මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2017-01-17

    ජනවාරි 18, 2017
    තුවක්කු ආඥාපනත සංශෝධනය කිරීම 
     
    රට තුළ නීතිය හා සාමය ආරක්ෂා වන පරිදි ගිනි අවි භාවිත කිරීම‍, කෘෂිකාර්මික වගාවන් හා අනෙකුත් දේපළ ආරක්ෂා කිරීම සඳහා ගිනි අවි නිකුත් කිරීමේදී හා ගිනි අවි භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සංශෝධනය කිරීම සහ පොදු ස්ථානවල ගිනි අවි භාවිතා කිරීම තහනම් කිරීම ඇතුළු කාලනුරූපී අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි 1916 අංක 33 දරන තුවක්කු ආඥාපනත සංශෝධනය කිරීම අවශ්‍ය බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත් කරනු ලැබ ඇති නිලධාරි කමිටුවේ නිර්දේශ පරිදි එකී ආඥාපනතට සිදු කළ යුතු සංශෝධන කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
    මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඒකාබද්ධ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
     
    මහනුවර දිස්ත්‍රික්කයේ මහනගර සභා බලප්‍රදේශය තුළ හා අනෙකුත් පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ දෛනිකව ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 250ක් පමණ එක්රැස් වන අතර, එම ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කර ලීම සඳහා ඒකාබද්ධ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, විවෘත යෝජනා කැඳවීම මඟින් තෝරාගනු ලබන පෞද්ගලික ආයෝජකයෙකු හා මහනුවර මහනගර සභාව එක්ව පිහිටුවා ගනු ලබන හවුල් සමාගමක් විසින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ඇමරිකානු තානාපති කාර්යාලය යටතේ පවතින ඉරණවිල ඉඩම ආපසු පවරා ගැනීම
     
    පුත්තලම දිස්ත්‍රික්කයේ, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 166.038ක ඉඩම් කොටසක්, 'ඇමරිකන් හඬ' (Voice of America) ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා 1991 වසරේදී ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත බදු දෙනු ලැබ තිබේ. එම බදු ගිවිසුමේ කාලය අවසන් වීමට පෙර එකී ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය වසා දමා එම සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩම සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට අපේක්ෂා කරන බව ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ බදු ගිවිසුම අවලංගු කරමින් එම ඉඩම් කොටස සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත පවරාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ත්‍රිරෝද රථ මඟින් කෙරෙන මගී ප්‍රවාහනයේ හා පාසල් වෑන් රථ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම
     
    මගී ප්‍රවාහනයට යොදාගනු ලබන ත්‍රිරෝද රථ මඟින් හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ මඟින් ලබා දෙනු ලබන සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමට 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු වාර්තා කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
     
    වත්මන් රජයේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගැනීම සඳහා පෞද්ගලික අංශයෙන් වැඩි දායකත්වයක් ලබාගනිමින් ඉහළ සේවා නියුක්තියක් ඇති කරගැනීම ඉලක්ක කර ගනිමින්, අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගෙන යාවත්කාලීන කරනු ලැබ ඇති 'ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්‍රතිපත්තිය' ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    නියං තත්ත්වය තුළ ජල සම්පාදන පහසුකම් කළමනාකරණය කිරීම
     
    වර්තමානයේ දිවයිනට බලපා ඇති නියං කාලගුණික තත්ත්වය ග්‍රාමීය ප්‍රදේශවල කුඩා ප්‍රජා ජල සම්පාදන පද්ධතීන්ට බරපතල බලපෑමක් ඇති කරනු ලැබ ඇත. වියළි කාලගුණය හේතුවෙන්, එම ජල සම්පාදන පද්ධතීන්හි ජල සම්පාදන ධාරිතාව අඩු වී ඇති අතර, ජලය සඳහා ඇති ඉල්ලුම වැඩි වේ යැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල බවුසර මඟින් සිදු කරනු ලබන ජල සම්පාදන කටයුතු පුළුල් කිරීමටත්, නළ ළිං 400ක් ඉදි කිරීමටත්, නියඟයට ලක් විය හැකි ග්‍රාමීය ප්‍රදේශවල දැනට තිබෙන අතින් පොම්ප කළ හැකි පොදු ගැඹුරු ළිං 1,000ක් අලුත්වැඩියා කර පුනරුත්ථාපනය කිරීමටත්, අතින් පොම්ප කළ හැකි ළිං 200ක් දුෂ්කර ගම්මානවල ඉදි කිරීමටත්, ජලය අරපිරිමැස්මෙන් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමටත්, ජල සැපයුම් හදිසියේ අඩාළ වන අවස්ථාවන්හිදී අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා අදාළ බලධාරින් හා ආයතන සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අවයව සහ පටක බද්ධ කිරීම සඳහා පරිත්‍යාග කිරීමට රියැදුරන්ගේ කැමැත්ත ලබාගැනීම
     
    නීරෝගී පුද්ගලයෙකු විසින් ස්වකැමැත්තෙන් පරිත්‍යාග කරනු ලබන අවයවයක් එම අවයවය හානිවූ පුද්ගලයෙකුගේ ශරීරයට සාර්ථකව බද්ධ කිරීම වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ප්‍රචලිත වෙමින් පවතී. ජීවතුන් අතර සිටින අයට මෙන්ම මොළය මිය ගිය හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වී මිය ගිය පුද්ගලයින්ටද කළින් කැමැත්ත ප්‍රකාශ කර තිබුණහොත් සිය අවයව ප්‍රදානය කළ හැකිය. මාර්ග අනතුරු හේතුවෙන් ඇති වන මොළය මිය යාම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම නිසා මරණයට පත් වන රියැදුරන්ගේ අවයව සහ පටක, අත්‍යවශ්‍ය රෝගීන්ට බද්ධ කිරීම සඳහා හැකියාව ලබා දෙමින්, සිය අවයව හා පටක පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත ලබා දීමට රියැදුරන්ට හැකි වන පරිදි කැමැත්ත ප්‍රකාශ කරන ප්‍රකාශයක් ඇතුළත් කර රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ හා අලුත් කිරීමේ අයදුම්පත්‍ර සං‍ශෝධනය කිරීමටත්, එසේ ලබා දෙන ලද කැමැත්ත නිරූපනය වන පරිදි දැනට පවතින රියැදුරු බලපත්‍රය සංශෝධනය කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රජයේ රෝහල්වල වෛද්‍ය නිලධාරින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නිල නිවාස/නිවාස පහසුකම් ඉදි කිරීම
     
    රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගිත්වය (Public Private Partnerships - PPP) යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති මඟින් දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල සේවය කරනු ලබන වෛද්‍ය නිලධාරින්ගේ සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල මූලික නේවාසික අවශ්‍යතා සපුරා ලීමට පසුගිය අයවැය මඟින් යෝජනා කෙරිණි. ඒ අනුව, මධ්‍යම රජයේ රෝහල් සහ පළාත් රෝහල්වලට අනුයුක්ත කරනු ලැබ ඇති විශේෂඥ වෛද්‍ය නිලධාරින්, වෛද්‍ය නිලධාරින් හා සීමාවාසික වෛද්‍ය නිලධාරින් සඳහාත්, අනෙකුත් සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල සඳහාත් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ නිල නිවාස ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ඇඟලුම් ආශ්‍රිත කුඩා කර්මාන්තශාලා ඔස්සේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම
     
    අවතැන් වූ පවුල්වල කාන්තාවන් සහ යුද්ධය නිසා වැන්දඹුභාවයට පත් වූ කාන්තාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත 'ග්‍රාමීය කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන' යටතේ, නැ‍ඟෙනහිර හා ඌව පළාත්වල මෙන්ම තෝරාගත් දිස්ත්‍රික්කවල ග්‍රාමීය කාන්තාවන් සඳහා ඇඳුම් මැසීමේ පුහුණුව ලබා දීමටත්, අනතුරුව ඔවුන් සංවිධානය කරමින් කුඩා පරිමාණ ඇඟලුම් කම්හල් 150ක් ස්ථාපිත කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා පවතින විශාල ඉල්ලුම සැලකිල්ලට ගෙන, ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ කුඩා පරිමාණ ඇඟලුම් කම්හලක සෘජු ප්‍රතිලාභීන් සංඛ්‍යාව, 15 සිට 20 දක්වා ඉහළ නැංවීමටත්, ඒ අනුව එක් එක් කම්හල සඳහා අමතර මහන යන්ත්‍ර 05 බැගින් ස්ථාපිත කිරීමටත්, ප්‍රතිලාභීන් පුහුණු කරනු ලබන සමුපකාර සංගම් වෙත මහන යන්ත්‍රවල හිමිකාරිත්වය ලබා දීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා ජල තීරය තුළ යාන්ත්‍රික බෝට්ට‍ු භාවිත කර සිදු කරනු ලබන ට්‍රෝලිං ධීවර මෙහෙයුම් ක්‍රමය තහනම් කිරීම
     
    එන්ජින් සහිත හෝ යාන්ත්‍රික ධීවර බෝට්ටු මඟින් ඇදගෙන යනු ලබන දැල් භාවිත කරමින් ශ්‍රී ලංකා ජල තීරය තුළ සිදු කරනු ලබන ධීවර මෙහෙයුම් (ට්‍රෝලිං ධීවර මෙහෙයුම්) තහනම් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසමින්, 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින් සඳහා සහන සැලසීම
     
    අනුරාධපුර හා ත්‍රිකුණමලය දිස්ත්‍රික්ක යා කරමින් ක්‍රියාත්මක කෙරෙන යාන්ඔය ජලාශ ව්‍යාපෘති‍ෙය් ඉදි කිරීම් කටයුතු 85%ක් පමණ මේ වන විට අවසන්ව තිබේ. මෙහි ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීම‍ට පෙර ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන පවුල් 242ක් පමණ ඔවුන් පදිංචි ස්ථානයන්ගෙන් කඩිනමින් ඉවත් කළ යුතුව තිබේ. ඒ අනුව, එම පවුල්වල ජනතාවට වඩා යහපත් ජීවන තත්ත්වයක් ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, දැනට පවතින විධිවිධානයන්ගෙන් පරිබාහිරව, ඔවුන් වර්තමානයේ පදිංචි නිවාසවල තත්ත්වයට ගැළපෙන පරිදි මූලික අවශ්‍යතා සහිත අංග සම්පූර්ණ නිවාස ඉදි කරගැනීම සඳහා මූල්‍යමය ආධාරයක් ලබා දීම, අත් කරගැනීමට නියමිත රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන සංවර්ධනය කර භුක්තිවිඳින තැනැත්තන් සඳහා නිසි ක්‍රමවේදයකට යටත්ව වන්දි ගෙවීම, ව්‍යාපෘතියේ ඉදි කිරීම් හේතුවෙන් වගා කටයුතු කර ගැනීමට නොහැකි වූ ඉඩම් සඳහා කන්න හානිය ලෙස මූල්‍යමය වන්දියක් පිරිනැමීම යන සහන ලබාදීම මඟින් එම පවුල් කඩිනමින් ඉවත් කොට ව්‍යාපෘතියේ වැඩකටයුතු නියමිත කාල වකවානුව තුළ අවසන් කිරීම සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    1971 අංක 52 දරන වෙළඳ නාවික පනත යටතේ පනවනු ලබන කුඩා වෙළඳ යාත්‍රා නියාමනය කිරීමේ රෙගුලාසි
     
    කුඩා වෙළඳ යාත්‍රා‍ මඟින් කෙරෙන නාවික කටයුතු සඳහා වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ විශාල නැඹුරුවක් පවතී. එසේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයක් සමඟ නැව් මඟින් සිදු කෙරෙන මගී ප්‍රවාහන හා සංචාරක කටයුතුවල සැලකිය යුතු වර්ධනයක්ද සිදු ව ඇත. මෙම කුඩා වෙළඳ යාත්‍රා ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම විධිමත් කිරීමේ අරමුණින්, 1971 අංක 52 දරන වෙළඳ නාවික පනත යටතේ 'කුඩා වෙළඳ යාත්‍රා නියාමනය කිරීමේ රෙගුලාසි' පැනවීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම පිළිබඳ, ශ්‍රී ලංකාව විසින් යුක්‍රේනය සහ ඩෙන්මාර්කය සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
     
    ප්‍රවීණතා සහතිකයක් සහිත නාවිකයකුට විදේශීය ධජයක් යටතේ ලියාපදිංචි කර ඇති නෞකාවක සේවය කිරීම සඳහා එම ප්‍රවීණතා සහතිකයට (Certificate of Competency) අමතරව අදාළ නෞකාව ලියාපදිංචි කර ඇති රාජ්‍යය විසින් නිකුත් කරනු ලබන ඊට සමාන තත්ත්වයේ සහතිකයක් (Certificate of Recognition) ලබාගැනීම අවශ්‍ය වේ. එවැනි සමාන තත්ත්වයේ සහතික නිකුත් කිරීම සඳහා අදාළ රාජ්‍යයන් අතර සම්මුතියක් හෝ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගෙන තිබිය යුතු අතර, දැනටමත් ශ්‍රී ලංකාව විදෙස් රටවල් 30ක් සමඟ එවැනි ගිවිසුම් ඇති කර ගෙන ඇත. මෙවැනි ගිවිසුම්වලට එළඹීම මඟින් ප්‍රවීණතා සහතික ලත් ශ්‍රී ලාංකික නාවිකයින් විශාල ප්‍රමාණයකට විදේශ නෞකාවල සේවය කිරීමේ රැකියා අවස්ථා විවර වේ. මෙම සහතිකපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමකට එළඹීමට යුක්‍රේන රජය සහ ඩෙන්මාර්ක රජය කැමැත්ත පළ කර ඇති අතර, ඒ අනුව යුක්‍රේනය සහ ඩෙන්මාර්කය සමඟ සමුද්‍රීය ප්‍රවීණතා සහතිකපත් පිළිගැනීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
     
    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම හා භූමිය අලංකරණයට අදාළ කොන්ත්‍රාත්තුව සහ ගාල්ල, ගම්පහ, මහනුවර, කුරුණෑගල සහ සමන්තුරේ යන ප්‍රදේශයන්හි පිහිටි උසස් තාක්ෂණ ආයතනයන්හි අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වෛද්‍ය සැපයීම් තොග ගබඩා කිරීමට වෛද්‍ය සැපයීම් අංශය සඳහා වැලිසර රෝහල් පරිශ්‍රයේ පෙර සවි ගබඩා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
     
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය සතුව පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා අවශ්‍ය ගබඩා පහසුකම් කුලී පදනම මත පෞද්ගලික අංශයෙන් ලබාගැනීම සඳහා මාසයකට රුපියල් මිලියනයකට ආසන්න පිරිවැයක් දරනු ලැබේ. එබැවින්, දිගුකාලීන ගබඩා අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින්, රෝහල් වෙත වෛද්‍ය සැපයීම් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා වැලිසර රෝහල් පරිශ්‍රයේ පෙරසවි ගබඩා ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ගබඩාව ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශාන්ත සෙබස්තියන් උතුරු අගුළු දොරටුව හා පොම්පාගාරය නිර්මාණය හා ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
     
    ලෝක බැංකු ණය ආධාර මඟින් ක්‍රියාත්මක කෙරෙන කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීම සඳහා ශාන්ත සෙබස්තියන් උතුරු අගුළු දොරටුව හා පොම්පාගාරය නිර්මාණය හා ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම (2017-2021)
     
    'මානව හිමිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2017 - 2021' පිළියෙල කිරීම පිණිස සහ එහිදී සැලකිල්ලට ගත යුතු සියලු කරුණු සලකා බැලීම පිණිස විදේශ කටයුතු; නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු; අධිකරණ සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ යන අමාත්‍යවරුන්ගේ සම-සභාපතිත්වයෙන් යුතු මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍ය කමිටුවක් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය වර්ෂයේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එකී අන්තර් අමාත්‍ය කමිටුවේ උපදේශනයන් හා අදාළ පාර්ශ්වයන්ගේ පුළුල් සහභාගිත්වයක් ඇතිව කෙටුම්පත් කරනු ලැබ ඇති 'මානව හිමිකම් පිළිබඳ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2017 - 2021)' වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් එම සැලැස්ම අනුමත කරන ලදී.
     
     
    ස්වාධීන විගණන නියාමකවරුන්ගේ අන්තර්ජාතික සංසදයේ (IFIAR) වාර්ෂික වැඩමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
     
    ලොව පුරා සිටින ස්වාධීන විගණන නියාමකවරුන් විසින් තම සාමාජිකයන්ගෙන් සිදුවන විගණන අඩුපාඩු පිළිබඳ සාකච්ඡා කර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ස්වාධීන විගණන නියාමකවරුන්ගේ අන්තර්ජාතික සංසදය පිහිටුවා ගනු ලැබ තිබේ. ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය 2007 වර්ෂයේ සිට එම සංසදයෙහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, එහි සාකච්ඡා සඳහා ක්‍රියාකාරී ලෙස සහභාගී වී ඇත. එම සංසදය විසින් එහි සාමාජික ආයතනයන්හී කාර්ය මණ්ඩලවල සහභාගිත්වය ඇතිව සෑම වසරකම වැඩමුළුවක් පවත්වනු ලබන අතර, ඒ අනුව 2018 වර්ෂය සඳහා වන වාර්ෂික වැඩමු‍ළුව 2018 පෙබරවාරි මාසයේදී කොළඹදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya