අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.09.13

    සැප්තැම්බර් 14, 2016
    ශ්‍රී ලංකාවෙහි කඩිනම් ආර්ථික පරිවර්තනයක් ඇති කර ලීම - මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීම
     
    ර‍ට පුරා කඩිනම් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ සහ රටේ ආර්ථිකය තිරසර සමාජ ආර්ථික වෙළෙඳපොළක් කරා පරිවර්තනය කිරීමේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳව අධීක්ෂණය කිරීමට හා එකී ක්‍රියාකාරකම් පිළිබඳ ව නිවැරදි කිරීමේ පියවර නිසි කලට ගැනීම පිණිස වෙන් වූ ඒකකයක් ස්ථාපිත කිරීම අතිශය වැදගත් වේ. ඒ අනුව, එම කාර්යයන් ඉටු කිරීමට ශ්‍රී ලංකාව තුළ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයක් (Central Programme Management Unit) ස්ථාපිත කිරීම සඳහා මැලේසියාව වැනි ශීඝ්‍ර පරිවර්තනයකට භාජනය වෙමින් පවතින ආර්ථිකයන්හි සමාන අන්දමේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකක ස්ථාපනය කිරීමේ පළපුරුද්ද සහ හැකියාව සහිත විදේශීය උපදේශක සමාගමක් වන ඇමරිකා එක්සත් ජනපදයේ මැකෙන්සි ආයතනයේ සහාය ලබාගැනීම පිණිස අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වනඅලින්ගෙන් සිදුවන ජීවිත හා දේපළ හානි සඳහා වන වන්දි මුදල වැඩි කිරීම
     
    මිනිස් ජීවිතවලට හා දේපළවලට වනඅලින්ගෙන් සිදුවන හානි සඳහා ලබා දෙනු ලබන වන්දි මුදල අවසන් වරට සංශෝධනය කරනු ලැබ ඇත්තේ 2004 වර්ෂයේදී ය. ඒ අනුව, වාර්ෂිකව ගෙවනු ලබන මුළු වන්දි ප්‍රමාණය රුපියල් මිලියන 25ත් 35ත් අතර වේ. මෙම වන්දි මුදල වැඩි කරමින්, වනඅලි පහර දීම‍ක් නිසා සිදුවන මරණයකදී රුපියල් 200,000/-ක් ද, පූර්ණ බෙලහීනතාවකට පත් වූ විට (දැනට පවතින වයස් සීමාව නොසලකා) පොදුවේ රුපියල් 200,000/-ක් ද, තුවාලවීම්වලදී රුපියල් 75,000/-ක් ද, නිවාස හා දේපළ හානි සඳහා රුපියල් 100,000/-ක් ද වශයෙන් වන්දි ලබා දීමටත්, හානියට පත්වූ අයට වන්දි මුදල් ගෙවීම අනුමත කිරීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කර ලීම සඳහා වන්දි ‍මුදල් ගෙවීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් වෙත පැවරීමටත්, වන්දි පිරිනැමීම සම්බන්ධයෙන් එම කමිටුවේ තීරණවලින් අතෘප්තියට පත්වන පාර්ශ්වයන්ගේ අභියාචන සලකා බැලීම පිණිස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අභියාචන කමිටුවක් පිහිටුවීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය
     
    රැකියා ආශ්‍රිත සියලුම ආකාරයේ අනතුරු අවම කිරීම තුළින් සෞඛ්‍යසම්පන්න ශ්‍රම බලකායක් බිහි කිරීම මඟින් ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක වන ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (National Institute of Occupational Safety & Health -NIOSH) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය' 2016 ඔක්තෝබර් මස 07 දින සිට 14 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතියට සමගාමීව වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් හා ජාතික සම්මන්ත්‍රණයක් පැවැත්වීමටත්, සේවකයින් වෙනුවෙන් සුරක්ෂිත වැඩ පරිසරයක් ඇති කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ව්‍යාපාරික ආයතන තෝරා ඇගයීමට ලක් කිරීමේ අරමුණින් 'ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල' පැවැත්වීමටත් නියමිතය. ඒ අනුව, මෙවර 'ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය' ජාතික වැඩසටහනක් සේ සලකා අදාළ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීම
     
    ස්වාභාවික හා මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන් ඇති වන ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමෙහි ලා ක්‍රියාත්මක වන ආයතනික ව්‍යූහයන් වශයෙන් ' ව්‍යසන කළමනාකරණය පිළිබඳ ජාතික සභාව' සහ 'ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය' 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ විධිවිධාන යටතේ 2005 වර්ෂයේදී ස්ථාපිත කෙරුණු අතර, ආපදා කළමනාකරණය විෂය සඳහා වෙනම අමාත්‍යාංශයක් 2010 වර්ෂයේදී ඇති කරන ලදී. ආපදා ඇති වීමේ ප්‍රවණතා‍ව මෑත කාලීනව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඉහත පන‍ත යටතේ පැවරී ඇති වගකීම් හා ක්‍රියාකාරකම් ඉටු කිරීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට මුහුණ පෑමට සිදුවන ප්‍රායෝගික දුෂ්කරතාවන් සැලකිල්ලට ගෙන, එකී පනතේ සඳහන් කාර්යයන් මනා සම්බන්ධීකරණයකින් හා සහයෝගයකින් යුතුව ඉටු කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කලාකරුවන් සඳහා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම
     
    විවිධ කලා ක්ෂේත්‍රයන්හි නිරත කලාකරුවන් සඳහා වෘත්තීයමය පිළිගැනීමක් හා සමාජ සුරක්ෂිතතාවක් සහතික කර ලීමේ අරමුණින් ඔවුන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම සඳහා 2016 අයවැය යෝජනා මඟින් අරමුදල් වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව, වයස මත පදනම් වූ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් තුළින් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් තෝරාගනු ලබන අයදුම්කරුවන් සඳහා දායක්තව විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙම වර්ෂයේ සිට ආරම්භ කර සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාතික මෝස්තර මධ්‍යස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
     
    දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික මෝස්තර මධ්‍යස්ථා‍නය දැනට පිහිටා ඇති ගොඩනැඟිල්ල වසර 40කට වඩා පැරණි එකක් වන අතර, එම ගොඩනැඟිල්ල ඉතා දුර්වල තත්ත්වයක පැවතීම හේතුවෙන් වර්තමාන අවශ්‍යතාවන්ට අනුව නවීකරණය කිරීමට හෝ වෙනස් කිරීම සිදු කළ නොහැකි තත්ත්වයක පවතියි. ඒ අනුව, එම පැරණි ගොඩනැඟිල්ල කඩා ඉවත් කර එක් එක් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වැඩහල්, නිර්මාණ සැලසුම් ඒකක, පුස්තකාලය, අත්කම් නිදර්ශක ප්‍රදේශය, පාලන අංශය ආදිය ඇතුළත් වන පරිදි අවශ්‍ය පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 80ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අඟුණකොළපැලැස්ස නගර සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් පවරා ගැනීම
     
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි නගර එකිනෙක හා සම්බන්ධ කෙරෙන ස්ථානයක පිහිටා ඇති අඟුණකොළපැලැස්ස නගරය විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, ක්‍රියාත්මක කිරීමට යෝජිත සංචාරක නිකේතන, බැංකු ගොඩනැඟිලි, වාණිජ සංකීර්ණය, රජයේ ආයතන සඳහා ගොඩනැඟිලි, පොදු රථගාල ඉදි කිරීම සහ නගර මධ්‍ය හා බස් නැවතුම්පොළ සංවර්ධනය යනාදී සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය, අඟුණකොළපැලැස්ස නගරයේ පිහිටි අක්කර 9යි රූඩ් 2යි පචර්ස් 10ක ප්‍රමාණයකින් යුතු මහවැලි සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මිහින්තලය නගර මධ්‍ය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය
     
    විවිධ අවශ්‍යතාවන් සඳහා දෛනිකව නගරය වෙත පැමිණෙන 8,000ක පමණ ජනතාවට මෙන්ම උත්සව සමයේදී පැමිණෙන බැතිමතුන්ට හා සංචාරකයින්ට අවශ්‍ය වන පහසුකම් සහිතව මිහින්තලය නගරය සංවර්ධනය කිරීම සඳහා වන සැලැස්මක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇත. මෙම සැලසුම යටතේ නගර මධ්‍යයේ වාණිජ ගොඩනැඟිලි හා පොදු වෙළඳපොළ ඉදි කිරීමටත්, මතුපිට කාණු ක්‍රමය සකස් කිරීමටත්, ළමා උද්‍යාන, පොදු ස්ථාන සහ වාහන නැවතුම් ස්ථාන සංවර්ධනය කිරීමටත්, වීථි ආසන ඉදි කිරීමටත් යෝජිතය. ඒ අනුව, රුපියල් මිලියන 200ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, 2016-2019 කාලසීමාව තුළ මිහින්තලය නගර මධ්‍ය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ගුවන් විදුලි, රූපවාහිනී හා චිත්‍රපට අංශයන් සම්බන්ධ සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
     
    කාලීන පුවත් හා රූපවාහිනී වැඩසටහන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ සාර්ථක අත්දැකීම් සහ තාක්ෂණය දෙරට අතර හුවමාරු කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‍යේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ තොරතුරු අමාත්‍යාංශය අතර ගුවන් විදුලි, රූපවාහිනී හා චිත්‍රපට ක්ෂේත්‍රයන්හි සම්බන්ධ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වැලිකඩ බන්ධනාගාරය හා එහි අනෙකුත් ඒකක ස්ථාපිත කිරීම සඳහා හොරණ පිහිටි සොරණවත්ත ඉඩම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත අත්පත් කරගැනීම
     
    වැලිකඩ බන්ධනාගාරය හා බන්ධනාගාර රෝහල, කාන්තාවන්ගේ වාට්ටුව, බන්ධනාගාර නිල නිවාස ඇතුළු එහි අනෙකුත් ඒකක ස්ථාපිත කිරීම සඳහා දැනට නාගරික සංවර්ධන අධිකාරියට අයත්, හොරණ පිහිටි අක්කර 28ක විශාලත්වයෙන් යුතු සොරණවත්ත ඉඩම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පවරා දීමටත්, වැලිකඩ බන්ධනාගාරය පිහිටා ඇති අක්කර 38.5ක් විශාල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඉඩම නාගරික සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාර දීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති
     
    විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින්, පළාත් සභා විෂයපථය යටතේ පවතින, දිවයින පුරා පිහිටි හඳුනාගත් පාසල්වල තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන 'පාසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය' සඳහා සහ එක් එක් දිස්ත්‍රික්කයෙහි තොරතුරු තාක්ෂණ සම්පත් කළමනාකරණය හා බැඳුණු ගැටලු පිළිබඳව දිස්ත්‍රික් පරිපාලනය සමඟ සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන 'දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය' සඳහා 2016 අයවැය මඟින් පිළිවෙළින් වෙන් කරනු ලැබ ඇති, රුපියල් මිලියන 250ක හා රුපියල් මිලියන 42ක අයවැය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් එම ව්‍යාපෘති දෙක (02) ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
     
    කළුතර දිස්ත්‍රික්කයට අයත් පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 72කින් සමන්විත වන අතර, 205,969ක පමණ ජනගහනයක් එහි වාසය කරයි. මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිලිවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එමඟින් සේවාවන් ඉටු කරගැනීම සඳහා දෛනිකව පැමිණෙන මහජනතාවට හා එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින්ට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇත. ඒ අනුව, පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 172.8ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    එකතු කළ අගය මත බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත
     
    - 2016 අයවැය යෝජනා පරිදි, 2016-03-04 දින පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණය පරිදි සහ 2016-06-15 දින පැවති ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ එකතු කළ අගය මත බදු (VAT) සම්බන්ධයෙන් වන විධිවිධාන සංශෝධනය කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව, වැට් බදු සංශෝධනයට අදාළව මුලින් ඉදිරිපත් කරනු ලැබ තිබූ පනත් කෙටුම්පත වෙනුවට, පහත සඳහන් යෝජනා ඇතුළත් කරමින් සංශෝධනය කරන ලද, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 
     
    (i)එකතු කළ අගය මත බදු (VAT) අනුපාතිකය 15%ක් ලෙස පවත්වා ගැනීම;
     
    (ii)එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමට දැනට අදාළ පිරිවැටුම වන වර්ෂයකට රුපියල් මිලියන 15ක හෝ කාර්තුවකට රුපියල් මිලියන 3.75ක් වන සීමාව වර්ෂයකට රුපියල් මිලියන 12ක් හෝ කාර්තුවකට රුපියල් මිලියන 3ක් දක්වා අඩු කිරීම;
     
    (iii)පහත සඳහන් භාණ්ඩ හා සේවා මත එකතු කළ අගය මත බදු පැනවීම;
     
    වාර්ෂික මුළු පිරිවැටුම රුපියල් මිලියන 50ක් (කාර්තුවකට රුපියල් මිලියන 12.5) හෝ ඊට වැඩි තොග සහ සිල්ලර වෙ‍ළඳාම;
     
    රෝග විනිශ්චය පරීක්ෂණ (diagnostic tests), කාන්දු පෙරණ (dialysis) සහ වෛද්‍ය උපදේශක සේවා ඇතුළත් නොවන බාහිර රෝගී (OPD) සේවාවන් හැර අනෙකුත් පෞද්ගලික සෞඛ්‍ය සේවා;
     
    විදුලි සංදේශ සේවා;
     
    දුම්කොළ නිෂ්පාදන;
     
    සීනි හෝ වෙනත් පැණිරස කාරක ද්‍රව්‍ය එකතු කරන ලද කිරිපිටි;
     
    ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළක සිට ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි ගුවන්තොටුපළක් වෙත පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව; 
     
    (iv)2015-11-01 දිනට පෙර අනුමත වූ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති හෝ 2016-10-01 දිනට පෙර විකුණුම් ගිවිසුමට එළඹෙන ලද හෝ එදිනට ව්‍යාපෘතිය සම්පූර්ණ කරනු ලැබ ඇති ව්‍යාපෘති හැර ව්‍යාපෘතියේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 05ට වැඩි ව්‍යාපෘති මඟින් සිදු කරනු ලබන නේවාසික නවාතැන් පහසුකම් සැපයීම, බදු දීම හෝ කුලියට දීම පිළිබඳව වන සේවාවන් සඳහා දැනට පවතින වැට් බදු නිදහස සීමා කිරීම; 
     
    (v)ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි සමාගම් විසින් දේශීය වෙළඳපොළට සපයනු ලබන ඇඟලුම් ඒකකයක්/කෑල්ලක් (piece) මත අය කරනු ලබන බද්ද රුපියල් 75/-ක් ලෙස වැඩි කිරීම;
     
     
    2017 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 69 වන නිදහස් සමරු උළෙල සංවිධානය කිරීම
     
    2017 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ 69 වන නිදහස් සමරු උළෙල හා අදාළ වැඩසහටන් සංවිධානය කර මෙහෙයවීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නා උ‍යනේ අරියධම්ම අනුනායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීම
     
    අපවත් වී වදාළ, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක මහා කම්මට්ඨනාචාර්ය මහෝපාධ්‍ය ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය නා උ‍යනේ අරියධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ ජාතික, ආගමික හා ශාසනික වශයෙන් ශ්‍රී ලංකාවට සිදු කරන ලද උදාර සේවය අගයමින් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වයස අවුරුදු 63ක් දක්වා සේවා කාලය දීර්ඝ කිරීම
     
    දිවයිනේ රෝහල්වල සායනික අංශයන්හි විශේෂ වෛද්‍ය තනතුරු 1,164ක් පුරප්පාඩුව පවතී. පවතින ක්‍රමවේදය යටතේ මෙකී පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බැවින් හා සිය සේවා කාලය තුළ ලබා ගන්නා අත්දැකීම් සහ පළපුරුද්ද අනුව දැනට පවතින අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවෙන් ඔබ්බට තවදුරටත් ඵලදායීව සේවය කිරීමට ඔවුනට ඇති හැකියාව සැලකිල්ලට ගෙන, සායනික අංශවල සේවය කරනු ලබන පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya