අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017-08-22

    අගෝස්තු 23, 2017
     
    ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව - 2018
     
    'නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය' (Asian Network for Free Elections), ආසියානු කලාපයේ රටවල්වල මැතිවරණ සම්බන්ධයෙන් පොදුවේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමට සහ එම රටවල්වල නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහ‍ා වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රාජ්‍ය නොවන සංවිධානයකි. එම ජාලය විසින් සංවිධානය කරනු ලබන, ‘ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව’ 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස සමසත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. 
     
    මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම මඟින් මෙරට මැතිවරණ ක්‍රියාවලිය තුළ ඍජුව හා වක්‍රව කටයුතු කරන රාජ්‍ය නිලධාරින්ගේ හා අනෙකුත් පාර්ශ්වයන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කරගැනීමටත්, කලාපයේ අනෙකුත් රටවල්වල අත්දැකීම් අනුසාරයෙන් ‍මෙරට ඡන්ද විමසීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම හා ඵලදායී ලෙස සිදු කිරීමට අවශ්‍ය ආයතනික ධාරිතා ප්‍රවර්ධනය ඇති කරගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත. ඒ අනුව, ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම හා ඒ සඳහා සමසත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජංගම දූරකථන ග්‍රාහක (Subscriber Identification Module - SIM) කාඩ්පත් නිසි පරිදි ලියාපදිංචි කිරීම
     
    ජංගම දූරකථන සිම් (SIM) කාඩ්පත් ලබා දීමේදී ඒවායේ අයිතිකරුගේ නිවැරදි විස්තර ඇතුළත් අවශ්‍ය ලියකියවිලි රහිතව ලබා දෙනු ලැබූ සක්‍රීය සබඳතා විශාල ප්‍රමාණයක් වර්තමානයේ ජංගම දුරකථන සේවා සපයන සමාගම් යටතේ ජාලගතව පවතින බව නිරීක්ෂණය වී ඇත. ජංගම දූරකථන භාවිත කරමින් සිදු කරනු ලබන විවිධ අපරාධ හා වංචනික ක්‍රියාවන් මැඬපැවැත්වීමටත්, ජාතික ආරක්ෂාව හා මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහාත් අනන්‍යතාව තහවුරු කරගත හැකි තොරතුරු සහිතව ජංගම දූරකථන ග්‍රාහකයින් ලියාපදිංචි කර ලීම අත්‍යවශ්‍ය වේ. 
     
    ඒ අනුව, නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පතක් හා සිම් කාඩ්පත භාවිත කරන තැනැත්තාගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් ඇතුළු අවශ්‍ය ලියකියවිලි ලබාගෙන සිම් කාඩ්පත් ලියාපදිංචි කරලීමේ කාර්යපටිපාටිය අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ජංගම දූරකථන සේවා සපයනු ලබන සමාගම් වෙතින් දැනටමත් ඉල්ලීමක් කරනු ලැබ ඇත. එම කාර්යපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ලීම සඳහා 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන යටතේ විෂය භාර අමාත්‍යවරයා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීමටත්, එම කාර්යපටිපාටිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරි බලය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැවරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සේවාවේ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම
     
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2016 වර්ෂයේ අවසානය වන විට මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ එකොළහකට අධික වන අතර, පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ කාර්යයේ යොදවනු ලැබ ඇති වෑන් රථ සංඛ්‍යාව 30,000කට අධික බව වාර්තා වී ඇත. දැනට නිසි නියාමනයක් නොමැතිව අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සේවාවේ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශ පරිදි පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 
     
     
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මෙම විෂය ක්ෂේත්‍රය පළාත් සභාව සතු විෂයක් ලෙස සලකා කටයුතු කිරීම
     
    මෙම ප්‍රවාහන සේවාවන් දෙකෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වන අවම ප්‍රමිතීන් ඇතුළත් උපදෙස් හා නීතිරීති මාලාවක් සැකසීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම පිණිස ජාතික තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කිරීම. 
     
    ආරක්ෂිත බවෙන් අඩු ප්‍රවාහන මාධ්‍යයක් ‍වන ත්‍රිරෝද රථ භාවිතය අඩු කරමින්, ආරක්ෂාකාරී කුලී රථ භාවිතය සඳහා අනුබල දීමේ ප්‍රවේශයක් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජයේ දිගුකාලීන ප්‍රතිපත්තිය යටතේ අනුගමනය කිරීම.
     
     
    මගී ප්‍රවාහන බස් ගාස්තු තීරණය කිරීම පිළිබඳව වන ප්‍රතිපත්තිය වර්තමානයට ගැළපෙන පරිදි නැවත සකස් කිරීම
     
    වාර්ෂිකව සිදු කරනු ලබන බස් ගාස්තු සංශෝධනය සඳහා දැනට යොදාගනු ලබන ප්‍රතිපත්තිය 2002 වර්ෂයේදී සකස් කරනු ලැබූවක් වන අතර, එම කාර්යය සඳහා කාලීන සමාජ, ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන පරිදි නව නිර්ණායකයන්ද ඇතුළත් කරමින් අලුත් ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ. ඒ අනුව, බස් සංගම් හා මගී සංගම් සමඟ සාකච්ඡා කර, බස් ගාස්තු සංශෝධනය කිරීමේ කාර්යය සඳහා යොදා ගැනීම සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    දුම්රිය මඟින් සිදු කරනු ලබන පාර්සල් ප්‍රවාහන‍යට අදාළ ගාස්තු සංශෝධනය කිරීම
     
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන පාර්සල් ප්‍රවාහනයේදී අය කරනු ලබන ගාස්තු, පසුගිය වසර 09ක පමණ කාලය තුළ සංශෝධනයකට ලක්ව නොමැති අතර, එම ගාස්තු, වෙනත් පාර්ශ්ව විසින් පාර්සල් ප්‍රවාහනය කිරීමේදී අය කරනු ලබන ගාස්තු හා සැසඳීමේදී ඉතා පහළ අගයක් ගනී. එබැවින් සාමාන්‍ය ජනතාවට අමතර වැය බරක් නොවන පරිදි, වාණිජ නොවන හා පරිභෝජන අවශ්‍යතා මත ප්‍රවාහනය කරන පාර්සල් හැර අනෙකුත් පාර්සල් ප්‍රවාහනය සඳහා දැනට අය කරනු ලබන ගාස්තු 50%කින් ඉහළ නැංවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    'සැලසුමෙන් සැනසුමක් - ලබමු කිරි කැටි බිලිඳෙක්' - මඳසරු බව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
     
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සතු තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ අඹුසැමියන් අතරින් 15%කට වඩා වැඩි ප්‍රමාණයක් මඳසරු බවෙන් පෙළෙන බව හඳුනාගෙන ඇත. එම තත්ත්වය ඇතැම් විට මානසික හා ජීවිත අර්බුදයක් බවට පත්වන අවස්ථා ද ඇත. ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය දර්ශක, සංවර්ධිත රටවල් හා ආසන්න මට්ටමකට ළඟා වී ඇති නමුත් මඳසරු බව කළමනාකරණය සඳහා දක්වනු ලබන අවධානය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇත. 
     
    එබැවින් මඳසරු බවින් පෙළෙන අඹුසැමියන් සඳහා මනෝවිද්‍යාත්මක උපදේශනය, ක්‍රමවත් මඟ පෙන්වීම, අවශ්‍ය අවස්ථාවන්හිදී වෛද්‍ය සත්කාර සඳහා යොමු කිරීම වැනි සේවා සැලසීමේ පහසුකම් රජයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ස්ථාපිත කළ යුතුව ඇත. ඒ අනුව, මඳසරු බව පිළිබඳ ගැටලුව සඳහා පොදු ජනයාගේ මෙන්ම සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ ද අවධානය යොමු කරවමින්, මෙම වසරේ 'ජාතික පවුල් සැලසුම් දිනය', "සැලසුමෙන් සැනසුමක් - ලබමු කිරි කැටි බිලිඳෙක්" යන තේමාව යටතේ සැප්තැම්බර් මස 26 වන දින සැමරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    'අමරදේව අසපුව' ඉදි කිරීම සඳහා බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රය තුළ පිහිටි ඉඩම් කොටසක් වෙන් කර දීම
     
    පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් විසින් ශ්‍රී ලාංකේය සංගීතයට සිදු කරන ලද අනුපමේය දායකත්වය සැලකිල්ලට ගනිමින්, එතුමන්ගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්‍රදාය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීම සඳහා 'අමරදේව අසපුව' ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම අසපුව ස්ථාපනය කිරීමට සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, බත්තරමුල්ල, 'අපේ ගම' පරිශ්‍රය තුළ පිහිටි පර්චස් 100ක ඉඩම් කොටසක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වැල්ලවත්ත ඇළ රක්ෂිතය තුළ අනාරක්ෂිතව පිහිටුවා ඇති ගොඩනැඟිලි ප්‍රතිස්ථාපනය කිරීම
     
    වැල්ලවත්ත ඇළ රක්ෂිතය තුළ අනවසරයෙන් ඉදි කර තිබූ ගොඩනැඟිල්ලක් පසුගියදා කඩා වැටීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී ශ්‍රී සුගත විහාරය හා එම විහාරයට අනුබද්ධ ළමා නිවාසය එම ස්ථානයට නුදුරින් අනාරක්ෂිතව පිහිටුවා ඇති බවට නිරීක්ෂණය කරනු ලැබ ඇත. ඒ අනුව, එම විහාරය හා ඊට අනුබද්ධ ළමා නිවාසය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු, දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් එම විහාරස්ථානය වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉතා පහළ ආදායම් ලබන පවුල් 600ක් සඳහා නිවාස ඉදි කර දීම
     
    ශ්‍රී ලංකාවේ වෙසෙන පවුල් 216,197ක් සඳහා නිවසක් හෝ නිවසක් ඉදි කරගැනීම සඳහා ඉඩමක් නොමැති බව 2016 වර්ෂයේදී පවත්වන ලද නිවාස අවශ්‍යතා සමීක්ෂණය මඟින් හෙළි වී තිබේ. එම පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙළක් රජය විසින් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක ‍ෙක‍ෙරමින් පවතී. මෙම වැඩසටහන යටතේ, ඉතා පහළ ආදායම් මට්ටමක් සහිත පවුල් 600කට නිවාස ඉදි කර දීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර සැපයීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ. 
     
    ඒ අනුව, ඉන්දියානු ජනරජය විසින් පිරිනමනු ලබන ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මූල්‍යාධාර ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, එම මූල්‍යාධාර යොදා ගනිමින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ඉතාම පහළ අදායම් ලබන පවුල් ඉලක්ක කර ගනිමින් නිවාස 600ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් 'සැමට සෙවණ ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන පිළිසකර කිරීම
     
    හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් 1987 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද රන් වියන 2002 වර්ෂයේදී රන් ආලේප කර පිළිසකර කරන ලද අතර, එය මේ වන විට අවපැහැ ගැන්වී පිළිසකර කළ යුතු තත්ත්වයට පත්ව තිබේ. ඒ අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් සැලකිල්ලට ගෙන, 2017 වර්ෂය සඳහා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය යටතේ වෙන් වී ඇති අයවැය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින්, රුපියල් මිලියන 44.89ක ඇස්තමේන්තුගත පිරිවැයකින් එම රන් වියන පිළිසකර කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය ලබා දෙන ලදී.
     
     
    අධිකරණ ස්වයංක්‍රීයකරණ (Court Automation) ව්‍යාපෘතිය
     
    මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ පවතින ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇත්තේ නඩු කටයුතුවලදී ඇති වන ප්‍රමාදයයි. නීති ප්‍රතිසංස්කරණ, අධිකරණයන්හි යටිතල පහසුකම් සංවර්ධනය, අධිකරණ ස්වයංක්‍රීයකරණය සහ ධාරිතා සංවර්ධනය යන උපායමාර්ග හතර ඔස්සේ මෙම ගැටලුවට විසඳුම් සෙවීමට රජය විසින් කටයුතු ‍ෙකරෙමින් පවතියි. ඒ අතුරින්, ‘අධිකරණ ස්වයංක්‍රීයකරණය’ ව්‍යාපෘතිය යටතේ නඩු ගොනු කිරීම හා නඩු ගොනු කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් අධිකරණයන්හි ස්ථාපිත කිරීමට අපේක්ෂිත අතර, 2016 අයවැය මඟින් ඒ සඳහා රුපියල් මිලියන 500ක අරමුදල් වෙන් වී තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ඒ සඳහා තාක්ෂණික හා මූල්‍ය හැකියාවක් සහිත ආයතන වෙතින් යෝජනා කැඳවීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 70 වන සංවත්සර සැමරුම
     
    1947 වර්ෂයේ ඔක්තෝබර් මස 14 දින ඇරඹුණු මෙරට පාර්ලිමේන්තු ක්‍රමයට වසර 70ක් සපිරීම නිමිත්තෙන්, 'ශ්‍රී ලංකාවේ 70 වසරක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය’ සැමරීම සඳහා සාක් රටවල ගරු කථානායකතුමන්ලාගේ සමුළුවක් 2017 ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමටද කටයුතු සංවිධානය කරනු ලැබ තිබේ. 
     
    ඊට සමගාමීව 1947 සිට මේ දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සම්බන්ධ ‍ෙඑතිහාසික තොරතුරු, දත්ත හා ඡායාරූප ඇතුළත් සමරු වෙළුමක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම සම්පාදනය කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 03ක අරමුදල් සලසා ගැනීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2014 වර්ෂයේ ජුනි මස 15 සහ 16 යන දිනයන්හිදී බේරුවල, අලුත්ගම යන ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් මියගිය තැනැත්තන්ගේ පවුල්වලට හා තුවාල ලැබූ තැනැත්තන්ට වන්දි ප්‍රදානය කිරීම
     
    2014 වර්ෂයේ ජුනි මස 15 සහ 16 යන දිනයන්හිදී බේරුවල, අලුත්ගම යන ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගොස් 12 දෙනෙක් තුවාල ලැබූහ. විපතට පත් තැනැත්තන් හා සම්බන්ධ සානුකම්පිත කරුණු සැලකිල්ලට ගනිමින් එම සිද්ධියෙන් මියගිය එක් තැනැත්තෙකු වෙනුවෙන් රුපියල් මිලියන 02ක් බැගින් ඔවුන්ගේ පවුල් වෙත වන්දි පිරිනැමීමටත්, එම සිද්ධියෙන් තුවාල ලැබූ එක් අයෙකු වෙනුවෙන් උපරිමය රුපියල් 500,000/-ක් දක්වා වන්දි ප්‍රදානය කිරීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මුලතිව් දිස්ත්‍රික්කයේ කෙප්පාපිලව් ගම්මානයේ නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කරගැනීම
     
    උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පැවති ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව සිය ගම්බිම්වල නැවත පදිංචි කිරීම සඳහා රජය ප්‍රමුඛතාව දී තිබේ. කලින් සාමාන්‍ය ජනතාව සතුව පැවති ඉඩම්වල පිහිටුවා ඇති සිය කඳවුරු වෙනත් ස්ථානවල පිහිටුවීම මඟින් ආරක්ෂක හමුදා මෙයට සහාය දක්වනු ලබයි. ඒ අනුව, ආරක්ෂක හමුදා භාරයේ පැවති මුලතිව් දිස්ත්‍රික්කයේ කෙප්පාපිලව් ගම්මානයේ පිහිටි පෞද්ගලික ඉඩම් අක්කර 432ක් මේ වන විට නිදහස් කරනු ලැබ ඇති අතර, තවත් පෞද්ගලික ඉඩම් අක්කර 111ක් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා නිදහස් කිරීමට යුද හමුදාපතිවරයා එකඟ වී තිබේ. ඒ අනුව එකී ඉඩම් ප්‍රමාණය නිදහස් කරගැනීම සඳහා එම ඉඩම්වල පිහිටි හමුදා කඳවුරු වෙනත් ස්ථාවල ස්ථාපනය කිරීමට අවශ්‍ය අරමුදල් වෙන්කරවා ගැනීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වැලිසර පිහිටි නාවික මහ රෝහලේ (කොළඹ) වහලය මත සූර්ය බලශක්ති පද්ධතියක් සවි කිරීම
     
    නාවික හමුදාව සතු ප්‍රධානතම රෝහල වැලිසර නාවික සංකීර්ණයේ පිහිටි ඇඳන් 200කින් සමන්විත රෝහලයි. මෙම රෝහල පවත්වාගෙන යාමේදී විදුලිය සඳහා වැය වන අධික පිරිවැය අවම කරගැනීමේ අරමුණින් එම රෝහලේ වහලය මත ජාතික විදුලිබල ජාලයට සම්බන්ධ කෙරෙන කි.වො.450 සූර්ය බලශක්ති පද්ධතියක් සවි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්ත අංක 01හි තීරුබදු රහිත වෙළඳසල් පවත්වා ගෙන යෑම (Operation of Core Category Duty Free Concession)
     
    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්ත අංක 01හි පැමිණීමේ හා පිටවීමේ සීමිත පෙදෙස්වල ප්‍රධාන ගණයේ තීරුබදු රහිත වෙළඳසල් ඉදිරි වසර 05ක කාලය සඳහා පවත්වා ගෙන යෑම (Operation of Core Category Duty Free Concession) පිණිස වන දෙවන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ස්විට්සර්ලන්තයේ Dufry AG වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම
     
    වයස අවුරුදු 05 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන මිලියන 4.5ක් වූ මෙරට පාසල් දරුවන් සියලු දෙනාම වෙනුවෙන් රුපියල් 200,000/-ක් වටිනා රක්ෂණාවරණයක් බැගින් නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 රජයේ අයවැය මඟින් රුපියල් මිලියන 2,700ක් වෙන් කරනු ලැබ තිබේ. යෝජිත රක්ෂණාවරණය මඟින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10,000/-ක් සහ රෝහල්ගත වීමකදී රුපියල් 100,000/-ක් දක්වා ආවරණය සැලසෙනු ඇත. ඊට අමතරව පාසල් දරුවෙකුගේ හදිසි මරණයකදී දෙමව්පියන්ට රුපියල් 100,000/-ක්ද, සිය මවගේ හෝ පියාගේ හදිසි මරණයකදී පාසල් දරුවාට රුපියල් 75,000/-ක්ද මෙම රක්ෂාණාවරණය මඟින් ගෙවනු ලබයි. තවද, පාසල් දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමකදී රුපියල් 100,000/-ක්ද, අර්ධ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් 50,000/- සිට 100,000/- දක්වාද මේ යටතේ වන්දි ලබාගත හැකි වේ. 
     
    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,348ක වාර්ෂික වාරිකයකට යටත්ව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (Sri Lanka Insurance Corporation Ltd.) මඟින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථය නැවත ඇතිරීම
     
    සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 400, 1 වන පන්තියේ කෘත්‍රිම ධාවන පථය හා මීටර් 200 කෘත්‍රිම ධාවන පථය නැවත ඇතිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 269.33කට Access - Conica JV වෙත පිරිනැමීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි අනුස්මරණ ස්මාරකය තැනීම
     
    යහපාලන මූලධර්ම මත පදනම් වූ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, ආගමික සමඟිය, ජාතික සංහිඳියාව මෙරට ස්ථාපනය කිරීමෙහි ලා අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් විසින් ඉටු කරනු ලැබූ මහඟු මෙහෙය ස්මරණය කිරීම උදෙසා 'අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි අනුස්මරණ ස්මාරකයක්' ඉදි කිරීමටත්, ඒ සඳහා මූල්‍යමය දායකත්වය රජය මඟින් ලබා දීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම හා ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීම
     
    පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සැලසීමට රජය විසින් මේ වන විට පහත සඳහන් ක්‍රියාමාර්ග ගනු ලැබ ඇති බවත්, එම සහන සැලසීමේ කටයුතු ඉදිරි මාස 02 තුළද අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවත් අවධාරණය කරමින් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සටහන අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී: 
     
    * විපතට පත් දිස්ත්‍රික්ක 20ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 117ක පදිංචි පවුල් 240,338ක් සඳහා පානීය ජලය සැපයීම. 
     
    * නියං සහනාධාර ලෙස මසකට රුපියල් 5,000/-ක් වටිනා වියළි සලාකයක් ලබා දීම.
     
    * වනජීවීන් සඳහා ජලය සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
     
    * මුදල් අපහසුතාවන්ට මුහුණ දී ඇති සමුපකාර සමිති වෙත දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් අත්තිකාරම් නිකුත් කිරීම.
     
     
    2017 සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඇතැම් වර්ගවල පොලිතීන් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය තහනම් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම
     
    ඇතැම් වර්ගවල පොලිතීන් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය 2017 සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2017‑07‑11 දින ගනු ලැබූ තීරණය එපරිද්දෙන්ම ක්‍රියාත්මක කිරීමටත්, එම තහනම ක්‍රියාත්මක කිරීම මඟින් බලපෑමට ලක්වන පොලිතීන් නිෂ්පාදකයින්, පොලිතීන් ආශ්‍රිත ඇසුරුම්කරණ කර්මාන්තවල නිරතවන්නන් හා පොලිතීන් තොග වෙළඳුන් පොලිතීන් සඳහා වන විකල්පයන් වෙත ක්‍රමානුකූලව යොමු කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya