අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2017-06-27

    ජූනි 28, 2017
    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර උදර්පණ ගිවිසුම
     
    සාපරාධී කටයුතු වැළැක්වීම සහ මැඬපැවැත්වීම සඳහා වඩාත් ඵලදායී සහයෝගිතාවක් වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා වියට්නාම් සමාජවාදී ජනරජය අතර ඇති කර ගනු ලැබ ඇති උදර්පණ ගිවිසුම, ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර අමාත්‍ය මණ්ඩලය විසින් එය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලදී.
     
     
    දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුහුරුවීමේ ජාතික සැලසුම ක්‍රියාවට නැංවීම
     
    නිවර්තන කලාපයේ පිහිටි දූපත් රාජ්‍යයක් වීම හේතුවෙන් දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට ශ්‍රී ලංකාව ලක් වීමේ ඉතා ඉහළ අවදානමක් පවතී. එබැවින් ඊට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන අදාළ සියලු පාර්ශ්වවල සහභාගිත්වය ඇතිව, එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ නිර්නායක මත පදනම්ව සහ එහි මූල්‍ය දායකත්වය සහිතව 'දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුහුරුවීමේ ජාතික සැලසුම - 2016 - 2025' සකස් කරනු ලැබ තිබේ. එම සැලැස්ම මඟින් දේශගුණ විපර්යාස හේතුවෙන් අවදානමට ලක් වන ආහාර සුරක්ෂිතතාව, ජලසම්පත්, වෙරළ හා සමුද්‍රය, සෞඛ්‍ය, මානව ජනාවාස හා යටිතල පහසුකම්, පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය, සංචාරක සහ විනෝදාස්වාදය, අපනයන කෘෂිකර්මය, කර්මාන්ත, බලශක්ති සහ ප්‍රවාහනය යන ක්ෂේත්‍ර ආවරණය වේ. ඒ අනුව, ආංශීය ප්‍රමුඛතාවන් පදනම් කරගනිමින්, මධ්‍යකාලීනව ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ප්‍රමුඛතාගත කරමින් එම සැලැස්ම 2016 - 2025 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ඵලදායී සහ ආචාරධර්මවලින් පිරිපුන් රාජ්‍ය සේවා වටපිටාවක් ඇති කිරීම
     
    වර්තමානයේ පවතින තරගකාරී, ශීඝ්‍ර ලෙස වෙනස්වෙමින් පවතින, සංකීර්ණ අභියෝග සඳහා මුහුණ දීම පිණිස යහපාලන මූලධර්ම, පුරවැසි කේන්ද්‍රීය සේවාව, උසස් ගුණාත්මක සේවය, ප්‍රතිඵල සඳහා වගකියන කළමනාකරණය යන අංග ලක්ෂණවලින් සමන්විත නව රාජ්‍ය සේවා වටපිටාවක් නිර්මාණය කළ යුතුව ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ජාතික සභාව (NHRDC) විසින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA), කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය යන ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා යෝජනා කරනු ලැබ ඇති පොදු යෝග්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රජයේ අනුග්‍රහයෙන් ඉදි කරනු ලබන ගොඩනැඟිලි සඳහා ආපසු බදු දීමේ OPEX මොඩියුලය යොදා ගැනීම (Lease Back OPEX Module)
     
    රටේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනයවීමත් සමඟ රාජ්‍ය අංශය සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් අවශ්‍යතාවද ක්‍රමයෙන් වැඩි වී ඇත. රජයට අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා 2016 දී රුපියල් බිලියන 21.4ක් ද 2017 දී රුපියල් බිලියන 16.3ක් ද වැය කර ඇති අතර ඒ හේතුවෙන් ප්‍රමුඛතා සංවර්ධන වැඩසටහන් සඳහා අරමුදල් යෙදවීමට ඇති හැකියාව සීමා වී තිබේ. මෙයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති ආපසු බදු දීමේ ආකෘතිය (Lease Back Module) යටතේ රජය විසින් ඉදිරිපත් කරනු ලබන පිරිවිතරයන්ට අනුව ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා රජයට අයත් ඉඩම් පෞද්ගලික ආයෝජකයින්ට බදු පදනම මත ලබා දීමටත්, ඉදි කරනු ලබන ගොඩනැඟිල්ල එකඟ වූ කාලයක් සඳහා කුලී පදනම මත රජය විසින් භාවිතා කිරීමටත්, එහිදී ඉඩම සඳහා පෞද්ගලික ආයෝජකයා විසින් රජයට‍ ගෙවිය යුතු බදු මුදල රජය විසින් ගොඩනැඟිල්ල සදහා ගෙවිය යුතු බදු මුදලට හිලව් කිරීමත් සිදු වන බැවින් එය රජයට වාසිදායක තත්ත්වයක් වනු ඇති අතර මෙම ක්‍රමවේදය මඟින් රජයේ අරමුදල් ප්‍රවාහයට සිදු වන බලපෑම ඉතා අඩු වනු ඇත. ඒ අනුව, රජයට අවශ්‍ය ගොඩනැඟිලි ඉඩකඩ සපුරා ගැනීම සඳහා රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතා යන්ත්‍රණය හරහා මූල්‍ය ප්‍රවාහය සලසා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස 'දේපළ ආපසු බදු දීමේ සංවර්ධන ආකෘතිය' යොදා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    නායයෑම් අධි අවදානම් කලාපවල ජීවත් වන පවුල් සඳහා ස්ථිර නිවාස ඉදි කිරීම
     
    ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09ක පිහිටි නායයෑම් අධි අවදානම් කලාපවල පදිංචි පවුල් සංඛ්‍යාව 14,680ක් බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධාන විසින් හඳුනාගනු ලැබ තිබේ. අධික වර්ෂාව පවතින කාලවලදී මෙම පවුල් ආපදාවට ලක්වීමේ අවදානමක් පවතින බැවින් ඔවුන් පදිංචි ස්ථානයන්ගෙන් ඉවත් කර කඩිනමින් සුදුසු වෙනත් ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, එම පවුල් සඳහා ආරක්ෂිත ස්ථානවලින් ඉඩමක් හා නිවසක් මිල දී ගැනීම සඳහා රජයෙන් මූල්‍යාධාර ලබා දීමටත්, එහිදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිවලින් නිවාස ලබා දීමේ හැකියාව සොයා බැලීමටත්, එම පවුල් නැවත අධි අවදානම් කලාපවල පිහිටි සිය නිවාසවල පදිංචිවීම වැළැක්වීම සඳහා සුදුසු පියවර ගැනීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ආපදා කළමනාකරණය සම්බන්ධව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම
     
    ආපදා කළමනාකරණය එක් ආයතනයක හෝ එක් සංවිධානයක හෝ කාර්යයක් නොවන අතර, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇතුළු සමස්ත මහජනතාවගේ දායකත්වය ලබා ගත යුතු කාර්යයකි. ඒ අනුව, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි සේවයේ නියුතු ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය පිළිබඳ නිපුණත්වය සහිත සම්පත් දායකයන්ගේ සහයෝගය ලබාගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, පාසල් ප්‍රජාව හා ව්‍යවසායකයන් ආපදා අවම කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ආපදා අවදානම අවම කිරීම හා ප්‍රතිචාර දැක්වීම සඳහා පළාත් පාලන ආයතනවල සහාය ලබා ගැනීම
     
    ආපදා තත්ත්වයන්ට මුහුණ දීමේ අවදානම අවම කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට වැදගත් කාර්යභාරයක් පැවරෙන බව ජාතික ආපදා කළමනාකරණ ප්‍රතිපත්තිය මඟින් පිළිගනු ලැබ තිබේ. සියලුම සංවර්ධන කටයුතු සැලසුම් සඳහා පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගත යුතු අතර, තම පළාත් පාලන බල ප්‍රදේශ තුළ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවලට ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රමවේද ඇතුළත් කළ හැකි වන සේ අතුරු ව්‍යවස්ථා සකස් කිරීමට විධිවිධාන ජාතික පළාත් පාලන ප්‍රතිපත්තිය මඟින් සලසා ඇත. එබැවින් ආපදාවලට ගොදුරුවිය හැකි ප්‍රදේශවල සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සහ ඉදි කිරීම් කටයුතු සිදු කිරීමේදී නියමිත ගොඩනැඟිලි ප්‍රමිතීන් හා අදාළ උපදෙස් භාවිතා කිරීම ඉතා වැදගත් වේ. 
     
    පළාත් පාලන ආයතන පාලනය කිරීමේ හා අධීක්ෂණය කිරීමේ බලතල පළාත් සභා වෙත පැවරී ඇති බැවින්, ආපදා කළමනාකරණ පනත යටතේ නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව අදාළ පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ආපදා කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට එක් එක් පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරුන්ට සහාය ලබා දීමටත්, ඒ සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ සහාය ලබාගැනීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2017 වර්ෂයේ පළමු කාර්තුව අවසානයට රජයේ ආදායම් පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
     
    2017 මුල් කාර්තුවේ රාජ්‍ය ආදායම රුපිල් බිලියන 436ක් වන අතර මුළු රාජ්‍ය ආදායමෙන් 95%ක් එනම් රුපියල් බිලියන 415ක් බදු ආදායම වේ. පළමු කාර්තුවේ ආදායම් රැස් කිරීමේ ප්‍රතිශතය වාර්ෂික ආදායම් ඇස්තමේන්තුවෙන් 22%ක් හා පළමු කාර්තුවේ ඉලක්කයෙන් 94%ක් වේ. එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැඟීමේ බදුවලින් අපේක්ෂිත ඉලක්ක අභිබවා ආදායම් වැඩි කරගෙන ඇත. එසේ වුවත්, ආදායම් බදු හා සුරාබදු අය කිරීම් සම්බන්ධයෙන් වූ ඉලක්ක වෙත ළගා වී නැත. විශේෂයෙන් මත්පැන් හා දුම්වැටි සඳහා වන සුරා බදු රැස්කිරීමේ අඩු ප්‍රගතියක් දක්නට ලැබෙන බවත් අවදානයට ලක් කරනු ලැබ තිබේ. එම කරුණ ඇතුළත් 2017 පළමු කාර්තුවේ එක් එක් මාසය අවසානයට හා කාර්තුව අවසානයට රජයේ ආදායම් විස්තර ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ගලේවෙල පිහිටි ගලේවෙල පොලිස් ස්ථානය පිහිටුවීම සඳහා ඉඩම් කොටසක් ලබාදීම
     
    මහ දඹුල්ල සංවර්ධන සැලැස්ම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කර ගනු ලැබ ඇති, ගලේවෙල නගරයේ පිහිටි අක්කර 24ක පමණ ඉඩම් කොටසෙන් අක්කර 1 1/2ක් පමණ වන බිම් කොටසක් ගලේවෙල පොලිස් ස්ථානය ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
     
    2017 වර්ෂයේ අයවැය මඟින් ප්‍රධාන ව්‍යාපෘති 06ක් යටතේ, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් වී ඇති ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 06ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ වන ව්‍යාපෘති සංරචකය යටතේ ව්‍යාපෘති 13ක් ද, පළාත් බද නාගරික ප්‍රදේශ සංවර්ධන ව්‍යාපෘති 16ක් ද, නාගරික ප්‍රදේශ සංවර්ධනය හා නාගරික සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ව්‍යාපෘති 10ක් ද වශයෙන් ඉන් ප්‍රධාන ව්‍යාපෘති 03ක් යටතේ වන රුපියල් මිලියන 20 ඉක්මවන අනු ව්‍යාපෘති 39ක් එකී භාණ්ඩාගාර ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    හෝමාගම පිටිපන තාක්ෂණ නගරයේ ප්‍රධාන පිවිසුම් මාර්ගයක් ලෙස කොට්ටාව - පිංහේන මාර්ගය සංවර්ධනය කිරීම
     
    මාලඹේ, කොට්ටාව, හෝමාගම, අතුරුගිරිය හා කඩුවෙල යන ප්‍රදේශ ආවරණය වන පරිදි බස්නාහිර මහා නගර සැලැස්ම යටතේ විද්‍යා හා තාක්ෂණික නගරය ඉදි කෙරේ. ඒ අනුව, හෝමාගම, පිටිපන ප්‍රදේශයේ අක්කර 200ක භූමි භාගයක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත තොරතුරු තාක්ෂණ හා අනෙකුත් තාක්ෂණ පීඨයන් ස්ථාපිත කිරීම සඳහා වෙන් කර ඇත. එම සංවර්ධන කටයුතුවලට සමගාමීව පහසුවෙන් ලඟාවිය හැකි පරිදි ඒ අවට මාර්ග පද්ධතිය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම කඩිනම් අවශ්‍යතාවක් වශයෙන් හඳුනා ගනු ලැබ තිබේ. 
     
    ඒ අනුව, කඩිනමින් සංවර්ධනය කළ යුතු මාර්ගයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන කොට්ටාව - පිංහේන මාර්ගය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන මඟින් සංවර්ධනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පැසිෆික් මුහුදු ඉස්සන් වගාව සඳහා තායි ලංකා ඇක්වා පුද්ගලික සමාගමට අවශ්‍ය ඉඩම් වෙන් කර දීම
     
    ශ්‍රී ලංකාවේ පුත්තලම් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් අක්කර 10,000ක පමණ ඉඩම් ප්‍රමාණයක කර අඬු ඉස්සන් (Tiger Prawn)වගාව සිදු කෙරෙන අතර වාර්ෂික ඉස්සන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6,030ක් පමණ වේ. ඉන් මෙට්‍රික් ටොන් 2,500ක් පමණ අපනයනය කෙරෙන අතර ඇමරිකානු ඩොලර් මිලියන 16ක පමණ වාර්ෂික ආදායමක් එමඟින් උපයනු ලැබේ. සුදු පුල්ලි රෝගයට ලක්වීම නිසා මෙරට වගා කරනු ලබන ඉස්සන් අපනයන ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් එම කර්මාන්තය පසුබෑමට ලක් වී ඇති අතර, ජලජීවී ඉස්සන් වගාවේ ශීඝ්‍ර වර්ධනයක් සඳහා සුදු පුල්ලි රෝගයට ප්‍රතිරෝධීත්වයක් දක්වන සහ ලෝක වෙළඳ පොළේ ඉහළ ඉල්ලුමක් ඇති පැසිෆික් සුදු ඉස්සන් (Pacific White Shrimp) වගාව මෙරටට හඳුන්වාදීමට යෝජනා වී තිබේ. 
     
    මන්නාරම් දිස්ත්‍රික්කයේ, මාන්තායි - බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෝජිත ජලජීවී වගා කර්මාන්තපුරය ආශ්‍රිතව පැසිෆික් සුදු ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තායි - ලංකා ඇක්වා (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, මාන්තායි - බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 'ජලජීවී වගා කර්මාන්තපුරයක්' වශයෙන් සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති භූමියට ආසන්නයෙන් අක්කර 250ක භූමි ප්‍රදේශයක්, පැසිෆික් සුදු ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා තායි - ලංකා ඇක්වා (පෞද්ගලික) සමාගම වෙත අවුරුදු 30ක කාලසීමාවකට බදු පදනම මත වෙන් කර දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    උක් පර්යේෂණ වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනයේ යුනාන් කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය හා යුනාන් උක් පර්යේෂණ ආයතනය අතර විද්‍යාත්මක සහයෝගිතාව ඇති කර ගැනීම
     
    උක් ජාන ප්ලාස්ම හුවමාරුව හා උපයෝගිතාව, ජාන ප්ලාස්ම ඇගයීම, උක් වගාවට අදාළ දැනුම, තොරතුරු හා විශේෂඥ ඥානය හුවමාරු කරගැනීම, තරුණ විද්‍යාඥයින් පුහුණු කිරීම සහ දෙරටට වැදගත්වන පොදු විෂයයන් සම්බන්ධයෙන් අධ්‍යයනයන් සිදු කිරීම හා පොදු ගැටලු නිරාකරණය කිරීම යන කරුණුවලදී ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගය වර්ධනය කරගැනීමේ අරමුණින් චීනයේ, යුනාන් පළාතේ, කුන්මින්ග් හි පිහිටි යුනාන් කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය හා ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනය අතර උක් පර්යේෂණ වැඩිදියුණු කිරීමේ ගිවිසුමකට හා උක් ප්‍රවේණි ද්‍රව්‍ය හුවමාරු කරගැනීමේ ගිවිසුමකට එළඹීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිතීන් 'මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රමිතීන්' බවට පත් කිරීම
     
    වයස අවුරුදු 3 - 5 අතර කාලය තුළ දරුවා විධිමත්ව පෙර පාසලට හුරු වෙමින්, අධ්‍යාපනය ලබාගැනීමේ මූලික හැඩගැස්ම පෙර පාසල ආශ්‍රිතව සකස් කර ගනු ලබයි. වර්තමානයේදී පෙර පාසල් ගුරුවරියන් විවිධ විෂය මාලා ඇසුරෙන් දරුවන් සදහා ක්‍රියාකාරකම් සැලසුම් කරන බැවින් ඒ සඳහා නිවැරදි ප්‍රමිතීන් හඳුන්වා දීම අත්‍යවශ්‍ය කරුණක් වේ. ඒ අනුව, ළමා ලේකම් කාර්යලය විසින් සකස් කරනු ලැබ, අදාළ අමාත්‍යාංශ සහ සියලු පළාත් සභා වල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් මඟින් සමාලෝචනය කරනු ලැබ ඇති ඇති 'මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිතීන්' 'මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රමිතීන්' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, එම ප්‍රමිතීන් පළාත් සභා, පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ ඒකාබද්ධ වෙමින් ක්‍රියාවට නැංවීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලාංකික තාක්ෂණික සීමාවාසිකයන් සඳහා ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු අවස්ථා ලබා දීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
     
    තාක්ෂණික ක්ෂේත්‍රයේ අභ්‍යාසලාභී ශ්‍රී ලාංකික තරුණයින් සඳහා ජපාන සමාගම්වල සීමාවාසික පුහුණු අවස්ථා ලබා දීම පිණිස ජපානයේ ස්ථාපිත කීර්තිමත් මිනිස්බල සංවර්ධන ආයතනයක් වන International Manpower Development Organization (IM Japan) ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පොළොන්නරුව නව තැපැල් සංකීර්ණය ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් තැපැල් දෙපාර්තමේන්තුව වෙත විධිමත්ව පවරා ගැනීම
     
    'පිබිදෙමු පොළොන්නරුව' වැඩසටහන යටතේ යෝජිත නව නගර සංවර්ධන සැලැස්ම අනුව පොළොන්නරුව පූජනීය නගරයේ තැපැල් කාර්යාලය, තැපැල් කාර්යාල නිල නිවස සහ පොළොන්නරුව ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය සහිත ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගැනීමට නියමිත අතර තැපැල් දෙපාර්තමේන්තුවට අහිමි වන එම ඉඩම් සහ ‍ගොඩනැඟිලි වෙනුවෙන් කඳුරුවෙල නගරයේ (දැනට පොළොන්නරුව පැරණි ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටි ඉඩම) තැපැල් සංකීර්ණයක් ඉදි කිරීමට යෝජනා වී ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ඉඩම් තැපැල් දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය - වාද්දුව - මොරොන්තුඩුව (බී449) සහ බෙල්ලන-මොරගල (බී544) මාර්ග දියුණු කිරීම සහ පුනරුත්ථාපනය සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
     
    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) මඟින් සපයනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කෙරෙන බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වාද්දූව - මොරොන්තුඩුව මාර්ගයේ (බී449) කිලෝ මීටර 5.3ක මාර්ග කොටසක් සහ බෙල්ලන - මොරගල මාර්ගයේ (බී544) කිලෝ මීටර 9.8ක මාර්ග කොටසක් දියුණු කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර, ඒ සඳහා ලංසු 08ක් ලැබී තිබේ. එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව සාර්ථක අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින්ග් පෞද්ගලික සමාගම වෙත පැවරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ජාතික වැඩසටහන සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
     
    ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ජාතික වැඩසටහන යනු මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය (HIV), නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා සහ ලක්ෂණය (AIDS) සහ ලිංගාශ්‍රිත බෝවන රෝග (STD) හඳුනාගැනීම, ප්‍රතිකාර කිරීම සහ වළක්වාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික කේන්ද්‍රස්ථානය වශයෙන් කටයුතු කරනු ලබන මහජන සෞඛ්‍ය වැඩසටහනකි. දැනට වාර්ෂිකව නවක රෝගීන් 23,000ක් පමණ ප්‍රතිකාර සඳහා මෙකී සායන වෙත පැමිණෙන අතර ප්‍රතිකාර සේවා අවශ්‍ය එහෙත් හඳුනා නොගත් HIV ආසාදිත රෝගීන් 4,000ක් පමණ රට තුළ සිටින බවට ගණන් බලා ඇත. 
     
    මෙම වැඩසටහනේ ප්‍රධාන කාර්යාලය කොළඹ 10, ද සේරම් ප්‍රදේශයේ දැනට පිහිටුවා ඇති අතර ඒ යටතේ වන අනෙකුත් කාර්යාල ඒකක කිහිපයක් ටීබී ජයා මාවතේ කුලී පදනම මත ලබාගත් ස්ථානයක පවත්වාගෙන යනු ලැබේ. මෙම වැඩ සටහනේ කටයුතු ස්ථාන දෙකක පවත්වාගෙන යාම මඟින් ඇති වන අපහසුතා වළක්වා ගැනීම පිණිස දැනට එම වැඩසටහනේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යනු ලබන ස්ථානයේම මහල් 4කින් යුත් ගොඩනැඟිල්ලක් අලුතින් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    නැ‍ඟෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ සමාකරණ මධ්‍යස්ථානය (Simulation Center) ඉදි කිරීම
     
    පහසුවෙන් ලඟා විය හැකි, ඉහළ ප්‍රමිතියකින් යුත් රෝගී සත්කාරක සේවාවක් ලබා දීම මඟින් හදිසි අනතුරු හේතුවෙන් සිදු වන මරණ සහ ආබාධිතවීම් වළක්වාගැනීමේ අරමුණින් නැ‍ඟෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලෙහි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ සමාකරණ මධ්‍යස්ථානයක් (Simulation Center) ස්ථාපනය කිරීමට යෝජනා වී ඇත. මෙම ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරඟකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා ලංසුකරුවන් 13 දෙනෙකු ඉදිරිපත් වී ඇත. 
     
    එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Link Engineering (Pvt) Ltd. වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
     
    පහසුවෙන් ලඟා විය හැකි, ඉහළ ප්‍රමිතියකින් යුත් රෝගී සත්කාරක සේවාවක් ලබා දීම මඟින් හදිසි අනතුරු හේතුවෙන් සිදු වන මරණ සහ ආබාධිතවීම් වළක්වාගැනීමේ අරමුණින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලෙහි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. මෙම ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරඟකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා ලංසුකරුවන් 10 දෙනෙකු ඉදිරිපත් වී ඇත. 
     
    එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Link Engineering (Pvt) Ltd. වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කළුතර මහ රෝහලේ පරිපාලන ගොඩනැඟිල්ල ඉදි කිරීම අදියර II
     
    කළුතර මහ රෝහල බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහලක් ලෙස වැඩිදියුණු කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව මෙම රෝහලේ පරිපාලන ‍කාර්යයන් ක්‍රියාත්මක කරනු ලබන ගොඩනැඟිල්ලේ දැනට පවතින අඩු ඉඩ පහසුකම් සඳහා පිළියමක් ලෙස එම ගොඩනැඟිල්ලේ II අදියරේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසුකරුවන් 05 දෙනෙකු ඉදිරිපත් වී තිබේ. 
     
    එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමයට හඳුන්වා දීම
     
    සමස්ත රාජ්‍ය වියදම්වලින් 20% - 25% අතර ප්‍රමාණයක් වැය වනුයේ රාජ්‍ය අංශය සඳහා භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීමට වන බැවින් රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු අංශයක් වේ. වර්තමාන ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු ඇගයීම සඳහා දීර්ඝ කාලයක් ගත වීම, විනිවිදභාවය හා තරගකාරිත්වය අඩුවීම ආදී අඩු පාඩු හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදු වන අතර එය රටේ ආර්ථික සංවර්ධනය කෙරෙහි සෘජුවම බලපානු ලබයි. 
     
    'විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදනය - ජයග්‍රහණ, අවස්ථා හා අභියෝග' යන තේමාව යටතේ අතිගරු ජනාධිපතිතුමා සහභාගි වූ 2017 පෙබරවාරි මස 20 දින සිට 23 දින දක්වා කොළඹදී හා මහනුවරදී පැවැති දකුණු ආසියානු කලාපීය ප්‍රසම්පාදන සමුළුවේදී ශ්‍රී ලංකාව හැර අනෙකුත් බොහෝ දකුණු ආසියානු රටවල් විසින් විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය භාවිතා කරන බවත්, එමඟින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගෙන ඇති බවත් හෙරළිදරව් වී ඇත. නවීන තාක්ෂණය භාවිතය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින ඇතැම් දුර්වලතා අවම කරගැනීමට යොදා ගත හැකි බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලියද ඒ අනුව ප්‍රතිනිර්මාණය කර විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදයන් හඳුන්වා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත. 
     
    ඒ අනුව, රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක කිරීමටත්, ජාතික ප්‍රසම්පාදන කොමිසමේද එකඟතාව සහිතව ඒ සඳහා සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිණිස රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් ආදළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා තලපත්පිටිය රෝහල පාරේ පිහිටි ඉඩමක් බදු දීම
     
    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත අත්පත් කර ගනු ලැබ ඇති බත්තරමුල්ල හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ඉඩම් ප්‍රමා‍ණයෙන් අක්කර 06- රූඩ් 00-පර්චස් 9.60ක විශාලත්වයෙන් යුත් ඉඩම් කොටසක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු සංවර්ධකයෙකු හඳුනාගැනීම පිණිස රජයේ ප්‍රසම්පාදන පටිපාටිය යටතේ ලංසු කැඳවා ඇත. මේ සඳහා ලංසුකරුවන් තිදෙනෙක් ඉදිරිපත් වී ඇති අතර, ඔවුන්ගේ තාක්ෂණික යෝජනා ඇගයීමට ලක් කළ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී ඉඩම් කොටස සඳහා රජයේ තක්සේරුවට (රුපියල් මිලියන 514) සාපේක්ෂව ඉහළම මිලක් ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජකයා වන මොනාක් ඉම්පීරියල් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය වෙත රුපියල් මිලියන 1,200ක මුදලකට, නියමිත කොන්දේසිවලට යටත්ව, අදාළ ඉඩම 99 අවුරුදු බදු පදනම මත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    තැපැල් දෙපාර්තමේන්තුවට සුවිශේෂී වූ සේවා ව්‍යවස්ථාවක් අනුමත කරවාගැනීම
     
    රාජ්‍ය පරිපාලන චක්‍රලේක අංක 06/2006හි විධිවිධාන පරිදි තැපැල් දෙපාර්තමේන්තුව සඳහා බඳවාගැනීමේ පටිපාටි 09ක් අනුමත කරවා ගෙන ඇති නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී උද්ගතව ඇති ප්‍රායෝගික ගැටලු නිරාකරණය ගත යුතුව තිබේ. ඒ අනුව එක් එක් ශ්‍රේණි සඳහා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි බඳවා ගැනීම් පටිපාටිවලින් සමන්විත වූ තැපැල් දෙපාර්තමේන්තුවට අනන්‍ය සේවා ව්‍යවස්ථාවක් සකස් කරගැනීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් නම් කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, මුදල් හා ජනමාධ්‍ය, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු යන අමාත්‍යාංශවල සහ ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව රෝහල රජයට පවරා දීම සහ දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයේ (SAITM) අනාගත කළමනාකරණ ව්‍යූහය සඳහා වූ යෝජනා
     
    ඇඳන් 100ක් සහිත කාමර පහසුකම් සහ ඇදන් 500කින් යුතු සාමාන්‍ය වාට්ටු සහිත පෞද්ගලික රෝහලක් ලෙස 2013 වසරේදී ආරම්භ කරන ලද මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව රෝහල මසකට බාහිර රෝගීන් 3,000කට පමණ සහ නේවාසික රෝගීන් 100කට පමණ ප්‍රතිකාර ලබා දෙමින් ක්‍රමික වර්ධනයක් අත් කර ගනු ලැබූ නමුත් දැනට පැනනැඟී ඇති වාතාවරණය හමුවේ වෛද්‍ය සිසුන් පුහුණු කිරීමට ප්‍රමාණවත් නේවාසික රෝගීන් සංඛ්‍යාවක් එම රෝහල වෙත යොමු කරගැනීමේ අපහසුතා මතු වී තිබේ. 
     
    නැ‍ඟෙනහිර කොළඹ ප්‍රදේශයේ තෘතීය සෞඛ්‍ය සත්කාර සේවා සපයන ආයතනයන්ගේ පවතින සීමිත බව සහ අධීවේගී මාර්ගයට සමීපව පිහිටා තිබීම හේතුවෙන් දුර බැහැර රෝගීන්ට පහසුවෙන් ප්‍රවේශවීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන රුපියල් බිලියන 3.55ක රජයේ තක්සේරු වටිනාකමකින් යුත් මාලඹේ, නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා රජය වෙත පවරා ගැනීමටත්, එම රෝහල ස්ථාපනය කිරීම සඳහා SAITM ආයතනය විසින් ලංකා බැංකුවෙන් ලබා ගනු ලැබ ඇති ණය මුදල වසර 10ක් තුළ නිරවුල් කිරීමෙන් අනතුරුව, එහි හිමිකම රජය වෙත මුළුමණින්ම පවරා ගැනීමටත්, වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාලනය වන ආකෘතියට සමානව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන පාලක මණ්ඩලයක් මඟින් මෙම රෝහල කළමනාකරණය කිරීම මඟින් මහජනතාවට නොමිලේ සෞඛ්‍ය සත්කාරක සේවා ලබා දීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද, දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයේ (SAITM) අයිතිය පුළුල් කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව විමසා විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවටද තීරණය විය.
     
     
    බස්නාහිර කලාපය තුළ ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දිගු කාලීන විසඳුම් - පුත්තලම, අරුවක්කාළු සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය
     
    කොළඹ නගරය තුළ දෛනිකව ඒකරාශී වන මෙට්‍රික්ටොන් 1,200ක් පමණ වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දිගුකාලීන විසඳුමක් වශයෙන් එම අපද්‍රව්‍ය නියමිත පරිදි ඇසුරුම් කර අඩි 20 බහාලුම් මඟින් කැලණියේ සිට පුත්තලම, අරුවක්කාළු ප්‍රදේශය වෙත දුම්රිය මඟින් ප්‍රවාහනය කර හුණුගල් ලබාගැනීම සඳහා කැණීම් කර අත්හැර දමා ඇති ආකර ප්‍රයෝජනයට ගනිමින් ඉදි කිරීමට නියමිත සනීපාරක්ෂක බිම් පිරවුමකට (Sanitary Landfill) සුරක්ෂිත අයුරින් බැහැර කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සහ වයඹ පළාත් පරිසර අධිකාරියේ මූලික පාරිසරික පරීක්ෂණ වාර්තා ලබාගැනීම පිණිස කටයුතු කරමින් පවතින අතර එකී වාර්තා ජුලි මස අවසන් වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව ව්‍යාපෘතියේ මූලික මෙහෙයුම් කටයුතු මාස 06-08ක් තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලැබේ. 
     
    මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට ලෝක බැංකුව විසින් මූලික වශයෙන් එකඟ වී ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික ප්‍රසම්පාදන මා‍ර්ගෝපදේශ ප්‍රකාරව 'සීමිත ජාත්‍යන්තර තරඟකාරී' සහ 'සීමිත දේශීය තරඟකාරී' ලංසු කැඳවීමටත්, යෝජිත ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් අරුවක්කාළු ඉඩමින් අත්පත් කරගැනීමටත්, එහි මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් හා දේපළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව, සීමාසහිත සියාම් සිටි සිමෙන්ට් (ලංකා) පෞද්ගලික සමාගම ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම පිණිස අදාළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත බලය පැවරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya