකුණු අධිවේගී මාර්ගයට ප්‍රවේශවීමට ඇති මාර්ගයට යාබදව ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පුත්තලම - අරුවක්කාලුහි නාගරික ඝන අපද්‍රව්‍ය අවසන් වශයෙන් බැහැ‍ර කිරීමේ පහසුකම් ස්ථාපිත කිරීම
     
    මීතොටමුල්ල විවෘත කසළ බිමෙහි සිදු වූ හදිසි කඩා වැටීම හේතුවෙන් උද්ගත වූ තත්ත්වය තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම අර්බුදයක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය තුළ දැනටමත් අනුමැතිය ලබා දී ඇති පුත්තලම - අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම අවශ්‍ය වේ. 
     
    ඒ අනුව, මෙම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට අදාළ කසළ හුවමාරු මධ්‍යස්ථාන, සනීපාරක්ෂක බිම් පිරවුම් හා දුම්රිය මාර්ග සම්බන්ධතා ඉදි කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමටත්, එහි කසළ බැහැර කිරීමේ කටයුතු 2020 වර්ෂය වන විට ආරම්භ කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මුහුදේ කූඩු තුළ මුහුදු මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
     
    ශ්‍රී ලංකාවේ කොන්ටිනෙන්ටල් සිලෝන් සී ෆුඩ් (පෞද්ගලික) සමාගම සහ ‍නෝර්වේ රාජ්‍යයේ කොන්ටිනෙන්ටල් සිලෝන් සී ෆුඩ් ඒ. එස්. සමාගම එක්ව පිහිටුවා ගෙන ඇති ග්ලෝබල් සිලෝන් සී ෆුඩ් (පෞද්ගලික) සමාගම විසින් විවෘත මුහුදේ කූඩු තුළ මසුන් වගා කිරීමේ තාක්ෂණය යොදා ගනිමින් ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් සහිත මොදා, පොම්පානු (වව්වාලයා) හා කොස්සා යන මත්ස්‍ය විශේෂ වාණිජ මට්ටමින් වගා කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙය ඉහළ පාරිසරික සංරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සහ නවීන තාක්ෂණය භාවිත කරමින් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතය. 
     
    ඉහළ ශක්‍යතාවක් ඇති ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇති මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කොඩ්ඩියාර් ප්‍රදේශයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් දේශීය මුහුදු තීරයේ හෙක්ටයාර 150ක මුහුදු ප්‍රදේශයක් ග්ලෝබල් සිලෝන් සී ෆුඩ් (පෞද්ගලික) සමාගම වෙත 30 අවුරුදු බදු පදනම මත ලබා දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2017/2018 මහ කන්නය සඳහා බීජ වී සැපයීමේ කඩිනම් වැඩසටහන
     
    සාමාන්‍ය මහ කන්නයකදී මෙරට කුඹුරු ඉඩම් හෙක්ටයාර ලක්ෂ 8ක පමණ වී වගාව සිදු කෙරෙන අතර, ඒ සඳහා බීජ වී බුසල් ලක්ෂ 40ක් පමණ භාවිතා කෙරේ. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2017/2018 මහ කන්නයේදී බීජ වී හිඟයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හා අනෙකුත් ආයතන සමඟ එක්ව පැළවීම සහතික කළ බීජ වී සැපයීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. 
     
    ඒ අනුව, 2017 යල කන්නයේ සාර්ථකව වී වගා කරන ලද ප්‍රදේශවල බීජ වී වගාවන්ගෙන් හා පාරිභෝගික වගාවන්ගෙන් ගුණාත්මකභාවයෙන් යුත් උසස් බීජ වී බුසල් 560,000ක් කඩිනමින් ලබාගෙන, බීජ වී හිඟ ප්‍රදේශවල ගොවීන් වෙත අලෙවි කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද, පසුගිය කන්නයේ තද නියඟයට ගොදුරු වූ දිස්ත්‍රික්කවල අස්වැන්න හානිවීමට ලක් වූ ගොවීන් වෙත, වටිනාකමෙන් 50%ක් පමණක් අය කරගෙන එම බිත්තර වී අලෙවි කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
     
     
    ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය ශක්තිමත් කිරීම
     
    ශ්‍රී ලංකාව 1991 වර්ෂයේදී ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අත්සත් කර අපරානුමත කරනු ලැබ ඇති අතර, ඒ අනුව ළමුන්ගේ අයිතිවාසිකම් උපරිම ආකාරයෙන් තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටී. එකී ප්‍රඥප්තිය යටතේ වන බැඳීම් ක්‍රියාත්මක කිරීමේ වගකීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇති අතර, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය, ළමා ලේකම් කාර්යාලය යන ආයතන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති නිලධාරින් මඟින් එකී කාර්යයන් ක්‍රියාවට නැංවීමට පියවර ගනු ලැබ ඇත. 
     
    එම ප්‍රඥප්තියේ 40වන වගන්තිය යටතේ පසු විපරම් හා වාර්තාකරණ ක්‍රියාවලිය සඳහා ජාතික මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ හා ප්‍රාදේශීය මට්ටමේ මෙහෙයුම් කමිටු පිහිටුවීමට 2000 වසරේදී පියවර ගනු ලැබ ඇත. වර්තමාන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් එම මෙහෙයුම් කමි‍ටුවල සංයුතිය හා කාර්යභාරය පුළුල් කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සඳහා ශිෂ්‍යාධාර ලබාදීම
     
    භික්ෂූන් වහන්සේලාට ක්‍රමවත් හා විධිමත් අධ්‍යාපනයක් ලබා දීම සඳහා මෙරට ගොඩනැඟුණු සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය පිරිවෙන් අධ්‍යාපනයයි. මූලික පිරිවෙන්, මහ පිරිවෙන් සහ විද්‍යායතන පිරිවෙන් වශයෙන් පිරිවෙන් 758ක් වර්තමානයේ දිවයින පුරා ක්‍රියාත්මක වේ. මෙම පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලාගේ අධ්‍යයන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ශිෂ්‍යාධාරයක් ලබා දීමට 2017 අයවැය මඟින් යෝජනා කරන ලදී. 
     
    ඒ අනුව, පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සුබසාධන කටයුතු, පොත්පත් හා උපකරණ සපයා ගැනීම, විෂය බාහිර වැඩසටහන්, කුසලතා සංවර්ධන කටයුතු, ඉංග්‍රීසි භාෂා ‍දැනුම වර්ධනය කිරීම හා ගමන් වියදම් දැරීම යන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා යොදා ගැනීම පිණිස 'ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදානයක්' ඒ ඒ පිරිවෙන්හි කෘත්‍යාධිකාරි ගිණුමට ලබා දීමටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර ඇති කරගැනීමට යෝජිත ශ්‍රමබල ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධතා ගිවිසුම
     
    ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් ලෙබනනයේ සේවය කරනු ලබන අතර, 2017 වර්ෂය තුළදී පමණක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති ශ්‍රමිකයින් 1,593 දෙනෙකු ලෙබනනයේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. ඔවුන්ගෙන් 79%ක් පමණ ගෘහ සේවක රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. ලෙබනනයේ සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සුබසාධනය අරමුණු කර ගෙන ශ්‍රී ලංකාව හා ලෙබනනය අතර ශ්‍රමික බල ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙරට අතර එකඟතාවක් ඇති කරගනු ලැබ තිබේ. 
     
    යෝජිත අවබෝධතා ගිවිසුම මඟින් ලෙබනනයේ සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීමේ පාරදෘශ්‍ය හා අඩු වියදම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම, එම ශ්‍රමිකයින් සඳහා සුරක්ෂිත සේවා පරිසරයක් ඇති කිරීම ආදී සාධනීය පියවර ගැනෙනු ඇත. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසු‍මට දෙරට අතර අත්සන් තැබීම පිණිස අධිකරණ අමාත්‍ය සහ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සිවිල් ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානය සඳහා ගුවන් ගමන් පාලන සිමියුලේටර පුහුණු පද්ධතියක් සැපයීම, සවි කිරීම හා ක්‍රියාත්මක කිරීම
     
    සිවිල් ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානය සඳහා ගුවන් ගමන් පාලන සිමියුලේටර පුහුණු පද්ධතියක් සැපයීම, සවි කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ තීරණය සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Adacel Technologies Limited ආයතනය වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කොළඹ සහ රුහුණ යන විශ්වවිද්‍යාලවල නව අධ්‍යයන ගොඩනැඟිලි ඉදි කිරීම
     
    කොළඹ විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨයේ තොරතුරු හා ඉගෙනුම් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 516.54ක මුදලකට සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම වෙතද, රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමේ දෙවන අදියර සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 198.02ක මුදලකට එම්.ඩී.ටී. කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙතද, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කෑගල්ල මූලික රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
     
    පහසුවෙන් ළඟා විය හැකි, ඉහළ ප්‍රමිතියකින් යුත් රෝගී සත්කාරක සේවාවක් ලබා දීම මඟින් හදිසි අනතුරු හේතුවෙන් සිදු වන මරණ සහ ආබාධිතවීම් වළක්වා ගැනීමේ අරමුණින් කෑගල්ල මූලික රෝහලෙහි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. මෙම ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර, ඒ සඳහා ලංසුකරුවන් 10 දෙනෙකු ඉදිරිපත් වී ඇත. 
     
    එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Link Engineering (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 320.1ක මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    හලාවත මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
     
    පහසුවෙන් ළඟා විය හැකි, ඉහළ ප්‍රමිතියකින් යුත් රෝගී සත්කාරක සේවාවක් ලබා දීම මඟින් හදිසි අනතුරු හේතුවෙන් සිදු වන මරණ සහ ආබාධිතවීම් වළක්වාගැනීමේ අරමුණින් හලාවත මහ රෝහලෙහි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. මෙම ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා ලංසුකරුවන් 09 දෙනෙකු ඉදිරිපත් වී ඇත. 
     
    එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s AMSK Construction (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 501.2ක මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර පිහිටුවීම
     
    ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම මඟින් ඖෂධ ආනයනය සඳහා වැය වන සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකි වන අතර ඖෂධ මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීමටද එමඟින් ඉඩකඩ සැලසෙයි. ඒ අනුව, රෝහල් සඳහා අවශ්‍ය නැවුම් හා උසස් තත්ත්වයෙන් යුතු ඖෂධ ද්‍රව්‍ය කාර්යක්ෂමව රජයේ රෝහල් වෙත අඛණ්ඩව සැපයීමේ හැකියාවක් ඇති ආයෝජකයින් හඳුනාගෙන එම ආයෝජකයින් සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර බද්ධ ව්‍යාපාර පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. 
     
    මේ සඳහා ප්‍රතිචාර දක්වා ඇති ආයෝජකයින් 24 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 36ක් අතුරින් සාර්ථක යෝජනා 31 පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම කරුණ සම්බන්ධයෙන් පත් කරන ලද භාණ්ඩාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුවේ නිර්දේශයන්ට යටත්ව, එකී සාර්ථක යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් ආයෝජකයින් සමඟ රාජ්‍ය - පෞද්ගලික පදනම මත බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සඳහා පූර්ණ දේහ පරිලෝකන MRI (Whole Body MRI Scanner) යන්ත්‍රයක් සැපයීම හා ස්ථාපනය කිරීම
     
    මොළයේ හා මධ්‍ය ස්නායු පද්ධතියේ විවිධ රෝගී තත්ත්වයන් මෙන්ම පියයුරු හා හෘද රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා කරනු ලබන විමර්ශනවලදී MRI ප්‍රතිබිම්බන ලබා ගැනීම අවශ්‍ය වේ. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මඟින් ලබා දෙනු ලබන ප්‍රතිකාර සේවාවන්ගේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් එම මහ රෝහල සඳහා 3.0 ටෙස්ලා පූර්ණ දේහ පරිලෝකන MRI (Whole Body MRI Scanner) යන්ත්‍රයක් මිල දී ගැනීම අවශ්‍ය බව හඳුනා ගනු ලැබ තිබේ. 
     
    ඒ අනුව, ඒ සඳහා විවෘත අන්තර්ජාතික ලංසු කැඳවනු ලැබ ඇති අතර ලංසු 03 ක් ඉදිරිපත්ව තිබේ. එම ලංසු ඇගයීමට ලක් කරන ලද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Dimo (Pvt) Ltd වෙත රුපියල් මිලියන 45 කට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක් ඉදි කිරීම
     
    කොළඹ නගරයේ ක්‍රියාත්මක කෙරෙන 'නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය' යටතේ කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක් ඉදි කිරීම සඳහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන් වෙතින් යෝජනා කැඳවනු ලැබ තිබේ. ඒ අනුව ලංසු කරුවන් 05 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එම යෝජනා ඇගයීමට ලක් කරන ලද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සැලසුම් කර ඉදි කිරීමේ පදනම මත අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 395ක මුදලකට සුබසිංහ කන්ට්‍රැක්ටර්ස් ඇන්ඩ් අර්ත් මුවර්ස් ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කොට්ටාව, කුලසෙවන වත්ත, වෘත්තීයවේදීන් සඳහා වූ මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය
     
    කොළඹ නගරයේ ක්‍රියාත්මක කෙරෙන 'නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය' යටතේ කොට්ටාව, කුලසෙවන වත්ත ප්‍රදේශයේ වෘත්තීයවේදීන් සඳහා වූ මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 300 ක් ඉදි කිරීමට නියමිතය. ඒ සඳහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන් වෙතින් යෝජනා කැඳවනු ලැබ ඇති අතර ලංසු කරුවන් 04 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබ තිබේ. 
     
    එම යෝජනා ඇගයීමට ලක් කරන ලද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සැලසුම් කර ඉදි කිරීමේ පදනම මත අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 3,699ක මුදලකට, සතුට බිල්ඩර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සඳහා අවශ්‍ය දියර පෙට්‍රෝලියම් ගෑස් මිල දී ගැනීම
     
    80%ක වෙළඳපොළ කොටසක් හිමි, මෙරට විශාලතම එල්පී ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මඟින් බෙදාහැරීම සඳහා අවශ්‍ය එල්පී ගෑස් අන්තර්ජාතික තරගකාරී ලංසු ක්‍රමය මඟින් මිල දී ගනු ලැබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, මෙට්‍රික් ටොන් 1ක් සවුදි ඇරැම්කෝ ගිවිසුම් මිලට ඇමරිකානු ‍ඩොලර් 47.50ක් එක් කළ මිලකට බැගින්, 2017 - 2018 වර්ෂය සඳහා එම සමාගමට අවශ්‍ය එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 300,000ක් M/s Shell International Eastern Trading Company වෙතින් මිල දී ගැනීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ඉදි කිරීම් ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ප්‍රවාහය ඉහළ නැංවීම 
     
    යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය ඉතා ඉහළ අවධානයක් යොමු කරනු ලැබ තිබේ. එහිදී අවශ්‍ය ගුණාත්මක තත්ත්වය පවත්වා ගනිමින් එකඟ වූ කාලසීමාව සහ පිරිවැය ඇතුළත යටිතල පහසුකම් ව්‍යාපෘති සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය වේ. රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති ඇතැම් යටිතල පහසුකම් ව්‍යාපෘතිවල නිරත දේශීය කොන්ත්‍රාත්කරුවන් විවිධ හේතු නිසා මුදල් යෙදවීමේ අපහසුතාවන්ට මුහුණ දී ඇත. එය ඔවුන් භාර ගත් වැඩකටයුතු නියමිත කාලසීමාව තුළ ගුණාත්මක තත්ත්වයෙන් යුතුව නිම කිරීමට බාධාවක්ව ඇති බව හඳුනා ගනු ලැබ තිබේ. 
     
    මෙයට පිළියමක් වශයෙන් කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ප්‍රවාහය පහසු කිරීම සඳහා සුදුසු යන්ත්‍රණයක් හඳුන්වා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාතික සමාජ සංවර්ධන ආයතනය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
     
    ජාතික සමාජ සංවර්ධන ආයතනය සඳහා සීදූව ප්‍රදේශයේ ගොඩනැඟිලි සංකීර්ණයක් නිර්මාණය කොට ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 818.63ක මුදලකට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කොළඹ හෙද විදුහලේ, මහල් පහකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
     
    උසස් රෝගී සත්කාරක සේවාවක් ලබා දීමේදී හෙද නිලධාරින්ගෙන් දායකත්වය ඉතා අත්‍යවශ්‍ය වේ. විද්‍යාත්මක දැනුම හා යාවත්කාලීන තොරතුරු පිළිබඳ අවබෝධයක් සහිත, දක්ෂතාවලින් පිරිපුන් පුහුණු හෙද නිලධාරින් සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා හෙද පුහුණු පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බව රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. 
     
    1939 වර්ෂයේදී ස්ථාපනය කරන ලද කොළඹ, හෙද පුහුණු පාසල මෙරට ඇති ප්‍රධානතම හෙද පුහුණු පාසලක් වන අතර එහි වර්තමාන පහසුකම් ප්‍රමාණවත් වන්නේ වර්ෂයකට හෙද හෙදියන් 100 දෙනෙකු පුහුණු කිරී‍ම සඳහා පමණි. එබැවින් වර්ෂයකට හෙද සිසුන් 600ක් පමණ පුහුණු කළ හැකි වන පරිදි කොළඹ හෙද පුහුණු පාසලේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මහල් පහකින් සමන්විත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් එම ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත නව ටයර් කට්ටල සැපයීම හා බෙදාහැරීම
     
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය ටයර් කට්ටල සැපයීම හා බෙදාහැරීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම පිණිස විවෘත තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසුකරුවන් දෙදෙනෙකු විසින් ඒ සඳහා මිලගණන් ඉදිරිපත් කරනු ලැබ තිබිණ. එම මිල ගණන් ඇගයීමට ලක් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ විවිධ වර්ගවල ටයර් කට්ටල 33,672ක් සැපයීම සඳහා වූ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,115 කට M/s. CEAT Kelani International Tyres (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කොළඹ, කොටුව 'චාර්මස් ග්‍රැනරීස්' භූමියේ යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය
     
    සියලු ප්‍රවාහන මාදිලි ඒකාබද්ධ කරමින් කොළඹ කොටුව/පිටකොටුව ප්‍රදේශයේ බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීම පිණිස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති 'චාර්මස් ග්‍රැනරීස්' නැමැති අක්කර 9 රූඩ් 3 පර්චස් 27ක ප්‍රමාණයෙන් යුත් නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටස යොදා ගැනීමට තීරණය කර ති‍ෙබ්. 
     
    ඒ අනුව, බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථාන ව්‍යාපෘතිය යටතේ 'කොළඹ නගර පිවිසුම' ලෙස එකී ඉඩම් කොටස සංවර්ධනය කිරීමට සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා තරගකාරී ලංසු කැඳවීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD) දේශීය කාර්යාලය ස්ථාපනය කිරීම
     
    එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිත ආයතනයක් වන කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (International Fund for Agriculture Development) සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කිරීම වෙනුවෙන් කැප වූ ආයතනයකි. 1978 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙන ලද එම සංවිධානය වර්තමානයේද විවිධ කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය සහාය ලබා දෙයි. 
     
    එම අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන සිය මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා දේශීය කාර්යාලයක් විවෘත කිරීමට අදහස් කරනු ලැබ තිබේ. ඒ අනුව, එම අරමුදලේ දේශීය කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2018 මුදල් වර්ෂය සඳහා වන අයවැය විවාදය පිළිබඳ අපේක්ෂිත වැඩසටහන
     
    2018 මුදල් වර්ෂය සඳහා වන අයවැය විවාදය සම්බන්ධයෙන් අපේක්ෂිත වැඩසටහන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එය සැලකිල්ලට ගන්නා ලදී. 
     
    ඒ අනුව, 2018 මුදල් වර්ෂය සඳහා වන අයවැය කථාව 2017 නොවැම්බර් මස 09 වන දින පැවැත්වෙන අතර, විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය 2017 නොවැම්බර් මස 10, 11, 13, 14 හා 15 යන දිනයන්හිදී පැවැත්වීමටත්, එහි කාරක සභා විවාදය 2017‑11‑16 දින ආරම්භ කිරීමටත්, විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 2017‑12‑09 දින පැවැත්වීමටත් සැලසුම් කර තිබේ.
     
     
    2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත
     
    2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2017 සැප්තැම්බර් මස අවසානය වන විට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. රජයේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා පදනම් කර ගනිමින් 2018 - 2020 මධ්‍යකාලීන අයවැය රාමුව සඳහා සලසා ගත හැකි මුළු සම්පත් ප්‍රමාණය සැලකිල්ලට ගෙන මහා භාණ්ඩාගාරය විසින් මෙම අයවැය ඇස්තමේන්තු සකස් කරනු ලැබ ඇති අතර, අමාත්‍යාංශ සහ පළාත් සභා සමඟ පවත්වන ලද අයවැය සාකච්ඡාවලදී මතු වූ කරුණු කෙරෙහිද එහිදී අවධානය යොමු කර ඇත. 
     
    ඒ අනුව, 2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,982ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එම මුදලෙන් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා වූ දායක මුදල් වැනි දැනටමත් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් යටතේ දැරීමට නියමිත වියදම රුපියල් බිලියන 2,005.1ක් වන බැවින් එම වියදම හැර එම සමස්ත වියදමෙන් රුපියල් බිලියන 1,977ක වියදම් දැරීම සඳහා යෝජිත විසර්ජන පනත් කෙටුම්පත මඟින් බලය ලබා ගත යුතු වේ. එයින් 2018 වර්ෂයේ රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 1,308.9ක් ලෙසත්, ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 668ක් ලෙසත් ඇස්තමේන්තු ගත කර තිබේ. තවද, 2018 වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා විදේශීය ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2,175ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒ අනුව, රජයේ අත්තිකාරම් වියදම් කටයුතු සඳහා වූ රුපියල් බිලියන 6ක මුදලද සැලකිල්ලට ගත් කල්හි රුපියල් බිලියන 1,813ක් දේශීය හා විදේශීය මූලාශ්‍ර මඟින් ණය වශයෙන් ලබා ගත යුතුව තිබේ. 
     
    මෙම කෙටුම්පත් අයවැය ඇස්තමේන්තු ඇතුළත් 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පොළොන්නරුව සම්ප්‍රදායික තාක්ෂණ උරුම කෞතුකාගාරය සහ තොරතුරු මධ්‍යස්ථානය
     
    සාමාන්‍ය කෞතුකාගාරයකින් වෙනස්ව මෙරට අතීත නගර හා උද්‍යාන නිර්මාණය, වාරි තාක්ෂණය, ඉපැරණි ජල ප්‍රවාහන ක්‍රම, ආහාර සුරක්ෂිතතා ක්‍රම, ප්‍රවාහන ක්‍රම, ගෘහ නිර්මාණ ශිල්පය ආදී සාම්ප්‍රදායික තාක්ෂණික උරුමය විදහා දක්වන උරුම කෞතුකාගාරයක් හා තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. 
     
    ඒ අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා වන සාම්ප්‍රදායික තාක්ෂණික ක්ෂේත්‍රයේ හා රාජ්‍ය පාලනයේ වැදගත් සන්දිස්ථාන ඇතුළත් මැදිරිවලින් සමන්විත උරුම කෞතුකාගාරයක් හා තොරතුරු මධ්‍යස්ථානයක් පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටුවීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya