මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017.04.25

    අප්‍රේල් 26, 2017

    2017.04.25 වැනි දින පැවති අමාත් මණ්ඩල රැස්වීමේදී එළැබුණු තීරණ පහත සඳහන් වේ.

     

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළව දැනට ක්‍රියාත්මක වන නිර්ණායක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නියෝගය හා නීතිපතිවරයාගේ උපදෙස් හා අනුව අදාළ නිර්ණායක සංශෝධනය කිරීමටත්, ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතෙහි අදාළ වගන්ති සංශෝධනය කිරීමටත්, ගාලු පාරේ බස් රථ ධාවනය කරනු ලබන බලපත්‍රලාභීන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම පිණිස නැවත ටෙන්ඩර් කැඳවීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මාතර රිවර්සයිඩ් පාර්ක් (උද්‍යාන) සංවර්ධනය

    මාතර 'රිවර්සයිඩ් පාර්ක් සංවර්ධන ව්‍යාපෘතිය', මාතර නාගරික සංවර්ධන සැලස්ම යටතේ වන ප්‍රමුඛතා ව්‍යාපෘතිවලින් එකකි. ඒ යටතේ පුස්තකාලයක් ඉදි කිරීම, ක්‍රීඩාගාරයක් ඉදි කිරීම, ජලාශ්‍රිත නිවාස සංවර්ධන කටයුතු, කාර්යාල හා ආයතනික සංවර්ධන කටයුතු, ජාතික උත්සව මධ්‍යස්ථානය ඉදි කිරීම, බෝට්ටු අංගන පහසුකම් සහිත ගඟබඩ ක්‍රීඩා කටයුතු හා රථගාල් ඉදි කිරීම සිදු කෙරෙන අතර මෙහි පළමු අදියර යටතේ ගංඉවුරු ඛාදනය වැළැක්වීමට අදාළ සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉදිරියට කර ගෙන යාමටත්, ඒ සඳහා දැනටමත් අත්පත් කරගනු ලැබ ඇති ඉඩම්වල අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමටත්, ව්‍යාපෘතිය නිම කළ පසු එහි නඩත්තු කටයුතු මාතර නගර සභාව වෙත පැවරීමටත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ ක්‍රමෝපායික අධ්‍යාපනය සඳහා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය

    (LKIIRSS) හා ගෝලීය කටයුතු පිළිබඳ නේපාල කවුන්සිලය (NCWA) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම

    - අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල දැනුම, පළපුරුද්ද, විද්වත්භාවය සහ තොරතුරු හුවමාරුව වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ ක්‍රමෝපායික අධ්‍යාපනය සඳහා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය (LKIIRSS) හා නේපාලයේ ආණ්ඩු ප්‍රධානියාගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන ලාභ නොලබන ආයතනයක් වන ගෝලීය කටයුතු පිළිබඳ නේපාල කවුන්සිලය (NCWA) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය පුළුල් කිරීම සඳහා යාබදව පිහිටි ඉඩම අත්පත් කරගැනීම

    ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සඳහා වර්ෂයකට සිසුන් 150ක් පමණ දැනට ඇතුළත් කරගනු ලැබේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගනු ලබන සිසුන් සංඛ්‍යාව 5%-10% අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීව මෙම කෘෂිකර්ම පීඨයද සංවර්ධනය කළ යුතු බවට හඳුනාගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් දැනටමත් අත්පත් කර ගනු ලැබ ඇති හෙක්ටයාර 3.6ක ඉඩම් කොටස සංවර්ධනය කිරීමට අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා බස්රථ සේවාව වැඩිදියුණු කිරීම

    පාර්ලිමේන්තු පාරේ රාජගිරිය හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා බස් රථ ප්‍රමුඛතා මංතීරුවක් වෙන් කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහ මෙම ක්ෂේත්‍රයේ වෘත්තීයමය ප්‍රවීණයන්ගේද සහාය ඇතිව 2017 මාර්තු 12 සිට 23 දක්වා වූ කාලය තුළ ක්‍රියාත්මක කරන ලද අතර එය මාර්ග තදබදය අඩු කිරීම සඳහා සාර්ථක විසඳුමක් බව එම සමීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරු වී තිබේ. වඩාත් දියුණු පොදු ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) සහ දුම්රිය විද්‍යුත්කරණය වැනි ව්‍යාපෘති අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගත වන බැවින් කඩිනමින් විසඳුමක් සැපයිය යුතු මාර්ග තදබදයට මුහුණ දීම සඳහා පහත සඳහන් පරිදි 'බස් රථ ප්‍රමුඛතා මංතීරු සංකල්පය' තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට මධ්‍යම පාන්තික පිරිස් ආකර්ෂණය කරගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවන්හි තත්ත්වය ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * කාර්යබහුල වේලාවන්හිදී පහත සඳහන් මාර්ග කොටස්වල බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම:

    - ගාලු පාරේ, මොරටුව සිට රත්මලාන දක්වා සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

    - පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තු හංදියේ සිට රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පිටකොටුව හරහා කොළඹ කොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

    - කොළඹ, චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුමේ සිට පිටකොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

    - තුම්මුල්ල හන්දියේ සිට කෞතුකාගාර හන්දිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

    - ඇස්වාට්ටුව වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා කොළඹින් පිටතට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව.

    * සාම්ප්‍රදායික බස් රථ සහ ත්‍රී රෝද රථ ආනයනය කිරීම සඳහා බදු සහන දීම වෙනුවට සහනදායී ණය ක්‍රම මඟින් මිටි පත්ල සහිත (Low floor) වායු සමීකරණය කරන ලද මගී බස් රථ ආනයනය ප්‍රවර්ධනය කිරීම;

    * බස් රථවල ඉලොක්ට්‍රොනික කාඩ්පත් මඟින් ගෙවීම් පහසුකම් සහිත පොදු ප්‍රවේශ පත්‍ර පද්ධතියක් සකස් කිරීම;

    * ත්‍රීරෝද රථ/කුලී රථ නැවතුම්පොළ පහසුකම් වැඩිදියුණු කිරීම;

    නියං තත්ත්වයන්ට මුහුණ දීම සඳහා වියළි කලාපයේ වගා ළිං ප්‍රතිසංස්කරණය කිරීම

    ඇති විය හැකි නියං තත්ත්වයන් යටතේ වුවද වියළි කලාපයේ කෘෂිකාර්මික කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා එම කලාපයේ වගා ළිං නිසි ප්‍රමිතියට අනුව ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, වියළි කලාපයේ දිස්ත්‍රික්ක 14ක වගා ළිං ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ග්‍රාමීය වැව් එල්ලංගා පද්ධති වැඩිදියුණු කිරීම

    ජල විද්‍යාත්මක වශයෙන් එකට බැඳුණු පොදු ජල මාර්ගයක පිහිටි ග්‍රාමීය වැව් පද්ධතියක් 'එල්ලංගාවක්' වශයෙන් හඳුන්වනු ලැබේ. පැරැණි මුතුන්මුත්තන් විසින් නිර්මාණය කරන ලද මෙම වාරි ශිල්පීය ක්‍රමය වර්තමානයේ අප මුහුණු දෙන දේශගුණික විපර්යාසය ජය ගැනීම සඳහා ඉතා සුදුසු ක්‍රමයක් ලෙස ඇගයීමට ලක්ව තිබේ. ඒ අනුව, මෙරට දිස්ත්‍රික්ක 9ක විසිරී පවතින එල්ලංගා පද්ධති 21ක් හා ඒ යටතේ ඇති ග්‍රාමීය වැව් 258ක් වැඩිදියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඉදිරි වසර 5ක කාලය තුළ අදාළ ගොවි සංවිධානවලද සහයෝගය ලබා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2016 අයවැය යෝජනාවලට අනුකූලව ශ්‍රී ලංකා පොලීස් සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම

    2016 අයවැය යෝජනාවක් අනුව, ශ්‍රී ලංකා පොලිස් සේවයේ වැටුප් විෂමතාව විසඳීමේ අරමුණින් පොලිස් නිලධාරින් සඳහා 40% විශේෂ දීමනාවක් අදියර ‍දෙකක් යටතේ ගෙවීම සුදුසු බවට හඳුනාගනු ලැබූ අතර ඒ අනුව 2016 වර්ෂයේදී රුපියල් මිලියන 3,000ක් ද, 2017 වර්ෂය සඳහා රුපියල් මිලියන 6,000ක් ද වශයෙන් ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. යෝජිත 40% දීමනාව ලබා දීම සඳහා තවදුරටත් අවශ්‍ය වන රුපියල් මිලියන 1,042ක අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ගොකරැල්ල පොලිස් ස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘති කාල රාමුව දීර්ඝ කිරීම

    රුපියල් මිලියන 95.71 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ගොකරැල්ල පොලිස් ස්ථානය ඉදි කිරීම සඳහා 2015 දෙසැම්බර් මස 23 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. 2016 දෙසැම්බර් මස 31 දිනට මෙම පොලිස් ස්ථානය ඉදි කිරීමේ කටයුතු 30%ක් පමණ අවසන්ව ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා අවශ්‍ය ඉතිරි අරමුදල් නිදහස් කරගැනීමටත්, ව්‍යාපෘති කාලරාමුව 2017 - 2018 දක්වා දීර්ඝ කරගැනීමටත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විෂය පථය පුළුල් කිරීම හා නව්‍යකරණය කිරීම


    1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික නීතිගත සංස්ථා පනත යටතේ පිහිටුවන ලද 'කෘෂිකාර්මික විවිධාංගීකරණ සහ ජනාවාස අධිකාරිය', 1980 වර්ෂයේ සිට 'හරිත දනව්බිම් සංවර්ධනය කිරීමේ මධ්‍යම අධිකාරිය' ('හදබිම') වශයෙන් නම් කරනු ලැබ තිබේ. කෘෂිකාර්මික නිෂ්පාදන සකස් කිරීම හා අලෙවි කිරීම එම අධිකාරියේ ප්‍රධාන කාර්යයන් අතරට ගැනෙන අතර ඒ සඳහා විශේෂ අලෙවි ඒකකයක් 2002 වර්ෂයේ සිට ආරම්භ කර සාර්ථකව පවත්වා ගෙන‍ ගොස් ඇත. හදබිම අධිකාරියේ කටයුතු නව්‍යකරණය කිරීමේ හැකියාව අධ්‍යයනය කි‍රීම සඳහා පත් කරනු ලැබ ඇති විද්වත් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් එම අධිකාරියේ කටයුතු දිවයිනපුරා ව්‍යාප්ත කිරීම පිණිස ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම


    ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යන කාර්යමණ්ඩලය සඳහා නිල නිවාස සංකීර්ණයක් ඉදි කිරීමටත්, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදි කෙරෙමින් පවතින මහල් 17කින් සමන්විත ගොඩනැඟිලි සංකීර්ණයේ ඉතිරි වැඩ කොටස් නිම කිරීමටත් විවෘත තරගකාරි ක්‍රමවේදය යටතේ කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වරාය සහ ඉදිකිරීමට යෝජිත සුවිශේෂ කාර්මික කලාපය ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත හම්බන්තොට ඒකාබද්ධ ජල සම්පාදන හා මලාපවහන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම


    හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරායෙහි කාර්මික කලාපයක් පිහිටුවීම සඳහා රජය විසින් සැලසුම් කර ගෙන යනු ලබන අතර ඒ අනුව, ඉදිරි වසර 05-20ත් අතර කාලය තුළ දී හම්බන්තොට ප්‍රදේශයේ ජලය සඳහා වන ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එලෙස ඉහළ යන ජල ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රදේශයේ දැනට පවත්නා ජල සම්පාදන යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින්, ජලය හා මලාපවාහන පහසුකම් සැලසීම පිණිස යෝග්‍ය සැලස්මක් සකස් කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කඩිනමින් සිදු කළ යුතුව ඇත. එකී ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා චයිනා හෙවි මැෂිනරි කෝපරේෂන් ආයතනයේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා ගැනීමටත්, ශක්‍යතා අධ්‍යයනයේ ප්‍රතිඵල මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්තකරුවෙකු 'ස්විස් චැලෙන්ජ් ක්‍රමවේදය' යටතේ තෝරා ගැනීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දහම් පාසල් ගුරුවරියන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය කිරීමට අවශ්‍ය රෙදි(සාරි) මිල දී ගැනීම 2017


    ස්වේච්ඡාවෙන් සේවය කරනු ලබන දහම් පාසල් ගුරුභවතුන් සඳහා රජය විසින් නොමිලේ නිල ඇඳුම් ලබා දීම 2004 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2017 වර්ෂයේදී දහම් පාසල් ගුරුවරියන්‍ වෙත බෙදා දීම සඳහා අවශ්‍ය හැට්ට රෙද්ද සහිත අත් යන්ත්‍ර සාරි 72,000ක් ජාතික පේෂකර්මාන්ත දෙපාර්ත‍ෙම්න්තු වෙතින් සෘජුවම මිල දී ගැනීම පිණිස බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2017 වසරේ රාජ්‍ය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ සීමාව ඉහළ නැංවීම


    2016 අංක 24 දරන විසර්ජන පනත අනුව 2017 වර්ෂය සඳහා දළ රාජ්‍ය ණය ගැනීමේ උපරිම සීමාව රුපියල් බිලියන 1,579කි. ඉන් රුපියල් බිලියන 1,129ක් දේශීය මාර්ගවලින් හා ඉතිරි රුපියල් බිලියන 450 විදේශීය මාර්ග වලින්ද ලබාගැනීමට ද සැලසුම් කර ඇත. විදේශීය ණය ගැනීම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක ප්‍රමාණයක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් ලබාගැනීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එසේම, දේශීය ණය ගැනීම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් දක්වා ප්‍රමාණයක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම සඳහා 2017 ජනවාරි 10 දින අනුමැතිය ලබා දෙන ලදී. දේශීය වෙළඳපොළ තුළ පවත්නා අඩු ද්‍රවශීලතා තත්ත්වය සහ ඉහළ යන භාණ්ඩාගර බිල්පත් හා භාණ්ඩාගාර ‍බැඳුම්කර පොළී අනුපාතය සැලකිල්ලට ගෙන, මෙම වර්ෂය තුළ කල් පිරීමට නියමිත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ද ඇතුළුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ සීමාව ඇමරිකානු ඩොලර් මිලියන 1,500 සිට ඇමරිකානු ඩොලර් මිලියන 3,000 දක්වා වැඩි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික වැඩසටහන

    මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 2017 - ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති විශේෂ සංස්කෘතික වැඩසටහන 2017 මැයි මස 12 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ද, 2017 මැයි මස 13 දින නෙළුම් පොකුණ රඟහලේදී ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.

     

    පිළියන්දල කහපොල ඉදිකිරීමට යෝජිත බෞද්ධ මධ්‍යස්ථානය


    2017 - ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව බුද්ධශාසන අමාත්‍යාංශය සහ ලයිට් ඔෆ් ඒෂියා පදනම එක්ව දඹදිව ශාක්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ලයිට් ඔෆ් ඒෂියා පදනම විසින් දැරීමට නියමිත අතර ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු ජාත්‍යන්තර වෙසක් දින සැමැරුම් උත්සවයට සමගාමීව අවසන් කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන එකඟතා ගිවිසුමකට ලයිට් ඔෆ් ඒෂියා පදනම හා බුද්ධශාසන අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ආර්ථික ව්‍යාපෘතිවලදී සහයෝගිතාව දැක්වීම පිළිබඳව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම

    ආර්ථික ව්‍යාපෘතිවලදී සහයෝගිතාව දැක්වීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුමක් ඉන්දියානු ජනරජයේ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව අතර ඇති කරගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දෙරට විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු නිශ්චිත ව්‍යාපෘති සම්බන්ධයෙන් විධිමත් ගිවිසුම්වලට එළඹීමට පෙර අදාළ පාර්ශ්වයන් විමසමින් අදාළ එක් එක් අමාත්‍යාංශ විසින් වෙන වෙනම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කෙරෙනු ඇති බවද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

     

    ශ්‍රී ලංකා ත්‍රස්තවාදය මැඩලීමේ යෝජිත පනත සඳහා වන ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමුව


    2017 අප්‍රේල් මස 04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, ආරක්ෂක අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහ අනෙකුත් අමාත්‍යවරුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන, සංශෝධනය කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ත්‍රස්තවාදය මැඩලීමේ යෝජිත පනත සඳහා වන ප්‍රතිපත්ති සහ නීතිමය රාමුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර එම ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමුව අනුමත කිරීමටත්, එය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ත්‍රස්තවාදය මැඩලීමේ යෝජිත පනත කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

     

    කොළඹ මහා නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදි කිරීම


    කොළඹ නගරයේ එකතු වන කසළ බැහැර කිරීම සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටවුක් රජය විසින් පත් කරනු ලැබ ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කසළ කළමනාකරණ පර්යේෂණ ඒකකය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැටකෙයියාව, මුතුරාජවෙල ප්‍රදේශයේ රජයට අයත් අක්කර 05ක භූමි ප්‍රමාණයක් තුළ දිනකට කසළ මෙට්‍රික් ‍ටොන් 400ක් පමණ කළමනාකරණය කළ හැකි සනීපාරක්ෂක කසළ රඳවනයක් ස්ථාපිත කිරීමට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට 2017 වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි නගර අලංකරණය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා කාර්යසාධන බලකායක් හා මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කිරීම


    කොළඹ නගරයේ හා තදාසන්න නගරයන්හි පළාත් පාලන ආයතන විසින් ඝන අපද්‍රව්‍ය අවිධිමත්ව බැහැර කිරීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලුසහගත තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වෙමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ සෘජුවම සම්බන්ධ වන රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන් කසළ කළමනාකරණය සඳහා වන කාර්යසාධන බලකායක් සහ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමටත්, ඊට සමගාමීව කසළ කළමනාකරණයට අදාළව විධිමත් ක්‍රමවේද හා කසළ බැහැර කිරීමේ විධි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව කොම්පෝස්ට්/බලශක්තිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය


    මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව ඝන අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් පොහොර සහ විදුලිබලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම සඳහා එම ව්‍යාපෘති භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙත වන්දි ලබා දී ඉවත් කිරීමටත්, මෙම ව්‍යාපෘතිය යටතේ නිපදවනු ලබන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය මඟින් නිශ්චිත අයක්‍රමයක් යටතේ මිල දී ගැනීමට අදාළව එකඟතාවකට එළඹීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මීතොටමුල්ල අපද්‍රව්‍ය බහාලුම් ස්ථානයේ සිදු වී ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහ සැලසීම


    මෙම කරුණ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අදාළ අමාත්‍යවරුන් සහ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2017 අප්‍රේල් 16,19 හා 21 දිනවල පැවති රැස්වීම්වලදී ගනු ලැබූ තීරණ පරිදි ආපදාවට ලක්වීම නිසා නිවාස අහිමි වූ පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් රජයේ වියදමින් ක්‍රියාත්මක කිරීමටත්, අවදානම් ස්ථානවලින් ඉවත් කරනු ලබන පවුලක් වෙනුවෙන් මාස තුනක(03) උපරිමයකට යටත්ව මසකට රුපියල් 50,000/-ක් බැගින් වූ ගෙවල්කුලී දීමනාවක් ලබා දීමටත්, ස්ථිර නිවාසවල පදිංචියට යන පවුල් වෙත ප්‍රවාහන දීමනාවක් ලබා දීමටත්, දැනට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින පවුල් වෙත ඔවුන් ස්ථිර නිවසක පදිංචි වන තෙක් වියළි සලාක හා අනෙකුත් ආධාර ලබා දීමටත්, ආපදාවට ලක් වූ නිවාස සඳහා ගෘහ උපකරණ මිල දී ගැනීමට රුපියල් 250,000/-ක උපරිමයකට යටත්ව මූල්‍යාධාර ලබා දීමටත්, ආපදාවට ලක් වූ පවුල්වල පාසල් සිසුන් සඳහා නිල ඇඳුම්, පාසල් පොත් සහ උපකරණ ලබා දීමටත්, මෙම ආපදාවට ලක් වූ ස්ථානය අවදානම් කලාපයක් ලෙස ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කිරීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2013 අංක 02 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතට සංශෝධන - (රැඳවියන්ගේ අයිතිවාසිකම් - නීතිඥවරයෙකු වෙත ප්‍රවේශ වීම)


    2013 අංක 02 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දෙන ලද අනුමැතිය අනුව එය 2017 මා‍ර්තු මස 03 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ තිබේ. නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් රැඳවියෙකු සතු අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය තවදුරටත් විධිමත් කරමින් සංශෝධනය කිරීම යෝග්‍ය බවට යෝජනා වී ඇති අතර, එකී යෝජිත සංශෝධන මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඊට ඇතුළත් කරනු ඇති බවට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

     

    පානදුර සහ පහළයාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම


    දේශීය සහ විදේශීය ශ්‍රම වෙළඳපොළට සරිලන පරිදි කාර්යක්ෂම නිපුණතා අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා නිපුණතා ආංශික සංවර්ධන වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ පානදුර ප්‍රදේශයේ රුපියල් මිලියන 370ක වියදමින් සහ පහළයාගොඩ ප්‍රදේශයේ රුපියල් මිලියන 170ක වියදමින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකක් ඉදි කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය උපදේශක සේවා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් ලබාගැනීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොළඹ ජාතික මහාමාර්ගය ව්‍යාපෘතියේ 1 වන අදියර යටතේ ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය වැඩි දියුණු කිරීම


    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන කොළඹ ජාතික මහාමාර්ගය ව්‍යාපෘතියේ 1 වන අදියර යටතේ ඔරුගොඩවත්ත - අඹතලේ (B435) මාර්ගයේ කි.මී.2.90 සිට කි.මී. 4.20 දක්වා සහ කි.මී.5.44 සිට කි.මී. 7.70 දක්වා වන මාර්ග කොටස් වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Komuthi-HCM Engineering JV වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පින්නවල අලි අනාථාගාරයේ හා සත්ත්වෝද්‍යානවල වෙසෙන අලි ඇතුන් සුදුසුකම් සහිත පුද්ගලයන් හා පූජ්‍ය ස්ථාන වෙත ලබාගැනීමේ පහසුකම් සැලසීම


    පින්නවල අලි අනාථාගාරයේ අක්කර 30ක් වූ මුළු භූමි ප්‍රමාණය තුළ වර්තමානයේ අලින් 88 දෙනෙකු රඳවා ඇති අතර මෙම සීමිත භූමි ප්‍රමාණය තුළ එම සතුන් 88 දෙනා නඩත්තු කිරීම දුෂ්කර කාර්යයක් වී ඇත. ඒ අනුව මෙම සතුන්ගෙන් යම් ප්‍රමාණයක් සුදුසුකම් සහිත පුද්ගලයන් හෝ පූජ්‍ය ස්ථාන වෙත ලබා දීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලිඇතුන්ගෙන් කොටසක් නිශ්චිත කොන්දේසිවලට යටත්ව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටුවක් මඟින් තෝරා ගනු ලබන සුදුසුකම්ලත් පුද්ගලයන් සහ ආයතන වෙත ලබා දීමටත්, ඒ සඳහා වන විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කිරීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    එසේම ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ කළමනාකරණය කරනු ලබන අලිඇතුන් සංචිතයක් මඟින් පෙරහැර සඳහා හීලා අලිඇතුන් ලබාදීමත්, හීලෑ අලිඇතුන්ගේ ලියාපදිංචිය විධිමත් කිරීම හා ආරක්ෂාව සැලසීම සඳහා නියෝග නිකුත් කිරීමත් සඳහා වූ නිර්දේශද අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya