මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.12.06

    දෙසැම්බර් 07, 2016

    2016.12.06 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

    සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීම සම්බන්ධ යෝජනාව

     

    එවකට දිවයින තුළ පැවති ආරක්ෂක වාතාවරණය හමුවේ ආර්ථික මර්මස්ථාන, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු විශේෂ ස්ථානවලට ආරක්ෂාව සපයමින් සිටි සන්නද්ධ හමුදා සාමාජිකයින් එම ස්ථානවලින් ඉවත් කර රටේ නීතිය හා සාමය රැකීමේ කටයුතු සඳහා යෙදවීමේ අවශ්‍යතාව මතු වූ බැවින් එවැනි ආයතනවලට ආරක්ෂාව සැපයීම සඳහා රජයට අනුබද්ධ ආරක්ෂක සේවයක් ලෙස සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම පිහිටුවන ලදී. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින සාමකාමී වාතාවරණය යටතේ රජයට අනුබද්ධ පෞද්ගලික ආරක්ෂක සේවාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් දැන‍ට ඉටු කරනු ලබන ගොඩබිම ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතද, සාගර ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතද පැවරීමටත්, නීතිපතිතුමාගේ උපදෙස් අනුව මෙම සමාගම ඈවර කිරීමේ කටයුතු සිදු කිරීමටත් ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

     


    පරිසර පද්ධතියට හානිකර ආක්‍රමණික ශාක හා සත්ත්ව විශේෂ මෙරටට ප්‍රවේශවීම වැළැක්වීමට හා ඒවා විනාශ කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීම

     

    ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් අනූන රටවල් අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී. එබැවින් අප රටෙහි ස්වාභාවික පරිසර පද්ධතිය සහ මෙරටට ආවේණික ශාක හා සත්ත්ව ප්‍රභේද සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් වී ඇත. පරිසර පද්ධතියට ආගන්තුක, ආක්‍රමණශීලි ජීවී විශේෂයන්ගෙන් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට එල්ලවන තර්ජන පාලනය කිරීමට හා දැනටමත් ව්‍යාප්තව ඇති ආක්‍රමණශීලී ශාක හා සත්ත්ව විශේෂයන්ගේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බව ඒ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයන්හිදී අනාවරණය වී ඇත. ඒ අනුව, හානිකර ආක්‍රමණශීලී ශාක හා සත්ත්ව විශේෂ මෙරටට ගෙන ඒම වැළැක්වීමට සහ එම ශාක හා සතුන් විනාශ කිරීම සඳහා විධිවිධාන සලසනු ලබන නව පනත් කෙටුම්පතක් කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ඉහළ ඇලහැර ඇළ ව්‍යාපෘතියේ උමං ඇළ මාර්ගය ඉදි කිරීම

     

    උතුරු මැද හා වයඹ පළාත්වල ගොවිතැන් කටයුතු, පානීය ජල අවශ්‍යතා සහ වාණිජ කටයුතු සඳහා මහවැලි ජලය ලබා දෙමින් කෘෂි ආර්ථික භෝග නිෂ්පාදනය වැඩිදියුණු කිරීම මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ පළමු පියවරෙහි අරමුණ වේ. මේ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉහළ ඇලහැර ඇළ ව්‍යාපෘතිය මඟින් මොරගහකන්ද ජලාශයේ සිට හුරුළු වැව ජලාශයට වසරකට ජලය ඝන මීටර මිලියන 974ක් ගෙන යා හැකි පරිදි කිලෝමීටර 65.5ක් දිග ඇළ මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. එම ඇළ මාර්ගයේ දිගින් කිලෝමීටර 26ක පමණ කොටසක් ගිරිතලේ සහ මින්නේරිය යන අභය භූමි හා වන සංරක්ෂිත ප්‍රදේශ හරහා ඉදි කිරීමට යෝජිත බැවින්, එහිදී පරිසරයට හා වන සතුන් සඳහා වන හානිය අවම වන සේ එම කොටස උමං ඇළ මාර්ගයක් ලෙස ඉදි කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    මුහුදු කැස්බෑ සංරක්ෂණ අධ්‍යයන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම නියාමනය සඳහා වන නියෝග

     

    මෙරට වෙරළ තීරය වෙත පැමිණෙන හා මෙරට සමුද්‍රීය කලාපයෙහි වෙසෙන සියලු මුහුදු කැස්බෑ විශේෂ, වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ දැඩි ලෙස ආරක්ෂිත උරගයින් ලෙස දක්වනු ලැබ තිබෙන අතර, එවැනි සතෙකු ළඟ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. වෙරළ තීරයෙන් එක්රැස් කරගන්නා කැස්බෑ බිත්තර ගෙනැවිත්, කෘත්‍රීම කැදැලි සකසා ආරක්ෂා කර, පැටවුන් බිහිවීමෙන් පසු එම පැටවුන් මුහුදට නිදහස් කිරීමේ අරමුණින්, පෞද්ගලික අංශය විසින් පවත්වා ගෙන යනු ලබන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන, විශේෂයෙන්ම දකුණු වෙරළ තීරය ආශ්‍රිතව 1980 දශකයේ සිට ක්‍රියාත්මක වෙමින් පවතී. එවැනි මධ්‍යස්ථාන 15ක් පමණ දැනට දකුණු වෙරළ තීරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන අතර, ඒවා ජනප්‍රිය සංචාරක හා සංරක්ෂණ මධ්‍යස්ථාන බවට පත්ව ඇත. මෙම පෞද්ගලික කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වා ගෙන යාම තවදුරටත් විධිමත් කර, එම මධ්‍යස්ථාන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර වාර්ෂික බලපත්‍ර යටතේ පවත්වා ගෙන යාමට අවසර දීම මඟින් නියාමනය කිරීම සඳහා විධිවිධාන සලසමින්, වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ සකස් කරනු ලැබ ඇති නියෝග, ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොළඹ, දේශීය වෛද්‍ය විද්‍යායතනයේ සිසුන් සඳහා නේවාසිකාගාරයක් ඉදි කිරීම පිණිස ඉඩමක් මිල දී ගැනීම

     

    නේවාසික පහසුකම් සලසනු ලැබිය යුතු සියලුම විශ්වවිද්‍යාල සිසුන් වෙත නේවාසික පහසුකම් ලබා දීම 2018 වසර වන විට නිම කිරීම රජයේ ප්‍රතිපත්තිය වේ. කොළඹ විශ්වවිද්‍යාලය යටතේ පවතින, රාජගිරියේ පිහිටි දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යයන කටයුතවල නිරත සියලුම ශිෂ්‍යාවන්ගේ නේවාසික ගැටලුව විසඳනු ලැබ ඇති නමුත්, කුලී පදනම මත ලබාගත් අඩු පහසුකම් සහිත පෞද්ගලික නිවාසවල නේවාසික පහසුකම් සලසා දෙනු ලැබ ඇති, එහි අධ්‍යයන කටයුතුවල නිරත ශිෂ්‍යයන්ගේ නේවාසික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් වශයෙන් ඉඩමක් මිල දී ගෙන නේවාසිකාගාරයක් ඉදි කිරීම සුදුසු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ සඳහා යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇති, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා සීමාව තුළ පිහිටි පර්චස් 62ක ඉඩම් කොටසක්, රුපියල් මිලියන 99.5ක පිරිවැයක් ද‍රා මිල දී ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වයඹ පස් අවුරුදු සංයුක්ත සැලැස්මක්

     

    වයඹ පළාත තුළ ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධීකරණය, ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමේ වගකීම අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත පැවරී තිබේ. ඒ අනුව, වයඹ පළාත තුළ ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනය ඉලක්ක කරගනිමින්, කෘෂිකර්ම හා වාරිමාර්ග, පශු සම්පත්, ධීවර හා ජලජීවී වගාව, සංචාරක, මානව සම්පත් සංවර්ධනය, ආයෝජන ප්‍රවර්ධනය හා කර්මාන්ත සංවර්ධනය සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය යන ක්ෂේත්‍ර යටතේ, 2017 - 2021 පස් අවුරුදු කාල සීමාව ආවරණය වන පරිදි, සියලු පාර්ශ්වවල සහභාගිත්වය ඇතිව සකස් කරනු ලැබ ඇති, 'වයඹ පස් අවුරුදු සංයුක්ත සැලැස්ම - 2017 - 2021', අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

     

    වියපත් හා රෝගී කලාකරුවන්ට සහන සැලසීම

     

    තම ජීවිත කාලය කලාව වෙනුවෙන් කැප කරමින්, කලා ක්ෂේත්‍රය උදෙසා විශිෂ්ට සේවාවක් සිදු කළ වියපත් හා රෝගී කලාකරුවන් අතරින් අඩු ආදායම්ලාභී කලාකරුවන්ට සහනයක් සැලසීමේ අරමුණින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ආධාර ක්‍රමයක් යටතේ දැනට එබඳු කලාකරුවන් 1,019 දෙනෙකුට වාර්ෂිකව රුපියල් 5,000/- බැගින් ආධාර ලබා දෙනු ලැබේ. වර්තමාන ආර්ථික වටපිටාව සැලකිල්ලට ගනිමින්, අඩු ආදායම්ලාභී කලාකරුවන් සඳහා වාර්ෂිකව ලබා දෙනු ලබන රුපියල් 5,000/-ක ආධාර මුදල, 2017 වර්ෂය තුළදී රුපියල් 10,000/-දක්වා වැඩි කිරීමටත්, එම ආධාරය පිරිනමනු ලබන අඩු ආදායම්ලාභී කලාකරුවන් සංඛ්‍යාව 5,000ක් දක්වා වැඩි කිරීමටත් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    බත්තරමුල්ල බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම

     

    බස්නාහිර කලාප මහානගර ප්‍රධාන සැලැස්ම යටතේ රජයේ සියලු පරිපාලන ආයතන බත්තරමුල්ල සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශවල ස්ථානගත කිරීමට සමගාමීව එම ප්‍රදේශයේ ඇති වන වාහන තදබදය අවම කිරීම අවශ්‍ය වේ. ඉදිරි සංවර්ධන කටයුතු හේතුවෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ ඇති වන ප්‍රවාහන ඉල්ලුම සපුරා ලීම සඳහා බස්රථ සහ සැහැල්ලු දුම්රිය ගමනාගමනය (LRT), පවතින මාර්ගයට ඉහළින් දිවෙන උන්නත අධිවේගී මාර්ග සහ අභ්‍යන්තර ජල ප්‍රවාහනය වැනි බහු මාදිලි ප්‍රවාහන පහසුකම් ඇති කිරීමට යෝජනා කරනු ලැබ තිබේ. ඒ අනුව, බහු මාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් සහ වර්ග අඩි 113,000ක කාර්යාල අවකාශ, වර්ග අඩි 33,000ක නේවාසික මහල් නිවාස, වර්ග අඩි 60,000ක වාණිජමය අවශ්‍යතා සඳහා වන අවකාශ ආදියෙන් සමන්විත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්, බත්තරමුල්ල 'සුහුරුපාය' ගොඩනැඟිල්ලට යාබදව, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පිටකොටුවේ මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම

     

    කොළඹ නගරය ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පිටකොටුව, මැනිං වෙළඳපොළ, පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කර දැනට මැනිං වෙළඳපොළ පිහිටි ඉඩම තුළ බස්නාහිර මහානගර සැලැස්ම යටතේ හඳුනාගෙන ඇති බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (Multi Mode Transport Hub) ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මැනිං වෙළඳපොළ තුළ දැනට සිටින 1,200ක් පමණ වන වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කොට පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු භූමිභාගයක් තුළ ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර එම කටයුතු අවසන් වන තෙක් ප්‍රමාද නොකර යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (Multi Mode Transport Hub) ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාව මතු වී ති‍බෙන බැවින් මැනිං වෙළඳපොළේ සිටින ව්‍යාපාරිකයින් වෙනත් ඉඩමක කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ. ඒ සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු අක්කර 06ක පමණ යාබද ඉඩම් කොටසක් වර්ෂ 03ක කාලයක් සඳහා බදු පදනම මත ලබාගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහ නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ජලජීවී වගාව වාණිජ මට්ටමින් ප්‍රවර්ධනය කිරීම

     

    අපනයනය කිරීමෙන් වැඩි වටිනාකමක් ලබාගත හැකි මත්ස්‍ය විශේෂ, ඉහළ තාක්ෂණයක් යටතේ වාණිජ මට්ටමින් ඇති කිරීම සඳහා ජලජීවී වගාව(aquaculture) දියුණු කිරීම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 425ක ඉලක්කගත ආදායමක් 2020 වර්ෂය වන විට ලබාගැනීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව, නවතම තාක්ෂණය භාවිත කරමින් වාණිජ මට්ටමේ ජලජීවී වගාවේ නිරත වන ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) කටයුතු කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශය පරිදි, ඒ සඳහා සුදුසු ඉඩම් කොටස් සහ මුහුදේ හා මිරිදිය ජලාශයන්හි සුදුසු ජල තීරයන් හඳුනා ගැනීමටත්, ඒවා බදු පදනම මත සුදුසු ආයෝජකයින් වෙත ලබා දීමටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මඩුල්ල, බිංගොඩ, කොලැල්ලෑවත්ත ජලාශය ප්‍රතිසංස්කරණය කිරීම

     

    ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය‍ ‍ෙල්කම් කොට්ඨාසයේ පිහිටා ඇති මඩුල්ල, බිංගොඩ, කොලැල්ලෑවත්ත ජලාශය පදනම් කරගෙන ආදිවාසී ජනතාව විසින් සිය ගොවිතැන් කටයුතු සිදු කරගෙන යනු ලබන අතර, එම ජලාශය විධිමත් පරිදි ඉදි කර දෙන ලෙසට ඔවුන් විසින් දිගු කලක සිට ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, මෙම ජලාශය ප්‍රතිසංස්කරණය කර තිරසර වාරි කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මඟින් මෙම ප්‍රදේශයේ ගොඩ හා මඩ ගොවිතැන වැඩිදියුණු කර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ සඳහා පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කිරීමෙන් අනතුරුව, රුපියල් මිලියන 320ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, උන්නච්චි ආරුහි අතු ගංගාවක් වන කොලැල්ලෑවත්ත ආරු හරහා ඉදි කිරීමට යෝජිත ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වතුකරයේ ජනතාවට ඉඩම් හිමිකාරිත්වය සහ සුදුසු නිවාස ලබාදීම

     

    ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට අයත් වතුවල දැනට පවුල් 256,533ක් වාසය කරනු ලබන අතර රජයට අයත් වතුයායන්හි තවත් පවුල් 9,025ක් වාසය කරනු ලබයි. මෙම පවුල් සඳහා දැනට ඉදි කරනු ලැබ ඇති නිවාස සංඛ්‍යාව 33,000ක් පමණක් වන අතර ඉතිරි පවුල් ලයින් කාමරවල සහ තාවකාලික කුඩා නිවාසවල වාසය කරනු ලබයි. ඉඩම් හිමිකාරිත්වය ජනතාව වෙත ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව යමින්, වතුවල වෙසෙන නීත්‍යනුකූල පදිංචිකරුවන් වෙත පර්චස් 7ක බිම් ප්‍රමාණයක් සඳහා පැවරිය හැකි සහ බැංකුවේ ඇපයට තැබිය හැකි (bankable), සින්නක්කර හිමිකම් ඔප්පු ලබා දීමටත්, ඒ සඳහා අවශ්‍ය වන නායයෑම් අවදානමක් රහිත බවට හඳුනා ගන්නා ලද ඉඩම්, ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ සෙසු රාජ්‍ය ආයතන වෙතින් නිදහස් කිරීමටත් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ.පලනි දිගම්බරම් මැතිතුමා; වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා; සහ ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සේවා ස්ථානයේදී කාන්තාවන්ට සිදු වන හිංසනයන් තුරන් කිරීම හා කාන්තාවන් සවිබල ගැන්වීම

     

    ශ්‍රී ලංකාව විසින් එළඹී ඇති ජාත්‍යන්තර බැඳීම් අනුව සේවා ස්ථානයන්හිදී කාන්තාවන්ට සිදුවන විවිධ හිංසනයන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කරගැනීම සඳහා නීතිමය මෙන්ම වෙනත් ක්‍රියාමාර්ගද ගත යුතුව ඇත. ඒ අනුව, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ඒවා යටතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන ආයතනයන්හි සේවය කරනු ලබන කාන්තාවන්ට කාන්තාවක වීම නිසා සිදු විය හැකි හිංසනයන් තුරන් කිරීමේ හා ඔවුන් සවිබල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන කමිටු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මූලිකත්වයෙන් සෑම අමාත්‍යාංශයකම ස්ථාපිත කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පොලිස් තොරතුරු සහ සන්නිවේදන පද්ධතිය (PICS) වැඩිදියුණු කිරීම

     

     'පොලිස් තොරතුරු සහ සන්නිවේදන පද්ධතිය (PICS)' ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් 2013 වර්ෂයේදී අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එසේ වුවද, මෙම ක්ෂේත්‍රයේ නව නිපැයුම් නිසා සිදුව ඇති තාක්ෂණික වැඩිදියුණු වීම් හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ සමස්ත විෂය පථය සංශෝධනය කළ යුතුව ඇති බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ සමස්ත විෂය පථය තවදුරටත් සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ එකඟතාව ඇතිව මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත්, මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනට භාවිත කරනු ලබන 'ඇනලොග්' සන්නිවේදන උපකරණ වෙනුවට 'ඩිජිටල්' සන්නිවේදන උපකරණ යොදාගැනීම සඳහා අනිවාර්යයෙන් අවශ්‍ය වන තරංග පරාසය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පොලීසිය වෙත ස්ථිර වශයෙන් වෙන් කරගැනීමටත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    යාපනය හා වයඹ යන විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට‍ නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම

     

    යාපනය විශ්වවිද්‍යල‍යේ ක්‍රීඩා හා ව්‍යායාම් ශාලාව ඉදි කිරීම, වයඹ විශ්වවිද්‍යාල‍යේ විද්‍යාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සහ එම විශ්වවිද්‍යාලයේම කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය සඳහා පීඨ ගොඩනැඟිල්ලක් ඉදි කිරීම යන ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දැදුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය යාන්ත්‍රික හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

     

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව හා පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් 97ක වෙසෙන ජනතාව වෙත සුරක්ෂිත හා පිරිසිදු පානීය ජලය ප්‍රමාණවත් පරිදි සැපයීමේ අරමුණින් දැදුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 18,150ක් සඳහා නළජල සබඳතා ලබා දීමට අපේක්ෂා කරනු ලබන අතර එමඟින් 90,800ක් පමණ වන ජනතාවට ප්‍රතිලාභ හිමිවනු ඇත. එම ව්‍යාපෘතියේ සිවිල්, යාන්ත්‍රික හා විදුලි වැඩ සඳහා යාන්ත්‍රික හා සැලසුම් නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සූර්ය බල සංග්‍රාම‍යේ අදියර 2 යටතේ කුඩා පරිමාණ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම

     

    වැඩිවන විදුලි ඉල්ලුම සපුරා ලීමට මෙන්ම රටෙහි බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විදුලිය උපදවන බලශක්ති මූලාශ්‍ර විවිධාංගීකරණය අත්‍යවශ්‍ය වේ. මෙම පසුබිම තුළ සූර්ය විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ආයෝජකයින්ගෙන් විශාල ඉල්ලුමක් පවතින නමුත් ජාතික පද්ධතියේ මධ්‍යම වෝල්ටීයතා මට්ටමට මෙම වසර තුළ එකතු කළ හැකි බවට තාක්ෂණික වශයෙන් නිර්දේශ කරනු ලැබ ඇත්තේ මෙගාවොට් 60ක සූර්ය බලය ප්‍රමාණයක් පමණි. ඒ අනුව, එකී මිල දී ගත හැකි මෙගාවොට් 60ක ප්‍රමාණය, එක් ආයෝජකයෙකුට උපරිම වශයෙන් මෙගාවොට් 01ක ධාරිතාවකින් යුතු විදුලි බලාගාරයක් ඉදි කිරීමට හැකි වන පරිදි, ඉදිරිපත් වී ඇති අයෝජකයන් අතරේ විනිවිදභාවයකින් යුතුව සාධාරණ පදනමක් මත බෙදා හරිමින් 'සූර්ය බල සංග්‍රාමය - අදියර 2' වශයෙන් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම

     

    උන්නතාශය වැඩි පසුබිමක පුහුණුවීම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දරා ගැනීමේ හැකියාව වර්ධනය වන බැවින් බොහෝ එළිමහන් හා ගෘහස්ථ ක්‍රීඩා පුහුණුවීම් සඳහා එවැනි පසුබිමක සිදු කිරීම වාසිදායක වේ. ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා ඉහළ උන්නතාංශ පුහුණු මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සපුරාලන අතර කලාපයේ අසල්වැසි රටවල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ ඉහළ උන්නතාංශ පුහුණුව ලබාදීම මඟින් විදේශ විනිමය උපයා ගැනීමේ අරමුණින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමින් මීටර 1,895ක උසින් පිහිටි ස්ථානයක ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව ඒ සඳහා ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා අතුරින් තෝරා ගනු ලැබ ඇති ප්‍රංශ සමාගම සමඟ එක්ව නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම සඳහා එකී ප්‍රංශ සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට එළඹීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ජනාධිපතිතුමාගේ එළඹෙන මැලේසියානු නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2016 දෙසැම්බර් මාසයේ 15 - 17 යන දිනයන්හි මැලේසියාවේ නිල සංචාරයක නියැළීමට නියමිතය. එකී නිල සංචාරය අතරතුර මැලේසියානු රජය සමඟ පහත සඳහන් ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    * සංචාරක කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම්හි සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

    * පුහුණු, පර්යේෂණ හා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සහයෝගිත‍ාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

    * ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියානු කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන ආයතනය අතර වන අවබෝධතා ගිවිසුම.

    * ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ මැලේසියාවේ වැවිලි කර්මාන්ත හා පාරිභෝගික භාණ්ඩ අමාත්‍යාංශය අතර වන අවබෝධතා ගිවිසුම.

    * සංස්කෘතික, කලා හා උරුමය පිළිබඳ ක්ෂේත්‍රයෙහි සහයෝගිත‍ාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

    * තරුණ සංවර්ධන ක්ෂේත්‍රයෙහි සහයෝගිත‍ාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

     

    ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීම

     

    2014 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් දෙන ලද අනුමැතිය පරිදි, ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබ ඇත. ඒ අනුව, ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ඇමරිකන් ඩොලර් මිලියන 696ක පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස වන ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමක් වෙත පිරිනමනු ලැබ තිබේ. එසේ වුවද, චීන අපනයන හා ආනයන බැංකුව සමඟ වන ණය ගිවිසුමේ කටයුතු අවසන් කරනු ලැබ නොමැති බැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොමැත. ඒ අනුව, මෙම ව්‍යාපෘතියට අදාළව පහත කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම පිණිස අමාත්‍ය අනුකමිටුක් සහ ඊට සහාය වීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    * මෙම ව්‍යාපෘතියට අදාළව එළඹුණු කොන්ත්‍රාත් ගිවිසුම රජයට කිසිදු අතිරේක පිරිවැයක් දැරීමට සිදු නොවන පරිදි ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව.

    * කිසියම් පාර්ශ්වයකට ගිවිසුම ඒකපාර්ශ්විකව අවසන් කිරීමට අවශ්‍ය වේ නම්, එහි අහිතකර බලපෑම් හා පිරිවැය තක්සේරු කිරීම.

    * මෙම කරුණට සම්බන්ධ නිලධාරින් විසින් මුදල් රෙගුලාසි, රජයේ කාර්යපටිපාටීන් හා චක්‍රලේඛ උපදෙස් කිසිවක් උල්ලංගනය කර තිබේද යන්න පිළිබඳව.

    * කිසිදු අහිතකර ප්‍රතිඵලයකින් තොරව අත්තිකාරම් ගෙවීම් ප්‍රතිපූරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව.


    හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා වන අමාත්‍ය කමිටුවේ ඒකාබද්ධ සංදේශය

     

    හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේදී ගනු ලැබ ඇති අවසන් තීරණයන් මත පදනම්ව, නීතිපතිතුමා විසින් අනුමැතිය ලබා දෙනු ලැබ ඇති, මෙම කරුණට අදාළ කාර්ය රාමු ගිවිසුමේ සඳහන් නියමයන් පරිදි, China Merchants Port Holdings (CMPort) සමාගම සමඟ එක්ව රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමටත්, ඒ සඳහා එකී ආයෝජක සමාගම සමඟ වන කාර්ය රාමු ගිවිසුමට අත්සන් තැබීම සඳහා අදාළ බලධාරින්ට බලය පැවරීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා සහ විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ශ්‍රී ලංකාවේ 2030 ජාතික තිරසර සංවර්ධන දැක්ම සාක්ෂාත් කරගැනීම

     

    තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සෑමවිටම බහු - ආංශික ඉලක්ක ජයගැනීම මත රඳා පවතින බැවින්, එකී ඉලක්ක සාක්ෂාත් කරගැනීමේදී පසු විපරම් කිරීම සහ ඇගයීම යන කාර්යයන් අතිශයින් වැදගත් වේ. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ක්ෂේත්‍ර 17හි ආභාසය ලබමින් 2030 වර්ෂය සඳහා ජාතික තිරසර සංවර්ධන දැක්ම සම්පාදනය කිරීම, 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාව අත්පත් කරගත යුතු සංවර්ධන මට්ටම් ප්‍රමුඛතා අනුව හඳුනාගැනීමට හා එසේ හඳුනාගත් ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා කාල රාමුවක් සකස් කිරීම, 2030 තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේදී රාජ්‍ය, පෞද්ගලික හා සිවිල් සංවිධාන සතු භූමිකා හඳුනාගැනීම, හඳුනාගත් ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ ප්‍රගතිය සමාලෝචනය, තිරසර සංවර්ධන ඉලක්ක හා ක්‍රමෝපායන් සමාලෝචනය කර යාවත්කාලීන කිරීම ඇතුළු ඒ හා සම්බන්ධ අනෙකුත් කාර්යයන් ඉටු කිරීම පිණිස කැබිනට් අමාත්‍යවරුන් 05 දෙනෙකුගෙන් හා පළාත් මහ ඇමතිවරයකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමටත්, එම අනුකමිටුවේ කාර්යයන් සඳහා සහාය වීමට විද්වත් මඬුල්ලක් පත් කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya