මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016-10-18 අමාත්‍ය මණ්ඩල තීරණ

    ඔක්තෝබර් 19, 2016
    ශ්‍රී ලංකාවේ තෙවන ජාතික දේශගුණ විපර්යාස සන්නිවේදන වාර්තාව සකස් කිරීමේ ව්‍යාපෘතිය
     
    ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය (UNFCCC) 1993 වර්ෂයේදී අපරානුමත කරන ලදී. එම සම්මුතියෙහි 12 වගන්තිය ප්‍රකාර පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් දේශගුණ විපර්යාස සම්බන්ධ තොරතුරු අඩංගු ජාතික සන්නිවේදන වාර්තාවක් සකස් කර ඉදිරිපත් කළ යුතු අතර, ඒ අනුව ශ්‍රී ලංකාව විසින් ඊට අදාළ පළමු හා දෙවන සන්නිවේදන වාර්තා පිළිවෙළින් 2000 හා 2012 යන වර්ෂයන්හිදී UNFCCC ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. දේශගුණ විපර්යාස අභියෝගයන්ට මුහුණ දීමට හැකි වන පරිදි ආයතනික හා තාක්ෂණික හැකියාවන් ඉතාමත් ඵලදායී ලෙස ශක්තිමත් කිරීමේ හා පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව විසින් UNFCCC සම්මුතිය යටතේ බැඳී සිටින පොරොන්දු ඉටු කරමින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් ගෝලීය පාරිසරික පහසුකම (Global Environment Facility) යටතේ සලසා දෙනු ලබන ප්‍රදානාධාර උපයෝගි කරගනිමින් දේශගුණ විපර්යාස පිළිබඳ තෙවන ජාතික සන්නිවේදන වාර්තාව සැකසීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, එලෙස සකස් කරනු ලබන වාර්තාව UNFCCC ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය ඉංජි‍නේරු කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
     
    1987 වසරේ දී මීගමුව ප්‍රදේශයේ ඉදි කරන ලද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය මඟින් ගම්පහ, පුත්තලම සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල වර්ග කිලෝමීටර් 250ක පමණ වෙරළ කලාපය තුළ වෙරළ සංරක්ෂණ ඉංජිනේරුමය කටයුතු සඳහා සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීමත්, වෙරළ කලාපයේ සංවර්ධන කටයුතු නියාමනය හා පාලනය කිරීමත් සිදු කරනු ලැබේ. මෙම කාර්යාලය පිහිටා ඇති ගොඩනැඟිල්ල දැනට වසර 30ක් පමණ පැරණි වන අතර වර්තමාන අවශ්‍යතා සඳහා එහි පවතින පහසුකම් ප්‍රමාණවත් නොවේ. ඒ අනුව රුපියල් මිලියන 60ක ඇස්තමේන්තුගත පිරිවැයකින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය සඳහා තෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වනජීවී කලාප ආශ්‍රිතව ජීවත් වන ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම
     
    වනඅලි පිවිසුම් මාර්ගවල ජීවත් වන ජනතාව අදියර 3ක් යටතේ ඉවත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, පළමු අදියර වශයෙන් වයඹ, ඌව හා දකුණ කලාප තුනෙහි වනඅලි සංක්‍රමණික මාර්ග හා වනඅලි - මිනිස් ගැටුම් උග්‍රව පවතින ප්‍රදේශ වශයෙන් වනජීවී දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබූ ප්‍රදේශවල අදාළ මූලික සමීක්ෂණ කටයුතු හා ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමේ කාර්යභාරය ඒ සඳහා පළපුරුදු ආයතනයක් වන වනජීවී භාරය වෙත පැවරීමටත්, වනජීවී සංරක්ෂණයට අදාළ හදිසි හා ප්‍රමුඛ ක්ෂේත්‍ර කටයුතු එම භාරය වෙතින් ඉටු කරවා ගැනීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2013 අංක 1 දරන දිවිනැගුම පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත
     
    අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම පිණිස සංවිධානය වී ඇති කුඩා කණ්ඩායම්, සමිති, මහා සංගම් හා ඊට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ගම් මට්ටමේ නිලධාරින් 'දිවිනැගුම' යන නාමය වෙනුවට 'සමෘද්ධි' යන නාමය යොදන ලෙස කරනු ලබන ඉල්ලීම් සැලකිල්ලට ගෙන 'දිවිනැගුම' යන්න වෙනුවට 'සමෘද්ධි' නාමය ආදේශ කිරීම පිණිස 2013 අංක 1 දරන දිවිනැගුම පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ල‍ිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාව තුළ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු ආරක්ෂණ ක්‍රියාමාර්ග පැනවීම
     
    ඇතැම් රටවල් විසින් සිදු කරනු ලබන අසාධාරණ වෙළඳ පිළිවෙත්වලට මුහුණ දීමට මෙන්ම පාලනයකින් තොරව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩවලින් දේශීය කර්මාන්ත සහ නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබ භාණ්ඩයේ සැබෑ වටිනාකමට වඩා අඩු මිලක් යටතේ වෙළෙඳපොළට නිෂ්පාදන හඳුන්වා දෙනු ලැබීමට එරෙහි ‘ප්‍රපාතන විරෝධී බදු’ සහ විදෙස් රජයන් විසින් ලබාදෙනු ලබන විවිධ සහනාධාර හේතුවෙන් අසාමාන්‍ය ලෙස අඩු මිලට මෙරට වෙළෙඳපොළට ආනයනික භාණ්ඩ පිවිසීමට එරෙහි ‘ප්‍රතිතෝලන බදු’ පැනවීම හා විමර්ශනය කිරීම පිණිස විධිවිධාන ඇතුළත් 'ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත් කෙටුම්පත' සහ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන නිෂ්පාදන සම්බන්ධයෙන් ආරක්ෂණ ක්‍රියාමාර්ග පැනවීම හා විමර්ශන පැවැත්වීම පිණිස විධිවිධාන සලසනු ලබන 'ආරක්ෂණ ක්‍රියාමාර්ග පනත් කෙටුම්පත' නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව, රජයේ ගැසට් පත්‍රයේ පළ කොට අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වී සහල් බවට පත් කර අලෙවි කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
     
    රට තුළ සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ සහ සමුපකාර තොග වෙළඳ සංස්ථාව(සතොස)ට අයත් පන්නේගමුව හා හිඟුරක්ගොඩ පිහිටි සහල් සැකසුම් මධ්‍යස්ථාන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිව, වී අලෙවි මණ්ඩලය මඟින් සතොසට වී ලබා දී, ඉහත සඳහන් සහල් සැකසුම් මධ්‍යස්ථාන දෙක හා පෞද්ගලික සහල් සැකසුම් මධ්‍යස්ථාන මඟින් එම වී සහල් බවට පත් කර ලංකා සතොස, සමුපකාර හා තොග වෙළඳුන් හරහා පාරිභෝගිකයින් වෙත බෙදා හැරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවට අවේණික භූගෝලීය දර්ශකවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරී
     
    කිසියම් නිෂ්පාදනයක් මූලාරම්භ වන රටට හෝ ප්‍රදේශයට හෝ අදාළ සුවිශේෂි ගුණාංග සහ ලක්ෂණ පිළිබිඹු කිරීම හේතුවෙන් කිසියම් භාණ්ඩයකට අනන්‍යතාවයක් ලබා දෙන සලකුණක් හෝ දර්ශකයක් හෝ 'භූගෝලීය දර්ශකයක්' ලෙස හඳුන්වනු ලබන අතර එබඳු දෑ එකී භාණ්ඩ මූලාරම්භ වන රටට වත්කමක් වේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිසල් දායකත්වයක් සපයනු ලබන නිෂ්පාදන වන ලංකා තේ (Ceylon Tea) හා ලංකා කුරුඳු (Ceylon Cinnamon), 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මඟින් ශ්‍රී ලංකාවෙහි මූලාරම්භ වන භූගෝලීය දර්ශක ලෙස හඳුනා ගනු ලැබ තිබේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ භූගෝලීය දර්ශක ලියාපදිංචි කිරීමට අදාළව නෛතික රාමුවක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් ගැටලුවලට මුහුණ පා සිටී. මේ සම්බන්ධව සොයා බලන ලද නිලධාරි කමිටුවේ නිර්දේශය පරිදි ශ්‍රී ලංකාවේ මූලාරම්භ වූ ඕනෑම නිෂ්පාදනයක් සුරක්ෂිත කිරීම, ලියාපදිංචි කිරීම සහ සහතික කිරීම සඳහා නියෝග නිකුත් කිරීමේ බලය විෂයභාර අමාත්‍යවරයා වෙත පවරමින් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කළුතර රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම
     
    නාගරික ප්‍රදේශවලට පමණක් සීමා වූ කාර්මික සංවර්ධනය ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීමත්, ප්‍රාදේශීය සම්පත්වලින් අගය එකතු කළ නිෂ්පාදනයන් සිදු කරනු ලබන කර්මාන්ත ඇති කිරීමත්, ඉහළ වැටුප් සහිත රැකියා ග්‍රාමීය ප්‍රදේශවල සුලභ කිරීමත් අරමුණු කරගනිමින් කර්මාන්තපුර පිහිටුවීම රජයේ සංකල්පය වේ. මේ යටතේ නැ‍ඟෙනහිර ආසියානු රටවල ස්ථාපිත සංවර්ධන කලාපයන්හි පවතින යටිතල පහසුකම් හා සේවාවන්ට සමාන යටිතල පහසුකම් හා සේවාවලින් යුත් කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන කලාප 11ක් දිවයිනපුරා පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, ඒ අතුරින් හම්බන්තොට, රයිගම, මහඔය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි අධි කලාප 04ක් පිහිටුවීම සඳහා 2016 අයවැය ප්‍රතිපාදන තුළින් රුපියල් මිලියන 500ක් වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, පාරිභෝගික හා නව තාක්ෂණ නිෂ්පාදන සඳහා වෙන් වූ තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් කළුතර දිස්ත්‍රික්කයේ රයිගම ප්‍රදේශයේ පිහිටුවීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    බස්නාහිර කලාපය තුළ ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග පහක් පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
     
    බස්නාහිර කලාපයේ සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රදේශවල සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් නිර්මාණය වන අනාගත ප්‍රවාහන ඉල්ලුමට සරිලන සාර්ථක දිගුකාලීන විසඳුමක් වශයෙන් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග 7ක් හඳුන්වා‍ දීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. මෙයින් මාර්ග 2ක් ඉදි කිරීම සඳහා සහයෝගය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් එකඟතාවය පළ කරනු ලැබ තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ඉතිරි සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග 5 සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයට ආරාධනා කිරීමේ අරමුණින් ඒ සඳහා විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    'ඇක්ලන්ඩ් මන්දිරය', උසස් තත්ත්වයේ පහසුකම් සහ සේවා සැපයෙන කුඩා හෝටලයක් (Boutique Hotel) වශයෙන් සංවර්ධනය කිරීම
     
    යටත් විජිත සමයේදී ලංකා රයිෆල් රෙජිමේන්තුවේ නිලධාරින්ගේ භෝජනාගාරයක් වශයෙන් ඉදි කරන ලද දෙමහල් ගොඩනැඟිල්ලක් වන 'ඇක්ලන්ඩ් හවුස්' ('විසුම්පාය') ගෙඩනැඟිල්ල මේ වන විට ක්‍රමයෙන් දිරාපත් වෙමින් පවතින අතර, එහි පෞරාණික වටිනාකම ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමේ සහ නවීකරණය කිරීමේ කටයුතු සිදු කිරීම අවශ්‍යව තිබේ. ඒ අනුව, එම ගොඩනැඟිල්ල, ඉහළ මට්ටමේ සංචාරකයන් හා සුවිශේෂි අමුත්තන් ඉලක්ක කරගනිමින් නවාතැන් පහසුකම් ඇතුළු උසස් තත්ත්වයේ සේවා සපයනු ලබන සුවිශේෂ අනන්‍යතාවයකින් යුත් කුඩා හෝටලයක් (Boutique Hotel) ලෙස සංවර්ධනය කර කළමනාකරණය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ඔලුවිල් ධීවර වරාය, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතට මාරු කිරීම
     
    ඔලුවිල් ධීවර වරාය නැ‍ඟෙනහිර පළාතේ ධීවර කර්මාන්තය සඳහා ඉදි කරන ලද විශාලතම ධීවර වරාය වන අතර එහි මීටර 3.5ක් ගැඹුරු වරාය පත්ලක් හා බහු දින ධීවර යාත්‍රා විශාල සංඛ්‍යාවක් නැංඟුරම් ලෑමේ පහසුකම්ද අනෙකුත් ධීවර වරාය යටිතල පහසුකම්ද ඇත. මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකම්ද ඇති මෙම ධීවර වරාය කේන්ද්‍ර කරගනිමින් අපනයන ධීවර කර්මාන්තය හා මත්ස්‍ය සැකසුම් කර්මාන්තය වැඩිදියුණු කිරීමේ ඉහළ විභවතාවක් පවතී. නැ‍ඟෙනහිර පළාතේ ධීවර කර්මාන්තය පුළුල් ලෙස සංවර්ධනය කිරීම හා එම වරාය වාණිජ වශයෙන් ලාභදායී වරායක් බවට පත් කිරීමේ අරමුණින් දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA)යටතේ පාලනය වන ඔලුවිල් ධීවර වරාය, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව (CFHC) වෙත පවරා දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    තේ කර්මාන්තය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීම - ශ්‍රී ලංකා තේ මණ්ඩලය
     
    ශ්‍රී ලංකා තේවල ඇති අද්විතීය ගුණාංග හේතුවෙන් ඒ සඳහා ලෝක වෙළඳපොළ තුළ ඉහළ මිලක් හිමිවන නමුත්, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ වෙළඳ භාණ්ඩවල මිල ගණන් ගෝලීය මට්ටමෙන් අවපාතයකට ලක්ව තිබීම හේතුවෙන් තේ කර්මාන්තයේ ලාභදායීත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. මෙවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාවේ තේ අපනයනයේ අනාගත සුරක්ෂිතතාව සඳහා ඉහළ තත්වයේ ප්‍රමිති යොදා ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා තේ ද‍ලු නෙලීමේ සිට නිෂ්පාදනය, ප්‍රවාහනය, වෙන්දේසිය, තත්ත්ව පරික්ෂාව, මිශ්‍ර කිරීම, ඇසුරුම් කිරීම සහ අපනයනය කිරීම දක්වා වූ ක්‍රියාවලියේ සෑම අවස්ථාවක්ම ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් අධීක්ෂණය සහ පසු විපරම් කිරීම කරනු ලැබේ. දැනට ලේඛන ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන මෙම කටයුතු වඩා කාර්යක්ෂම කිරීමේ අරමුණින් තොරතුරු තාක්ෂණ පද්ධතියක් රුපියල් මිලියන 220ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    'පුණ්‍යග්‍රාම' ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන
     
    ගමත් පන්සලත් අතර සම්බන්ධය ශක්තිමත් කරමින් බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 'පුණ්‍යග්‍රාම වැඩසටහන' මඟින් සාරධර්ම ප්‍රවර්ධනය මෙන්ම ඒ හා සබැඳි භෞතික පහසුකම් සංවර්ධනයද අපේක්ෂා කෙරේ. ඒ අනුව 2016 වර්ෂයේ මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කරනු ලැබ ඇති රුපියල් මිලියන 24ක ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් නිදන්ගත වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින උතුර, උතුරු මැද, නැ‍ඟෙනහිර සහ පානීය ජලය ආශ්‍රිත රෝග පවතින අනෙකුත් පළාත්වල පිහිටි දුෂ්කරතා මධ්‍යයයේ පවත්වාගෙන යනු ලබන විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආරක්ෂිත පිරිසිදු පානීය ජලය ලබා දීමේ ජල පෙරන යන්ත්‍ර ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රයේ ඵලදායීතාව ඉහළ නැංවීම
     
    දේශීය ඉල්ලුම සපුරාලමින් හා විදේශ වෙ‍ෙළඳපොළ ජයගනිමින් ශ්‍රී ලංකාවේ පශු සම්පත් නිෂ්පාදන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ කාර්යයට සහාය වීමේ අරමුණින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු පර්යේෂණ ආයතනයෙහි නව ආහාර තාක්ෂණ විද්‍යාගාරයක් පිහිටුවීමටත්, එම දෙපාර්තමේන්තුව සතු පශු එන්නත්සාර නිෂ්පාදන මධ්‍යස්ථානය නවීකරණය කිරීමටත්, ජලභීතිකා රෝගය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් බහු ආංශික ඒකක පිහිටුවීමටත්, විවිධ සතුන් මඟින් වැ‍ළ‍ඳෙන රෝගවලින් ආරක්ෂා වීමේ ජාතික වැඩසටහනක් සකස් කිරීමටත් රුපියල් මිලියන 1,402ක භාණ්ඩාගාර ප්‍රතිපාදන ලබාගැනීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මොනරාගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය සහ මොනරාගල ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදි කිරීම සඳහා ඉඩමක් ලබා ගැනීම
     
    මොනරාගල දිස්ත්‍රික්‍කයේ ජනතාවගේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කරමින් මෙන්ම අනාගත පරම්පරාවේ ක්‍රීඩා කෞෂල්‍යය රටට දායාද කිරීමට මහඟු පිටිවහලක් සපයමින් යෝජිත මොනරාගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය හා ගෘහස්ථ ක්‍රීඩාගාරය ඉදි කිරීම සඳහා, ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් භුක්ති විඳිනු ලබන, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මොනරාගල, කුමාරවත්ත වතු යායෙන් අක්කර 10ක බිම් ප්‍රමාණයක් වෙන් කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ඇල්පිටිය අගය එකතු කිරීමේ සැකසුම් කලාපයක් ආරම්භ කිරීම
     
    දිවයින පුරා කෘෂිකාර්මික අධිකලාප (Agricultural Mega Zones) 23ක් ඇති කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව අගය එකතු කිරීමේ සැකසුම් කලාපයක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එමඟින් ප්‍රදේශයේ නිෂ්පාදනවලට ඉහළ අපනයන ආදායමක් හිමි වනු ඇති අතර, තරුණ-තරුණියන්ට රැකියා අවස්ථාද නිර්මාණය වනු ඇත. ඒ අනුව, යෝජිත ඇල්පිටිය කෘෂි සැකසුම් කලාපය ආරම්භ කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි, ඇල්පිටිය වැවිලි සමාගමට අයත් ඉගල්කන්ද හා කැටපලවත්ත ප්‍රදේශවලින් අක්කර 200ක් වෙන් කර දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා; පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහන
     
    රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මැදි ආදායම් මට්ට‍මේ සේවකයින් සඳහා දැරිය හැකි මිලකට නිවාස පහසුකම් සැපයී‍ෙම් අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහන' යටතේ වසර පහක් තුළ නිවාස ඒකක 500,000ක් ඉදි කිරීමට අපේක්ෂිතය. මෙම වැඩසටහන සඳහා ස්ථාපිත කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ නිර්දේශ පරිදි, නිවාස ඒකක 332කින් සමන්විත කුන්ඩසාලේ ස්කාගාරවත්ත නිවාස යෝජනා ක්‍රමය සහ නිවාස ඒකක 860කින් සමන්විත හෝමාගම මවුන්ට් ක්ලිෆර්ඩ් යන නිවාස යෝජනා ක්‍රමයන්හි ඉදි කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කාන්තා ගෘහ මූලික පවුල් සඳහා වන ජාතික සැලසුම
     
    ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන් සවිබල ගැන්වීමේදී, කාන්තාවන් විසින් ගෘහ මූලිකත්වය උසුළනු ලබන, රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 24.3%ක් වන පවුල් සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කිරීම අවශ්‍ය වේ. සංවර්ධන ක්‍රියාවලියෙහි ලා කාන්තාවන්ගේ දායකත්වය හා ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමේ අරමුණින්, 'කාන්තා ගෘහ මූලික පවුල්' උදෙසා දිවයින පුරා ක්‍රියාත්මක විය යුතු ඒකාබද්ධ ප්‍රවේශයක් සැලසුම් කරමින් පවතින අතර, ඒ යටතේ සකස් කරන ලද ජාතික මූලාරම්භයක් සඳහා වූ යෝජනාවලිය, සෞඛ්‍ය හා මනෝ සමාජයීය සහාය, (physico -social support) ජීවනෝපාය සංවර්ධනය, සහාය සේවා පද්ධතිය, ආරක්ෂාව, සමාජ රැකවරණය සහ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය හා ප්‍රජා දැනුම්වත් කිරීම යන ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    1961 අංක 28 දරන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීම
     
    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නියාමන විෂය පථය යටතට ගෙන ඒමේ වැදගත්කම රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් දැනට සිදු කර ගෙන යනු ලබන අලෙවි කිරීමේ කටයුතුවලට බාධාවක් නොවන පරිදි, එම කාර්යය සඳහා 1961 අංක 28 දරන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය පනත සංශෝධනය කිරීම
     
    සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණය, සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණය, මහනුවර බෝගම්බර එළිමහන් ක්‍රීඩාංගණය, නුවරඑළිය තුරඟ තරඟ පිටිය සහ බෙලිඅත්ත පිහිනුම් තටාක සංකීර්ණයේ පරිපාලන හා නඩත්තු කටයුතු සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය මඟින් සිදු කරනු ලැබේ. මෙම අධිකාරිය විසින් ක්‍රීඩා පහසුකම් ඉතාම සහන මිල ගණන් යටතේ සපයනු ලබන අතර, ඉන් ලැබෙන ආදායම අදාළ ක්‍රීඩාංගණ නිසි පරිදි නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, ක්‍රීඩාංගණ නඩත්තු කිරීම හා ක්‍රීඩා පහසුකම් සැපයීම සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට හැකිවන පරිදි, අදාළ ක්‍රීඩාංගණ ක්‍රීඩා ඉසව් සඳහා පරිහරණය නොකරනු ලබන අවස්ථාවන්හිදී කලා කටයුතු, සම්මන්ත්‍රණ, විභාග හා එවැනි ආදායම් ලැබිය හැකි කටයුතු සඳහා පරිහරණය කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් සහ එම පනතට වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධන ඇතුළත් කරමින් 1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය පනත සංශෝධනය කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාව තුළ රේඩියල් සහ ඝන ටයර් කම්හලක් ඉදි කිරීම
     
    වසර 4ක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 75ක ප්‍රාග්ධන ආයෝජනයක් යොදවමින්, දේශීය රැකියා අවස්ථා 1,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරනු ලබන, සම්පූර්ණ නිෂ්පාදනයෙන් 60%ක් අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් රේඩියල් සහ ඝන ටයර් නිෂ්පාදන කම්හලක් හොරණ ප්‍රදේශයේ පිහිටුවීම සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජකයෙකු වෙත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව එන්ජින් කට්ටල 163ක් ප්‍රසම්පාදනය කිරීම
     
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා අශෝක් ලේලන්ඩ් නව එන්ජින් කට්ටල 163ක්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ (CANC) නිර්දේශය පරිදි, නැවත ඇණවුම් කිරීමේ පදනම මත ඉන්දියානු ණය ආධාර යටතේ ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බහාලුම් වාහක ගැල් 20ක් සහ ඉන්ධන ටැංකි ගැල් 30ක් ප්‍රසම්පාදනය කිරීම
     
    ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බහාලුම් වාහක ගැල් 20ක් සහ ඉන්ධන ටැංකි ගැල් 30ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ (CANC) නිර්දේශය පරිදි, ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    'රජරට නවෝදය' - ජනපති වැඩසටහන - 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති 2016 - 2020
     
    අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති, පොළොන්නරුව නව නගරය තුළ යෝජිත රජයේ සේවකයන්ගේ නිල නිවාස සංකීර්ණය හා ‍පරිපාලන ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම, කදුරුවෙල නගර සංවර්ධනය සඳහා දුම්රිය නිල නිවාස නැවත ඉදි කිරීම, තමන්කඩුව ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල පොළොන්නරුව නව නගරය තුළ ඉදි කිරීම යන විශේෂ ව්‍යාපෘති 4 සඳහා වන ව්‍යූහාත්මක ඉංජිනේරු සැලසුම් කටයුතු හා ඉදි කිරීම් කටයුතු, රුපියල් මිලියන 4,120ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB)/ මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගම (CESL) වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ලංකා රාජ්‍ය ජාලය - 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
     
    රාජ්‍ය ආයතන හා මහජනතාව අතරත්, රාජ්‍ය ආයතන හා රාජ්‍ය ආයතන අතරත් ඩිජිටල් ක්‍රමයට අන්තර් සබඳතාව පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනය (ICTA) විසින් 2007 - 2012 කාල වකවානුව තුළ හඳුන්වා දෙන ලද ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය (Lanka Government Network - LGN) යටතේ ලබා දෙනු ලැබ ඇති දත්ත සම්ප්‍රේෂණ වේගය අඩු වීම ආර්ථිකය ඩිජිටල් කිරීමේ රජයේ අරමුණ ළඟාකර ගැනීමට ඇති ප්‍රධාන බාධකයක් වී තිබේ. ඒ අනුව ඉ රාජ්‍ය කටයුතු සඳහා අවශ්‍ය අධිවේගී සහ සුරක්ෂිත සම්බන්ධතාවන් හා නොමිළේ වයි - ෆයි සේවා සැපයීම ඉලක්ක කරගනිමින් ලංකා රාජ්‍ය ජාලය - 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya